Colombo Today Local News

අධිවේගයට බිලි වෙන්න ගිය පඬුකරද ගස සසුන්ගත කෙරේ

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉවත් කිරීමේ තර්ජනයකට ලක්ව ඇති ශ්‍රී ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය අද(10)දින එහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපළක් බවට පත්කළහ.

ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් ගස පිහිටි ස්ථානයට වැඩම කළ අතර එහිදී ආගමික වතාවත් සිද්ධ කළහ. අනතුරුව සංඝයා වහන්සේලා ගස වටා චීවරයක් පළඳා පිරිත් නූල් බැඳ පඬුකරඳ ගස සාංඝික දේපළක් බවට පත්කළහ.

මෙහිදී අනුශාසනාවක් කළ ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියෝ සඳහන් කළේ රටක පාලකයින් පත් කරගනු ලබන්නේ ජනතාව සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට වුවත්, වර්තමානයේ ආණ්ඩුවෙන් රටත් පරිසරයත් බේරා ගැනීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බවයි. මෙම ශාකයේ තවත් ගස් කිහිපයක් ඇති බවට රජය ප්‍රකාශ කරමින් ගස විනාශ කිරීමට උත්සාහ ගත්තත් රටෙත් ලෝකයේත් බෝධි වෘක්ෂ ගණනාවක් තිබෙන සමයක ශ්‍රී මහා බෝධිය ඉවත් කිරීමට කිසිවෙකු සූදානම් නැති බව නාරද හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

අද දවසේ මෙම ගස සාංඝික කර චීවරයක් පළන්දන ලද්දේ ආණ්ඩුවෙන් ගස ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ මෙහිදී ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන පොදු දේපල රැක ගැනීමට බිය නොවිය යුතු බව රාජ්‍ය සේවකයින්ට පවසා ඇති වුවත්, අද එසේ කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට පියවර නොගන්නා බවයි. අපට පමණක් නොව පරිසරය ආරක්ෂා කරගැනීමට වැදි නායකයාටත් ආණ්ඩුව සමඟ නඩු කියන්නට සිදුවීම කනගාටුවට කරුණක් බව ද සමිත හිමියෝ සඳහන් කළහ.ගස් කොළකොළන් පැළ කිරීමට වවුලන්ගෙන් විශාල සේවාවක් සිදු වුවත් අද ආණ්ඩුව වවුලන් කරන සේවාවවත් පරිසරය වෙනුවෙන් නොකරන බවට සමිත හිමියෝ මෙහි දී චෝදනා කළහ.

ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයින් වන හෝමාගම ආනන්ද, තලහගම ඥානසිරි, අත්තයාල විජිත යන හිමිවරුන් ද ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ හා මුතුරාජවෙල අභය භූමිය රැක ගැනීමේ සංවිධාන නියෝජිතවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ශක්තිමත් වෙන රුපියලට වසර අවසානයේ වෙන දේ ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය කියයි

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

රට පුරා හොර දොස්තරලා දහදාහක් !

colombotoday