Colombo Today Local News

2005 පටන් කාපු බීපු හැටිත් මගෙන් අහනවා.. ඒ ගැන කියන්න මේ දවස්වල හට්ටි මුට්ටි ගණන් කරනවා

150331113517_mahinda_rajapaksa_512x288_ap_nocreditමේ දිනවල වැඩි වශයෙන් මාධ්‍යයේ පෙනී නොසිටින්නේ තමන් කුස්සියේ ඇති වළං, හට්ටි – මුට්ටි ගණන් කරමින් සිටින නිසා බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විදුලි බලයෙන් ක්‍රියාකරන කුස්සියේ හා වැසිකිළියේ උපකරණ ගැන මේ දිනවල තමාගෙන් ප්‍රශ්න කරන බැවින් එසේ කිරීමට සිදුව ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද (07) මහනුවර දළදාමාළිගාව වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමිනි.

2005 වසරේ සිට කාපු බීපු දේවල් ගැන අහන බවත්, තව අවුරුද්දක් විතර ඒ ගැන ඔවුන්ට සොයන්නට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ “උන්ගේ ආණ්ඩුව බැවින් ඕනම කෙනෙක් අත්අඩංගුවට ගත හැකි” බවයි.

එහෙත් තමන් ඒවායින් නොසැළී බලා සිටින බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

පිටතදී රජය විවේචනය කරන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රශ්න නොකරන්නේ මන්දැයි ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ තමා අවශ්‍යම දේ අවශ්‍යම මොහොතේදී කතා කරන බවයි.

එසේ වුවද අරගලය ගෙනයාමට අලුත් උදවිය පාර්ලිමේන්තුවේ සිටින බවත්, ඒ අයට ඉඩදී ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමා එළවීමට පිරිසක් සැලසුම් කරන බවත්, ශ්‍රීලනිපයේ සැබෑ ප්‍රතිපත්තිය බණ්ඩාරනායක ප්‍රතිපත්තිය බවත්, අනුර බණ්ඩාරනායක පවා පක්ෂය හැරයද්දී තමන් එකී ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ බවත් රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

ඒත් කලවං වුණු අය එජාපය සමග එක්වී දැන් තමා පක්ෂයේ සතුරෙකු ලෙස හඳුන්වන බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

අලුත් පක්ෂයක් නිර්මාණය කරන බවට පැතිරයන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මේ ආකාරයට ගියහොත් විපක්ෂයේ කාර්යබාර්ය ඉටුකිරීම සඳහා අලුත් පක්ෂයක් නිර්මාණය වනු ඇති බවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැති බවත්, විපක්ෂ නායකවරයා පවා මේ රජය බලයට පත්කිරීමට සහය දුන් කෙනෙකු බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දරන ජවිපෙ නායකයාද ආණ්ඩුව බලයට ගෙන ඒමට සහයදී අවශ්‍ය මොහොතේ ආණ්ඩුව ආරක්ෂා කරන අයෙකු බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් තමන් ලැබුවාවූ නව වසර මිරිස් කරලක වත් මිල අඩුවී ජනතාවට සහනයක් සැලසෙන වසරක් වේවා යයි තමන් ප්‍රාර්ථනා කරන බවත්, මිරිස් කරලක් මේවන විට රු.13-15 ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි 290 දක්වා ඉහළට… 500 කට පමණ තුවාල

colombotoday

යහපාලනය කරන්න ගොස් ‘බිලිවීමට‘ සිදුවූයේ මටයි – කවියක් කියමින් රවී කියයි

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා – මුහුදුබඩ මාර්ගයෙත් දුම්රිය ප්‍රමාදයක්

Admin

මැණිං වෙළදපොල වීවෘත කරන දිනය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක්

colombotoday

සංචරණ නීති කඩකළ තවත් 7දෙනෙකු අත්අඩංගුවට

colombotoday

සති 2ක් තුළදී විදෙස් සංචාරකයින් 2500ක් දිවයිනට..

colombotoday