Colombo Today Local News

බෝම්බ පුපුරවා අහිංසක වැසියන් මැරෑ කෲර ඝාතකයන් ‘දේශපාලන සිරකරුවන්’ ‍වන්නේ කෙසේද?

ltte bomb attackයුක්‌රේන් ජාතිකයන් සිව්දෙනෙක්‌ සහ හමුදා භටයන් 36 ක රැගත් ඇන්ටනෝව් 32 වර්ගයේ ප්‍රවාහන යානාවක්‌ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී මිසයිල ප්‍රහාරයකින් විනාශ කළ කොටි ත්‍රස්‌තවාදීන් දෙදෙනා දේශපාලන සිරකරුවන්ද? මේ කොටි දෙදෙනා රාධා මිසයිල බළකායේ ක්‍රියාකාරීන් වූ යාපනයේ පදිංචි ඉරන්තුරෙයි ජෙගන් හෙවත් පුලවන් සහ යාපනය නිර්වේලිහි පදිංචි නල්ලාම් සිවලිංගම් හෙවත් සින්නතිලකන්ය.

2000 වසරේ මාර්තු 30 දා මෙම යානාව පලාලි සිට රත්මලාන බලා පියාසර කරමින් සිටි අවස්‌ථාවේ විල්පත්තුව වනයේ සිට මිසයිල ප්‍රහාර දෙකක්‌ එල්ල විය. මෙම යානාව අනුරාධපුර වීර වැව ප්‍රදේශයට කඩා වැටී එහි සිටි සියලු දෙනා මරුමුවට පත් විය. මෙකී ඇන්ටනෝව් යානාව කාර්මික දෝෂයකින් කඩා වැටෙන්නට ඇති බව එකල ගුවන් හමුදා බලධාරීහු පැවසූහ. එහෙත් වන්නි මෙහෙයුම නිමාවීමෙන් පසු සැබෑ තොරතුරු හෙළී වී 2012 වසරේදී මෙම ත්‍රස්‌තයන් දෙදෙනාඅසු විය. ඔවුන්ව විල්පත්තු වනයට ගෙන යැමෙන් පසු ඇන්ටනෝව් යානාවට එල්ල කළ මිසයිල දෙකක කොපු සොයා ගනු ලැබීය.

දැන් මෙම කොටි ත්‍රස්‌තයන් දෙදෙනාට එරෙහිව අනුරාපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ. උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය දේශපාලන සිරකරුවන් යෑයි හඳුන් වන්නේ මෙවන් ඝාතකයන්ය. එසේම කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම් සැලසුම් කළ රමේශ් සහ කළු කොටි බෝම්බකාරියක්‌ වූ මදිනි ද රැඳවුම් භාරයේ පසුවිය. ඉන් මදිනි නැමැත්තියට සිරදඬුවම්ද නියම විය. එහෙත් මේ බෝම්බකාරියද දේශපාලන සිරකාරියක්‌ බවට හඳුන්වා ඇත.

මේ හිටපු කොටි ක්‍රියාකාරීන් පසුගියදා ප්‍රකාශයක්‌ කරමින් ලබන තයිපොංගල් දිනට පෙර තමන්ව නිදහස්‌ කිරීමට රජය ක්‍රියා නොකළහොත් ජනතා විප්ලවයක්‌ ඇති වන බව පවසා තිබේ.

වතුකරයේ සිටින දේශපාලඥයන්ද උතුරු නැඟෙනහිර දේශපාලකයන්ද ජනතාවද රජයේ තයිපොංගල් උත්සවය වර්ජනය කළ යුතු යෑයි ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත. මෙලෙස හිටපු ත්‍රස්‌තයන් නඟන වහසිබස්‌වලට රජය හිස නැමිය යුතුද? මෑතකදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙලෙස පවසා තිබුණි.

බූස්‌සේ රඳවා සිටින අයගේ මානසිකත්වය පරීක්‍ෂා කිරීමට අපි පරීක්‍ෂණයක්‌ පැවැත්වූවා. තමන්ගේ නායකයා ලබාදී ඇති ඉලක්‌ක සම්පූර්ණ කරනතුර තම අදහස්‌ ඉවත් වන්නේ නැති බව ඔවුන් පැවසුවා. ප්‍රභාකරන් සහ කොටි සංවිධානය පරාජය වූවත් ඔවුන්ට භාර දී ඇති ඉලක්‌ක කවදා හෝ ඉටු කරනවායෑයි ඔවුන් ප්‍රකාශ කළා. මේ සියලු වාර්තා යුද හමුදාවේ බුද්ධි අංශයේ තිබෙනවා. පොට්‌ටු අම්මාන්ගේ සෘජු උපදෙස්‌ මත මුළු කොළඹ ත්‍රස්‌තවාදී ක්‍රියා මෙහෙය වූ ගිරි සහ මොරිස්‌ යනුවෙන් හඳුන්වන දෙන්නෙක්‌ද රැඳවුම් භාරයේ සිටිනවා.

මේ දෙදෙනා අල්ලා ගැනීමට අපි විශේෂ පරිශ්‍රමයක්‌ දැරුවා. මරාගෙන මැරෙන ත්‍රස්‌තයන් වන්නියේ සිට කොළඹට ගෙන ආවේ මේ දෙදෙනායි. රජයේ සිටින කිසිම කෙනෙක්‌ මොවුන් ගැන දන්නේ නැහැ. අපි ඔවුන්ව අල්ලා ගන්න ඉමහත් වෙහෙසක්‌ දැරුවා.

මේවා මිනිස්‌සු බය කරන්න කියන දේවල් නොවෙයි. මේ ත්‍රස්‌තවාදය නැවත ඇති වන්නට හැකියාව තිබෙනවා. ප්‍රංශය, ඇමරිකාව වගේ තාක්‍ෂණය අතින් දියුණු රටවල පවා අද ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වෙනවා.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙලෙස පවසද්දී උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශයක්‌ කරමින් 2017 වසර තුළ යොමු වන්නේ අපගේ ඉලක්‌ක වෙත යෑයි කියා සිටියේය. යාපනයේ ග්‍රීන්ග්‍රාස්‌ හෝටලයේදී රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔහු ඒ බව පළ කළේය.

මේ ඉලක්‌ක කුමක්‌ද? මෙරට බහුතරයට ඒ ගැන අවබෝධයක්‌ නැතත් විග්නේශ්වරන්ලාගේ ඉලක්‌ක පැහැදිලිය.

එනම් 1. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර ගැනීම

2. රැඳවුම් භාරයේ සිටින සියලු කොටි නිදහස්‌ කර ගැනීම

3. පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කිරීම

4. උතුරට පෙඩරල් පාලනයක්‌ ලබා ගැනීම

5. උතුරින් හමුදාව ඉවත් කිරීම

6. වන්නි මෙහෙයුම දියත් කළ හමුදා නායකත්වයට දඬුවම් ලබාදීම සඳහා ජාත්‍යන්තරයට බලපෑම් කිරීම

මේ පසුබිම මැද දේශපාලන සිරකරුවන් යෑයි හඳුන්වමින් කොටි අපරාධකරුවන් මුදා ගැනීමට විග්නේශ්වරන් ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානය උත්සාහ කරන්නේ මන්දැයි තේරුම් ගත යුතුව ඇත.

නල්ලූර්හි මුරුගන් අම්මාන් කෝවිලේදී දෙමළ ජාතික සංසදය විසින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා කරුණු ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. එහිදී හෙළි වූයේ ස්‌වයංපාලන අයිතිය මත එකී කරුණු සකස්‌ වන බවයි. එසේ නම් දේශපාලන සිරකරුවන් යෑයි හඳුන්වමින් කොටි ක්‍රියාකාරීන් මුදා ගැනීමට උත්සාහ කරන්නේ කෝටිකාලීන නොව දිගුකාලීන ඉලක්‌ක සපුරා ගැනීමේ අවස්‌ථාව එනතුරු බව පැහැදිලි වෙයි.

මේ අතර නෝර්වේ විදේශ ඇමැති වූ බ්‍රෙන්ඩේ මෙරටට පා තැබූ විගස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් හමු වී සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී උතුරේ වාර්ගික අර්බුදයක්‌ ඇති බව කියමින් ඊට විසඳුමක්‌ ලබා ගැනීම හා දේශපාලන සිරකරුවන් යයි හඳුන්වන හිටපු කොටි ත්‍රස්‌තයන් මුදා ගැනීම ගැනද සාකච්ඡා පවත්වා තිබේ. මින් සනාථ වන්නේ නෝර්වේ රාජ්‍යය යළිත් මෙරට කටයුතුවලට මැදිහත් වීමයි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

මාතලේ මහ රෝහලේ වාට්ටුවකුත් වැසේ

colombotoday

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

colombotoday

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday