Entertainment

අහන්න ඕනෑදේවල් ඕනෑතරම් අහලා ඉවරයි. මම කවදාවත් කසාද බඳින්නේ නැහැ – උදයන්ති

පසුගිය දවසක උදයන්ති අසනීපවෙලා කියලා අපිට ආරංචියක්‌ ලැබුණා. ඒ ගැන දැනගන්න අපි උදයන්තිට කතා කළා.

උදයන්ති කොහොමද ඉතිං ?

වෙනදා වගේම ඔහේ ඉන්නවා. කියන්න තරම් විශේෂයක්‌ නැහැ.

පසුගිය දවස්‌වල අසනීප වුණා කියලත් ආරංචියි ?

ඔව්. මට ඩෙංගු හැදුණා.

රෝහල්ගත කළා කියන්නේ ඇත්තද?

ඔව්. පුද්ගලික රෝහලක නැවතිලා සතියක්‌ විතර ප්‍රතිකාර ගත්තා. මට ටිකක්‌ අමාරු වුණා.

දැන් සුවයිද?

දැන් නම් සුව අතට හැරිලා සාමාන්‍ය පරිදි වැඩකටයුතු කරගෙන යනවා. රූගත කිරීමකට ගිහිං හිටපු පළාතකින් තමයි හැදෙන්න ඇත්තේ කියලා හිතනවා.

ඒ වෙලාවේ ජීවිතය නැතිවෙයි කියලද හිතුවේ ?

ඩෙංගු කියන්නේ දැන් සාමාන්‍ය ලෙඩක්‌ බවට පත්වෙලයි තියෙන්නේ. එක එක්‌කෙනාගේ අපල කාල ආවහම ඔය වගේ ලෙඩ හැදෙනවානේ. මගේ මොකක්‌ හරි අපලයකට තමයි ඩෙංගු හැදෙන්න ඇත්තේ කියලා හිතෙනවා.

ක්‍ෂේත්‍රයේ අය උදයන්තිව බලන්න එහෙම ආවේ නැතිද?

මම කාටවත් ඩෙංගු හැදුණා කියලා කිව්වේ නැහැ. පවුලේ අය තමයි ආවේ.

මේ දවස්‌වල මොනවාද කරන්නේ ?

බොහීමියානුවා ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට දායකවෙලා ඉන්නවා. ඒ වගේම මම දායක වුණ සිංග මචං චාලි චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩකටයුතුවලටත් දායක වෙලයි ඉන්නේ.

රංගන ජීවිතය ගැන මොකද හිතන්නේ?

මම තෘප්තිමත්. ඒ වගේම රඟපෑමට මම ආදරෙයි. මඩ ප්‍රහාර වගේම ජනප්‍රියත්වය කියන දේවල් ලැබිලා තියෙන්නේ රංගනය හින්දානේ. ඒක හින්දා මම රඟපෑමට කැමැතියි. මොන දේ වුණත් මගේ ජීවිතයේ කලාව නම් නැතිවෙන්නේ නැහැ. අදටත් මට රඟපෑමට ආරාධනා ලැබෙනවා. ඒක හින්දා මම මැරෙනකම් රඟපාන එක නම් නතර කරන්නේ නැහැ.

උදයන්ති රඟපෑමට සමුදෙන්න සූදානමක්‌ නැහැ ?

කවදාවත් නැහැ. රඟපෑමෙන් ලැබුණ හැමදේම වගේම නැතිවුණ හැමදේම ළඟ තියාගෙන ජීවිතය ගලාගෙන යනවා.

පසුගිය කාලයේ ඇයි මේ වැඩිය මාධ්‍ය ඉදිරියට ආවේ නැත්තේ ?

මම දිගටම රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. ඒ කාලේ ඉඳන්ම මම කොහොමත් නාලිකාවන්වල සජීවී වැඩසටහන්වලට සහභාගි වෙනවා අඩුයිනේ. අනික මම එච්චර ආසා නැහැ ඔය වැඩසටහන්වලට පෙනී ඉන්න.

වැඩි ජනප්‍රියත්වයට අකැමැතියි ?

එහෙම නෙමෙයි. කොහොමටත් මට ආරාධනා ලැබුණෙත් නැහැ. එතකොට බලෙන් යන්නත් බැහැනේ. මොකක්‌ හරි නිර්මාණයක්‌ කළොත් සජීවී වැඩසටහනකට සහභාගිවෙනවා. එහෙම නැතිව නිකං වැඩසටහන්වලට පෙනී ඉන්න කැමැත්තක්‌ නැහැ.

උදයන්ති ඔබේ ජීවිතය දකින්නේ මොන විදිහටද?

ඇත්තටම මගේ ජීවිතයට මොනවා වෙනවාද කියලා මටවත් හිතාගන්න බැහැ. කාලය, දෛවය, දෙවියෝ මොනවා මගේ ජීවිතයට ළඟාකරලා දෙනවාද මන්දා. අද හිටියා හෙට මැරෙයිද දන්නෙත් නැහැ. ජීවිතය ගැන මට දැන් කිසිම දෙයක්‌ කියන්න තේරෙන්නේ නැහැ.

ජීවිතය ගැන කලකිරිලාද ඉන්නේ ?

මේ පුංචි වයසට කවුරුත් මුහුණ නොදීපු ප්‍රශ්නවලට මුහුණදීපු හින්දා ජීවිතයේ කලකිරීම් ඇතිවෙලා තියෙනවා. ඒක හින්දා කලකිරීම් කියන එක සාමාන්‍ය දෙයක්‌ බවට පත්වෙලයි තියෙන්නේ.

ප්‍රශ්නවලට බයද?

ප්‍රශ්න ඇතිවෙන්නේ මිනිස්‌සුන්ටනේ. ප්‍රශ්න කියන දේවල් ඇතිවුණහම ඒවා ජීවිතයට හොඳ අත්දැකීම් බවට පත්වෙනවා. ඒවා මගේ රංගන ජීවිතයට අවසානයේ ප්‍රයෝජනයට ගත හැකි වෙනවා. අත්දැකීම් ලබන්න ලබන්න ජීවිතය ලොකු පන්නරයක්‌ ලබනවා කියලයි මට හැඟෙන්නේ.

ඔබ රඟපෑ ටෙලිනාට්‍ය තුනක්‌ පසුගිය කාලයේ විකාශනය වුණා ?

ඇත්තටම සතුටුයි. මම මෙතැනට ඇවිත් දැන් අවුරුදු දහයක්‌ විතර වෙනවා. ඒ කාලය තුළ මම රඟපෑ මොකක්‌ හෝ නාට්‍යයක්‌ විකාශනය වෙනවා. ඒක හින්දා මම කලාවෙන් ඈත්වෙලා නැහැ.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණාද?

නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. හැබැයි පිළිවෙළකට කරනවා නම් විතරයි සහභාගිවෙන්න හිතාගෙන ඉන්නේ.

ටෙලිනාට්‍යවලයි, චිත්‍රපටවලයි පෙම්වතිය විදිහට රඟපෑවා ඇති කියලා හිතෙන්නේ නැතිද?

අයියෝ එහෙම හිතෙන්නේ නැහැ.

සැබෑ ජීවිතයේ පෙම්වතියක්‌ වෙන්න අදහසක්‌ නැතිද?

මාධ්‍ය හැමදාම අහන්නේ කසාද බඳින්නේ කවදාද කියලා. එදත් කිව්වේ නැහැ කියලයි. අදත් කියන්න තියෙන්නේ නැහැ කියලා. මම පෙම්වතියක්‌ නෙමෙයි.

විවාහ වෙන්න අදහසක්‌ නැහැ ?

ඇත්තටම මම විවාහවෙන එකක්‌ නැහැ.

විවාහවෙලා පවුල් ජීවිතයක්‌ ගතකරන්න අකමැතිද?

දැන් ඉතිං වයසත් යනවානේ. ඉතුරු ටිකක්‌ ඔහොමම ගලාගෙන යාවි. තවත් ජීවිතයේ මොනවා හරි දේවල්වලට මුහුණදීලා එහෙම්ම ගලාගෙන යාවි.

ජීවිතය එපාවෙලාද?

නැහැ. මට හිතාගන්න බැහැ ඇයි මටම මේවා වෙන්නේ කියලා. අහන්න ඕනෑදේවල් ඕනෑතරම් අහලා ඉවරයි. බුදුදහමට අනුව පෙරකළ පව් තමයි මේ පලදෙනවා ඇත්තේ. හැබැයි මේ ආත්මයේ නම් මම පව්කරලා නැහැ.

– මීවිත –

Related posts

ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… සබකෝල සබන්බෝල

colombotoday

“ඔබ මා හමුවුනදා” හින්දියෙන්

colombotoday

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday

අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’

colombotoday

හොලිවුඩ් සිනමාවේ මීළග සුපිරි වීරයා – Video

colombotoday

දෙරණේ චතුර මනමාලිව වඩාගන දාපු ජෝගිය මෙන්න

colombotoday