Colombo Today Local News

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

hgtyy23

මෙරට ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩකිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් ‘ථෙරවාදී භික්ෂු කතිකාවත්’ නමැති පනත් කෙටුම්පත ගැන සංඝ සමාජයෙන් ප්‍රතිචාර ලැබෙමින් තිබේ.
භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩකිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් ‘ථෙරවාදී භික්ෂු කතිකාවත්’ නමැති පනත් කෙටුම්පතක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අප කළ විමසීමකදී භික්ෂුන් වහන්සේ කිහිප නමක් සිය අදහස් පළ කළ අතර එහි යහපත් මෙන්ම අයහපත් තත්ත්වයන් ද ඇති බව උන්වහන්සේලා පෙන්වාදෙන ලදී.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්.

“බුදුන් දේශනා කළ මාර්ගයට වඩා ‍වෙනත් මාර්ගයක යාම නිසා මේවන විට භික්ෂූන් වහ‍න්සේ ජනතාව අප්‍රසාදයට පත්වෙලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් සිදුකරන නිසා වාණිජ කරණයට ලක්වෙලා. මේ ක්‍රියාවන්ගෙන් භික්ෂූන් වහන්සේ මුදාගෙන භික්ෂු සමාජය නිවැරදි මඟට ගත යුතුයි. බුදුන් වහන්සේ දේශනා කළ “බහුජන හිතාය බහුජන සුඛාය” බුදුවදනට අනූව විනය ක්‍රියාමාර්ග ගන්න වෙලා තියෙනවා. මේ නිසා මේක කාලීන අවශ්‍යතාවයක්.”

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමියන්.

“නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැති රටක, නීතිය ක්‍රියාත්මක කරන අය අවනීතියෙන් වැඩ කරන රටක, බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පනවන්නට යන නීති රීති වල අරමුණ කුමක්ද? මේ අරමුණ මේ කාගේ උවමනාවක්ද? කිසියම් කතිකතාවතක් පනවා නම් මේ ගැන ඒ නිකායවල සිටින මහනායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කළ යුතුයි. උන්වහන්සේලා එකමුතුවෙන් සම්මත කරගත්‍ දේ පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගත්තාට කමක් නෑ. මේ කරන්න යන්නේ ශීලාචාර ක්‍රමයට ද අශිලාචාර ක්‍රමයට ද කියලා වර්තමාන රජය ජනතාවට පැහැදිලි කළ යුතුයි.”

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්.

“මෙකේ තියෙන ඇතැම් කරුණු වලට මා අපක්ෂපාතියි නමුත් මේකේ සඟවා තියෙනවා බරපතළ අදහසක්, ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේට අකැප අයුරින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා තිබෙනවා. මේක ඉතාම බරපතළයි. මොකද ජාතික හෝ ආගමික වැඩකදී භික්ෂූන් වහන්සේ තමයි රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් එවැනි කටයුතු වැළැක්වීම මෙහි යටිඅරමුණද? මේ විදියට බරපතළ මැඩපැවැත්වීමකටයි එන්න හදන්නේ. ඒ නිසා ඒකට දැඩි ලෙස විරුද්ධයි.”

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සංඝ සම්මේලනයේ මහලේකම් පූජ්‍ය ආනන්ද සාගර හිමියන්.

වත්මන් දේශපාලන තන්ත්‍රයත්, ශාසනික පාලන තන්ත්‍රයත් දෙකම පවතින්නේ එකම තලයක කියලයි අපිට තේරෙන්නේ. ප්‍රධාන මහනායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා, නිකායවල ස්වාමින් වහන්සේලා ප්‍රධාන ඇමතිලාගේ තත්ත්වයත් දෙකම එකයි. මොකද රටේ දැවෙන ප්‍රශ්නයකදී, සම්බුද්ධ ශාසනයේ තියෙන ප්‍රශ්නයකදී, ජාතික ප්‍රශ්නයකදී ඒ අය නිහඬයි. ඒ වේලාවට ඉදිරියට එන්නේ ඒ වෙනුවෙන් කතා කරන්නේ ස්වාමින් වහන්සේලා. මේ කරන්න යන වැඩෙන් විහාරාධිපති තත්ත්වයත් අහෝසි වෙන්න නැතිවෙන්න පුළුවන්. ඉතින් මේ ගැන මහනායක ස්වාමින් වහන්සේලා සමගත් සාකච්ඡා කරන්න ඕන. මේ ඉන්න තිස් හතළිස්දාහක් ස්වාමින් වහන්සේත් ශාසනයත් අන්තරස්දාන වෙයි නැතිනම්.

ඊයේ ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත අනූව ස්වාමින් වහන්සේලා ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියැලීම හෝ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම තහනම් වන අතර ඒ සඳහා දඬුවම් ලබාදිය හැකිය.

එසේම වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම, රියැදුරු බලපත්‍රයක් ගැනීම හා වාහන පැදවීම ද දඬුවම් ලැබිය හැකි වැරදිය.

ථෙරවාදී භික්ෂූන්ට අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් කටයුතු කිරීම ද දඬුවම් ලැබිය හැකි වැරදිවේ.

එමෙන්ම එලෙස සිදු කරන උල්ලංඝණ සඳහා දඬුවම් 07ක් පනත මගින් යෝජනා කර ඇති අතර අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව හෝ ස්ථිරව ඉවත් කිරීම, ශිෂ්‍යභාවයෙන් ඉවත් කිරීම, අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම හෝ භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීම ඊට අයත්ය.

මෙම කෙටුම්පතට අනුව එක් එක් ථෙරවාදී භික්ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතක් සකස් කර සම්මත කරගත යුතුවේ.

ඉන් අනතුරුව එය එකී නිකායේ හෝ පාර්ශ්වයේ මහනායක හිමියන් විසින් අත්සන් කළ ප්‍රකාශයක් ද සමග බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලියාපදිංචිය සඳහා යොමුකළ යුතුය.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් එය විශේෂඥ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ යුතු අතර, මෙම විශේෂඥ මණ්ඩලයට බෞද්ධ භික්ෂූන් වහන්සේලා තුන් නමකගෙන් සහ බෞද්ධ භික්ෂූන් වහන්සේට අදාළ විනය රීති පිළිබඳ දැනුමැති නීතිඥවරුන් දෙදෙනෙකුගෙන් සමත් විය යුතු බව අදාළ කෙටුම්පතෙහි දක්වා ඇත.

ලියාපදිංචියෙන් පසුව මෙම කතිකාවතේ සියලු විධිවිධාන එකී පාර්ශ්වය හෝ නිකායන් හි සෑම භික්ෂූන් වහන්සේ නමකටම අදාළ විය යුතු බවත්, සෑම භික්ෂූන් වහන්සේ නමක් විසින්ම දැඩිව පිළිපැදිය යුතු බවත් ඊට අනුකූල ව හැසිරිය යුතු බවත් පනත් කෙටුම්පතෙහි සඳහන්ය.

මෙම පනත් කෙටුම්පතෙහි සඳහන් විධිවිධාන කඩකළහොත් අදාළ නිකාය හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, චෝදනා ලත් භික්ෂූන් වහන්සේට ද අදහස් දැක්වීමට අවස්ථාව හිමිය.

චෝදනාවලට වැරදිකරුවන භික්ෂූන් වහන්සේට පෙර සඳහන් කළ දඬුවම් ද, එම දඬුවම් ප්‍රතික්ෂේප කරන්නේ නම් භික්ෂුව මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කර රුපියල් 50,000ට නොඅඩු දඩයක් හෝ මාස 06ක සිර දඬුවම් ලබාදීමට හෝ එම දඬුවම් දෙකමද ලබාදිය හැකි ය.

එලෙස වරදකරු වූ භික්ෂුවක වෙනත් නිකායක් හෝ පාර්ශ්වයක් මගින් බාරගැනීම නොකළ යුතු බවත්, භික්ෂුවක් ලෙස ලියාපදිංචි නොකළ යුතු බවත් පනතේ වැඩිදුරටත් සඳහන් ය.

අදාළ පනත ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා සමග සිදු කළ සාකච්ඡාවකින් පසුව ඉදිරිපත් කර ඇති බව පැවසෙන අතර, මේ පිළිබඳ දෙවැනි වර කියැවීම ඉදිරියේදී දැනුම් දෙන බව සභානායකවරයා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම්දී තිබිණ.

adaderana

Related posts

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

සම්පායෝ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් නියෝග

colombotoday

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday