Colombo Today Local News

දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය විහිදයේවා !

“අස්වැන්න නෙලීමේ උත්සවය” යන අරුත් දෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරනු ලැබේ.

වසර 2000කට වඩා පැරණි මෙම උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතී. මෙහිදී තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබේ.

තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුබ පැතුම් පණිවිඩය

”මිනිසා සහ සොබාදහම අතර චිරාත් කාලීනව පවත්නා අවියෝජනීය සබඳතාව වඩාත් ආකර්ෂණීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙසින් තෛපොංගල් උත්සවය හැඳින්විය හැකිය. මෙම උත්සවය වඩාත් උත්කර්ෂවත් වන්නේ, මිනිසා මිහිකත කෙරෙන් ලබන්නා වූ සුපෝෂණය වෙනුවෙන් ඔහු විසින් පෙරළා සමස්ත සොබාදහම වෙනුවෙන් පිරිනමන්නා වූ කෘතවේදීත්වය ද සොබාදහමේ අසහාය බලවතා ලෙසින් සලකන සූර්යයා වෙනුවෙන් දක්වන්නා වූ අසීමිත භක්තිය ද මෙම උළෙල තුළ නිරූපිත බැවිනි.

කෘෂිකාර්මික ජීවිතයට අනුගත වන මිනිසා මානව පුරාණයේ දුර ඈතක සිට අද දක්වා තෛපොංගල් වැනි උත්තම උත්සව රැුගෙන පැමිණියේ අන්‍යෝන්‍ය ගෞරවය, සාමූහික ගුණය සහ පොදු සමාජ සම්මුතීන් කෙරෙහි ද දැඩිව බැඳෙමිනි. එදවස ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කරවන්නට මෙබඳු උත්සව මහත් අනුබලයක් වූයේය. වර්තමානයෙහි අපගේ යුතුකම සහ වගකීම වනුයේ සොබාදහමට පූජනීයත්වයෙන් සලකන සමාජ උන්නතියට ද, සමාජ සහජීවනයට ද නන් අයුරින් දායක වන අතීත උරුමයන් එකී රුව ගුණ තේජස සමග අනාගතයට රැගෙන යාමය.

ජාතියක අනන්‍යතාවය ද, නොකිළිටි සංස්කෘතික උරුමය ද දිදුළන්නා වූ තෛපොංගල් උත්සවය, වසර දහස් ගණනක් මුථල්ලේ පැවත ආ ආකාරයටම අද දවසේ ද පැවතීම තුළින් විදහා දැක්වෙන්නේ එය, වෙනස් වන කාලය හමුවේ විපරීතයන්ට ලක් නොවූ බවකි. එහි විශිෂ්ටත්වය ද එයම වන්නේය.

අපගේ සහෝදර ජනතාවගේ ආධ්‍යාත්මය සමග දැඩිව බැඳී පවතින තෛපොංගල් උත්සව දිනයේ ඔවුන් විසින් උතුරවන කිරි දියර සේ මනුෂ්‍යයින් වෙත මනුෂ්‍යයින්ගේ ආදරය ද, දැල්වෙන පහන් වැටි ඔස්සේ අඳුර දුරුවී සැබෑ සහජීවනයේ ආලෝකය ද විහිදයේවා යි ආශිංසනය කරන අතර ඔවුනට සුබ තෛපොංගල් දිනයක් වේවායි ද ප‍්‍රාර්ථනය කරමි.”

තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් පණිවිඩය

නව වසරක ඇරඹුම නව ප්‍රාර්ථනා, අරමුණු ගොඩනගා ගනිමින් ජීවිතය පිළිබඳ නවමු අපේක්ෂා දල්වා ගනිමින් ඉදිරිය දකින්නට ලැබෙන වටිනා අවස්ථාවක් ලෙස මම දකිමි.

ලොව පුරා දමිළ ජනතාව තෛමාසය නොහොත් දුරුතු මාසයේ පවත්වන තෛපොංගල් උත්සවය ආගමිකල සංස්කෘතික සහ සමාජයීය වශයෙන් අතිශය වැදගත් අසිරිමත් උත්සව අවස්ථාවකි. එම ජනතාවගේ අස්වනු මංගල්‍යය ද වන මෙම උළෙල සූර්ය වන්දනාවට ප්‍රමුඛත්වයක් දෙන බැවින් සූර්ය මංගල්‍ය සැමරුම ද වේ. මෙදින සූර්යඋදාවත් සමඟ දමිළ ජනතාවට නව වසර උදා වේ.

හිරු දෙවියන් විසින් ජීවිතය ලබා දෙන බව සිහිපත් කරමින්, තම පළමු අස්වැන්න කෘතවේදීව හිරුට පුද කිරීම ද, අස්වැන්න සරුසාර කිරීමට උරදුන් වර්ෂාව, ගව මහීෂාදී සතුන් ඇතුළු සමස්ත සොබාදහමට තුති පිදීම ද මෙදින සිදු වේ.

සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින්, ගරු කරමින් සමඟියෙන්, සහජීවනයෙන් ජීවත් වන්නට අවැසි වටපිටාව ගොඩනැගෙමින් පවතින අවස්ථාවක, තෛපොංගල් උත්සවය සමානාත්මතාවයට ගරු කරන, කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට අප සැමට ඇරයුම් කරයි.

Related posts

සිනී ජාවාරමට හවුල් බවට චෝදනා එල්ලවූ නුෂාඩ් පෙරේරා සතොස සභාපති ධුරයෙන් දොට්ට දමයි

colombotoday

(VIDEO) හමුදා ආරක්ෂක බලඇණිය හිටපු සේනාධිනායකයාගේ දෙපා වැඳ සමුගනී

colombotoday

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ ජනතාවට දැනුම්දීමක්

colombotoday

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

colombotoday