Colombo Today Local News

“දෙමළ/මුස්ළිම් ජනතාවට අයිවාසිකම් ලැබී නෑ.. ආයුධ ගෙන ඔවුන් සටන් කළේ ඒ නිසයි“ – චන්ද්‍රිකා

chandrika

ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සදහා සමගියෙන් කටයුතු කළ දෙමළ ජනතාව නිදහස ලැබීමෙන් පසු, තම අයිතිවාසිකම් නොලැබුණු හෙයින්, තම අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කරන ලද බව හටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

හිටපු ජනපතිනිය මේ බව ප්‍රකාශ කළේ (15) දා යාපනය රාමනාදන් විදුහලේ පැවති තෛපොංගල් උත්සවයට සහභාගී වෙමිනි.

නිදහසින් පසු දෙමළ හා මුස්ලිම් ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම් නොලැබුණු බවත්, එම හේතුවෙන් උතුරු නැගෙනහිර ජීවත් වූ දෙමළ ජනතාව එක්ව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ බවත් පැවසූ ඇය වැඩිදුරටත් සදහන් කළේ එම ජනතාව ආයුධ අතට ගෙන සටන් කළේ තම අයිතිවාසිකම් වෙනුවෙන් මිස මිනිසුන් ඝාතනය කිරීමේ කැමැත්තෙන් නොවන බව තමන් දන්නා බවයි.

රටේ නිදහස වෙනුවෙන් කටයුතු කළ සිංහල මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාව තමන්ට ප්‍රමාණවත් බලතල ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණද දෙමළ සහ මුස්ලිම් ජනතාවට එම අයිතිවාසිකම් ලබා දීමට කටයුතු නොකළ බවත් එබැවින් ආයුධ සන්නද්ධ යුද්ධයකට මග පෑදුණු බවත් හිටපු ජනපතිනිය සදහන් කළාය. එසේ අනපේක්ෂිත ලෙස ඇතිවූ යුද්ධය හේතුවෙන් දෙමළ ජනතාව බරපතල ලෙස පීඩාවට පත්වූ බවත්, ජීවිත අහිමි වූ බවත් එමෙන්ම සිංහල ජනතාවත් එලෙසම පීඩාවට පත්වූ බවත් ඇය පැවසුවාය.

“මෙම අනවශ්‍ය යුද්ධය හේතුවෙන්, වැඩි වශයෙන් පීඩාවට පත්වුණේ දෙමළ ජනතාවයි. හමුදාව සහ කොටි සංවිධානයට මැදිවී ජනතාව බොහෝ ලෙස පිඩාවට පත්විය. අධ්‍යාපනය, සංස්කෘතිය යන සියල්ල මෙම ප්‍රදේශයන්හි බිඳ වැටුණි. ඔවුනොවුන්ට සංස්කෘතියක් ඇත. එයට සියළු දෙනා ගරුකර එය නඟාසිටුවිය යුතුය. අපගේ රුධිරයෙහි වෙනසක් නැත. එබැවින් අප එකම ජනතාවක් ලෙස සිටිය යුතුය. ශ්‍රී ලංකාව යනු එක් රටකි. එහි ජාති, ආගම්, භාෂා භේදයක් නැත. එකම ජනතාවක් යන අදහසින් කටයුතු කළ යුතුය” යනුවෙන් ඇය වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළාය.

දෙමළ සහ මුස්ලිම් ජනතාවට අයිතිවාසිකම් ලැබී නොමැති බව දමිළ සහ මුස්ලිම් දේශපාලන නායකයින් පවසති. චන්ද්‍රිකා කුමාරතුංග වැනි අය උතුරට ගොස් එම අදහස්වලට තව තවත් ගිනි අවුලවති. නමුත් මේ රටේ සිංහල ජනතාවට ඇති, දෙමළ හා මුස්ලිම් ජනතාවට අහිමි අයිතිවාසිකම් මොනවාදැයි ඔවුන් කිසිවිටෙක නොකියති. සිංහල දමිළ මුස්ලිම් භේදයකින් තොරව සියළුම පුරවැසියෝ මෙරට නිදහස් අධ්‍යාපනයේ, නිදහස් සෞඛ්‍ය සේවයේ ඇතුළු රජයෙන් නොමිළේ ලැබෙන සියළු වරප්‍රසාද වල ප්‍රතිඵල සමසේ භුක්තිවිදිති. දේශපාලනයේ, පාලන තන්ත්‍රයේ අවශ්‍ය ප්‍රමාණයට ඔවුනට ඉඩකඩ සැලසී ඇත. කොටින්ම වෙනම රටක්, වෙනම කළාපයක් හැර සිංහල ජනතාවට ලබන සියළු පුරවැසි අයිතිවාසිකම් මෙරට දෙමළ හා මුස්ලිම් ජනතාවට ලැබී ඇත. යතාර්ථය එයයි.

එවැනි පසුබිමක වර්ගවාදී අවස්ථාවාදී සිංහල, දමිළ, මුස්ලිම් දේශපාලකයන් කියන ආකාරයේ දමිළ හා මුස්ලිම් ජනතාවට නොලැබුණු සිංහල ජනතාවට පමණක් ලැබුණු විශේෂ වරප්‍රසාදයන් කවරේද? සිංහල දමිළ මුස්ලිම් පොදුවේ මෙරට සමාන්‍ය ජනතාවට ඇත්තේ එකම ප්‍රශ්නයකි. ඒ බඩගින්න පිළිබද ප්‍රශ්නයයි. තම දරුවාට උසස් අධ්‍යාපනයක් ලබා දීම පිළිබද ප්‍රශ්නයයි. තම වගාවට ගොවි බිමට අවශ්‍ය පහසුකම් ලබාගැනීම පිළිබද ප්‍රශ්නයයි. සිංහල දමිළ මුස්ලිම් සාමාන්‍ය මහජනතාව පොදුවේ එක හඩින් ඉල්ලන්නේ පුරවැසියන් වශයෙන් ලැබිය යුතු අයිතිවාසිකම් මිස තම ජාතියට විශේෂ වරප්‍රසාද හෝ අයිතිවාසිකම් නොවේ.

එවැනි තත්ත්වයක් තුළ දෙමළ ජන සමාජය පවා විනාශයට ඇද දැමූ වර්ගවාදී බෙදුම්වාදී ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදය යම් මට්ටමකින් සාධාරණීකරණය කරමින් අනිත් පසින් ජාති ආගම් බේධ එපායැයි පවසන චන්ද්‍රිකා මැතිණිය වැනි අය කරන්නේද ජාතිවාදයේ විශබීජ තව තවත් රෝපණය කිරීම මිස සංහිදියාව ඇති කිරීමක් නොවන බව මෙරට පොදු ජනතාවගේ අදහසයි.

Related posts

මැතිවරණ කොමිෂන් සභාව අදත් රැස්වෙයි

Admin

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

ජනපති නිවස අසල විරෝධයෙන් මිලියන 39ක පාඩුවක්

colombotoday

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

colombotoday

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday