Colombo Today Local News

බ්‍රිතාන්‍ය ඇමති ළග තබාගෙන විග්නේශ්වරන් හමුදාවට බැනවදී, ආක්‍රමණික හමුදාවක් බව කියයි!

vigneshvaran with british fm

උතුරු ප්‍රදේශය අල්ලාගත් හමුදාවක 1,50000 ක සන්නද්ධ භටයන් නිසා සාහසික ක්‍රියාවලට අඩිතාලම වැටී ඇතැයි උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් යාපනයේ තෛපොංගල් උත්සවය අමතා ප්‍රකාශ කර ඇත.

රජය උතුරු පළාත් සභාවේ කටයුතුවලටද මැදිහත් වෙනවා. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර නැහැ යයි ඔහු චෝදනා කළේය.

හමුදාව අපේ ඉඩම් ගත්තා. අපේ ජීවනෝපාය ගත්තා. අපේ සම්පත් ඩැහැ ගත්තා. අපේ වැන්දඹුවන්ටත් තර්ජනයක්‌ වෙලා යයි විග්නේශ්වරන් සඳහන් කළේය.

විග්නේශ්වරන් මේ ප්‍රකාශයක්‌ කරද්දී බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌පිරේද වේදිකාවේ අසුන්ගෙන සිටියේය මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් උතුරු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ කොටසක්‌ද නැද්ද යන්නයි.

ශ්‍රී ලංකාව නැමැති රට කාගේද යන බරපතල ප්‍රශ්නය දැන් පැන නැඟê ඇත. පසුගියදා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ ලබන ජුනි මසට පෙර ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියේය.

ඊළඟට මෙරටට එන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය.

මොහු මෙරටට එන්නේ කුමක්‌ සඳහා ද? ඒ පසුගිය ඔක්‌තෝම්බර් මස ජිනීවාහිදී සම්මත වූ යෝජනාව ප්‍රකාර රජය කටයුතු කර තිබේද යන්න විමර්ශනය කිරීමටය.

ඔහු යාපනයට ගොස්‌ ද්‍රවිඩ සන්ධාන නායකයන් හමු වී සාකච්ඡා කිරීමටද නියමිතය. එහිදී ද්‍රවිඩ සන්ධානය ත්‍රස්‌තවාදී සිරකරුවන් නිදහස්‌ කිරීමට හා උතුරින් හමුදාව ඉවත් කිරීමට රජය ක්‍රියා නොකරන බවට සෙයිද් රාද් හුසේන්ට පැමිණිලි කරනු ඇත. එසේම රජය ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර නැති බවටද පවසනු නියතය.

මේ පසුබිම මැද විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සංසදය පෙඩරල් පාලනයක්‌ ඉල්ලයි. මුස්‌ලිම් කොන්ග්‍රසයද බලය ඉල්ලා සිටී. උඩරට දේශපාලකයන්ද වතුකරයට බලතල අවශ්‍ය බව කියා සිටී.

මේ නිසා කොටි පරාජය කිරීමට හමුදා සෙබළුන් 6000 කට අධික සංඛ්‍යාවක්‌ දිවි පිදුවේ ද්‍රවිඩ සන්ධානයට බන්දේසියක තබා බලය දීමටද? අපිට බලය නැතිව වැඩක්‌ නැහැ. යෑයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත. අපිට යුක්‌තිය අවශ්‍ය බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් කියා සිටී.

එසේම ද්‍රවිඩ ජනතාවට සම තත්ත්වය අවශ්‍ය බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් ප්‍රකාශ කර ඇත. තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ කළ යුතු බව කියයි. උතුරේ තවත් පිරිසක්‌ මයිලඩ්ඩි වරාය තමන්ට අවශ්‍ය බවද පවසා ඇත.

මේ වාතාවරණය මැද ශ්‍රී ලංකා හමුදාව ප්‍රතිසංවිධානය කළ යුතු බව බ්‍රිතාන්‍ය රජය කියා සිටී.

මේ හැර රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කාරීහු ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලා සිටී.

එහෙත් සෙබළුන් 6000 කට අධික පිරිසක්‌ සිය වර්තමානය හා අනාගතය පුද කළේ මෙවන් පාර්ශ්වවලට සියලු ඉල්ලීම් දීමටද?

යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට දේශීය යාන්ත්‍රණයක්‌ පිහිටුවිය යුතු යෑයි හඬ නඟන පාර්ශ්ව ප්‍රභාකරන් සහ ඔහුගේ අනුගාමිකයන් සිදු කළ යුද අපරාධ අද සැමටම අමතක වී ඇත.

මේ තත්ත්වය මැද විවිධ කොටි නිදහස්‌ වෙති. පසුගියදා ත්‍රිකුණාමල පොල්මුඩේ ප්‍රදේශය භාරව සිටි කොටි නායක ජෙයිහුයින් සුබසිර් නිදහස්‌ විය. මොහු අහිංසකයකු යෑයි කිව හැකිද?

මේ පසුබිම මැද ස්‌විට්‌සර්ලන්තය සහ දකුණු අප්‍රිකාවේ සිට පෙඩරල් ක්‍රමය සම්බන්ධ විශේෂඥයන් පිරිසක්‌ මෙරටට පැමිණ ඇත. ඔවුන්ව මෙරටට ගෙන්වා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයකි. මෙම විශේෂඥයන් උතුරට ගොස්‌ ද්‍රවිඩ සන්ධාන නායකයන් හමු වී පෙඩරල් ක්‍රමය ගැන සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇත.

මෙලෙස උතුරු නැඟෙනහිරට පෙඩරල් ක්‍රමය දීමට නම් 6000 කට අධික රණවිරුවන් දිවි පිදුවේ කුමකටද?

මේ අතර වසර 30 ක්‌ තිස්‌සේ ප්‍රභාකරන් සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කළ යුතු යෑයි කිසිම පාර්ශ්වයකින් හඬක්‌ නැඟෙන්නේ නැත.

මෙරටට පැමිණෙන විදේශිකයන් උතුරට ගොස්‌ ද්‍රවිඩ සන්ධාන නායකයන් හා විග්නේශ්වරන් හමු වී උතුරේ තත්ත්වය විමර්ශනය කරනවා මිස ප්‍රභාකරන් නිසා දකුණේ ජනතාවට සිදු වූ විපත් ගැන විමසන්නේ නැත.

මෙයට කලකට පෙර උතුරට පැමිණි ඇමරිකානු තානාපති නිලධාරිනියක්‌ වූ සමන්තා පවර් හිටපු කොටි ත්‍රස්‌තයන් වසර 8 ක්‌ තිස්‌සේ නඩු නැතිව සිර භාරයේ රඳවා තැබීම ගැන විශ්මයට පත් වූ බව වාර්තා විය.

එහෙත් බින් ලාඩන්ගේ ආරක්‍ෂක නිලධාරියාව චෝදනා නැතිව වසර 13 ක්‌ ගුවන්තනාමෝවේ සිරකඳවුරේ රදවා තබා ගත්තේ මන්දැයි ඇගෙන් විමසීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.

මේ අතර උතුරට ගිය බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සමඟ සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා හමුදාව උතුරේ අත්පත් කර ගෙන ඇති බව කියන ඉඩම් ගැනය.

එසේම උතුරේ සාහසික කටයුතුවලට මූලික හේතුව වී ඇත්තේ යුද හමුදාව උතුරේ ස්‌ථානගතව සිටීම බවද විග්නේශ්වරන් පවසා ඇත.

මේ තත්ත්වය මැද ස්‌විරේද ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධ චෝදනා ගැන ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුත්තේ විදේශ පාර්ශ්ව සමඟ බව දන්වා තිබේ.

එහෙත් බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිට ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වීමට ඇති හිමිකම ගැන කිසිවෙක්‌ ප්‍රශ්න කර නැත.

මේ අතර පසුගිය සිකුරාදා යාපනයේ පැවැති තයිපොංගල් උත්සවය අමතමින් උතුරු මහ ඇමැති විග්නේශ්වරන් උතුරේ සිටින හමුදාව හඳුන්වනු ලැබුවේ උතුරු අල්ලා ගත් හමුදාවත් ලෙසිනි. 150000 ක භටයන් උතුරේ සිටින බව ඔහු කියා සිටියේය. මොවුන් නිසා යුද වැන්දඹුවන්ට තර්ජනයක්‌ එල්ල වී ඇති බවද හෙතෙම පල කළේය.

විග්නේශ්වරන් මේ ප්‍රකාශයක්‌ කරද්දී බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌පිරේද වේදිකාවේ අසුන්ගෙන සිටියේය මෙහිදී නැගෙන ප්‍රශ්නය නම් උතුරු ප්‍රදේශය ශ්‍රී ලංකාවේ කොටසක්‌ද නැද්ද යන්නයි.

කීර්ති වර්ණකුලසූරිය

 

Related posts

රතන හිමි සමග නොමග ගිය විමල් – ගම්මන්පිල දොට්ට ? කැබිනට් සංශෝදනයට ජනාධිපති සුදානමින් ?

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වසර පහක නිවාඩු කපා හැරීමට සැලසුම්

colombotoday

ලක්ෂ 10ක් මාසික පඩියක් ගන්නා 190ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ… කෝප් වාර්තාවෙන් හෙලිවෙයි…

colombotoday

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

colombotoday

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday