Colombo Today Local News

සැමියා තට්ටු 3න් පහලට තල්ලු කරනවා ඇස් දෙකෙන් දැක්කා කියා දුන් සාක්ෂිය පොලිස් පොත්වල නෑලු? [Video]

amilipitiya merder
ඇඹිලිපිටිය පොලීසිය සමග ඇතිවූ ගැටුමේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණය පිළිබදව නීතිය සාධාරණව ඉටු ‍නොවන බව ඔහුගේ බිරිද සශිකා නිශාමනී මහත්මිය පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවසුවේ තමන්ගේ සැමියා මහල් තුනකනි බිමට තල්ලු කරන අයුරු තමන් ඇස් දෙකෙන්ම දැක්ක බවට දුන් සාක්ෂිය කිසිදු තැනක ලියා නැතැයි පොලීසිය පවසා ඇති බවයි.

එහිදී ඇය වැඩිදුරටත් දැක්වූ අදහස්

“අපේ ගෙදර ඉස්සරහ ගොඩනැඟිල්ලේ උත්සවයක් තිබුණා. අපිටත් ආරාධනා ලැබුණා. මට දරුවකු ලැබෙන්න සිටි නිසා මහත්තයා උත්සවයට ගිහින් හිටියා. රෑ 11.15 ට විතර දුව නිදි කරවලා මම නිදාගන්න ලෑස්ති වුණා. 11.30 ට විතර ලොකු ශබ්දයක් ඇහුණා. ‘අත ඇරපල්ලා‘ , ‘යන්න දීපල්ලා‘ කියලා පිරිසක් කෑගහනවා ඇහුණා. මම දුවත් ඇහැරවාගෙන දුවගෙන ඒ පැත්තට ගියා. ඒ සාදය තිබුණු ගොඩනැගිල්ල ඉස්සරහ ගොඩක් අය ගහගන්නවා දැක්කා. පොලිස් ජිප් එකකුත් නතර කර තිබුණා. පොලිස් නිල ඇඳුමෙන් කවුරුවත් හිටියේ නෑ. පොලුවලින් බිම දාගෙන කට්ටියට ගහනවා දැක්කා.

මහත්තයා හොයාගෙන මම ඇතුළට ගියා. සාදය තිබූ ගොඩනැගිල්ලේ පඩිපෙළ අයිනට ගියා. මහත්තයා හිටියේ නෑ. ඒ ගෙදර අයිති මාමයි නැන්දයි ඇදගෙන උඩට එක්ක යනවා දැක්කා. එයාලාගේ වයස බලන්නේ නැතිව තිරිසන් විදියට සැලකුවා. . මහත්තයාගේ කට හඬ ඇහිලා උඩට ගියා. මහත්තයා එයාලට බැන්නා. තිරිසන් වැඩ කරන්න එපා කියලා. නීතිය හරි විදියට කරන්න කිව්වා. එතන සිවිල් ඇඳුමින් හිටපු අය තව කියන්න, තව කියන්න කියලා ෆෝන් එකක් අල්ලාගෙන හිටියා. මම මහත්තයාගේ කට අතින් වහලා ගේ ඇතුළට එක්කරගෙන ගියා.

කෑම කාලා අපි යමු කියලා කෑම කන්න හැදුවා විතරයි ඇඹිලිපිටිය පොලිසියේ ඒ.එස්.පී එක්ක එච්.කිවු.අයි එතැනට ආවා. ඒ.එස්.පී. සුදුපාට ෂර්ට් එකක් ඇඳලා හිටියේ. එච්.කිව්.අයි අඳුරුපාට ඇඳුමක් ඇඳගෙන හිටියේ. ඒ.එස්.පී මා තල්ලු කළා. මෙන්න මූ තමයි මිනිහා කියලා මගේ මහත්තයා අල්ලගෙන දාගන්න කිව්වා. මම එපා කිව්වා. අපි කෑම කාලා ගෙදර යන්න හැදුවේ කිව්වා. මට බැනලා මහත්තයාගේ බෙල්ලෙන් අල්ලලා උස්සලා ගත්තා. ගහ ගහ ඇදගෙන ගියා.

මම මහත්තයාගේ අම්මාට කෝල් කළා. කොරිඩෝව දිගේ මහත්තයා ඇදගෙන ගියා. මාත් පස්සෙන් ගියා. මහත්තයා උඩට ඇදගෙන යනකොට මම ඇඟේ එල්ලුණා. මම තල්ලු කළා. ළඟ තිබුණු බෝඩ් එකේ එල්ලිලා බේරුණා. මට දරුවෙක් හම්බෙන්න ඉන්නේ තල්ලු කරන්න එපා කිව්වා. මට තුවක්කුවකුත් දික් කළා. කුණුහරුපෙන් බැන්නා. ඊට පස්සේ වීදුරු කැඩෙන ශබ්දයක් ඇහුණා. මහත්තයා කෑගහනවා ඇහුණා. ගහන්න එපා කියලා කෑගැහුවා. පස්සේ මම අමාරුවෙන් උඩට ගිහින් බැලුවා. එතැන ලේ ගොඩක් තිබුණා.

මහත්තයාව බලන්න මම පහළට ගියා. ඒ.එස්.පී පාර පැත්ත බලාගෙන හිටියා. තල්ලු කරන්න එපා කියලා මහත්තයා කෑගද්දී එයා තල්ලු කළා. මම දුවගෙන ගිහින් බිම බැලුවා. මහත්තයා වැටිලා හිටියා. මම ඇහුවා මොන අපරාධයක්ද මේ කළේ කියලා. කට වහගෙන හිටපන් කියලා මට බැන්නා. එතැන හිටපු කෙනෙක් මහත්තයාගේ ඔළුවට පයින් ගැහුවා. ඔය බොඩිය දාගනින් කියනවා ඇහුණා”

තවදුරටත් එම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිය සැමියා රෝහල් ගත කළ පසුව තමන් මේ ගැන රත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කිරීමට ගිය බවයි.

එම අවස්ථාවේදී තමන් එහි නිලධාරීන් ඉදිරියේ දැඩි ලෙස අසරණ වූ බවද ඇය පැවසුවාය.

පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන් තමන්ගේ අසනීප තත්ත්වය පවා නොසලකමින් තමා සමග සිටි මවද අපහසුතාවට පත්වන ආකාරයට කතා බහ කළේ යැයි ඇය පැවසුවාය.

දැනටම මෙම සිද්ධිය ගැන නීතිඥයින්ට කතා කරමින් උසාවි ගාණේ දුරදිග ගෙනියන්නේ නැතිව කටයුතු කරන ලෙසද පැමිණිල්ල සටහන්කර ගත් නිලධාරියා ඉල්ලා සිටි බව ඇය කීවාය.

එසේම තමන් එම පැමිණිල්ල කර මව සමග පැල්මඩුල්ලේ නිවසට ආ බවත්, රාත්‍රී 10.30ට පමණ නැවතත් රත්නපුර ඩී.අයි.ජී කාර්යාලයෙන් කියා දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, පැමිණිල්ලක් සටහන් කරගන්න අවශ්‍ය බව පවසා පිරිසක් නිවසට ආ බවත්, එසේ පැමිණ නැවතත් පැමිණිල්ලක් ලියාගත් බවත්, ඇය පැවසුවාය.

පෙර පැමිණිල්ල වැඩක් නැති බවද, ඒ වෙනුවට අලුතින් පැමිණිල්ලක් ලියා ගත යුතු බව කියමින් අලුතින් පැමිණිල්ලක් සටහන් කරගත් බවද පිටු කිහිපයක් එම පැමිණිල්ල සටහන්කර ගත් පසු මෙය කියවීමට අවශ්‍ය දැයි පැවසූ බවත්, තමන් එය කියවීමට යාමේදී එහි අකුරු පැහැදිලි නැති නිසා කියවීමට අපහසු වූ බවත්, ඇය කීවාය.

එසේම එහි සිටි නිලධාරීන් දැන් ගොඩාක් රාත්‍රී වී ඇති නිසාත්, තමන්ද අසනීප තත්ත්වයෙන් සිටින නිසාත්, එහි ලියන ලද කරුණු ඔබට පෙනෙන ලෙස ලියූ නිසාත්, අත්සන තබන ලෙස දැනුම්දුන් බවද ඇය කියා සිටියාය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙමින් ඇය කියා සිටියේ සිය සැමියාට මීට පෙර පොලීසියෙන් කිසිදු විමර්ශනයක් නැති බවයි.

අසාධාරණයක් දුටුවිට කෑ ගැසීම සිය සැමියාගේ පුරුද්දක් බවත්, එදින මෙම සිද්ධිය වූ මුල් අවස්ථාවේදී පොලිසියට බැණ වැදීම ඔහුට මෙවන් ඉරණමක් අත්වීමට හේතුව යැයි තමන් විශ්වාස කරන බවත්, ඇය පැවසුවාය.

මාධ්‍ය හමුවට එක්ව සිටි නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පළ කළේය.

පසුගිය රජය සමයේ පොලීසිය මිනී මැරු බවත්. එම අවනීතික කටයුතු අතට ගැනීමට පොලිසිය තවමත් කටයුතු කරන බව මෙම සිද්ධියෙන් පැහැදිළි වූ බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

එහිදී ඔහු පැවසුවේ මෙම සිද්ධියත් සමග ඇඹිලිපිටියේ පොලීසියත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීනුත් ගලවා ගැනීමට පොලිස්පතිවරයාද මැදිහත් වී ඇති බවයි.

පොලිස්පතිට තම ගෝලයින් බේරාගන්න දැඩි අවශ්‍යතාවයක් ඇති බවත්, ඒ වෙනුවෙන් පොලිස්පතිගේ මැදිහත්වීමෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මරණයේ සාක්ෂි විමසීමට යොමු කළ බවත්, ඔහු පෙන්වාදුන්නේය.

මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීමේ මුල් අවස්ථාවේදී තමන් මීට විරෝධය පළ කළ බවත්, එහෙත් පොලිස්පතිගේ නිය‍මයෙන් ඔහු සාක්ෂි විමසීමට පත්කර ඇති බවත්, කියමින් තමන්ගේ විරෝධතාවය ඉවත දැමුණු බවද පුංචිහේවා මහතා කීවේය.

මෙම සිද්ධියට සම්බන්ධ ධර්මරත්න නැමැති සහකාර පොලිස් අධිකාරිවරයා උප පොලිස් පරික්ෂකවරයෙක්ව සිටි සමයේදී වත්මන් පොලිස්පතිවරයා සහකාර පොලිස් අධිකාරිවරයෙකු බවත්, එවකට මෙම ධර්මරත්න නැමැත්තා ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ සුවච ගෝලයෙක් බවත්, පුංචිහේවා මහතා පැවසුවේය.

එසේම ‍වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ධර්මරත්න නැමැති මෙම නිලධාරියාත් දෙදෙනාම දක්ෂ නිලධාරීන් කියා විදේශ රටක පාඨමාලාවකට යොමු කළ බවද හෙතෙම පෙන්වාදුන්නේය.

එසේ මිත්‍ර වූ තම මිතුරා බේරාගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවන බවත්, මරණ පරීක්ෂණය අවසන් වනතුරු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා ඇති බවත්, නීතිඥ විජිත ජී පුංචිහේවා මහතා කීවේය.

මේ නිසා මෙම සිද්ධියට සාක්ෂි දීමට සිටින සාක්ෂිකරුවන්, පොලිස් නිලධාරීන් පවා බියවී සිටින බවත්, සාක්ෂිකරුවන්ට බලපෑම් එනවා නම් එවැනි දෑ කරන අය අත්අඩංගුවට ගත යුතු බවත්, එහෙත් එවැන්නක් සිදු නොවන බවක් පෙනෙන්නට ඇති බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වුවද සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මෙම සිද්ධියට පොලිස් නිලධාරීන් 21 දෙනෙකුගේ සම්බන්ධයක් ඇතැයි සඳහන් කරමින් පොලිස්පතිවරයාට වාර්තාවක් දී ඇති බවත්, එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා ක්‍රියානොකරන බවත්, පුංචිහේවා මහතා චෝදනා කළේය.

කෙසේ හෝ මෙවන් වාර්තාවක් නොබියව, කොන්ද පණ ඇතිව සැකසීමට කටයුතු කළ වික්‍රමරත්න මහතාට පොලිස් දෙපාර්තමේන්තුවේ ‍ගෞරවය හිමිවිය යුතු බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙකී සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකරන ප්‍රකාශ දෙස බැලීමේදී ඔහු “පුත්තලම් බූරුවෙක්” යැයි මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා ද චෝදනා කළේය.

මෙම සිද්ධිය ඉතාම පැහැදිළි බවත්, ‍මින් සාධාරණයක් වෙතැයි අ‍පේක්ෂා කළ නොහැකි තරමට එය වර්ධනය කර ගැනීමට පොලීසිය වෙහෙසෙන බවත්, සිය සැමියා තල්ලුකළ බව බිරිඳ පැහැදිළිව දැක ඇති බවත්, ඔහු අවධාරණය ‍කළේය.

මෙය මුල් අවස්ථාවේදී දෙමළ චිත්‍රපටවල වගේ කතන්දරයක් වගේ අපට අසන්නට ලැබුණු බවත්, එහෙත් සැබවින්ම සිදුව ඇත්තේ එවැන්නක් නොවුණද මේවන විට ගතවෙමින් තිබෙන්නේ දෙමළ චිත්‍රපටවල දර්ශන තත්ත්වයට එය නැවතත් පත්වෙමින් තිබීම යැයිද උදුල් ප්‍රේමරත්න මහතා පෙන්වාදුන්නේය.

කෙසේ හෝ මෙම සිද්ධියෙන් සාධාරණයක් වෙතැයි හීනයකින්වත් සිතිය නොහැකි බවත්, මේ ගැන ඉදිරියේදී මූලික අයිතිවාසිකම් නඩුවක් අනිවාර්යයෙන් පවරන බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය නි‍යෝජනය කරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද එක්වෙමින් පොලීසියේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කරන ලදී.

මේ අතර මේ සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 27 වැනිදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිත අතර මෙකී සිද්ධියට අදාළව සාමාන්‍ය වැසියන්ගෙන් හා පොලීසියේ 25‍ දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද වාර්තා වේ.

Related posts

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

colombotoday

රිෂාඞ් බදියුදීන් හිස්බුල්ලා මුළුමහත් මුස්ලිම් ප‍්‍රජාවම පාවා දුන්නා – ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්

colombotoday

සඟවා ඇති ගිනි අවි ගැන ඔත්තු දුන්නොත් මුදල් තෑගි

colombotoday

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday