Colombo Today Local News

ඉන්දියානුවන්ට දොර ඇරියොත් රටම අනාථයි – ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානයෙන් නිවේදනයක්

oeavoe

ඉන්දීය රජය සමග අත්සන් කිරීමට නියමිත ඉන්දු – ලංකා වෙළද සහ සේවා ගිවිසුමෙන් රටට දැඩි අහිතකර බලපෑමක් එල්ල වන බව “ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය” නිවේදනයක් ‍නිකුත් කරමින් පෙන්වා දෙනවා. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

ශ්‍රී ලංකාවට අතිශයින්ම හානිකර ඉන්දු – ලංකා ETCA ගිවිසුම

ඉංජිනේරුවන් වන අප නිරතුරුවම ශ්‍රී ලංකාවේ ප්‍රගමණය වෙනුවෙන් වගකීමකින් යුතු ක්‍රියාශීලි දායකත්වයක් ලබා දී ඇත. එසේ වුවද, අධිතාක්ෂණික සංවර්ධන ඉලක්කයක් කරා සීග්‍රයෙන් ගමන් කිරීම සදහා පෙර සුදුසුකමක් වන, රටේ ප්‍රතිපත්ති සම්පාදන කර්තව්‍යය සදහා දේශීය ඉංජිනේරු ජවය නිසි පරදී යොදාගැනීමට මෙරට රජයන් මුල සිටම සමත් වී නොමැත.

පසුගිය දා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට (IESL) රැස්වූ සියලුම ප්‍රධාන ඉංජිනේරු ආයතන නියෝජනය කරන සංගම් සහ වෘත්තීය සමිති නිලධාරින්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් ලබා දීමේ අරමුණට එකඟවූ අතර සියලුම ඉංජිනේරු සංගම් නියෝජනය කරමින් “ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය” (Organization of Engineering Associations – OEA) පිහිටුවා ගන්නා ලදී.

එම එකමුතුවේදී , මේ මොහොතේ ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තීරණාත්මක ඉන්දු-ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එනම් ETCA) පිළිබඳව අපගේ සුවිශේෂි අවධානය යොමු විය.

යෝජිත ඉන්දු-ලංකා “ETCA” ගිවිසුම පිලිබදව රජය දැනට නිකුත් කර ඇති ලේඛන හා සෙසු කරුණු පදනම් කරගත් නිසි අධ්‍යනයකින් පසුව, ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය සිය ස්ථාවරය රජයට හා ජනතාවට මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට තීරණය කරන ලදී.

මෙම ETCA ගිවිසුම සම්බන්දයෙන් රජය අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ ඇති අපාරදෘශ්‍යභාවය පිළිබඳව අප සංවිධානය සිය බලවත් අප්‍රසාදය පලකරනු ලබයි. සියළු වෘත්තීය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි කෙරෙන විධිමත් තාක්ෂණික අධ්‍යයනයකින් තොරව ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයක් සමග පුළුල් විවෘත ගිවිසුමකට එළඹීම ඉතා අවදානම් කාරී බව අපගේ මතයයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උර දෙන වගකිවයුතු වෘත්තීය වේදීන් කොටසක් වශයෙන් අප විසින් සාකච්ඡාවක් ඉල්ලා රජයට සහ බලධාරීන්ට යොමුකරන ලද ලිපි වලට මේ දක්වා ලැබී ඇති ප්‍රතිචාරය ගැන කිසිසේත් සෑහීමකට පත් විය නොහැක.

2000 වසරේ සිට අද දක්වා දෙරට අතර ක්‍රියාත්මක වන ඉන්දු-ලංකා නිදහස් වෙළද ගිවිසුම (ISL-FTA) සමස්ථයක් ලෙස අසාර්ථකව පවතිත්දී, එහි අඩුලුහුඩුතා නිවැරදි කරනු වෙනුවට, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ නියෝජනය කරන සේවා වෙළදාම (Trade in Services) ඉන්දියාව වෙත විවෘත කිරීමට ඇති හදිසි අවශ්‍යතාවය කුමක්දැයි අප සංවිධානය රජයෙන් ප්‍රශ්න කර සිටී. ඉන්දියාවේ රැකියා වියුක්තිය ශ්‍රී ලංකාවේ මුළු ජනග්‍රහණය මෙන් 2 ගුණයක් තරම් ඉහළ අගයක්ව පවතිත්දී පුද්ගල සංක්‍රමණය හරහා සේවා වෙළදාම සදහා අපගේ දොර කවුළු ඔවුනට විවර කිරීම අතිශයින්ම අදුරදර්ශී ක්‍රියාවකි. අවසානයේදී සිදුවන්නේ රැකියා පිණිස තම පවුල් සමග මෙහි එන ඉන්දියානුවන් බුරුතු පිටින් මෙරට පදිංචි වීමයි. ඒ හා සමගම කම්කරුවාගේ සිට වෘත්තියවේදීන් දක්වා සියලු රැකියා අවස්ථාවන් ඔවුන් ඩැහැගැනීමත්ය.

මුලින් තොරතුරු තාක්ෂණය (Infomation Technology), සමුද්‍රික සේවා සහ නැව් නිර්මාණකරණය (Ship Building) යන ක්ෂේත්‍ර ද්විත්වය පමණක් විවෘත කෙරෙනු ලබන බව ප්‍රකාශ වි ඇත. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය විවෘත කිරීමේදී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම් ගැන නිවැරදි අවබෝධයක් අප සතුද? වර්තමාන ළමා හා තරුණ පරපුර රැකියා ඉලක්ක කරගෙන තොරතුරු තාක්ෂණ අධ්‍යාපන වෘත්තීය පුහුණුව සදහා වැඩි වැඩියෙන් යොමුවෙන යුගයක, එම ක්ෂේත්‍ර දෙකෙහි ම ඇති අඩුපාඩු (තාක්ෂණික, මානව සම්පත්, වාණිජමය ආදී) මොනවාදැයි නිසිලෙස අධ්‍යයනය කර ඒවාට අදාළ විසඳුම් ලබාදෙනු වෙනුවට, මෙම ක්ෂේත්‍ර දෙකම ඉන්දියාවට විවෘත කිරීමට උත්සාහ ගැනීම අණුවන තීරණයකි. මෙරට වසරකට 2000 කට නොඅඩු ඉංජිනේරුවන් ප්‍රමාණයක් බිහි කරත්දී, ඉන්දියාවේ වසරකට ඉංජිනේරුවන් 1,500,000 ක් (ලක්ෂ 15ක්!) තරම් බිහිවන බවත්, ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් විරැකියාවෙන් පෙළෙන බවත් සිහි තබාගත ගත යුතුය.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් පසුව ඇති වන වාණිජ අර්බුද විසදාගැනීමට අපට දේශීය අධිකරණ පද්ධතියේ පිහිට පැතිය නොහැකි අතර, ඒ සදහා විදේශ වල ස්ථාපිත කර ඇති අධික වියදම්කාරී වූ ක්‍රමවේදයක් වන ‘බේරුම්කරණය’ (Arbitration) සදහා ඉදිරිපත් විය යුතුය. එමගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයයට වන බලපෑම් ඉමහත්ය. මෑතදී අත්සන් කල හෙජින් ගිවිසුමෙන් වූ වියවුල මේ සඳහා හොඳම උදාහරණයකි.

ඉහත කරුණු පදනම් කොට, කඩිනමකින් පෙබරවාරි මාසයේදී අත්සන් කිරීමට සුදානම් වන අසම්පුර්ණ හා සංකීර්ණ ETCA සැකිලි ගිවිසුම හරහා (Framework Agreement), සේවා වෙළදාම බලධාරීන් විසින් නිසි අධ්‍යයනයකින් තොරව කොටස් වශයෙන් ඉන්දියාවට විවෘර්ථ කිරීම මගින් මෙරට සියළු වෘත්තීය ක්ෂේත්‍රයන්ට වන දැඩි හා ඍජු බලපෑම, දීර්ඝකාලීන සමාජාර්ථික හානිය පිළිබඳවද විශ්ලේෂනාත්මක ඇගැයීමකින් යුතු අප සංවිධානය (OEA) ඒ කෙරෙහි අපගේ බලවත් විරෝධය පළකරමු.

වෘත්තියවේදීන් වශයෙන් අප රජයට බලකර කියාසිටින්නේ සියලු වගකිව යුතු කොටස් සම්බන්ධීකරණය කොට අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමත්, වෘත්තියවේදීන්ගේ පරිචිත භාවිතය (Professional Practice License) සඳහා නීති කෙටුම් පත් සම්පාදනය කිරීමත් ප්‍රමුඛත්වයේ ලා සිදුකළ යුතු බව ත් එතෙක් ශ්‍රී ලංකා වට හානිකර මෙම ගිවිසුම වහාම අත්හිටුවන ලෙසත්ය.

අපගේ මෙම ඉල්ලීමට රජය සවන් නොදෙන්නේ නම්, අපගේ සියළු කණ්ඩායම් ඒකාබද්ධවී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට කඩිනමින්ම පිවිසෙන බව අප සංවිධානය (OEA) රජයට අවධාරණය කර සිටී.

මෙයට,

එකාබද්ධ ඉංජිනේරු සංවිධානය (OEA) නියෝජනය කරමින්

ඉංජිනේරු වෘත්තීය සමිති වෙනුවෙන් අත්සන් කළේ,

සභාපති – ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA)

ලේඛම් – රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය (APSE)

සභාපති – ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු සංගමය (CEBEU)

සභාපති – ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉංජිනේරු සංගමය (NWS&DBEU)

සභාපති – ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉංජිනේරු සංගමය (EASLPA)

සභාපති – විදුලි සංදේශ ඉංජිනේරු සංගමය (TEU – SLT)

සභාපති – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉංජිනේරු සංගමය (CPCEU)

සභාපති – මාර්ග සංවර්ධන අධිකාරිය ඉංජිනේරු සංගමය (RDAEA)

සභාපති – මහවැලි ඉංජිනේරු සංගමය (AME)

සභාපති – මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශ ඉංජිනේරු සංගමය (CECBEA)

සභාපති – රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව ඉංජිනේරු සංගමය (SD&CCEU)

2016 ජනවාරි මස 28 වනදා

Related posts

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

colombotoday

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව සිර භාරයේ සිටි සැකකරුවෙක් මරුට

colombotoday

සයිටම් විරෝධියෙකු වෛද්‍ය සභාවේ සභාපති වුණා නම් සයිටම් හිතවාදියෙකුට බැරි ඇයි – සෞඛ්‍ය ඇමති

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday