Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් ගැයුවොත් එය රට බෙදන ෆෙඩරල් පිළිලයේ පළමු වෙඩි මුරය වෙයි

hegoda vipassi himi

මෙවර ජාතික නිදහස්‌ දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කළහොත් එය පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය පිළිලයේ පළමු වෙඩිමුරය වනු ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්‌සී හිමියෝ පවසති.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස්‌ දක්‌වන විපස්‌සී හිමියෝ මෙසේද පවසති.

මෙවර නිදහස්‌ උත්සවයේදී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කොට ඇත. ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා නොකරයි. එහෙත් ඇතැම් පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන්හි ජාතික ගී කිහිපයක්‌ දක්‌නට ලැබේ. ඊට හේතුව වන්නේ සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක පරමාධිකාරය එකම ආණ්‌ඩුවක්‌ සතු නොවන බැවින් සන්ධීය ආණ්‌ඩුව හා ප්‍රාදේශීය ආණ්‌ඩුවේ රුචිකත්වය අනුව වැඩ කිරීමට හැකිවීමයි. එහෙත් අප රටේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක්‌ වන බැවින් ජාතික ගීය සිංහල භාෂාවෙන් මිස දෙමළ හෝ වෙනත් භාෂාවකින් ගායනා කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ වන්නේය.

එබැවින් යම්සේ කැබිනට්‌ තීරණය අනුව මෙවර නිදහස්‌ දින උත්සවයේදී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කළහොත් එය පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය පිළිලයේ පළමු වෙඩි මුරය වනු නොඅනුමාන බව ඒකීය රාජ්‍යයේ සහජීවනය පතන සියලු ජනතාව අවබෝධ කළ යුතුයි.
ජාතික කොඩිය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය ආදී ජාතික සංකේතයන් යම් අර්ථයක්‌, යම් අවශ්‍යතාවක්‌ උදෙසා සම්මතව පවතීද එම චිරවිසම්භාවිත විවරණ තවදුරටත් ආරක්‍ෂා කිරීම නූතන රාජ්‍ය යුතුකම වන්නේය.

ජාතික වේදනාවන්ට පිළියම් කිරීමේදී අප අන්ධ ලෙස තර්කයන් මත පිහිටා නොසිටිය යුතුය. චිරාත් කාලයක්‌ පැවැති සංස්‌කෘතික අයිතීන් මත ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගොඩනැගීම ඕනෑම රාජ්‍යයක පදනමයි. අපේ ආසන්න රාජ්‍ය වන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය අශෝකස්‌තම්භ ශීර්ෂයත්, කොඩියේ ධර්මචක්‍රයත්, පාර්ලිමේන්තුවේ කථානායක ආසනයේ ඉහළින්ම යොදා ඇත්තේ “ධර්ම චක්‍රප්‍රවර්තනාය” යන පාඨයත් යන මේ කරුණු ඒ සඳහා නිදසුන් කොට දැක්‌විය හැකිය. බටහිර රාජ්‍යවල ස්‌වභාවයත්, චිරාගත සංස්‌කෘතික උරුමයන් මත පිහිටා ජාතික සංකේතයක්‌ සම්මත කොට ගැනීමයි.

විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන, විවිධ පක්‍ෂ භජනය කරන, විවිධ දෘෂ්ටි, මතවාද ඇති, විවිධ ජාතීන් වාසය කරන රටක ඒකීයත්වය ඇතිකිරීමේ ආධ්‍යාත්මක රීතීන් වශයෙන් ජාතික සංකේතයන් සම්මතව පවතියි. එම නිසා සියලු ජනවර්ගයන්ගේ ලාංකේය පදනම ඇති කිරීමෙහිලා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක්‌ ගායනා කිරීම ව්‍යවස්‌ථාපිතයි. මෙයින් අන්‍ය භාෂකයන් නොසලකා හැරීමත් කිසිසේත්ම සිදුනොවේ. අපේ රටේ සෑම පුද්ගලයෙක්‌ම සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන විට, ඊට ගෞරව කරන විට ඔවුන්ගේ සිත් සතන්හි ඇති වන්නේ “අපේ රට” යන පොදු හැඟීම්ය. එහෙත් භාෂා කිහිපයකින් ගායනා කිරීමේදී ඒ හැඟීම් ඇති නොවේ. එම නිසා ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලකා මාතා ගීය වන්නේය” යන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 7 වැනි වගන්තිය තවදුරටත් තහවුරු කළ යුතුය.
අවම වශයෙන් මාසයකට වරක්‌ හෝ නිශ්චිත දිනක, නිශ්චිත වේලාවක සෑම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලත් ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලු පාසල්වලත් රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී, ගුවන් විදුලි නාලිකාවලත් ජාතික ගීය ගායනා කිරීමට සම්මතයක්‌ ඇති කරගත හැකි නම් එය ලාංකේය ඒකීයත්වයේ සාර්වභෞම පදනමක්‌ වනු ඇත.

Related posts

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කළ හැක්කේ කෙසේද?

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

ප්‍රචණ්ඩත්වය පැතිරුවැයි රූපවාහිනී නිවේදිකාවක ඇතුළු තුනක් අත්අඩංගුවට

colombotoday

බදියුදීන් අයිය මලෝගේ ජාවාරමෙන් ලංකාවේ ගම්මිරිස් කර්මාන්තය හාන්සියි…

colombotoday

මම විශ්‍රාම යන්නේ නෑ. – කටකතා ගැන අගමැති මහින්ද කියයි.

colombotoday

ඥාණසාර හිමි උසාවියට පැමිණෙයි.. පොලිස් ආරක්ෂාව තර කරයි… කැරලි මර්ධනයත් කැදවයි

colombotoday