Colombo Today Local News

එක්ටා (CEPA) ගිවිසුමෙන් පසු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් අඩුවන ආකාරය

indo lanka cepa ecta 12365

එක්ටා නොහොත් සීපා පළමුවෙන්ම අත්සන් කරන්න යන ක්ෂේත්‍ර දෙක අතරින් එකකි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය. මෙහිදී ප්‍රධාන ගැටළුව වනු ඇත්තේ ඉන්දියානුවන් වෙත ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා විවෘතවීම වේ. ලංකාවට වඩා වැටුප් තල ඉන්දියාවේ පහළය. එනිසා මේ කුඩා රටෙන් කිසිවකු ඉන්දියාවට රැකියා සොයා යාම ප්‍රිය නොකරනු ඇති අතර, මේ කුඩා රටෙන් රැකියාවක් ලබා ගැනීමට ඒ විශාල රටේ මිනිසුන් උත්සාහ කරනු ඇත. එක් වසරකට ඉන්දියාවේ ජනගහණය වැඩිවීම පමණක් ලංකාවේ සමස්ථ ජනගහණය ඉක්මවා යයි. එසේම ඉන්දියාවේ එක් වසරකට අළුතෙන් එකතු වන තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගණන ලංකාවේ සමස්ථ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගණන ඉක්මවයි.

පරිගණක වෘත්තීයවේදීන්ගේ වැටුප තීරණය වන්නේ රැකියා වෙළදපළහි ඔවුනට ඇති වෙළඳපල වටිනාකම (Market value) අනුවය. වෙළදපල වටිනාකම තීරණය වනු ඇත්තේ ඉල්ලුම සහ සැපයුම අනුවය. රැකියා වෙළඳපලෙහි සැපයුම යනු රැකියාලාභින් සහ රැකියා අපේක්ෂා කරන්නන්ගේ එකතුව වේ.

යම් රැකියාවක් සඳහා ඉහළ වැටුප් පිරිනමන්නේ නම් රැකියා වෙළඳපලෙහි වෘත්තිකයන්ගේ සැපයුම ඉහළ යන අතර පිරිනමන වැටුප අඩු වන විට සැපයුම අඩුවේ. වැටුපට සාපේක්ෂව රැකියා වෙළදපලෙහි වෘත්තිකයින්ගේ සැපයුම තීරණය වන්නේ මෙලෙසිනි.

chart 1වෘත්තීයවේදීන්ගේ සැපයුම

රැකියා වෙළඳපලෙහි ඉල්ලුම යනු එම වෘත්තිකයන් සඳහා ආයතන මඟින් ඇති ඉල්ලුමයි. ගෙවිය යුතු වැටුප අඩු වන විට වැඩිපුර රැකියා අවස්ථා ලබා දීමට ආයතන පෙළඹේ. වැටුපට සාපේක්ෂව රැකියා වෙළඳපලෙහි ඉල්ලුම පහත ප්‍රස්ථාරයේ හැඩය ගනියි.

 

 

Chart 2වෘත්තීයවේදින් සඳහා වන ඉල්ලුම

දැන් රැකියා වෙළදපලෙහිදී කිසියම් රැකියාවක් සඳහා වැටුප තීරණය වන්නේ කෙලෙසදැයි විමසමු. මේ සඳහා නොයෙකුත් සාධක බලපාන බව සත්‍යක් වුව ඉන් වඩාත් තීරණාත්මක බලපෑම ඇති කරන්නේ වැටුප ඉදිරියේ රැකියා ඉල්ලුම සහ රැකියා සැපයුම විචලනය වන ආකාරයයි. ඕනෑම භාණ්ඩයක මිල තීරණය වන දළ ආකාරයට මෙන්ම රැකියා වෙළදපලෙහිද වැටුප තීරණය වන්නේ ඉහත වක්‍ර දෙක සමතුලිත වන (කැපෙන) තැනය. (Equilibrium)

 

රාජ්‍ය මැදිහත් වීම අවම, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොමැති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් නිර්ණය සඳහා මෙම ඉල්ලුම් සැපයුම් විග්‍රහය වඩාත් නිවැරදිය.

Chart 3

රැකියා වෙළඳපලෙහි වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම සහ වෘත්තිකයන්ගේ සැපයුම අනුව

ඉන්දියානුවන්ට රැකියා වෙළදපල විවෘත වු විට ලාංකීය රැකියා වෙළදපලෙහි සැපයුම (රැකියාවල නියුතුවන්නන් සහ රැකියා අපේක්ෂකයින්) අධික ලෙස ඉහළ යනු ඇත. එනම් කිසියම් රැකියාවක් සඳහා පෙරදී එම වැටුපටම තිබුනු සැපයුම දැඩි ලෙස ඉහළ යනු ඇත. එනම් රැකියා වෙළදපලෙහි රැකියා අපේක්ෂකත්වය පහත ලෙස වෙනස් වෙනු ඇත. එය දකුණු පසට ගමන් කිරීමෙන් සමස්ථ සැපයුම වර්ධනය වීම පිළිඹිබු වන අතර ආනතිය අඩු වීමෙන් පෙන්නුම් කරන්නේ වැටුප් වැඩි වන විට ඉන්දියානුවන් ආකර්ෂණය වන තීව්‍රතාවය වැඩි වන බවයි.

chart 4

ඉන්දියානුවන්ගේ සැපයුම නිසා සමස්ත වෘත්තීයවේදින්ගේ සැපයුම ඉහළ යාම

ඉන්දියානුවන් රැකියා සොයා මෙහි එන්න කැමතිවන තරම් ඉන්දියානු ආයෝජකයනට මෙහි ආයෝජනයට ප්‍රබල හේතුවක් නැත. ඒ ඉන්දියාවට වඩා ලංකාවේ වැටුප් ඉහළ වන බැවිනි. වෙනත් හේතුවක් මත හෝ ඉන්දියානු ආයෝජකයෙක් පැමිණියද ඔහු සේවකයින් ලෙස වැඩි ප්‍රමාණයක් ඉන්දියානුවන්ම බදවාගනු ඇත.

ආයෝජකයාගේ පැත්තෙන් ඉන්දියාවේ ආයෝජනය මඟින් නිෂ්පාදන පිරිවැය ලංකාවට වඩා පහත මට්ටමකට තබා ගත හැකිවනු ඇත. ඉන්දියාවේදී වැටුප් ලංකාවට වඩා පහළ වීම ඊට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව ලංකාව තුළ රැකියා වෙළඳපල තුළ වෘත්තිකයන් සඳහා වන ඉල්ලුම පහත යාමට ඉඩ ඇත්තේ ඉල්ලුමෙන් කොටසක් හෝ ඉන්දියාව දෙසට යොමු වීමට ඉඩ ඇති බැවිනි. දැන් රැකියා වෙළදපල තුළ සැපයුම කිහිප ගුණයකින් වැඩිවන අතර වෘත්තිකයන් සඳහා වන ඉල්ලුමද (වැටුපෙන් ස්වායත්තව) වර්ධනය නොවේ. එවිට භාණ්ඩයේ මිල එනම් එම වෘත්තිකයන්ගේ වැටුප පහළ යාම අනිවාර්ය වේ.

chart 5

එක්ටා ගිවිසුමෙන් පසු වැටුප අඩුවන ආකාරය

මෙහිදී ඇතැමෙක් රැකියා සඳහා වන ඉල්ලුම ඉහළ යනු ඇති බවත් එනිසා ගිවිසුමට පසුව වෘත්තීයවේදීන්ගේ සැපයුම් වක්‍රය දකුණු දෙසට යොමුවූවා සේම වෘත්තීයවේදීන් සඳහා වන ඉල්ලුම් වක්‍රයද දකුණු දෙසට යොමු වේ යැයි සදොස් තර්කයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. සමස්ථ වෘත්තීයවේදීන් සඳහා ඉල්ලුම වැඩිවන්නේ ඔවුනගේ වැටුප් අඩුවීමට සාපේක්ෂවය. එය ඉල්ලුම් වක්‍රය තුළම පිළිඹිබු කෙරේ. නමුත් ගිවිසුම අත්සන් කළ පසු රැකියා සඳහා වන සැපයුමට ලංකාවට පැමිණීමට කැමති ඉන්දියානුවන්ද එකතු වන නිසා සැපයුම් වක්‍රයේ විශාල වර්ධනයක් සිදුවේ. එය සිදුවෙන්නේ ලංකාවේ රැකියා අපේක්ෂකයන්ගේ කුලකය පුළුල් වීම නිසාය. නව ආයෝන්ජකයන් පැමිණෙන්නේ වැටුප් පහත යාම නිසා බැවින්, එය ඉහත කී පරිදි වෘත්තීයවේදීන් සඳහා වන ඉල්ලුම් වක්‍රය තුළම නිරූපිතය.

මෙහිදී පෙනී යන කාරණයක් නම් අඩු වැටුපකට පෙරට වඩා වැඩි වෘත්තිකයන් පිරිසකට රැකියා අවස්ථා උදාවී ඇති බවයි. රජය පවසන නව රැකියා උත්පාදනය මෙය වේ. නමුත් අවාසනාව වනුයේ ඒ වැඩිවන රැකියා අවස්ථා ගණනින් වැඩි ප්‍රමාණයක් හිමි කරගනු ලබන්නේ ලාංකිකයන් නොව ඉන්දියානුවන් වීමය. ආයතන විසින් අඩු වැටුපකට ඉන්දියානුවන්ට රැකියා ලබා දීමේ වාසි දැක වසර කිහිපයක් තුළ ඉන්දියානුවන් ගණන ඉහළ දමමින් සිය නිෂ්පාදන පිරිවැය පහත මට්ටමකට හෙළන්නට ක්‍රියා කළහොත්, අර වැඩිවන රැකියා ගණනට වඩා ඉන්දියානුවන් විසින් මෙහිදී ලබා ගන්නා රැකියා ගණන වැඩිවන්නටද පුළුවන. එසේ වුවහොත්, මෙම ගිවිසුම ලාංකිකයන් වෙත අඩු පඩියකට අමතරව විරැකියාවද උරුමකර දෙනු ඇත.

වැටුප් පහත යාම සඳහා බලපාන්නේ ලංකාව තුළ රැකියා ලබා දෙන ඉන්දියානුවන් ගණන පමණක් නොවේ. ලංකාවෙන් රැකියාවක් නොලැබුනද ලංකාවට එන්න කැමති ඉන්දියානුවන් පිරිසක් සිටීමද ලාංකික වෘත්තිකයන්ගේ වැටුප් තළ පහත යාමට හේතුවක් වේ.

ලංකාවේ පරිගණක වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රටේ සිටියද ඔවුන් හඬක් නැති දුර්වල කොටසක් බව ලක් රජය මෙන්ම ඉන්දීය රජයද දනිත්. එනිසා ඔවුන් මුලින්ම තෝරා ගැනුනා විය හැකිය. දුබල හඬක් ඇති ක්ෂේත්‍රයකට මෙය මුලින්ම රිංගවා ගත් පසු අනෙක්වා සමනය කිරීම පහසු වන බව සහ මෙය පියවරෙන් පියවර යාම මඟින් සමස්ථ විරෝධය දුර්වල කළ හැකි බවට ඉන්දියාව ගණන් බලා ඇතිවාට සැක නැත.

ඔබගේ ආයතනය විසින් ඉන්දියානුවන් බදවා ගත්තත් නොගත්තත්, ඔබගේ වැටුප නිර්ණය වන්නේ රැකියා වෙළඳපලෙහි ඔබේ වටිනාකම අනුවය. වැටුප් තල දැඩි ලෙස පහත යාම තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ ඇත්ත ගැටළුව වෙයි. ආයතනවල ඉහළ කළමනාකාරීත්වයට එම ඇත්ත ගැටළුව, ගැටළුවක් ලෙස පෙන්වා දිය නොහැකි බව අප තේරුම් ගත යුතුය. පසුගිය සතියේ මලික් සමරවික්‍රම ඇමතිවරයා විසින් පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් ගෙන්වා සාකච්ඡා කර ඇත.
අනෙක් අතට තොරතුරු තාක්ෂණික වෘත්තිකයන් රට තුළ වැඩි කිරීමට නම් ඒ සඳහා ඉන්දියාවෙන් ගෙන්විය යුතුද? කළ යුත්තේ මෙරට දුවා දරුවන්ට අධ්‍යාපන අවස්‍ථා පුළුල් කර ඔවුන් අතරින් නව පරිගණක වෘත්තිකයන් බිහිකරවිම නොවේද? ඒ සඳහා අවැසි නම් ඉන්දියාවෙන් හෝ වෙනත් ඕනම රටකින් ආයෝජකයෙකු පමිණ විශ්ව විද්‍යාලයක් විවෘත කරනවා නම් ඒ සදහා පහසුකම් සපයනවාට කිසිවකු විරුද්ධ වන්නේ නැත. එසේම එලෙස නිවැරදි ආකාරයට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සැපයුම වැඩිකර ලාංකිකයන් වෙනුවෙන් රැකියා උත්පාදනය වන්නේ නම් ඒ නිසා වැටුප්තල පහත යාමේ අවාසිය දරා ගන්නට කිසිවකුත් අකමැති නොවනු ඇත. නමුත් ඉන්දියානුවන්ට රැකියා ලබා දී තම වැටුප් පහත හෙළා ගන්නට කැමති වන්නේ ලංකාවේ කුමන මෝඩයාද?

-ලසන්ත වික්‍රමසිංහ
Society of IT Professionals (SITP)

Related posts

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කරයි

colombotoday

ආහාර අළෙවියේදී අලුත් නීතියක් එයි…

colombotoday

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

සජිත් කැපෙයි.. පුංචි ඡන්දයෙන් එජාපය ගොඩ දාන සටන කබීර්, රවී අතට !

colombotoday

පිල් මාරුව සූදානම්

colombotoday