ArticlesBusinessColombo Today Local News

පිරමීඩාකාර ජාවාරම හිස එසවීම සහ මහ බැංකුවේ ක්‍රියාපිළිවෙත

pyramid 554545‘‘පිරමීඩාකාර ව්‍යාපාර යළි හිස ඔසවයි’’ මෙය මේ දිනවල ජනමාධ්‍ය තුළ පුවත් මවන මාතෘකාවකි. එහෙත් අදවන විට රට තුළ හරි හරියට ව්‍යාප්ත වී යන පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක‍්‍රමවලින් රටට හා ජනතාවට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව, එහි වගකීම උසුලන ශ‍්‍රී ලංකා මහ බැංකුව සොයාබලන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ සුභවාදී ආකල්පයක් නොවන බව ද පෙන්වා දියයුතු ය.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක‍්‍රම ව්‍යාප්ත වී ඇති අතර, ඊට ගොදුරු වී සිටින්නන් බහුතරය ග‍්‍රාම්‍ය හා නොදියුනු ප‍්‍රදේශවල ජනතාව බව හඳුනාගත හැකිය. ගැටළුව ඇත්තේ මෙම නිති විරෝධී වෙළඳ යෝජනා ක‍්‍රමවලට ගොදුරුවන්නන්, ඒවා තුළ ඇති සත්‍ය ස්වභාවය හඳුනාගෙන නොතිබීම ය.

හොර තැබෑරුමකින් අරක්කු බොන ගමේ වැඩිහිටියෙකු වුවත්, එය නීති විරෝධී බව හරි හැටි දන්නේ ය. ඒ, පොලිසිය විසින් හොර අරක්කු බොන්නන් කුදලාගෙන ගොස්, හොඳ හැටි තඩි බා, කූඩුවට දමනා බවට ලද අත්දැකීම් ද සමඟ ජනතාව තුළ ඇති භය හා දැනුවත් බව නිසා ය. එහෙත් මෙම පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක‍්‍රම පවත්වාගෙන යෑම මෙන්ම ඒවාට සම්බන්ධ වීමද ශ‍්‍රී ලංකාවේ පවතින නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව පැවසූවත්, ඒ පිළිබඳ අත්දැකීම් හා උදාහරණ ජනතාවට තවමත් මදි ය.

එපමණක් ද නොව, මෙකී යෝජනා ක‍්‍රම හඳුන්වා දෙන්නන් විසින් රටේ මුදල් අමාත්‍යවරයා හා වත්මන් රජයත් එම ව්‍යාපාරවලට සහයෝගය දක්වන බව පවසන බැවින්, එම ප‍්‍රකාශවල ඇති සත්‍ය අසත්‍ය බව පිළිබඳව ද ජනතාව තුළ ඇත්තේ කුකුසකි.

පිරමීඩාකාර ව්‍යාපාරයේ ලෝක ඉතිහාසය හා ස්භාවය

ලොකයේ පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක‍්‍රමවල ඉතිහාසය දෙස බැලීමේ දී 90 දශකය තුළ ඇල්බේනියාව ලත් අත්දැකීම් අත්හල නොහැකි ය. 90 දසකයේ මුල් භාගයේ දී ආරම්භ වූ පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක‍්‍රම ඇල්බේනියාවේ ඉතා වේගයෙන් පැතිර ගියේ ය. එය කෙතරම් ජනප‍්‍රිය වී ද යතොත් 1996 වර්ෂයේ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50 ක පමණ අගයකට පැමිණ තිබුණේ පිරමීඩාකාර ව්‍යාපාරවල නාමික මූල්‍ය වටිනාකම ය.

ඇල්බේනියා ජනයාගෙන් වැඩිමනක් එකල මෙම යෝජනා ක‍්‍රමවලට එක්ව සිටි අතර, ඔවුන් තම වටිනා දේපළ විකුණා, වැඩි ආර්ථික ප‍්‍රතිලාභ ලබාගැනීමේ අදහසින් ඒවාට මුදල් යොදවා තිබිණි.

1997 අවසන් වන විට අදාළ යෝජනා ක‍්‍රම රටට ඔරොත්තු නොදෙන තත්ත්වයට පත්වී ඒවා තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත් විය. එසේ ම තැන්පත්කරුවන්ට නියමිත ගෙවීම් ද පැහැර හරින්නට වූහ. රටේ ජනයාගෙන් බහුතරයක් මෙම ක‍්‍රමය හා සම්බන්ධ වී සිටීම නිසා ම ඔවුන්ගේ අපේක්ෂිත ප‍්‍රතිලාභ නොලැබී යෑමෙන් පසු නොසන්සුන් වී මහජන උද්ඝෝෂණ හා විරෝධතා ආරම්භ වූ අතර, වැඩි කාලයක් යන්නට මත්තෙන් රජයට පාලනය කළ නොහැකි මට්ටමට එවා උත්සන්න විය. මෙය අන්තිමේ දී එරට සාමාන්‍ය ජනතාව දහස් ගණනකගේ ජීවිත ද අහිමි කරමින් එවකට පැවති ආණ්ඩුව ද බිඳ දමමින් රට අරාජිකත්වයට පත් කෙරිණි.

එම නිසා අප පිරමීඩ යෝජනා ක‍්‍රම ගැන සාකච්ඡුා කිරීමේදී එහි ඇති අහිතකර බලපෑම් සඳහා ඇල්බේනියානු ජනතාවගේ අත්දැකීම් උදාහරණයක් ලෙස ගැනීම ඉතා උචිත වන්නේ යැයි සිතමු.

පිරමීඩාකාර ව්‍යාපාර ශ‍්‍රී ලංකාව තුළ පැතිර යෑම

පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක‍්‍රමයක් පිළිබඳ ශ‍්‍රී ලංකාවේ අත්දැකීම 2004 වසරේ මුල් භාගය දක්වා දිව යයි. ඒ වන විට එක් පිරමීඩාකාර යෝජනා ක‍්‍රමයක් විසින් යම් භාණ්ඩයක් අළෙවි කරමින් රට පුරා ඉතා වේගයෙන් ජනප‍්‍රිය වෙමින් ජනතාව අතර ප‍්‍රචලිත වන්නට වී තිබිණි.

පිරමීඩාකාර යෝජනා ක‍්‍රමයක අවසානයක් තිබිය නොහැකිය. එහෙත් මිලියන විසි දෙකක් පමණ වූ ජනගහනයක් ඇති ශ‍්‍රී ලංකාව වැනි රටක මෙවැනි ක‍්‍රමයක් පවත්වාගෙන යෑමේදී ඉතා කෙටි කාලයක් තුළ එය බිඳවැටීම ආරම්භ වීම නැවැත්විය නොහැකි ය.

කෙසේ වෙතත් කිසියම් අවස්ථාවක අලූතින් සාමාජිකයන් බඳවා ගත නොහැකිව මේ ක‍්‍රම බිඳ වැටීම අනිවාර්ය බැවින් මෙය ‘‘එකිනෙකා ගිල ගන්නා ගිරිහිම නිපාතයක්’’ බැව් රුසියන් ලේඛකයෙකු විසින් ද හඳුන්වා දී තිබිණි.

මුලින් සඳහන් කළ පිරමීඩාකාර යෝජනා ක‍්‍රමය ජනමාධ්‍ය හා ජනතාවගේ ද මැදිහත්වීමෙන් ඉතා කෙටි කලකින් බිඳ වැටුණු අතර, එහි මුල් පෙළේ සාමාජිකන් විසින් එය අත්හැර නොදමා තවත් මුහුණුවරකින් එවා ආරම්භ කිරීමට පෙළඹුණි.

කෙසේ වෙතත් අද වන විට නැවතත් රටේ ග‍්‍රාම්‍ය ප‍්‍රදේශ තුළ ඉතා වේගයෙන් තවත් පිරමීඩාකාර ව්‍යාපාර යෝජනා ක‍්‍රම කිහිපයක් ම වර්ධනය වෙමින් පැවැතීම මෙම සටහන තැබීමට හේතු පාදක වූ බව පැවැසීමට කැමැත්තෙමු.

පවතින නීතිය හා දඬුවම්වල ස්වභාවය

පිරමීඩාකාර ව්‍යාපාර ක‍්‍රමයන් මෙරට ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව රජය විසින් 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප‍්‍රතිපාදන සකස්කොට තිබුනද එහි වූ ඇතැම් අඩු පාඩු හේතුවෙන්, එය තවත් ශක්තිමක් කරමින් ඊට එරෙහිව නීතියෙන් වැට බැෙක්‍ෂන්නේ 2005 අංක 2 දරන බැංකු (සංශෝධන) පනත මඟිනි.

නව සහස‍්‍රය ආරම්භ වී වැඩි කලක් ගතවන්නට පෙර එවකට රට තුළ ප‍්‍රචලිත වෙමින් තිබූ රහස් ජාලගත ව්‍යාපාරයක් මඟින් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාවගේ මුදල් ඉතා සූක්ෂම ලෙස විදේශීය සමාගමක් වෙත ඇදී යෑමේ තත්ත්වයක් යටතේ රජය විසින් ඊට එරෙහිව නව නීති සම්පාදනය කිරීමට උත්සුක විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස 2005 අංක 02 දරන සංශෝධන පනතේ ප‍්‍රධාන ප‍්‍රඥප්තියෙ ‘83’ (ආ) වගන්තිය, ‘‘සමහර යෝජනා ක‍්‍රම පැවැත්වීම තහනම් කිරීම’’ යන උදෘතය යටතේ ‘83’ (ඇ) වගන්තිය ලෙස බලාත්මක කැරිණි.

83 ඇ. (1) මුදලින් හෝ මූල්‍ය වටිනාකමකින් දායකවීමට හෝ මුදල් හෝ මූල්‍ය වටිනාකමක් ගෙවීමට සහභාගිකරුවන්ට නියම කරනු ලබන සහා සහභාගිකරුවකු විසින් උපයනු ලබන ප‍්‍රතිලාභ,
(අ) එම යෝජනා ක‍්‍රමයේ සහභාගිකරුවන්ගේ සංඛ්‍යාවෙහි වැඩවීම මත, හෝ
(ආ) එම යෝජනා ක‍්‍රමයේ සහභාගිකරුවන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත,
ප‍්‍රධාන වශයෙන් තීරණය වන්නා වූ යෝජනා ක‍්‍රමයක් කිසිම තැනැත්තකු විසින් කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප‍්‍රවර්ධනය කිරීම, ප‍්‍රචාරය කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමණාකරණය කිරීම හෝ විධාන කිරීම නොකළ යුතු ය.

මෙකී නව නීතිය මඟින් ඉතා පැහැදිව ශ‍්‍රී ලංකාව තුළ සිදු කෙරෙන පිරමීඩාකාර ස්වරූපයක් සහිත කවර හෝ ව්‍යාපාරයක් නීතිය ඉදිරියට ගෙන ඒමේ හැකියාව නිර්මාණය විය.

මෙවැනි වරදකට වරදකරු වූ අයෙකුට රුපියල් මිලියනයක් දඩ මුදලක් හා වසර තුනක සිර දඬුවමක උපරිමයකට යටත්ව දඬුවම් විඳීමට සිදුවන අතර, එම වරද සිතාමතාම සිදුකළ බවට තහවුරු වුවහොත් වසර 5ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් මිලියන 2ක් පමණ වූ දඩ මුදලක් ගෙවීම දක්වා වන ලෙසින් අදාළ නීතිය ශක්තිමත්ව ඇත.

එහෙත් මෙම පනත මඟින් ඊට එරෙහිවන්නන් නීතියේ රැුහැනට කොටුකර ගැනීමේ බලය ලබා දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා යටතේ සිටිනා නිලධාරීවරකු වීම නිසාම මෙතෙක් මෙම පිරමීඩ ක‍්‍රමය යටතේ මුදල් එක්කිරීමේ ජාවාරම් නැවැත්වීම වෙනුවට රටතුළ සිදුව ඇත්තේ ඒවා දිනෙන් දිනම ව්‍යාප්ත වීම යැයි පැවසීම වරදක් නොවේ.

පිරමීඩාකාර ව්‍යාපාර යෝජනාවක් හඳුනාගන්නේ කෙසේද?

පිරමීඩාකාර ව්‍යාපාරයක් හඳුනාගැනීම ඉතා පහසුය. එහි මූලික ලක්ෂණ කිහිපයකි. ජනමාධ්‍ය මඟින් එකී ව්‍යාපාරයක දැන්වීම් ප‍්‍රචාරය නොකිරීම එහි පළමුවැන්න ය. එහෙත් මෙම ව්‍යාපාර හඳුන්වාදීමට පුහුණු කළ දේශකයන් විසින් නිතර පවසන්නේ ජනමාධ්‍ය දැන්වීම් සඳහා වෙන් කෙරෙන මුදල් ද තම ආයතන කලමණාකාරීත්වය විසින් සාමාජිකයන් අතර බෙදා දීමට සද්භාවයෙන් ඉදිරිපත් වී සිටින බවයි.

එසේම එම ව්‍යාපාරයේ තවත් ප‍්‍රධානතම ලක්ෂණයක් වන්නේ ව්‍යාපාරය හඳුන්වා දෙන්නන් විසින් හැම විටම උනන්දුවන්නේ තම සාමාජිකයන් ලවා භාණ්ඩ විකුණුවා ගැනීමට වඩා තවත් සාමාජිකයෙක් හෝ වැඩිකරවා ගැනීමට වීමයි. තවත් ලෙසකින් කිවහොත් ව්‍යාපාරයට තවත් ඔළුගෙඩි කිහිපයක් වැඩිකර ගැනීමට වීමයි.

අදාළ ව්‍යාපාරයට සම්බන්ධ වූ ඕනෑම අයෙකුට එහි හිනිපෙත්තටම යෑමට නම් වැඩි වැඩියෙන් සාමාජිකයන් සම්බන්ධ කිරීම එහි ප‍්‍රධානතම කාර්යය බව උපදේශයන් විසින් නිරන්තරයෙන් පෙන්වා දෙනු ලබයි. එහිදී නවකයන් හට විකිණීමට යැයි හඳුන්වාදෙන භාණ්ඩ හෝ නිෂ්පාදන විකුණුවා ගැනීමට වඩා ඔවුන් උනන්දු කරවන්නේ තම ඥාතීන්, හිතමිතුරන්, අසල්වාසීන් වැන්නවුන් මෙම ක‍්‍රමයට සම්බන්ධ කරවාගැනීමට ය.

මෙම ව්‍යාපාර යෝජනාවක තවත් විශේෂතම ලක්ෂණයක් වනනේ, මේවා ඉතා රහසිගතව මේවා පවත්වාගෙන යෑමය. උදාහරණයක් ලෙස මේවාට නව සාමාජිකයන් බඳවාගැනීම වෙනුවෙන් පවත්වනු ලබන දේශන සඳහා තෝරාගැනෙන්නේ සාමාන්‍ය සමාජයයෙන් ඈත් වුණු පරිසරයන් ය. එම දේශන සඳහා සහභාගී කරවා ගන්නේ ද තොරා-බේරාගත් පිරිසක් පමණක් ය.

මෙහි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ සාමාන්‍ය සමාජය ‘ව්‍යාපාරයක්’ ලෙස වෙන් කර හඳුනාගන්නා කිසිදු ලක්ෂණයක් මෙම ව්‍යාපාර ක‍්‍රම තුළ දක්නට නොලැබීම ය.

ක‍්‍රියාත්මක වන්නේ මෙහෙමයි

දිවයිනේ දැනට ක‍්‍රියාත්මක වන මෙම නීත්‍යානුකූල නොවන ව්‍යාපාර ජාල කිහිපය දෙස ඉතා සූක්ෂම ලෙස බලන කල ඉතා පැහැදිළිව දක්නට ලැබෙන්නේ එහි ඉහළම ස්ථරයේ සාමාජිකයන් සියල්ල මින් පෙර නීතියේ රැුහැනට හසුව බංකොලොත් වූ පිරමීඩාකාර ව්‍යාපාරවල සාමාජිකයන්ව සිටි අය බවයි.

එමනිසා මෙම පිරමීඩාකාර ව්‍යාපාර ක‍්‍රමයේ ඇති නීත්‍යනුකූල නොවන ස්වභාවය පිළිබඳව හා එය ජනතාවට වඩාත් විශ්වසනීය බවකින් යුතුව හඳුන්වාදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් තුළ ඇත්තේ ඉතා පැහැදිළි අවබෝධයකි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස මින් පෙර තිබූ පිරමීඩාකාර යෝජනා ක‍්‍රමවලට වඩා ඉතා කල්පනාකාරීව හා වැඩි වගකීමක් ද සහිතව මෙම නව පිරමීඩාකාර ක‍්‍රම ව්‍යාප්ත කිරීමේ කාර්යය ඉතා මැනැවින් ඔවුන් විසින් ඉටුකරනු ලබයි.

මේ සඳහා පෙර කී ඉහළ ස්තරයේ සිටින කණ්ඩායම විසින් නිරන්තරයෙන් තොරාගනු ලබන්නේ තම සමීපතමයන් හා හිතමිතුරන් ම ය. එලෙස තෝරා ගන්නා කණ්ඩායමට නිසි අවබෝධය ලබාදීමෙන් සාමාජිකයන් සම්බන්ධ කර ගනු ලබයි. එසේම මුල් අවධියේ දී ම සම්බන්ධ වන්නන් හට ඉතා කෙටි කලකින් ඇදැහිය නොහැකි ආර්ථික ප‍්‍රතිලාභ ලැබීම හේතුවෙන් ඔවුන් ඉතා උනන්දුවෙන් හා ඕනෑකමින් එය ව්‍යාප්ත කිරීමේ කාර්යයෙහි නිරත වීම මෙහිදී දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයකි.

පිරමීඩාකාර ව්‍යාපාර ක‍්‍රමයක දී විකුණන භාණ්ඩය කුමක්ද යන්න පිළිබඳ ව වැඩි අවධානයක් යොමු නොකළද එම භාණ්ඩය කුමක් වුවත්, එය ජනතාවට අත්‍යාවශ්‍ය එකක් බව ඒත්තු ගැන්වීමට තර්ක ගොඩනැගීමට මෙහිදී දේශකයන් විසින් වගබලාගනියි.

මෙම ක‍්‍රමය හඳුන්වාදීමේ දී ඇති විශේෂම ලක්ෂණය නම්, එක් සාමාජිකයෙකු විසින් තවත් සාමාජිකයන් දෙදෙනෙකුට වැඩි ගණනක් අදාළ ක‍්‍රමයට හඳුන්වා දීම එහි අනිවාර්ය කාර්යක් වීම ය. එය අනිවාර්ය නොවූවක් බව දේශකයන් විසින් සෑමවිටම පෙන්වා දීමට වගබලාගන්නා නමුත්, ක‍්‍රමයේ ප‍්‍රතිලාභ ලැබීමට නම් එය ව්‍යාප්ත කිරීම අනිවාර්ය නවකයින් විසින් කළ යුතු බව ඒත්තු ගැනීවීමට දේශකයන් විසින් ම ඉඩ හැරීම මෙහි තවත් ලක්ෂණයකි.

ඊට අමතරව තම සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිතයේ සමීපතමයකු වී ඔවුන්ගේ පවුල්වල දුක සැප සොයා බැලීමද මෙම ජාලය තුළ සුවිශේ්‍ය ලක්ෂණයකි. එවැනි උපක‍්‍රම මඟින් මෙවැනි ව්‍යාපාරවල සාමාජිකයන් අතර යම් උප සංස්කෘතියක් ගොඩනැෙ`ගන අතර, ඔවුන් තම කණ්ඩායමෙන් ගැළැවී යෑමේ අවදානම අවම කිරීමට කලමණාකාරීත්වය විසින් සැමවිටම වගබලාගනු ලබයි.

මෙම කණ්ඩායම එක් පවුලක් ලෙස හඳුන්වාදීමට එහි කලමණාකරුවන් විසින් විවිධ උපක‍්‍රම භාවිත කරනු ලබන අතර, ඔවුන් දිරිගැන්වීමට ද විවිධ උපක‍්‍රම භාවිත කරනු ලබයි.
එයට කදිම නිදසුනක් නම්, මෙහි සාමාජිකයන් අතර තරඟකාරීත්වයක් නිර්මාණය වන පරිදි ලකුණු ක‍්‍රමයක් හඳුන්වා තිබීමයි. එමඟින් ඉහළ ලකුණු හිමිකරගන්නා සාමාජිකයන් හට ආයතන විසින් විනෝද සවාරි ආදී යම් යම් සිත් ඇදගන්නා සුළු ප‍්‍රතිලාභ ලබාදී ඔවුන් දිරිමත් කරනු ලබයි. එපමණක් නොව එසේ ජයග‍්‍රහණය කරන සාමාජිකයන් කණඩායම අතර ජනප‍්‍රිය කරවා අනෙක් සාමාජිකයන් ද උනන්දු කිරීමෙන් ඔවුන් ද සින්තටික් ලෝකයකට ගෙනයෑම මෙහි දී සිදුවන තවත් සිදුවීමකි.

පිරමීඩාකාර ජාලයකට සම්බන්ධ වීමේ අවදානම

මුලින් සඳහන් කළ නීති ප‍්‍රකාරව මෙම ආයතන පවත්වාගෙන යෑම මෙන්ම මේවාට සම්බන්ධ වීම යන කරුණු දෙකම වරදක් බැවින් යම් අවස්ථාවක දී එයට සම්බන්ධ වී සිටින්නන් නීතියේ රැුහැනට හසු වී දඬුවම් ලැබීමට සිදුවීම මෙහි ඇති පළමු අවදානම ලෙස පෙන්වා දිය හැකිය.

සාමාන්‍යෙයන් ආයතනයක වරදකින් එහි සේවකයකු නීති කටයුත්තකට යොමු වුවහොත් එහි නීතීඥ ගාස්තු හා නඩු ගාස්තු අදාළ ආයතනය විසින් දරනු ලැබූවත්, මෙම පිරමීඩාකාර ව්‍යාපාරයන්ට සම්බන්ධ වී නීතියේ රැුහැනට හසු වූ පුද්ගලයන් වෙනුවෙන් මෙතෙක් කිසිදු වන්දි මුදලක් එකී ආයතන ගෙවා නැති බව මෙහිදී සඳහන් කළ යුතු ය.

එබැවින් මෙකී ආයතන කිනම් පුරසාරම් දෙඩුවද සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් පසු ඇප ලබාගැනීමේ සිට නඩු කටයුතු අවසන් වන තුරු ඊට අදාළ නීතීඥ ගාස්තු හා නඩු ගාස්තු ගෙවීමට වන්නේ එම සාමාජිකයාට බව ඉතා පැහැදිළි ය. මෙවැනි අවස්ථාවලදී බොහෝ විට සිදු වී ඇත්තේ ජාවාරමේ මුල සිටින කිහිප දෙනා නීතියට වසන් වී රටින් පැන යෑම ය.

එසේම මෙකී ජාලගත වූ ව්‍යාජ ව්‍යාපාර වෙත සම්බන්ධ වන්නේ යම් ප‍්‍රදේශයක හිතවතුන් හා සමීපතමයන් කොටසක් වීම නිසා අවසානයේ දී සිදුවන්නේ, තමාට මෙම යෝජනා ක‍්‍රමය හඳුන්වාදුන් ඥාතියා, මිතුරා හෝ අසල්වැසියා ගේ ගෙළ මුලින් අල්වා ගැනීම ය. මේ ක‍්‍රමයේ අවසන් අදියරේ දී මෙකී ගැටළුවලට මුහුණ දුන් පුද්ගලයන් තම ගේ-දොර, ඉඩ-කඩම් විකුණා දමා ගම් බිම් අතහැර ගිය අවස්ථා කොතෙකුත් උදාහරණද ලෙස පෙන්වා දිය හැකිය.

lankaherald

Related posts

“පොලීසිය කියන“ සේයා ඝාතනයේ අලුත් සැකකරුවා කියන අලුත් කතාව

colombotoday

ජනපති සංචාරයකට දිවයිනෙන් පිටව යයි

Admin

මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත් වන්නැයි චම්පික රතන හිමිට කියයි

colombotoday

ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය – එස්.බී දිසානායක

colombotoday

පර්පචුවෙල් ට්‍රෙෂරිස්, බැදුම්කර ගන්න මහබැංකුවෙන් ගත් බිලියන 11 ණය ගෙවීමත් පැහැර හැරලා !

colombotoday

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday