Colombo Today Local NewsHot News

ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි

isis 365

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ පැතිරවීම සහ ප්‍රහාර සඳහා මේ වසරේ දළ සැලැස්ම පෙන්නුම් කරන ඉලක්කගත විදේශීය රාජ්‍ය ජාලයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇති බවට ඇමෙරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

ජාත්‍යන්තර ආරක්ෂක තත්ත්වය, යුද ගැටුම් පිළිබඳ සමීක්ෂණය කරනු ලබන ඇමෙරිකානු ආයතනයක් වන ජාත්‍යන්තර යුද ගැටුම් අධ්‍යයන ආයතනය විසින් නිකුත් කරනු ලැබූ නවතම සිතියමක් මගින් මේ බව හෙළිවී ඇත.

පසුගිය වසරේ නොවැම්බර් එම ආයතනය විසින් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ඉලක්ක දැක්වෙන සිතියමක් නිකුත් කර තිබූ නමුත් එහි ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආක්‍රමණය හා ප්‍රහාර සඳහා වන ඉලක්ක තුළට ඇතුළත් වී නොතිබිණි.

නමුත් එම සිතියමට අනුව එදා සිට මේ දක්වා අයි.එස්. ප්‍රහාර එල්ල වූ රටවල් මෙම සිතියමට ඇතුළත් වී තිබේ.

පසුගිය වසරේදී ශ්‍රී ලාංකිකයන් ගණනාවක් සිරියාවට ගෙන්වා ගැනීමට හා ඔවුන්ට සම්බන්ධ මෙරට පුද්ගලයන් සමග සබඳතා පවත්වා ගැනීමට හැකියාව ලැබීමෙන් අනතුරුව මේ වසරේදී තම ත්‍රස්ත ජාලය මෙරට තුළ ස්ථාපිත කිරීමට අයි.එස්. ත්‍රස්ත සංවිධානය කටයුතු කර ඇති බව ද අදාළ සිතියම ඔස්සේ ඇමෙරිකානු සමීක්ෂණ ආයතනය පෙන්වා දී තිබේ.

අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මේ වසරේ ක්‍රමෝපායික සැලසුම්, ඉලක්ක පිළිබඳ අනාවරණය කරනු ලබන මෙම සිතියම මගින් මේ වසරේදී ඔවුන්ගේ ඉලක්ක පිළිබඳ අනාවරණය කරගෙන ඇත. මේ සඳහා දැනට අයි.එස්. ත්‍රස්තයන් ඇතුළු වී සිටින රාජ්‍ය, ප්‍රහාර එල්ල කරන බවට කර ඇති ඇඟවීම්, ප්‍රහාර එල්ල කළ හා අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධුනිකයන් එකතු වූ රාජ්‍යයන් ද එකතු කොට තිබේ.

සිරියාව හා ඉරාකය, ජෝර්දානය, පලස්තීනය, ඊශ්‍රායලය, ලෙබනනය ආදී රටවල් කිහිපයක් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ මර්මස්ථාන ලෙස ද සෞදි අරාබිය, ඊජිප්තුව, සූඩානය, ඉරානය, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය ආදී රටවල් කිහිපයක් අයි.එස්. අභ්‍යන්තර ජාලයේ රටවල් ලෙසත්, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, චීනය, ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව ඇතුළු රටවල් ගණනාවක් අයි.එස්. ප්‍රහාර සහ සිය ත්‍රස්ත කටයුතු මෙහෙයවීමට අවශ්‍ය ජාලය ස්ථාපිත කිරීමේ දුරස්ථ විදේශීය රාජ්‍ය ලෙස ද නම් කර ඇත.

එසේම මෙම තත්ත්වය හේතුවෙන් මෙරට තුළද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඒ අනුව රට තුළ තිබෙන ආර්ථික මර්මස්ථාන ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් යොදවා විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද මෙහිදී තීරණය කර ඇතැයි සඳහන් වේ. එසේම බුද්ධි අංශ වෙත ලද ඇතැම් නිර්නාමික දුරකථන ඇමැතුම් කිහිපයක් ඔස්සේද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ආරක්ෂක ‍ලේකම්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ සඳහා විශේෂ බළකාය, කොමාන්ඩෝ බළකාය, විශේෂ කාර්ය බළකාය, ගුවන් හමුදාව, නාවික හමුදාව යොදවාගෙන ඇති බව සඳහන් වේ. ඊට අමතරව විශේෂ සුනඛ කණ්ඩායම් ද යොදවා ඇත.

විශේෂයෙන් මෙහිදී කටුනායක ගුවන්තොටුපළත්, කොළඹ වරායත්, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයත් ප්‍රධාන විදුලි බලාගාර කිහිපයක් කෙරෙහි ද මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ යොදවා ඇතැයි ආරක්ෂක අරංචි මාර්ග පවසයි.

ආනයනය කරනු ලබන භාණ්ඩ සහ පැමිණෙන විදේශිකයන් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවීම සඳහා අදාළ ස්ථාන වෙත බුද්ධි අංශ නිලධාරීන් අනුයුක්ත කොට ඇත.

ගයාන් ගාල්ලගේ/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි

Related posts

මෙච්චර හොද දේවල් කරන අපට ඇයි පොල් ගහන්නෙ – ඇමති ජෝන් අසයි

colombotoday

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

colombotoday

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

colombotoday

උපන්දින පාටියට සම්බන්ද පිරිස නිරෝදයනය ට ගෙන ගිය බස් රථය ආපසු හරවන්න නියෝග කල පුවත බොරුවක්

colombotoday

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

colombotoday

මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ විදුලි සෝපානයක සිරවෙයි

Admin