Colombo Today Local News

හමුදා ආරක්ෂාව ඉවත් කර, හිටපු ජනපති මහින්ද කොටින් ලවා ඝාතනය කරවීමේ සැළසුමක් !

wimalw2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සපයා තිබූ හමුදා ආරක්‍ෂාව ඉවත් කොට ඔහු නිසැක වශයෙන්ම එල්ටීටීඊය ලවා මරා දැමීමට සැලැස්වීමේ ක‍්‍රියාදාමයක් වත්මන් ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා දෙදෙනා වන අගමැති සහ ජනාධිපති විසින් අරඹා තිබෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කර සිටියේය.

‘‘චාවාකච්චේරි ඇතුළු යාපනය ප‍්‍රදේශයේදී පසුගිය සතිය තුළ හා ඊට පෙර මරාගෙන මැරෙන ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා. දැන් අනාවරණය වී තිබෙන ආකාරයට එම ද්‍රව්‍ය පොළොව යට සගවා තැබූ ඒවා නොවෙයි. එසේ සගවා තැබුවත් පසුව එළියට ගෙන යම් මෙහෙයුමක් සඳහා යොදා ගැනීමට නිවසක් තුළ ඒවා තබා තිබූ බව දැන් පැහැදිළියි. අපට ලැබී ඇති තොරතුරු අනුව බුද්ධි අංශ විසින් මේ ආණ්ඩුවට අනතුරු හගවා තිබෙනවා, ‘එල්ටීටීඊය නැවත මෙහෙයුම් ඇරඹීමට සූදානම් වෙනවා’ කියලා. නමුත් ඒ කිසිදු අනතුරු හැගවීමක් සැලකිල්ලට ගෙන නොවෙයි මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ.

‘මහින්ද මරාදැමීමට සැලස්වීමේ ක‍්‍රියාදාමයක්’

එහෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හමු වෙනවා. කොටි සංවිධානයේ ප‍්‍රබල ක‍්‍රියාකාරීන් ඒවා තම නිවෙස් තුළ තබාගෙන කිසියම් මෙහෙයුමකට සූදානම් වන බව ඕනෑවටත් වඩා පැහැදිළි වෙනවා. එසේ තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් සිටින යුද හමුදා සෙබළුන් සියලූ දෙනාම 2016 මැයි මාසය වන විට ඉවත් කර ගැනීමේ නියෝග නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිළිව චෝදනා කරනවා, අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට. ඔවුන් තමයි මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා දෙදෙනා. නිසැක වශයෙන්ම එල්ටීටීඊය ලවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මරා දැමීමට සැලැස්වීමේ ක‍්‍රියාදාමයක් තමයි මේ ආරම්භ කොට තිබෙන්නේ. ඒ නිසා තමයි යුද හමුදාවේ ආරක්‍ෂාව එතැනින් ඉවත් කරන්නේ. එතුමාගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ කටයුතුවල නිරත වන්නේ යුද හමුදා සාමාජිකයන්. ඒ අය එතුමාගේ ශරීර ආරක්‍ෂාව පිළිබඳ කටයුතුවල නිරත වෙනවා. ප‍්‍රභූ ආරක්‍ෂක පොලිස් නිලධාරීන් සිදු කරන්නේ ඊට අදාළ වෙනත් රාජකාරී. මෙතැනදී සිදු වන්නේ යුද හමුදාවේ සියලූම දෙනා ඉවත් කරලා ඒ වෙනුවට පොලීසියේ ප‍්‍රභූ ආරක්‍ෂක අංශයේ සිටින වයෝවෘද්ධ නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීම. සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීයා(PSO) ලෙස කටයුතු කළ නිලධාරියාත් දැන් මෙතැනට අනුයුක්ත කරලා තිබෙනවා. මේ හදන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු සේනාධිනායකතුමන්ට ආරක්‍ෂාව ලබාදෙන්න නොවෙයි, අනාරක්‍ෂාව කරා එතුමාගේ ජීවිතය වේගයෙන් ගෙන යන්න.

අපේ දේශපාලන මතවාද කෙසේ වුවත්, අපි මොනපාට කණ්ණාඩියෙන් රටේ ප‍්‍රශ්න දිහා බැලූවත් අපි කාටත් මරණ බියෙන් තොරව, නිරුපද්‍රිතව මේ රටේ වාසය කරන්න නායකත්වය දීපු, දශක තුනක ත‍්‍රස්තවාදය ඉවර කරපු, අපේ දරුවන්ට බියෙන් තොරව පාසලට ගිහිල්ලා එන්න ඉඩ හදපු, ඒ සේනාධිනායකයාව බිලිගන්න මේ ආණ්ඩුව ඉඩ සලස්වනවානම් ඔබ ඒ අපරාධය ඉවසනවාද? අපි අද භුක්ති විඳින සාමය මේ රටට උදා කරදීමට දිවිහිමියෙන් කටයුතු කරපු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ හමුදා ආරක්‍ෂාව ඉවත් කරලා ඔහුගේ ජීවිතය කොටි ප‍්‍රහාරයකට විවර කරන්න මේ ආණ්ඩුව දරන ප‍්‍රයත්නය ඔබ පිළිගන්නවාද? කරුණාකර මෙය එක පුද්ගලයකුගේ ආරක්‍ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස ලඝු කර දකින්න එපා. අපේ ආරක්‍ෂාව සලසපු නායකයාගේ ආරක්‍ෂාව අපට සලසන්න බැරිනම් අපි ආධ්‍යාත්මය මැරුණු ජාතියක් වෙන්න ඕනෙ. අපි එක දෙයයි ජාතියෙන් ඉල්ලන්නේ. ‘මේ අමන පාලකයන්ට ඒ අපරාධය සිදු කරන්න ඉඩ දෙන්න එපා. ඊට එරෙහිව සාමූහිකව සටන් වදින්න.’

‘කෝටි තුනේ යහපාලන ගොවි සමුළුව’

මේ ආණ්ඩුව බලයට ආවේ නාස්තිය, දූෂණය ගැන අපූරු සුරංගනා කතා ගොඩක් කියලා. මේ ආණ්ඩුව බලයට ගෙන ඒමේ ‘සහායක ඩැනීලා’ ලෙස කටයුතු කරපු ඩීල් කුමාරලාත් ඒ තනුව සහ පද මාලාවමයි ගායනය කරනු ලැබුවේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද(06) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ගොවි සමුළුවක් පැවැත්වෙනවා. මේක සංවිධානය කරන්නේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයෙන්. මේ ගොවි සමුළුවට රුපියල් තුන්කෝටි අටලක්‍ෂයක් වියදම් කරනවා. රුපියල් තුන්කෝටි අටලක්ෂයක් වියදම් කළාට මේ සමුළුවට ගොවීන් කීදෙනකු පැමිණේවිද කියන්න අපි දන්නේ නැහැ. ආහාර වෙනුවෙන් හැටලක්‍ෂයක්, පසුතල ආලෝකකරණය සහ ශබ්ද විකාශන කටයුතු සඳහා අසූලක්‍ෂයක්, ගොවීන් ප‍්‍රවාහනයට හැත්තෑලක්‍ෂයක්, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ මූණ දාලා හදපු පිඟානට සහ සිහිවටනවලට හතළිස්ලක්‍ෂයක් හා සැරසිලි සඳහා පන්ලක්‍ෂයක් ආදී වශයෙන් රුපියල් තුන්කෝටි අටලක්‍ෂයක් වියදම් කරනවා. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ මූණ දාලා හදපු පිඟානේ මස්, මාළු දාගෙන කෑම කනකොට එතුමාවත් කනවා වගේ පෙනෙන නිසා ඒ පිඟාන ගොවීන්ට බෙදීම දැන් නතර කරලාලූ. ඒත් වියදම එහෙමමයි.

‘බොරු පූච්චානම් කතා’

‘මම කන්නේ කෙහෙල් කොලේ හිටං’ වැනි සරලකම, අල්පේච්ඡතාව ගැන බොරු පූච්චානම් කතා කියමින් බලයට ඇවිල්ලා දැන් මොකද මේ කරන්නේ? අද මේ අය මහජන ධනය නිර්ලජ්ජිතව ගසා කනවා විතරක් නොවෙයි, නාස්ති කරනවා. එදා අපේ ආණ්ඩුව කාලේ පවත්වපු දැයට කිරුළ සංවර්ධන ව්‍යාපෘතිය ගැන විවේචනය කරපු මේ අය අද කෝටි ගණන් මුදල් වැය කරලා තරුණ තරුණියන් රැගෙන ඇවිල්ලා යොවුන්පුරය නමින් දේශපාලන උත්සව පවත්වනවා. මේ අය අද කරන දේ සහ එදා කියපු දේ අහසට පොළොව වගේ වෙනස්. අපි මේ ටික කිව්වාම ජනාධිපති සිරිසේන මහත්තයා කියන්න ඉඩ තිබෙනවා, ‘මම මේක දැනගත්තේ පත්තරෙන් හිටං’ කියලා. තමුන්නාන්සේලා පත්තර ගහන්නේ නැතිනම් එතුමා රටේ සිදුවන මෙලෝ දෙයක් දන්නේ නැහැ.

‘ජනතාවගේ හුස්ම හිරකරවන බදු බරක්’

අප්‍රේල් 01 වැනිදා මෝඩයාගේ දවසේ ගහන්න තිබුණු බදු ටික අවුරුද්දෙන් පසුව ගහන්න දැන් මේ අය සියල්ල සූදානම් කරලා තිබෙනවා. ඒ බදු සංශෝධනය ක‍්‍රියාත්මක වුණාම පුද්ගල ආදායම් බදු, සමාගම් ආදායම් බදු වැඩි වෙනවා. අය වැය ඉදිරිපත් කරමින් රවී කරුණානායක මුදල් ඇමතිවරයා කිව්වා, ‘උපයන විට ගෙවන බද්ද සඳහා වන සීමාව රුපියල් ලක්‍ෂ 24 දක්වා ඉහළ දමනවා’ කියලා. ඒක පට්ටපල් බොරුවක්. පුද්ගල ආදායම මසකට රුපියල් ලක්‍ෂ 6ට වැඩිනම් ඒකට බදු ගහන්න මේ අය කටයුතු යොදා තිබෙනවා. ආනයන භාණ්ඩ සඳහා මෙතෙක් අය කළේ 10%ක බද්දක්. ඒක දැන් 17.5%ක් දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල අවප‍්‍රමාණය වීම සහ මේ බදු ඉහළ යාම නිසා සියලූ ආනයනික භාණ්ඩවල මිල අහසට නැගීම වළක්වන්න බැහැ. ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ අපේ කාලයේ තිබුණේ 12%ක බද්දක්. මේ ආණ්ඩුව ඒකත් 17.5% දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ නිසා ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ සියලු අමු ද්‍රව්‍යවල මිල අවුරුද්දෙන් පසුව ඉහළ යාමට නියමිතයි. ඒ වගේම පෞද්ගලික අධ්‍යාපන සේවා සහ සෞඛ්‍ය සේවාවලට අලුතින් බද්දක් හඳුන්වා දී තිබෙනවා. එය 17.5% බද්දක්. එමගින් පෞද්ගලික උපකාරක පන්තිවල ගාස්තු, පෞද්ගලික පාසල් ගාස්තු හා පෞද්ගලික රෝහල් ගාස්තු ආදී සියල්ල අවුරුද්දෙන් පසුව ඉහළ යනවා.

වැට් බද්ද තිබුණේ 11%කට. ඒක නිෂ්පාදන ක්ෂේත‍්‍රයට 12.5%ක් සහ සේවා ක්ෂේත‍්‍රයට 8%ක් ලෙස සංශෝධනය කරනවා කියලයි මේ අය, අය වැයෙන් කිව්වේ. දැන් කරන්නේ 11%, 12.5% හා 8% ආදී ලෙස එක් එක් ක්ෂේත‍්‍රයට තිබුණු වැට් බදු අනුපාතික සියල්ල 15% දක්වා ඉහළ දැමීමට කටයුතු කිරීමයි. ඉහත කී බදු සමගින් 15%ක වැට් බද්දක් ආපුවාම මේ රටේ ජනතාවගේ හුස්ම හිරකරවන බදු බරක් පැටවෙන එක වළක්වන්න බැහැ.

ඒ විතරක් නොවෙයි මේ අය ආණ්ඩුව පවත්වාගෙන යන්නේ දිගින් දිගටම බැඳුම්කර අලෙවිය මගින්. අද මේ රටේ බැංකු පුරුදු වෙලා ඉන්නවා, මහ බැංකුවට ණයට සල්ලි ටික දීලා ඒකෙන් ඉතා ඉහළ පොලියක් ගැනීමට. ඒ නිසා රටේ මහජනයාට ණය මුදල් ලබාගැනීමට අපහසු වෙලා තිබෙනවා. ඒකේ ප‍්‍රතිඵලයක් ලෙස මුදල් සංසරණය වේගයෙන් හීන වෙලා. රටේ ආර්ථික වර්ධන වේගය 4%ට කඩා වැටෙමින් තිබෙනවා. අපට දැනගැනීමට තිබෙන ආකාරයට පසුගිය අවුරුදුවලට සාපේක්ෂව මේ අවුරුද්දේ මුල් කාර්තුවේ පිටරටින් භාණ්ඩ ගෙන ඒම 20-30%කින් අඩු වෙලා තිබෙනවා. බලයට ආවේ ‘නළුවෙක් නොවෙයි මොළයක්’ කියලා. ඒත් දැන් ඔප්පු කරලා ඉවරයි, ‘ජෝකරයෙක්’ කියලා. මේ ජෝකර්ලා මේ රට දවසින් දවස ප‍්‍රපාතයට ඇදගෙන යනවා. එවැනි වාතාවරණයක් තිබියදී තමයි ගොවි සමුළු සඳහා රුපියල් කෝටි තුනකට එහා මුදලක් වැය කරන්නේ. අපි අභියෝග කරනවා, ‘මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හැකිනම් මේ රාජ්‍ය මුදල් අවභාවිතය ගැන පරීක්‍ෂණයක් සිදු කරන්න’ කියලා.

– අනුරුද්ද බණ්ඩාර

Related posts

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

මඩකලපුව, කාත්තාන්කුඩි නිවාස දෙකකින් පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ අත්අඩංගුවට

colombotoday

මහ ගාලගෝට්ටියක් මැද අගමැති මහින්ද පාර්ලිමේන්තුව අමතයි [Live]

colombotoday

විශ්ව විද්‍යාලයේ ගෞවරය රැක ගන්න නව කුලපති පත් කිරීම ගැන නැවත සලකා බලන්නැයි වෛද්‍ය පීඨ ආචාර්යවරු ඉල්ලයි

colombotoday