Colombo Today Local News

චාවකච්චේරි කොටියා, ස්වීස් කොටි ජාලයෙන් මෙහෙයවූ බෝම්බ විශේෂඥයෙක් බව හෙළිවෙයි !

යාපනය, චාවාකච්ච්ෙරියෙන් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල හමුවීමත් සමග එය යළි එල්.ටී.ටී.ඊ. යේ හිස එසැවීමක මූලාරම්භය විය හැකි බවටත් මීට පෙර යුද්ධය අවසානයත් සමග කිහිප වතාවක්ම හිස ඔසවන්නට ගත් උත්සාහයන් ගැන මාධ්‍ය වලින් සවිස්තරාත්මකව හෙළි කිරීමත් සමග ‍පොලිස් ඔත්තු අංශ වෙත මාධ්‍ය වෙත තොරතුරු ලැබෙන ආකාරයද සොයා බලමින් ඇත්තේය. එම කාර්යය රාජ්‍ය ඔත්තු සේවාව වෙත පවරා තිබෙන්නේය.

කෙසේ වුවද රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ යළි තර්ජනයක් රට හමුවේ ඇත් නම් සත්‍යය දැන ගැනීම ජනතාව සතු අයිතියක්ය. ජනතාව දැනුවත් වන්නේ නම් ජාතිභේදයකින් තොරව ත්‍රස්තවාදය සම්බන්ධ තොරතුරු ගැන ඔවුන්ද අවධානයෙන් සිටීම අනාගත අභියෝගයන් ජය ගැනීමට හේතු වන්නට විය හැකිය.
ත්‍රස්තවාදයට එරෙහි බුද්ධි මෙහෙයුම්වලදී සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේ හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, ත්‍රස්ත විමර්ශන කාර්යංශය, රාජ්‍ය බුද්ධි සේවාව යන කණ්ඩායම්ය. එහිදී සැමවිටම ප්‍රමුඛතාව ලැබුණේ සන්නද්ධ බුද්ධි බළකායටය.

චාවකච්ච්ෙරි සිද්ධිය සුළු සිද්ධියක් සේ හුවා දක්වමින් රට හමුවේ ඇති ඉදිරි අනතුර පිටතට නොයා යටපත් කර දේශපාලන වාසි ගන්නට ගියත් මේ වනවිට ආරක්ෂක මණ්ඩලය හමුවේ ඉදිරිපත් වන කරුණු කාරණා අනුව තත්ත්වය භයානකය.

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සමග අත්අඩංගුවට ගත් කබ්රියල් එඩ්වඩ් ජුලියට් නම් වූ කොටි සාමාජිකයා අම්බලගන් නමැති කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු බව මේ වනවිට අනාවරණය වෙමින් ඇත්තේය.

මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටල සැකසීම ඇතුළු අනෙකුත් බෝම්බ වර්ග සම්බන්ධවද පළපුරුදු කොටි ත්‍රස්තයකු වූ අම්බලගන් වව්නියාවේ කොටි ඔත්තු අංශ ලොක්කා ලෙස කටයුතු කර ඇති අයෙකි.

කොටි ටොසී ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ ශිවශංකර්, ‍පොට්ටු අම්මාන්ගේ ළඟ හිටපු නායකයකු ලෙසින් අම්බලගන් කටයුතු කර ඇත. වයස අවුරුදු දාහතරක පාසල් යන වයසේදී මන්නාරම, මුරුන්කන්වලදී අම්බලගන් පැහැරගනු ලබන්නේ පාසල වෙත යමින් සිටියදීය. කොටි සංවිධානයේ නමක් දිනාගෙන ඉහළට යන අම්බලගන්ගේ පවු‍ලේ වැඩිමල් සොයුරාද කොටි සංවිධානයට බැඳී සටන්වලදී මියගිය කොටි ත්‍රස්තයෙකි. එමෙන්ම අම්බලගන්ගේ අක්කාගේ සොයුරාත් කොටි සංවිධානයට එක්වී මියගොස් ඇත්තේය. මේ අයුරින් බලද්දී අම්බලගන්ගේ පවුල් පසුබිමේ සිටින සියලු දෙනා කොටි සංවිධානයට සම්බන්ධ වූවන් වෙති.

වන්නි මානුෂීය මෙහෙයුමට පෙර වව්නියාව, සෙට්ටිකුලම, මන්නාරම ඇතුළු ප්‍රදේශවල හමුදා බස්රථ හා සිවිල් වැසියන් ගමන් ගන්නා බස්රථවලට ක්‍ලේමෝ බෝම්බ ප්‍රහාර එල්ල කිරීම මෙහෙයවා ඇත්තේ මෙකී අම්බලගන්ය.
යුද්ධය අවසන් වීමට වසරකට පමණ පෙරාතුව රජයේ පාලන ප්‍රදේශය වෙත පැනගන්නා අම්බලගන් වසර ගණනක්ම රජයේ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ වෙත හසු නොවී එළවළු, වට්ටක්කා ප්‍රවාහනය කරන ලොරි රියැදුරකු මෙන් රට පුරා කරක් ගසා තිබුණේය.

මේ සියලු සිදුවීම් වෙද්දී අම්බලගන්ව විදෙස් රටවල ක්‍රියාත්මක කොටි ඔත්තු ජාලයන් හා ඩයස්‍පෝරාව එක්ව ත්‍රස්ත ක්‍රියා සඳහා යළි සක්‍රිය සාමාජිකයකු ලෙස යොදවාගෙන ඇත්තේය.

අම්බලගන්ව ඊළාම් රාජ්‍යයේ වුවමනාවන් වෙනුවෙන් අවශ්‍ය ඉලක්ක කරා යැවීමට ස්විස් කොටි ජාලය විසින් මෙහෙයවා ඇති බවට දැනට තොරතුරු අනාවරණය වන්නේය.

ස්විස් කොටි ජාලය එල්.ටී.ටී.ඊ. යේ නැවත නැගිටීම පෙන්නුම් කරන්නට අම්බලගන්ගෙන් හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය උපයෝගි කරගන්නට උත්සාහ ගන්නට ඇතැයි ආරක්ෂක අංශවල සැකය වී ඇත්තේය.

වත්මන් රජය උතුරේ සංහිඳියාව ඇති කරගන්නට වෙහෙස ගත්තේ ජාත්‍යන්තර වශයෙන් රටට එල්ලවන බලපෑම් අවම කරගැනීමටත්, උතුරු නැගෙනහිර දෙමළ, මුස්ලිම් ජනතාව දිනා ගැනීමත් අපේක්ෂාවෙනි. සංහිඳියාව ඇති කරලීමේ රජයේ වුවමනාවට බහුතර දෙමළ ජනතාවගේද කැමැත්ත ඇත්තේය. ඒ තිස්පස් වසරක ත්‍රස්තවාදයේ සාපය නැවතත් තම දරු පරපුරටත් අත්විඳින්නට ඉඩ දෙන්නට දෙමළ ජනතාවගේ බහුතරයක් කැමැති නැත. සංහිඳියාව තුළින් සැබෑ සාමයක් අත්පත් කර දෙන්නට රජයට සැබෑ වුවමනාවක් තිබුණද දෙමළ ජාතික සන්ධානයට අයත් බහුතරය රටේ මහ ජාතිය සමග එකතු වී මෙම ප්‍රශ්නය විසඳන්නට කැමැත්තක් දක්වන්නේ නැත.
උතුරේ දෙමළ දේශපාලනඥයන්ට දැන් ඇති නිදහස හමුවේ ජනතාවගේ ධීවර ගැටලු, ඉඩම් ගැටලු ඇතුළු විසඳාලිය හැකි ගැටලුවක්වත් විසඳන්නට ඔවුන් උත්සුක නොවන්නේ ජනතා විරෝධය රජය වෙත ගෙනයන්නටය.

ඉන්දියාවට පැනගොස් සිටි වර්ධරාජා පෙරුමාල් ඇතුළු දෙමළ පක්ෂවල නායකයන් බහුතරය තවමත් හීන දකින්නේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවාලන්නටය. වත්මන් රජය උතුරේ ප්‍රශ්නයට විසඳුම් දී සැබෑ සංහිඳියාවක් ඇති කළහොත් දෙමළ පක්ෂවලට අනාගතයක් නොවන බවද ඔවුන් සක්සුදක් සේ දන්නේය. දෙමළ පක්ෂවල වුවමනාවට යළි නගා සිටුවන්නට යන කොටි සංවිධානයට ‍පෝෂණය වන්නට දීමට සැබෑ සංහිඳියාවක් ඇති වුවහොත් ඉඩක් නොවන බවද ඔවුන් දන්නේය. ඒ නිසාම සංහිඳියාවක් ඇති කරන්නට පෙර එය කඩාකප්පල් කරන්නට වෙර දරන්නේද අන්තගාමී දෙමළ දේශපාලනඥයන්ගේ වුවමනාවට බව බුද්ධි අංශ දැන් හෙළි කරගෙන ඇත. මෙකී දෙමළ පක්ෂවල අන්තගාමීන්ගේ ක්‍රියාකාරීත්වයද මේ වනවිට ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද වී හමාරය.

රජයේ හමුදාවන් උතුරෙන් ඉවත් කරන්නට පාර කපන්නේ දෙමළ ජනතාව නොවන බවද පැහැදිලිය. උතුරේ වැසියන් රජයේ හමුදාවන්ගේ කඳවුරු ඉවත් කරගන්නවාට කැමැත්තක් නැත්තේද ඔවුන්ගේ එකම ගැලවුම්කරු හමුදාවන් වන නිසාය. උතුරේ දෙමළ ජන සමාජය තුළ ඔඩුදුවා ඇති කුලභේදය නිසා උතුරේ රෝහල්වල පණ අදින ලෙඩකුටවත් ‍ලේ දෙන්නට නොහැකි වන අවස්ථා රෝහල් තුළ පවතින්නේය. ඒ සෑම මොහොතකම උතුරේ රෝහල්වල මරණය සමග සටන් කරන ජනතාවට ‍ලේ දෙන්නට යන්නේ සටන් පාඨ කියන දේශපාලකයන් නොව දකුණේ සිංහල හමුදා භටයන් බව ජාත්‍යන්තරයට දැන්වත් දෑස් විවර කර බලන්නට කටයුතු යෙදිය යුතුය. යාපනයේ සිටින දෙමළ ජනගහනයෙන් සියයට පනස් දෙකකටත් වඩා ඇත්තේ කුල හීනයන්ය. ඒ නිසා ඔවුන් පාගා හිස ඔසවන උතුරේ උසස් කුලවල අය ඔවුන්ට ජීවත් වන්නට ‍ලේ බිඳක්වත් දෙන්නේද නැත. මසකට ‍ලේ පයින්ට් දෙතුන් සියය දෙන්නේත් හමුදා සෙබළුන්ය.

දෙමළ ජනතාවගේ හමුදා විරෝධයක් නොමැති වුවද උතුරේ ද්‍රවිඩ දේශපාලනඥයන්ගේ බලපෑම මත ජනතා විරෝධයක් පෙන්වන්නට යන්නේද ඊළාම් පාලනයක් යටතේ රජ කරන්නට උතුරේ අන්තවාදී දේශපාලනඥයන් සිහින දකින නිසාය.

ඒ නිසා උතුරේ අර්බුදය හිඟන්නාගේ තුවාලය මෙන් පාරන්නට පටන්ගෙන ඇත්තේද මෙකී අන්තවාදී දේශපාලනඥයන් හා ඩයස්‍පෝරා ප්‍රබලයන්ගේ වුවමනාවටය. පසුගිය රජය යළි නැගිටින්නට උත්සාහ දරන දෙමළ ඊළාම් හිතවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගනිමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගනිද්දී යුද්ධයෙන් පසුව තෙවතාවක් එල්.ටී.ටී.ඊ. ය හිස ඔසවන්නට උත්සාහ දරා තිබිණි.

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් වරෙක ඉන්දියාවෙන් තමිල් ප්‍රභාකරන් මනි නමැති කොටි හිතවාදී වබේ අඩවි නිර්මාණකරුවකු ගෙන්වා ජිනීවාවලට වැරදි මත යැවීමට ගත් උත්සාහයක් ආරක්ෂක අංශ ව්‍යර්ථ කළේය.
ප්‍රභාකරන්ගේ සටන විමුක්ති සටනක් ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ත්‍රස්තවාදීන් අනුස්මරණය කළ යුතු බවට හඬක් නැගූ මෙකී ශ්‍රීධරන්ගේ කිලිනොච්චි කාර්යාලයේදී පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් පන්සීයක් සමග සම්බන්ධීකරණ ‍ලේකම්වරයාව අත්අඩංගුවට ගන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සමත් විය.

පළමු නැගිටීම

ප්‍රංශයේ සිටින කොටි ඔත්තු අංශයේ නව නායක විනයාකම් (සේගරම්පිල්‍ලේ විනයාගමුර්ති) යටතේ යළි ඉපදෙන ජාත්‍යන්තර බුද්ධි ජාලය නමින් ඉන්දියාවේ සිට එකසිය පනහක කොටි කණ්ඩායමක් මුහුදු මාර්ගයෙන් එවා අලුතින් අරඹන්නට ගිය මෙහෙයුමක් නාවික හමුදා බුද්ධි අංශය අනාවරණය කරගත්තේය. ඒ 2012 මාර්තුවේදීය. මුහුදු මාර්ගයෙන් විටින් විට එවන පුහුණු වූ කොටි සාමාජිකයන් ලවා මෙරට බුද්ධි අංශවලට ඔත්තු සපයන්නන් ඝාතනය කිරීමට විනයාකම්ගේ මෙම කොටි ජාලය ක්‍රියාත්මක වූයේය.

‘ඔපරේෂන් බ්ලැක් ෆෝකස්’ නමින් ත්‍රිකුණාමල නාවික කඳවුරේ බුද්ධි නිලධාරීන් මෙහෙයවූ මෙහෙයුමකින් විනයාකම්ගේ අලුත් ඉලක්ක සොයන කොටි ජාලය මැඬපවත්වන්නට හැකිවුණේය.

මෙය 2009 මැයි 18දා කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව කොටි ත්‍රස්තවාදය නිහඬ කළද එයින් පසුව යළි හිස ඔසවන්නට උත්සාහ ගන්නේ 2012 මාර්තු 17දාය. ඒ පළමු ප්‍රයත්නය විය.

විනයාකම් එවූ කල්ලිය ත්‍රිකුණාමල කුච්චවේලිහිදී වේලායුදන් රගුනාදන් (මුතු) නම් ඊ.පී.ඩී.පී. සාමාජිකයාගේ ගෙල කපා මරා දමා ‘ද්‍රෝහියාට මරණය’ යනුවෙන් සඳහන් පුවරුවක් හා ඊළාම් ලාංඡනය සහිත කොටි කොඩියක් එතැන දමා ගොස් තිබිණි. මෙම පිරිස 2012 මාර්තු 06දා ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට එන්නේ විනයාකම් ඉන්දියාව එවූ සතිෂ් කුමාර් (කුමරන්) නමැති කොටින්ගේ මූලස්ථාන කණ්ඩායමේ සාමාජිකයාගේ උපදෙස් මතය.

නාවික හමුදා බුද්ධි අංශ හෙළි කරගත් තොරතුරු අනුව පස්දෙනා බැගින් කණ්ඩායම් එවා ඝාතන මාලාවක් ඇරඹීම මුල්ම ඉලක්කය විය.

දෙවැනි නැගිටීම

මැ‍ලේසියාවේ සිට දෙවැනි වරට කොටි ත්‍රස්තවාදය හිස ඔසවන්නට ගිය අවස්ථාවක් වූයේ ‘දෙවැනි පරම්පරාවේ හමුදාව’ ලෙසින් උතුරේ නවක තරුණයන් බඳවාගෙන ඉන්දියාවට ගොස් පුපුරන ද්‍රව්‍ය පුහුණුව ලබාදීමේ සිද්ධිය ය.

ඉන්දියාවේ පුහුණුවට යවන තරුණයන්ට මැ‍ලේසියාවේ සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදල් එවා තිබුණේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ ජාත්‍යන්තර කොටි ජාලයේ සිටින කාන්තාවකි.
මෙකී මෙහෙයුම යුද හමුදා බුද්ධි බළකාය අනාවරණය කරගන්නේ 2012 නොවැම්බර් කොටි විරු සතියේදී ප්‍රභාකරන්ගේ උපන් ගමේ ඊළාම් කොඩිය ඔසවන්නට ගිය ෂිවෂම්බු නමැති කොටි ක්‍රියාකරු කොළඹදී කොටු කිරීමෙන්ය. ඉන්පසු ඉන්දීය රජය සමග එක්වී මෙරට බුද්ධි කණ්ඩායමක්ද ඉන්දියාවට ගොස් ඉන්දීය බුද්ධි අංශ මෙහෙයවීමෙන් 2012 දෙසැම්බර් 19දා චෙන්නායිහි පල්ලවරම් ප්‍රදේශයේ නිවසක් වටලන ලදී.

එහිදී සුරේෂ් කුමාර් (34) නමැති කොටින්ගේ පුපුරන ද්‍රව්‍ය හා විද්‍යුත් පරිපථ නිර්මාණය කිරීම පිළිබඳ විශේෂඥයකු සමග ඔහුගෙන් පුහුණුව ලැබිමට ගිය උදය ඩොස්, ටී. මහේස්වරන්, කේ. ක්‍රිෂ්ණමූර්ති යන අයද කොටුවිය.

ඉන්දියාවේ රෝ සංවිධානයද මෙයට සහාය දුන් බවට සැක පහල වන්නේය.
මෙවර කොටි කණ්ඩායම් හිස ඔසවන්නට කටයුතු යෙදුවේ තෙයිවිගන් හෙවත් සුන්දරලිංගම් කප්දිපන් බව හෙළිවිය. තෙයිවිගන් මෙම සිද්ධිය වනවිට තමිල්නාඩුවේ සිට බේරී පැමිණියත් නෙදුන්කර්නි කැලයේදී ගෝපි හා අප්පන් සමග මරුමුවට පත්වීමෙන් පසුව තුන්වැනි වරට කොටි හිස ඔසවන්නට ගත් උත්සාහය හෙළිවිණි.
2014 මාර්තු 06දා පලාලි ‍පොලිසියේ ස්ථානාධිපති ආනන්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කුලසංකර් නමැති කොටි ත්‍රස්තයකු කොටි ‍පෝස්ටර් තොගයක් සමග අල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමත් සමග තේවියන්ගේ ඉලක්කය හෙළිවිණි.
මෙම කොටි මෙහෙයුම දියත්ව තිබුණේ ස්විස්ටර්ලන්තයේ සිටින කොටි ප්‍රබලයන් හරහාය. ‍පෝස්ටර් බෙදීම වෙනුවෙන් කුලසංකර් සමග සිටි එක් අයකුට මසකට රුපියල් විසිදහස බැගින් ස්විස් රටෙන් ලැබි තිබිණි.

යළි හිස ඔසවන්නට යන කොටි සංවිධානයට අවශ්‍ය සැපයුම් ලැබුණේ යුරෝපය කේන්ද්‍ර කරගෙනය. ඒ සඳහා තෙයිවිගන් සකස් කළ පහළොස් දෙනාගේ කණ්ඩායමට නායකත්වය දුන්නේ ස්විට්සර්ලන්තයේ සිටින කොටි ‍‍‍ජ්‍යෙෂ්ඨයකු වන දයා මෝගන්ය. මඩකලපුව, අම්පාර කොටි දේශපාලන නායකයා වශයෙන් කටයුතු කළ දයා මෝගන් රටින් පනින්නේ 2009 මැයි මස අවසන් සටනේදීය.

ප්‍රංශයේ විනයාකම් හා නෝර්වේහි සිටින නෙදියවන් (පෙරින්බනායගම් ශිවපාරන්) යටතේ යළි හිස ඔසවන්නට යන කොටි සංවිධානයේ ප්‍රබල ඉලක්කයක් සඳහා ගෝපි, අප්පන්, තේවියන් මෙරට පැමිණ තිබිණි. නමුත් කුලසංකර්ව කොටුවීමත් සමග රහසිගත මෙහෙයුම් සියල්ල හෙළිවන අතර නෙදුන්කර්නි කැලයේදී 2014 අප්‍රේල් 11 හමුදා මෙහෙයුමකින් මෙම කණ්ඩායම මරුමුවට පත්වීමත් සමග තුන්වැනි අරමුණත් බිඳ වැටිණි.

තෙයිවිගන් 2009 වසරේ අවසන් සටන යද්දී කොටි නායක ප්‍රභාකරන් විසින් නෙදුන්කර්නි වනයට පිටත්කර යවන්නේ අවසන් මොහොතේ සැඟවීමට හා පැන යෑමට අවශ්‍ය රහසිගත කඳවුරක් නෙදුන්කර්නිහි ඉදිකිරීමටය. අවසානයේ නෙදුන්කර්නි කැලයේදී තෙයිවිගන් මරු දකින්නේත් යළි කොටින්ට පණ දෙන්නට ආ මොහොතේදීය. ප්‍රභාකරන්ගේ දැඩි හිතවන්තයකු මෙන්ම කොටින්ගේ දක්ෂ ගුවන් නියමුවකුද වූ තෙයිවිගන්ගේ මරණයත් සමග එම මෙහෙයුමත් නැවතිණි.

ඉන්පසුව එල්.ටී.ටී.ඊ. ය යළිත් සන්නද්ධමය අතින් හිස ඔසවන්නට ගත් උත්සාහයක් ගැන අනාවරණය වන්නේ චාවකච්ච්ෙරි සිද්ධිය සමගය. එල්.ටී.ටී.ඊ. යේ පුනරුත්ථාපනය වූ සාමාජිකයන් හා පුනරුත්ථාපනය නොවූ සාමාජිකයන්ද යළිත් ක්‍රියාශීලී තත්ත්වයට ගෙන එන්නට ඩයස්‍පෝරාවට සම්බන්ධ කොටි නායකයන් වලිකන්නේය.

එකොළොස් දහසක කොටි කණ්ඩායමක් දැනට පුනරුත්ථාපනය කර සමාජගත කර ඇත්තේය. පසුගිය කාලසීමාවල හමුදාව කඳවුරුවලට සීමා කිරීමත්, බුද්ධි අංශ ක්‍රියාකාරකම් අඩපණ වීමත් සමග ඕනෑම ආකාරයකට හිස එසැවීමට රහසිගත මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට කොටි ජාලයට ඉඩකඩ ඇත්තේය.

චාවකච්ච්ෙරියේදී කොටි බෝම්බ කට්ටල සමග හමුවූ අම්බලගන්ව දැනට සිරගතව සිටින කොටි බුද්ධි අංශයේ ප්‍රහාරක මෙහෙයුම් ප්‍රධානියා වන තිරුබාකරන් හෙවත් මොරිස් සමග සබඳකම් පැවැත්වූ බවටද කියැවෙන්නට විය.

ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්‍ලේ මහතාගේ ඝාතනය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව දෙවරක් ඝාතනය කිරීමට තැත් කිරීම, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ ඇමැති ධුරයක් දරද්දී ඝාතනය කිරීමට තැත් කිරීම, හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදා මූලස්ථානය තුළදීම ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළු ප්‍රභූ ඝාතන සැලසුම් 23ක් සැලසුම් කළ අයකු ලෙස මොරිස්ව හඳුනාගෙන ඇත.

මොරිස් ජාත්‍යන්තර කොටි ජාලය සමග හිරගෙදරදීත් සබඳකම් පවත්වා තිබූ බවටද හෙළිවන්නේය. බූස්සේ රඳවා සිටි මොරිස් සමග සාකච්ඡා කරන්නට පසුගිය වසරේ මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත පිරිසද කටයුතු කළේ මොරිස් කොටින්ගේ ජීවතුන් අතර සිටින ප්‍රබලයකු නිසාය.

2009 මාර්තු 10දා අකුරැස්ස, ගොඩපිටිය ජුම්මා පල්ලියේ උත්සවයට ආ මැති ඇමැතිවරුන් ඉලක්ක කර යෙදවූ බුටෝ නමැති කොටි බෝම්බකරු ගෙන්වා තිබුණේ මැ‍ලේසියාවේ සිටය. එක්වරක මැ‍ලේසියාවේ සිට ඉලක්කයකට ගෙන්වූ බුටෝගේ ඉලක්කය වැරදී යළිත් මැ‍ලේසියාවට යැවූ පසු මොරිස්ගේ නියෝගයෙන් යළිත් ගෙන්වා බලහත්කාරයෙන්ම බෝම්බකරුව අමාත්‍ය මහින්ද විජේසේකර ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කරගෙන පුපුරුවා හැර තිබිණි.

මොරිස් එදාත් බෝම්බකරුවන් පවා ගෙන්වා ගත්තේ විදෙස් රටවල සිටය. තවමත් මොරිස්ගේ ඔත්තු ජාලයේ ක්‍රියාකාරීන් මෙරට මෙන්ම විදෙස් රටවලත් සිටින නිසා මොරිස් විසින් මෙවර අම්බලගන්වත් මෙහෙයවූවාද යන්න සැක සහිතය.
මේ සියලු කාරණා හරහා කාගේත් අවධානය යොමුවිය යුත්තේ දකුණේ ජනතාවට ඇත්ත දැන ගැනීම වසන් කිරීම නොව රට හමුවේ ඇති තර්ජන ගැන ජනතාව දැනුවත් කර පෙර සූදානමින් සිටීමටය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Related posts

සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

colombotoday

මැන්ඩෙලා ගිය මගේ යමු… ජනපති ලෝක නායකන්ට ඇරයුම් කරයි…

colombotoday

පියා හිසට කෙටු කඩු පහරින් පස් මසක බිළිඳිය මරුට | නැන්දණියගේ අත වෙන් කරලා.. මාමණ්ඩියගේ ඇඟිලිත් කපලා

colombotoday

“ආණ්ඩුවේ වැඩ ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.. අගමැති උද්දච්චයි.. වහා පාඩමක් ඉගැන්විය යුතුමයි“ – නිර්මාල් රංජිත්

colombotoday

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි ලෝව පුරා වන බල පෙරලිය ලංකාවේ වෙන්නේ සජිත් ජනපති වීමෙන්.

colombotoday

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday