Colombo Today Local News

ෆේස්බුක් අන්තවාදියා ෆසාල් නිසාර්ගේ බැංකු ගිණුමෙන් කෝටි 7 ක් සංසරණය වෙලා..

ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන වෛරී ප්‍රකාශ මුහුණු පොත මගින් ප්‍රචාරය කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ව්‍යාපාරිකයකුගේ බැංකු ගිණුමක ඉතා කෙටි කලක් තුළදී රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (18)දින කරුණු වාර්තා කළේය.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆසාල් නිසාර් නමැති මෙම සැකකරු අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා අන්තර් ජාලයෙන් සිදුකළ ක්‍රියාවන් රාශියක තොරතුරු පොලිස් භාරයේ ඇති ඔහුගේ පරිගණක උපාංග සහ දුරකතනවලින් හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

“ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීම” යනුවෙන් ඉකුත් වසරේ දෙසැම්බර් මස 12 වැනිදා ඔහුගේ මුහුණු පොතේ පළ කර ඇති මෙම සැකකරු එයින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළන ආකාරයේ මෙන්ම අන්තවාදය ප්‍රවර්ධනය කිරීමේ තොරතුරු ප්‍රචාරය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

“මම මුස්ලිම් අන්තවාදියෙක් වෙමි” යන මැයෙන් ඉකුත් 07 වැනිදා ද සිය මුහුණු පොතෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ඔහු “විදේශයේ සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් යොදා ගනිමින් ඉදිරියේදී දැවැන්ත ක්‍රියාකාරකම් රාශියක් සම්බන්ධයෙන් වන හෙළිදරව්ව” යන ශීර්ෂයෙන් ද, අන්තවාදය ප්‍රවර්ධනය කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

‘‘අධර්මිෂ්ට සිංහලයන් සත්‍ය ඉදිරියේ දණ ගැසෙන කාලය එළැඹ ඇත” “පෞද්ගලික වාසි සොයා දේශපාලනයේ නියැලෙන රාජපක්ෂලාට කඩේ යන, සිවුරක් පොරවා ගත් සැණින් තමා භික්ෂු නමක් බවට රටම අන්දවන පිරිසගේ අවධානය පිණිසයි” යනුවෙන්ද සඳහන් කරමින් මෙම සැකකරු මුහුණු පොත හරහා වීඩියෝ පටයක් ද ප්‍රචාරය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සැකකරු 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 03 (1), ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය, 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 06 (1) යන පනත්වලින් වරදක් සිදුකර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 11 වැනිදාය. ඒ අනුව සැකකරු ඊයේ (18)දින වන තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබිණි.

මෙම සැකකරුට අයත් පෞද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7කට ආසන්න මුදලක් ඉකුත් 2020 වර්ෂයේදි සංසරණය වී ඇති බවත් අධිකරණ නියෝග මත කැඳවා ඇති ඔහුගේ අනෙක් බැංකු ගිණුම් 6ක විස්තර වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු විසූ අංක 46, 4/2, පීටර් පටුමග, දෙහිවල ලිපිනයෙහි පිහිටි නිවාස සංකීර්ණයක නිවසකට කුලිය වශයෙන් රුපියල් 80,000ක මුදලක් ද, කුලී පදනම මත ලබාගත් වාහනයක් සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක් සහ සේවකයන් දෙදෙනකු සහිතව පවත්වාගෙන යන ව්‍යාපාර ආයතනයක කුලිය වශයෙන් මාසිකව රුපියල් 1,25,000ක මුදලක් ද ලබා දෙන බවට කරුණු හෙළිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බී වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම කරුණු හේතුවෙන් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු දින 90ක කාලයක් තම දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව රඳවා තබා ගැනීමේ නියෝගයක් ද අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වහාම භාරදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Related posts

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

මානව හිමිකම් කේන්ද්‍රය ධම්මික පෙරේරාගේ වත්කම් ප්‍රකාශ ඉල්ලයි

colombotoday

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

Admin

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවත් පලකරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

Admin

කෝටිපති ව්‍යාපාරිකයෙකුට කන්‍යාවියන් විකුණලා.. | ගණිකා ජාවාරමේ නිරත ප්‍රසිද්ධ මෙල්ඩා අත්අඩංගුවට

colombotoday