ArticlesColombo Today Local News

සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!

f52dee

තුව අවට තිබූ සාරවත් කුඹුර යායවල් අද දක්නට නැත. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය රැකගන්නට එදා එරාබහින හැල්කුඹුරු අවශ්‍යම විය. අද ඒ කුඹුරු සියල්ල වගුරු බවට පත් වෙමින් ඇත. නවසිය අසූව දශකයේ පටන් ඇතිවූ ආර්ථික පෙරළියෙන් නාගරික සභ්‍යත්වයට වහ වැටුණු බොහෝ පිරිස් ගම අතහැර කොළඹට සේන්දු වීමෙන් කොළඹ ආශ්‍රිත කුඹුරු ගොඩකර ගොඩනැගිලි ඉදි වූයේය. නිවාස පමණක් නොව කර්මාන්ත ශාලාද රජයේ කාර්යාලයන්ද ඉඳි වූයේය. පහත දැක්වෙන් වගුවෙන් පෙනෙන්නේ කොළඹ ගම්පහ කුඹුරු ප්‍රමාණය වසර විසිදෙකක් තුළදී අඩුවූ ආකාරයයි. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහන පිටාරය වෙනත් දිස්ත්‍රික්කයන්ටද පැතිරී යයි. එයට විසඳුම නම් විධිමත් නාගරික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම බව නාගරික සංවර්ධන අංශ තේරුම් ගෙන තිබුණේ අනූව දශකයේදීය. බස්නාහිර පළාතම ආවරණය කරමින් මහ නගර සැලැස්මක් ඇති කරන ලද්දේ එහෙයිනි.

2002 දී රනිල් වික්‍රමසිංහ රජය ගෙනා යලි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුය. එම සැලැස්ම තුළ කෘෂිකර්මයට හිමි තැන ඉතා විශේෂ වෙයි. කොළඹ කළුතර ගම්පහ යන දිස්ත්‍රික්ක වී වගාවෙන් ඉවත් කර රජරට පළාත පමණක් කෘෂිකර්මයට යොමු කිරීමේ සැලැස්මක් එහිදී සාකච්ඡා වුණි. ධාන්‍යාගාර සංකල්පය ලෙසින් එය එළි දුටුවේය. බස්නාහිර පළාතේ පවතින බොහෝ කුඹුරු ගොඩකර නාගරික සංවර්ධනයට යොමු කිරීම එහි අරමුණ විය. නමුත් රජය ඉක්මනින් පෙරළී ගියෙන් එම සැලැස්ම යට ගියේය. පසුගිය රජය කෘෂිකර්මය පිළිබඳ යම්කිසි අවදියකින් කටයුතු කළ බැවින් ගොවියාගේ උනන්දුව යම් තරමකින් ඉහළ නැන්විණි. රසායනික පොහොර සහානාධාරය අඛණ්ඩව සැපයීම ඊට එක් හේතුවක් වන්නට ඇත. 2002 වර්ෂයේ සිට ගොවිතැනින් ඈත්වූ කුඹුරු මේ නිසා නැවත අස්වද්දන්ට යෙදුණු බව පෙන්වා දිය හැකිය. අපි වවමු රට නගමු මෙන්ම දිවිනැගුම වැඩසටහන්වලින්ද ඇතිවූ ප්‍රබෝධය මීට හේතුවන්නට ඇත. නමුත් මේ ලිපියේ මුලින් සඳහන් කළ සැබෑ හේතුන්ට විසදුම් සොයන්නට සමත් වූයේ නැත.

බස්නාහිර පළාතේ තිබූ කුඹුරු අස්වැද්දීම ක්‍රමානුකූලව අඩුව ගිය හැටි මේ වගුවෙන් පෙනේ. රෝගියෙකුට ඔක්සිජන් ලබාදෙන්නා සේ පොහොර සහනාධාරය නිසා යන්තම් පණගසා සිටියද මූලික රෝග බීජය ඉවත් නොකළෙන් ගොවියා ක්‍රමයෙන් වගාබිම්වලින් ඈත්ව ගොස් ඇත.

වර්තමානය වන විට පොහොර සහනාධාරය වෙනුවට ගොවියාට සෘජුවම මුදල් ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වීම ආරම්භ කර ඇත. 2016 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පදනම් කොටගෙන 2016-03-19 දාතමින් යුතුව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ගොවිජනසේවා දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය ( 2016 භීත්‍රැත්‍ක්‍ඨක්‍* අනුව මෙවර යල් කන්නයේදී එම මුදල් ගොවීන් ගේ බැංකු ගිණුම්වලට බැර කරන ලද්දේය. මෙම චක්‍රලේඛයේ 3:12, 3:13, 7:1, 7:2 වගන්ති අනුව මුදල් ලබාදීමේදී අධීක්ෂණ කාර්යය කළ යුත්තේ කෙලෙසක දැයි උපදෙස් ලබා දී ඇත. නමුත් 2016-03-24 දින නැවතත් ඉතා හදිසියි යනුවෙන් චක්‍රලේඛයක් නිකුත් කරමින් එම මුදල් වහාම ගොවීන්ගේ බැංකු පොත්වලට ප්‍රේෂණය කළ යුතු බවට උපදෙස් ලබාදී ඇත. නමුත් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලදී පහළ මට්ටමේ ගොවිජන සේවා නිලධාරීන් සියල්ල මෙයට විරෝධය දක්වා ඇත. ඒ වෙනුවට ගොවිජන සේවා මධ්‍යස්ථානවල තිබෙන ගොවිජන බැංකුවලට මුදල් බැර කළ යුතු බවට පවසා ඇත. එයට හේතුව රටේ විවිධ පළාත්වල යල් කන්නයේ ගොවිතැන් කරන කාලවකවානු වෙනස් වන බැවිනි. එහෙත් ඉහළින් ගන්නා ලද දේශපාලන තීරණයක් මත ඉහළට ලබාදෙන ලද ගොවීන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාරව බැංකුවල ගිණුම්වලට මැයි මස වන විට මුදල් සෘජුවම ප්‍රේෂණය කර තිබේ. එසේ කර තිබෙන්නේ කිසිත් අධීක්ෂණ ක්‍රියාවලියක් සිදු නොකරමිනි.

මෙහි ප්‍රතිඵලය කුමක්ද. යල් කන්නයේ සාමාන්‍ය වශයෙන් කුඹුරු හෙක්ටයාර් පහළොස්දාහක් පමණ බස්නාහිර පළාතේ අස්වද්දන නමුත් වගාවී ඇත්තේ හෙක්ටයාර් දෙදහසකට අඩු සංඛ්‍යාවක් පමණකි. වැඩිමනත් කුඹුරු වගා කරන කළුතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් දහදාහකින් අස්වද්දා තිබෙන්නේ හෙක්ටයාර් හත්සීයක් බවට සංඛ්‍යා ලේඛන ලැබී ඇත. අප්‍රියෙල් මාසය පුරා පැවති අධික උණුසුම් කාල ගුණයත් වාර්ෂාව පමාවීමත් යන කරුණු මීට ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇති නමුත් තෙතමනය සහිත බස්නාහිර පළාතේ කුඹුරු වැඩ කරගන්නට බාධාවක් තිබුණේ නැත. මෙම ලිපිය ලියන මාගේ කුඹුර මා වැඩ කර අවසන් කලේ මැයි මස අවසාන සතියේදීය. මැයි මාසය පුරාවටම වරින්වර ඇතිවූ වැසි මගින් ප්‍රමාණවත් ජලය අප වෙත ලබා දී තිබුණි. මැයිමස අවසානය වන විටත් ගොවීන්ගේ බැංකු පොත්වලට පොහොර සහනාධාර මුදල් බැර වී තිබුණි. එහි ලස්සන සිදුවීම නම් කුඹුරු ගොඩකර තැනූ ඇතැම් ඉඩම්වල අයිතිකාරයන්ටද මුදල් ලැබුණු බවට වාර්තා වීමයි. නමුත් සියයට අනූවක්ම මෙවර කුඹුරු වැඩකිරීම අත්හැර තිබීම මෑත ඉතිහාසය තුළ කවරදාවත් සිදු නොවුණු දෙයක් බවද කිව යුතුය.

දැන් අප බලමු මීට තිබෙන රජයේ ප්‍රතිචාරය. රජයේ නිලධාරීන් පවසන පරිදි ලබා දී ඇති මුදල් ඊළඟ කන්නයේද භාවිත කළ හැකිය. යම් කිසිවෙක් ඊළඟ කන්නයේද වගා නොකර හැරියහොත් ඔහු සහනාධාර ලැයිස්තුවෙන් කපා හරින බව ඉහළ නිලධාරීන් පවසා තිබේ. සැබවින්ම බස්නාහිර පළාතේ කුඹුරුවලින් බොහෝ කොටසක් යම් තරමකින් හෝ එරා බහින වගුරු ස්වභාවයක් ගන්නා කුඹුරු වේ. ඒවා එක් කන්නයක් හෝ අතහැරියහොත් නැවත අස්වැද්දීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ට්‍රැක්ටර් හිමියන්ද එවැනි කුඹුරුවලට තම යන්ත්‍ර බැස්සවීමට මැළිකමක් දක්වති. එවිට සිදු වන්නේ සැබවින්ම කුඹුරු වැඩි ප්‍රමාණයක් පුරන් වන්නට ක්‍රමානුකූලව පත් වීමයි. අඬන්නට ඉන්නා පුද්ගලයාට ඇඟිල්ලෙන් ඇන්නා මෙන් රජයේ ක්‍රියාවලිය විසින් ගොවියා කුඹුරෙන් ඉවත් වීම සිදු වනු ඇත. මෙහි පිටිපස කුමන්ත්‍රණයක් පවතින බව සහතිකය. කුඹුරු හෙක්ටයාර් ලක්ෂයක පමණ කුඹුරු වී වගාවෙන් ඉවත් කළ යුතුයයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කළ ප්‍රකාශයද සැකයට තුඩු දෙන්නකි. සෘජු ලෙසින් කූඹුරු ගොඩකිරීමට ගියහොත් ජනතාව විරුද්ධවන නිසා කුඹුර ගොවියාටම එපා වන තත්ත්වයට පත් වීමට නොහොත් ස්වභාවික මරණයක් අත් කර දීමට පසුබිම සැකසීම වඩා වාසිදායකය. සැබවින්ම මෙගා පොලිස් සැලැස්ම නැතහොත් බස්නාහිර මහනගර සැලැස්ම කරළියට එන්නේ ඉන් පසුවයි.

මතුගම සෙනෙවිරුවන්

vee

Related posts

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

ජවිපෙ නලින්ද දුමින්දගේ ගෙදර… දේශපාලනය කැළඹෙයි !

colombotoday

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

colombotoday

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාවගේ විරෝධය

colombotoday

සියලු පුරවැසියන් එන්නත ලබා ගන්නා තුරු සිටින බව පැවසූ විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී

colombotoday