Colombo Today Local News

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

2015 සහ 2019 කාල වකවානුව තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරු විටින් විට මාරුවීම හේතුවෙන් බුද්ධි සමාලෝචන රැස්වීම් නිසි ලෙස නොපැවැත්වු බවත් ඒ තුළින් ජාතික ආරක්ෂාව විශාල තර්ජනයකට ලක්වු බවත් යුද හමුදා බුද්ධි ප්‍රධානියෙකු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබේ.

එහිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2016 වර්ෂය වන විට ලොව පුරා හිස ඔසවමින් තිබු ඉස්ලාම් අන්තවාදය පිළිබද ජාතික බුද්ධි ප්‍රධානියා එවකට නීතිය හා සාමය අමාත්‍යාංශ භාර ඇමතිවරයාව සිටි සාගල රත්නායක මහතා දැනුවත් කළ ද, එවකට පැවති රජය ඒ සම්බන්ධයෙන් කිසිඳු ඉදිරි පියවරක් අනුගමනය නොකළ බවය.

2015 වර්ෂයේ සිට 2019 දක්වා ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයට අනියුක්තව විදෙස් බුද්ධි සම්බන්ධිකාරකවරයෙකු ලෙස ක්‍රියා කළ වත්මන් යුද හමුදා බුද්ධි ප්‍රධානියෙකු ඊයේ (07)දින ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

මෙහිදි සාක්ෂිකරු කොමිසම හමුවේ අවධාරණය කර සිටියේ 2016 වර්ෂය වන විට අයි.එස්.අයි.එස් සංවිධානයේ ක්‍රමික නැගි ඒමේ ප්‍රවණතාවක් දක්නට ලැබුනු අතර ඔවුන් ඉරාකයේ සහ සිරියාවේ පරාජයට පත්වීම හේතුවෙන් පෙරදිග රටවල් වෙත යොමුවීමේ අවදානමක් දක්නට ලැබුණු බවය.

ඒ අනුව ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලය විසින් ඒ පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදුකර අයි.එස්.අයි.එස් සංවිධානය මෙරට ක්‍රියාකාරකම් වලට එළඹියහොත් ගතහැකි ක්‍රියාමාර්ග සහ පෙර සුදානම්වීම පිළිබඳ සංකල්ප 08ක් යටතේ විශේෂ වාර්තාවක් සැකසු බව බුද්ධි ප්‍රධානියා හෙළිදරව් කළේය.

පසුව එම වාර්තාව ලිපියක් ලෙසින් එවකට ජාතික බුද්ධි ප්‍රධානියාව සිටි සිසිර මෙන්ඩිස් මහතා විසින් 2016 අගෝස්තු මාසයේදි එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි කරුණාසේන හෙට්ටිආරච්චි මහතාටත් ඔහු හරහා එවකට නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක මහතාටත් යොමුකළ බව සාක්ෂිකරු අනාවරණය කර තිබේ.

මෙහිදි ජනාධිපති කොමිසම විමසා සිටියේ අදාළ ලිපිය එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජේවර්ධන මහතාටත් යොමුකර තිබුනේද යන්නය.

එහිදි සාක්ෂිකරු සඳහන් කළේ එම ලිපියේ පිටපතක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටද යොමු කළ බවය.

විදේශවල පුහුණුව ලැබුවන් සහ මෙරට තුළ අන්තවාදයට නැඹුරුවුවන් ප්‍රහාරයන් කරා යොමුවිය හැකි බව මෙම ලිපිය තුළින් 2016 වර්ෂයේදිම එවකට අමාත්‍ය සාගල රත්නායක මහතා හරහා රජය දැනුවත් කර තිබු බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් එකි දැනුවත් කිරීම සම්බන්ධයෙන් එවකට අමාත්‍ය සාගර රත්නායක මහතා හෝ එම රජය කිසිඳු ඉදිරි පියවරක් අනුගමනය නොකළ බව සාක්ෂිකරු වැඩිදුරටත් පැහැදිලි කළේය.

එසේම 2017 නොවැම්බර් මාසය වන විට අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මෙරටට පැමිණෙන බවට විදේශිය බුද්ධි අංශ හරහා තොරතුරු ලැබුණද, ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙරට තුළ නෛතික ප්‍රතිපාදන සකස් වී නොතිබුණු බව බුද්ධි ප්‍රධානියා පැහැදිලි කර ඇත.

ඒ පිළිබඳ එවකට ජාතික බුද්ධි ප්‍රධානියාව සිටි සිසිර මෙන්ඩිස් මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් උපදෙස් ලබාගැනීමට 2017 නොවැම්බර් මස 27 වන දින ලිපියක් යොමු කළද, එයට පොලිස්පතිවරයා කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වු බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

මේ අතර පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට ප්‍රකාශ ලබාදීම සඳහා ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (08)දින පෙරවරුවේ එම ඒකකය වෙත පැමිණියේය.

Related posts

අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක.

colombotoday

පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday

මහින්ද ජයසිංහ ජනතා විමුක්ති පෙරමුණේ. – සංගම් හදලා බලය ලබා ගන්න පාර කපා ගන්නවා | පූජ්‍ය උලපනේ සුමංගල හිමි

colombotoday

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයි

colombotoday