Colombo Today Local News

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

Colombo Haboureපාඩු ලබන්නේ යැයි පවසමන් ලාබ ලබන කොළඹ වරාය විකුණා දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුළ මෙන්ම ජනතාවට බදු ගැසීම්, රාජ්‍ය ආයතන විකුණා දැමීම් වත්මන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව තුළද සිදු කරමින් පවතින බවත් වරාය අධිකාරිය පාඩු ලබන්නේ කොළඹ වරාය නිසා නොව හම්බන්තොට සහ පච්චපෙරුමාල් වරාය ව්‍යාපෘති නිසා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (29) පෙරවරුවේ බත්තර මුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. එම අවස්ථාවය ජවිපෙ මධ්‍යමකාරක ර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද සහභාගී වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූබිමල් රත්නායක මහතා…

මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. කොළඹ වරාය අවුරුදු දහස් ගණනක් පැරණි ඉතාම සාර්ථක, විශාල වැදගත්කමකින් යුතු වරායක්. එදාමෙදා තුර සුවිශේෂී නාවික වැදගත්කමකින් යුතු ස්ථානයක්. වරාය අධිකාරිය සතු ප‍්‍රධානම වරාය වන කොළඹ වරාය පහුගිය පාලනයන් තුළදී අතිවිශාල දූෂණ වංචා, අක‍්‍රමිකතා මැද්දේ වුවත් සාර්ථක වරායක් ලෙස පවත්වාගෙන යනවා. අඩි 20 කන්ටේනර් හැසිරවීම වැනි පහසුකම අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් තුළ 24වැනි ස්ථානයේ රැඳී ඉන්නවා. ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතිකරණයන්වලදී වාර්ෂිකව කරනු ලබන සංගණනයන්ට අනුව ලෝකයේ ජාත්‍යන්තර වරායන් අතර ඉහළම ස්ථානයක රැඳී සිටීමට කොළඹ වරායට හැකිවී තිබෙනවා. ඇමරිකානු සහ චීන වරායන් සමඟ තරඟකාරී මට්ටමක කටයුතු කරනවා.

කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තය විකුණා දැමීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය මගින් පසුගියදා දැන්වීමක් පළකර තිබුණා. ඒ අනුව නැගෙනහිර පර්යන්තය සඳහා ලංසු කැඳවා තිබෙනවා.

“කොළඹ වරායේ නැගෙනහිර කන්ටේනර් පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ලංසු කැඳවීම පිණිස පූර්ව සුදුසුකම් සඳහා අභිලාෂය ප‍්‍රකාශ කිරීම යනුවෙන් එම දැන්වීමේ සඳහන් වෙනවා. සංවර්ධනය කිරීමට යන බව පවසමින් විකුණා දැමීමේ ක්‍රියාවලියක් තමයි ආණ්ඩුව සැලසුම් කරමින් තිබෙන්නේ. ඒ වගේම එම දැන්වීමේ සඳහන් වෙනවා “මෙම නැගෙනහිර පර්යන්තය දැනට පවත්නා ආකාරය අනුව මීටර් 440ක් දිග, මීටර් 18ක් ගැඹුර ජැටි බැම්මක්, හෙක්ටයාර් 20ක ප‍්‍රදේශයක් හා ශ්‍රී.ලං.ව.අ ආයතනයේ සංවර්ධිත අදාළ පහසුකම්වලින් යුක්ත වේ” යනුවෙන්. ඒ අනුව දැනටමත් කන්ටේනර් 18,000ක් මට්ටමේ විශාල නැව් හැසිරවීමේ හැකියාවක් නැගෙනහිර පර්යන්තයට තිබෙනවා. දැනට අඩුපාඩුවක්ව තිබෙන්නේ කන්ටේනර් හැසිරවීමට අවශ්‍ය දොඹකර සහ අදාළ උපකරණ නොමැති වීමයි. රාජපක්‍ෂ පාලන සමයේ ඊට අවශ්‍ය දොඹකර මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබුණා. ඒ කාලයේ විශාල අක‍්‍රමිකතා තිබියදීත් දොඹකර මිලදී ගැනීම සඳහා 95%ක වැඩකටයුතු අවසන් කර තිබුණා. විදෙස් සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබූ අතර ඩොලර් මිලියන 67ක දොඹකර මිලදී ගැනීමට කටයුතු සූදානම්කර තිබුණා. ආණ්ඩුව මාරුවීමත් එවකට වැඩි මිල ගණන් ගෙවීමට සිදුව තිබීමත් නිසා 2015 වර්ෂයේදී ගනුදෙනුවට අදාල ගිවිසුම අවලංගු කළා. ලංකා ආණ්ඩුව මුදල් නොගෙවීම නිසා එම මිලදීගැනීම් නතර වුණා.

දොඹකර මිලදී ගෙන වැඩ පටන් ගැනීමට හැකියාව තිබියදී පසුගිය 2015 ජූනි 20 වැනිදා වර්තමාන වරාය ඇමති අර්ජුන රණතුංග විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කරනවා. එහිදී අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැනට හසුරුවනු ලබන බහාලුම් 70%ක් පමණ වන අතර වැඩිවෙමින් පවතින බහාලුම් ප‍්‍රවාහන පරිමාවන් අත්පත් කිරීමේ තරඟයේදී ටාන්ජුන් පෙළෙපාස් ක්ලැන්ග් වරාය, සිංගප්පූරුව වැනි සලාලා වැනි තරඟකාරී වරායන් වෙතින් අපට විශාල පීඩනයක් එල්ල වී තිබෙන බවත් ඉන්දියානු රජයේ කොචින් නගරයේ වරාය වන වල්ලාර් පාදම් වරාය සිය ප‍්‍රතිනැව්ගත කිරීම් සන්ධිස්ථානයක් බවට ප‍්‍රකාශ කිරීමත් සමඟ මෙම තරඟය වඩාත් තීව‍්‍ර තත්වයකට පත්වී ඇති බවයි. ඒ වගේම ඉන්දියානු ප‍්‍රමුඛ වරායන් 12ක් අලුත්වැඩියා කිරීම නිසා එම බලපෑම තවත් තීව‍්‍ර වී තිබෙන්නේ කොළඹ වරාය විසින් හසුරුවනු ලබන නැව්වල ප‍්‍රතිනැව්ගත කිරීමේ පරිමාවෙන් 90%ක්ම ඉන්දියාවට යන හා එන ඒවා වීම බවද ඇමතිවරයා පෙන්වා දෙයි. එනිසා නැගෙනහිර ජැටිය සංවර්ධන අවශ්‍යතාවයක් පැනනැගී ඇති බව කැබිනට් පත්‍රිරකාවේ සඳහන් වෙනවා. එමෙන්ම ත්‍රිමාණ මුද්‍රණ හේතුවෙන් ගුවන් යානා බඩු වෙළඳාමෙන් 41%ක් සහ සමුද්‍ර බහාළුම් වෙළඳාමේ 37%ක් අවදානම් තත්වයේ පවතින බව කර්මාන්ත අංශය මෑත කාලයේ ක‍්‍රමෝපාය හා විශ්ලේෂණවලින් සොයා ගැනීමත් නිසා ආසියාවේ ප‍්‍රතිඅපනයනය සිදුකරන වරායන්වලට අභියෝගයක් එල්ලවී තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

ඒ වගේම කොළඹ වරායෙන් ප‍්‍රධාන ජැටි 5න් 4ක් තුළම දැනටත් බහාළුම් කටයුතු සිදුවෙමින් තිබෙනවා. දැනට පවතින දුර්වලම පර්යන්තයන් දෙක තමයි ආණ්ඩුව සතුව පවතින්නේ. එම ජැටි දෙකෙහි ගැඹුර අඩු නිසා දැනටමත් නැව් ගමන් කරන්නේ පෞද්ගලීකරණය කර තිබෙන ගැඹුරින් වැඩි ජැටිවලටය. මොකද ඒවා මීටර් 18 දක්වා ගැඹුර සහිත පහසුකම් තිබෙන ඒවායි. කොළඹ වරාය සතු අනෙකුත් ජැටි 85%ක්, 93%ක් වැනි ප‍්‍රතිශතයකින් පෞද්ගලීකරණය කොට තිබෙන නිසා නැගෙනහිර පර්යන්තය ආණ්ඩුව සතුව තිබීම අත්‍යවශ්‍යයි. ආණ්ඩුව සතුව 7%ක් 15%ක් වැනි අයිතියක් තිබෙන ජැටිවලින් 2014 වර්ෂයේ ඇ.ඩො.මිලියන 45ක් වැනි විශාල ලාභයක් ලබාගෙන තිබෙනවා. එසේ තිබියදී ඇමතිවරයා විසින් යෝජනා කරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%ක හිමිකමක් සහිතව නැව් සමාගමක් සමඟ හෝ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවෙකු සමඟ හවුල් ව්‍යාපාරයක් වශයෙන් නැගෙනහිර බහාළුම් පර්යන්තය මෙහෙයවීමටත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිප‍්‍රාය හා යෝජනා කැඳවීමටත්ය. ඉන්පසු මුදල් අමාත්‍යවරයා විසින් එම යෝජනාව අනුමත කොට තිබෙන අතර තීරණය සලකා බැලීම සඳහා සාකච්ඡා සම්මුති කමිටුවක් පිහිටුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා. ඒ මත පදනම් වී අමාත්‍ය මණ්ඩලය විසින් කැබිනට් පත්‍රිකාව අනුමත කොට තිබෙනවා. ඒ වගේම වරාය අධිකාරිය වෙනුවෙන් වැඩකරන්නේ ආසියානු සංවර්ධන අරමුදල. 2016 ජුනි මාසයේ ගැණුම්කරුවන් සඳහා සකස් කරන ලද වාර්තාවේ තිබෙනවා 15%ටත් අඩු අයිතියක් තිබුණාම ඇති කියලා. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 15%ක අයිතිය රජය සතුව තබාගෙන 85%ක් විකුණා දැමීම සඳහා කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව දැන්වීම් පළකොට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මින් පැහැදිලි වන කරුණ තමයි, දියුණු කිරීමට හැකියාව තිබියදී කොළම වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට සැලසුමක් ක්‍රියාත්මක වන බවය. මෙහි බරපතළ කාරණය වෙන්නේ විකුණා දැමීමේ ක‍්‍රමවේදය කැබිනට් පත්‍රිකාවේ යෝජනාවට පරස්පර විරෝධී වීමයි. මෙම ගනුදෙනුවෙන් පස්සේ කොළඹ වරායට ඉතිරි වෙන්නේ මුහුදු වතුර ටික විතරයි.

පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුළත් ජනතාවට බදු ගැසීම්, රාජ්‍ය ආයතන විකුණා දැමීම් සිදුවුණා. ඒ වගේම කොළඹ වරායේ මහා පරිමාණ දූෂණ සිදුවුණා. එසේ තිබියදීත් කොළඹ වරාය ලාභ ලැබුවා. වරාය අධිකාරිය පාඩු ලබන්නේ කොළඹ වරාය නිසා නොව හම්බන්තොට සහ පච්චපෙරුමාල් වරාය ව්‍යාපෘති නිසයි. හම්බන්තොට සහ පච්චපෙරුමාල් ව්‍යාපෘති කියන්නේ සුරතල් ව්‍යාපෘති. එම ව්‍යාපෘති සඳහා ආණ්ඩු රුපියල් කෝටි දහස් ගණනක් වියදම් කළා. මෙම වියදම් නිසයි වරාය අධිකාරිය පාඩු ලබන්නේ. රාජපක්‍ෂලා නාස්තිය දූෂණය කළා කියන තර්කය කොළඹ වරායට අදාල නොවෙන්නේ කොළඹ වරාය ලාභ ලබපු නිසයි.

එනිසා අපි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රශ්න කරන්නේ එම විකිණීමේ ක්‍රියාවලිය අනුමැතිය ලැබුණේ කොහෙන්ද කියලයි. මෙම විකිණීම සිදුකරනු ලබන්නේ වසර 35කට අදාලවයි. වසර 35ක් දක්වා අපේ රටේ ආර්ථික සම්පත උගසට තියන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව අපේ රටේ ආර්ථික ස්වෛරීභාවය උල්ලංඝනය කරනවා. එම විකිණීමට එරෙහිව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය 2016 ජූනි මාසයේ පති‍්‍රකාවක් බෙදා හැරලා ජනතාව දැනුවත් කළා. ඒ වගේම ඇමතිවරයාට ලිපි ලිව්වා. ජනාධිපතිවරයාට ලිපි මගින් දැනුම් දුන්නා. ඒ වගේම වරායේ ඉංජිනේරුවන් විසින් ජූනි මාසයේ 27වැනිදා අගමැතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නා, නැගෙනහිර පර්යන්තය කොළඹ වරායට දොඹකර මිලදී ගෙන සේවා පවත්වාගෙන යන්න පුළුවන් කියලා. මෙම පෞද්ගලීකරණය නිසා වරායේ සේවක සේවිකාවන්ට විශාල බලපෑමක් එල්ල වෙනවා. රජයට අයිතිව තිබෙන්නේ කොළඹ වරායේ ජැටි දෙකක් නිසා රජයට අයත් ජැටිවලට නැව් එන ප‍්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. නැගෙනහිර පර්යන්තයත් පෞද්ගලීකරණය කිරීමෙන් වරායේ සේවකයින්ගේ රැකියාවේ අනාගතයට විශාල බලපෑමක් එල්ල වෙනවා.

එක්සත් ජාතික පක්‍ෂය 1987 රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ආරම්භ කළා. ඒ සමඟම එදා සිටම සිදුවූ ව්‍යාපෘතිවලින් කොමිස් ගැනීමට එහා ගිය මහා පරිමාණ දූෂණ-වංචා පටන් ගත්තා. ඒ.එම්.ඩබ්ලිව් ආයතනය පෞද්ගලීකරණයෙන් ආරම්භ කරපු මෙම පෞද්ගලීකරණයෙන් මහා පරිමාණ හොරාකෑම් සිදුවුණා. ජනවසමේ ඉඩම් රුපියලට දෙකට වික්කා. වානේ සංස්ථාව විකිණීමේදී එහි සම්පත්වලට තක්සේරු කළ වටිනාකම කොපමණ අඩු අගයක්ද කියනවා නම් සේවකයන් ප‍්‍රවාහනය සඳහා තිබුණු දොර දෙකේ ටාටා බස් රථයේ වටිනාකම වූයේ රුපියලක් පමණයි. එක්සත් ජාතික පක්‍ෂය එලෙස ආරම්භ කළ පෞද්ගලීකරණය චන්ද්‍රිකා මැතිණියගේ කාලයෙත් සිදුවුණා. චන්ද්‍රිකා මැතිණිය පුත්තලමේ සිමෙන්ති කර්මාන්ත ශාලාව ඇතුළු රාජ්‍ය ආයතන වික්කා. නැවත එජාප පාලනය කාලයේ රක්‍ෂණ සංස්ථාව වික්කා. කෝටි ගණනක පාඩුවක් සිදුවුණා. මේ ආකාරයට ජනතාව සතු ආයතන කුණු කොල්ලයට විකුණා දැමුවා. රාජපක්‍ෂලා කොමිස්වලින් හොරකම් කළාට වඩා රාජ්‍ය ආයතන විකුණලා හොරකම් කළා.

එනිසා මෙම වරාය ගනුදෙනුව අත යට සිදුවන ගනුදෙනුවක්. ඒ නිසා තමයි, කැඳවපු ටෙන්ඩරයේ කාල සීමාව දික් කරන්නේ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි කියන්නේ මෙම විකුණා දැමීම වහා නතර කළ යුතුයි කියලා. වෘත්තීය සමිති මෙන්ම රටේ ජනතාවත් මෙයට එරෙහිව විරෝධය පළකළ යුතුයි. කෝප් කමිටුවේ පරීක්‍ෂණවලටදී මෙම ගනුදෙනු පිළිබඳව තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. ඒ වගේම වෘත්තීය සමිතිත් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරලා තිබෙනවා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“මේ සම්බන්ධයෙන් අපි ඇමතිවරයාට විශේෂයෙන් අවධාරණය කරන්න ගියේ නැහැ. මොකද මෙම ගනුදෙනුව සිදුවෙන්නේ ඇමතිවරයාටත් ඉහළින්. නමුත් වරාය ඇමතිවරයා තමයි 51%ක් ආණ්ඩුව සතුව තබාගෙන විකුණන්න තීරණය කළේ. එම තීරණය නිසා තමයි ජනාධිපති, අගමැතිත්, මුදල් ඇමතිවරයාත් එකතු වෙලා සම්පූර්ණයෙන් විකුණන්න යන්නේ. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව රටට හෙළිදරව් කරන්නේ. ඊ.ටී.එෆ්. අරමුදල බේරාගන්න පුළුවන් වුණේ රටේ ජනතාව අරගල කරපු නිසයි. ඒ නිසා ජනතා විරෝධයක් ආවොත් වරාය විකුණන එකෙන් බේරගන්න පුළුවන්.

වරාය අධිකාරියට දොඹකර මිලදී ගැනීම සඳහා මුදල් තිබෙනවා. ඒ පිළිබඳව අර්බුදයක් නැහැ. මොකද, දොඹකර මිලදී ගැනීම සඳහා මීට පෙර ටෙන්ඩර් කැඳවලා තිබුණා. රාජපක්‍ෂලාගේ කොමිස් ගැහිල්ල නිසයි මිල ගණන් වැඩිවෙලා තිබුණේ. එම ප‍්‍රශ්නය නිසා දොඹකර මිලදී ගැනීම නතර වුණත් වත්මන් ආණ්ඩුව යටතේ දොඹකර මිලදී ගන්න හැකියාව තිබෙනවා. නමුත් මෙතන පැන නැගී තිබෙන්නේ ආණ්ඩුවේ විකිණීමේ ප‍්‍රතිපත්තිය උඩට ඒමයි. එක්සත් ජාතික පක්‍ෂය තමයි විකිණීම පටන් ගත්තේ. නමුත් චන්ද්‍රිකාත් රාජපක්‍ෂත් ඊට වඩා වැඩියෙන් රාජ්‍ය ආයතන වික්කා. දැන් එජාපය-ශ්‍රීලනිප දෙකම එකතු වෙලා විකුණන්න පටන් අරගෙන. දැන් අලුත්ම සෙල්ලම රාජපක්‍ෂලාගේ දූෂණ පෙන්වලා වර්තමාන ආණ්ඩුවේ අයත් හොරකම් කරන එකයි. රාජ්‍ය ආයතන විකුණන එකයි.

ලංකාවේ අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා විදේශීය උපදේශකයින් ලබා ගැනීම පිළිබඳව ආංශික උපදේශක කාරක සභාවේදී අපි ප‍්‍රශ්න කළා. අන්තර් ජාතික වෙළඳ කටයුතු සඳහා උපදේශකයින් ලබා ගැනීමට ඩොලර් ලක්‍ෂ 6කටය අධික මුදලක් වැය කිරීමට ආණ්ඩුව ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. සෑම දෙයකටම විදේශීය උපදේශකයින් අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් සඳහා උපදේශකයින් යොදා ගන්නවා වෙනුවට සියලු දේටම විදේශීය උපදේශකයින් යොදා ගැනීම නාස්තිකාර කටයුත්තක්. මේ උපදේශකයින් යොදා ගැනීමේ අවස්ථා හෙළිදරව් වෙන්නේ සුළු ප‍්‍රමාණයක්. මේ ආකාරයට උපදේශකයෝ කොපමණ ප‍්‍රමාණයක් ලබා ගන්නවාද කියලා අපි දන්නේ නැහැ. රටේ මුදල් නාස්ති කිරීමක් විතරයි. රාජපක්‍ෂ පාලන කාලයේදී මහ බැංකුවට පමණක් උපදේශකයින් තිදෙනෙකු සඳහා වසරකට කෝටි 39ක් වැයකර තිබෙනවා. විදේශ විනිමය නැහැ කියලා කෑගහනන ආණ්ඩුව විදේශ උපදේශකයින් ලබා ගැනීම ගැටලු සහගතයි.

තෙල් ටැංකි විකිණීම සම්බන්ධයෙන් කෝප් කමිටුව මීට මාස 3කට කලින් ඛනිජ තෙල් සංස්ථාවෙන් ප‍්‍රශ්න කළා. එහිදී ඔවුන් කිව්වේ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි 105ක් තිබෙන අතර ඉන් 15ක් අයි.ඕ.සී. එක සතුව තිබෙන බවත් අනෙක් සියල්ල ඛනිජ තෙල් සංස්ථාව සතුවන බවත්ය. අනතුරුව කෝප් කමිටුව නිර්දේශ කළා, එම තෙල් ටැංකි පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න කියලා. ඉංජිනේරුවන් විසින් වාර්තාවක් සකස් කළා. එම වාර්තාවට අනුව ආණ්ඩුව සතු තෙල් ටැංකිවලින් 17ක පමණක් සුළු අළුත්වැඩියාවක් කළ යුතු බවත් අනෙක් තෙල් ටැංකි හොඳ මට්ටමේ පවතින බවත් පෙන්වා දුන්නා. වෘත්තීය සමිති සහ නිලධාරීන්ගේ ඕනකම නිසා මෙම තෙල් ටැංකි අළුත්වැඩියාවට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. නමුත් අගමැතිවරයා මැදිහත් වෙලා එම තෙල් ටැංකි 17 අලුත්වැඩියාවට ඉන්දියාව සමඟ ඒකාබද්ධව සිදුකිරීමට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. අගමැතිවරයා ඉන්දියාවේ ඒජන්තයෙක් විදියට මේ රටේ ආර්ථිකය පාවා දෙන්න කටයුතු කරනවා. මේ රටේ ආර්ථික තීරණ ගන්න විශේෂ කමිටුවක් තිබෙනවා. එය තමයි ආර්ථික කළමනාකරණ කමිටුව. ඒකේ සභාපතිවරයා පාස්කරලිංගම්. එක්සත් ජාතික පක්‍ෂයේ ඇත්ත මුදල් ඇමතිවරයා ඔහුයි. රාජපක්‍ෂලා හප කරපු ආයතන කුණු කොල්ලයට විකුණා දැමීම තමයි පාස්කරලිංගම්ලාගේ කාර්යභාරය වෙලා තිබෙන්නේ. අපේ රටේ බොහෝ ඇමතිවරුන්ට තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒක කරන්නේ ආර්ථික කළමනාකරණ කමිටුවේ කිහිප දෙනෙක්. තෙල් ටැංකි විකිණීම පිළිබඳව ප‍්‍රශ්නෙත් ඇතිවෙලා තිබෙන්නේ ඒ අනුවයි.

අපේ රටේ ඉතා වැදගත්කමකින් යුත් රාජ්‍ය ආයතන තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ප‍්‍රමුඛත්වය ගන්නවා. මෙවැනි ආයතනවල ආර්ථික තීරණ ගැනීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව දැඩි බලපෑමක් එල්ල කරනවා. නමුත් අපිට පේන්නේ නැහැ මෙම ආර්ථික කළමනාකරණ කමිටුව රාජ්‍ය ආයතන ශක්තිමත් කරන්න පියවර ගන්නවා කියලා. රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, රටේ ආර්ථිකය දියුණු කිරීමට අදාලව තීන්දු තීරණ ගන්නේ නැහැ. ඇමතිවරුන්ගේ හෙංචයියන් සභාපති තනතුරුවලට දාලා විනාශ කරන ආයතන ගොඩගන්න ආර්ථික කළමනාකරණ කමිටුව බලපෑම් කරන්නේ නැහැ. ඒ කමිටුවේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ විකුණාගෙන කෑමයි. ඔවුන් රටේ තිබන නීතියට සහ පරිපාලන ක‍්‍රමවේදයට පටහැණිව ගිහින් තමයි බලපෑම් කරමින් තිබෙන්නේ.”

Related posts

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරිය අපයෝජනය කරලා

colombotoday

ප්‍රබල ඇමතිගේ බැංකු ගිණුම අත්හිටුවයි – මුස්ලිම් ජාතිකයෙකු ලක්ෂ 1500ක් එවලා. හේතුව කියාගන්න බැරි වෙයි

colombotoday

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday

අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට ජමියතුල් උලමා සංවිධානයේ වියතෙක් අත්අඩංගුවට

colombotoday

“මේ ආණ්ඩුවේ හොදයැයි කීමට කිසිවත් ඉතිරි වී නැහැ.. ආණ්ඩුව පෙරළනවා..” රතන හිමි ගල්ලෙන බිදින්න යයි

colombotoday