Colombo Today Local News

මෛත්‍රී – රනිල් ප්‍රසිද්ධ වෙන්දේසිකරුවො වගේ.. රාජ්‍ය සම්පත් විකුණන් කනවා.. ආර්ථිකය ඉවරයි – JVP

anura dissanayake

ආණ්ඩුව සම්පත් විකිණීමට හා බිලිදීමට එරෙහිව ජවිපෙ නායකත්වයෙන් පුළුල් පෙරමුණක් ගොඩනඟන බව ජවිපෙ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය හසුරුවමින් තිබෙන්නේ, අපේ රටේ සම්පත් විකිණීමේ හා බිලිදීමේ දිශාවට බැව් හෙතෙම කියා සිටියේ අද(03)බත්තරමුල්ල,පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.


මේ ආණ්ඩුව බලයට එනවිට මතයක් හැදුවා, එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව තමයි රටේ ආර්ථිය සුබ දිසාවට හරවන්නේ, ජනතාවගේ සාක්කු පුරවන්නේ, කඩවලට සෙනඟ පිරෙන්නේ, රැකියා දශ ලක්‍ෂයක් උත්පාදනය කරන්නේ වගේ සුරංගනා කතා. වසර එක හමාරක් රට පාලනය කරපු මේ ආණ්ඩුව එම කාලය ඇතුළත පෙන්නුවා අපේ රටේ ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි කරන්න හෝ නිෂ්පාදන ආර්ථිකය ආරක්‍ෂා කරන්න, රැකී රක්‍ෂා හදන්න, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දමන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, මේ වසරේ දහවන මාසය ගතවෙන්නට විටත් නිශ්චිත අයවැයක් නැහැ. මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව තබා මුදල් අමාත්‍යාංශයවත් රටේ ආදායම, වියදම ගැන දන්නේ නැහැ. කණා බල්ලන් ගහනවා වගේ තමයි ආර්ථිකය හසුරුවන්නේ.

මේ ආණ්ඩුවට ආර්ථික න්‍යායක් නැහැ. ගමේ ගෙදරක පුරවැසියෙක් තමන්ගේ ආර්ථීකය බිඳ වැටුණාම, ණය වුණාම තමන්ට තිබෙන වාහනයක්, ඉඩමක් විකුණනවා. මේ ආණ්ඩුවත් ඒ වගේමයි. ආර්ථික අර්බුදය හමුවේ අපේ රටේ වටිනා මහජන දේපළ විකුණනවා. ඉන් කොළඹ වරාය ප‍්‍රධාන එකක්. කොළඹ වරාය ලෝකයේ වරායවල් අතර 26වැනි ස්ථානයේ රැඳී තිබෙනවා. රටවල් අතින් ගත්තොත් 12වැනි ස්ථානය හොබවනවා. අනෙක් හැම රටකම වරායවල් ප‍්‍රධාන වෙලා තිබෙන්නේ එම රටේ නිෂ්පාදනය හා ආනයනය මතයි. චීනයේ නම් ෂැංහයි වරාය චීනයේ දැවැන්ත නිෂ්පාදනයක් අපනයනය මත ප‍්‍රධාන තැනක් හිමිකරගෙන තිබෙනවා. නමුත් ලංකාවේ වෙළඳපොළ කුඩයි. ආනයන අපනයන අඩුයි. නමුත් ලංකාවේ කොළඹ වරාය ප‍්‍රමුඛස්ථානයක් ලබාගෙන තිබෙන්නේ ප‍්‍රතිනැව්ගත කිරීම හරහායි. ප‍්‍රතිනැව්ගත කිරීමේ ප‍්‍රධාන කේන්ද්‍රයක් ලෙස කොළඹ වරාය කි‍්‍රයාත්මක වෙනවා.

කොළඹ වරායට බහාළුම් පර්යන්ත 5ක් තිබෙනවා. ඉන් 2ක්ම මේ වනවිට විකුණා දමා තිබෙනවා. රැජින ජැටියත් දකුණු කොළඹ ජැටියත් පෞද්ගලීකරණය කොට තිබෙනවා. 2001 වසර වනවිට කොළඹ වරායේ බහාලූම් 86%ක මෙහෙයුම් කටයුතු සිදුකළේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියෙන්. එය මේ වනවිට 38%දක්වා පහළ බැස තිබෙනවා. නමුත් පෞද්ගලීකරණය කළ රැජින ජැටිය 2001 සිදුකළ බහාලූම් කටයුතු ප‍්‍රමාණය 14% සිට 28% දක්වා වැඩිකරගෙන තිබෙනවා. රජය සතුව තිබූ බහාලූම් 38%දක්වා අඩුවෙලා. එයට හේතුව වුණේ රජය සතු පර්යන්තවල ගැඹුර මීටර් 15ට සීමා වීමයි. පෞද්ගලික අංශයේ ජැටි මීටර් 18 ගැඹුරක් ඇති නැව්වල මෙහෙයුම් කටයුතු කිරීමේ හැකියාව තිබුණා. පසුව රජය සතු නැගෙනහිර ජැටිය මීටර් 18 නැව් ඇතුළත් කිරීම සඳහා වැඩිදියුණු කළා. දැන් තිබෙන්නේ දොඹකර සවි කිරීම පමණයි. එසේ තිබියදී ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය පාඩු ලබනවා කියලා නැගෙනහිර ජැටියත් විකුණන්න තීරණය කොට තිබෙනවා.

වරාය අධිකාරිය පාඩු ලබන බව සත්‍ය නමුත් ඒ පාඩු ලබන්නේ නැගෙනහිර පර්යන්තය නිසා නොවෙයි. 2015වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෝටි 14,156ක පාඩුවක් ලබා තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ රු. කෝටි 14,400ක් වැය කරලා හම්බන්තොට වරාය හැදුවා. මේ වනවිට හම්බන්තොට වරායේ පාඩුව කෝටි 3718ක්. ඔළුවිල් වරාය හදන්න රු. කෝටි 800ක ණයක් ගත්තා. එම ණය ගෙවන්නේත් ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය. 2013 සිට මේ දක්වා ඔළුවිල් වරායට එක නැවක්වත් ආවේ නැහැ. ඔළුවිල් වරාය ආශි‍්‍රව නාවික අභ්‍යාස විද්‍යාලයක් වරාය අධිකාරියේ වියදමින් ඉදිකළා. එයට ළමයි ආවේ 5 දෙනයි. එය ඔළුවිල් විශ්වවිද්‍යාලයට පැවරුවා. එහි පාඩුවත් තිබෙන්නේ වරාය අධිකාරියට. සූරියවැව පිට්ටනිය හදන්න කෝටි 420ක් වැය කළා. ඒ නිසා වරාය ආධිකාරියේ පාඩුවට හේතුව නැගෙනහිර පර්යන්තයේ ප‍්‍රශ්නයක් නෙවෙයි. මෙතක් පැවති ආණ්ඩු ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට සෘජු ලෙස සම්බන්ධ නැති ව්‍යාපෘති විශාල සංඛ්‍යාවකට වියදම් කිරීම අධිකාරිය පාඩු ලැබීමට ප‍්‍රධාන හේතුවක්. එනිසා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ ප‍්‍රයත්නය පරාජය කරන්න ඕනෑ.

මේ වනවිට රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විසින් නැගෙනහිර ජැටිය 85%ක් විකිණීම සඳහා කැබිනට් පති‍්‍රකාවක් ගෙනත් තිබෙනවා. ඊට එරෙහිව වෘත්තීය සමිති, දේශපාලන පෙරමුණක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ මේ හවුල් ආණ්ඩුව අපේ රටේ වැදගත්ම ආර්ථික මර්මස්ථාන විකිණීම හා බිලිදීම සහතික වශයෙන්ම පරාජයට පත්කරනවා.
ඒ වගේම මේ ආණ්ඩුව අපේ රටේ තෙල් පිරිපහදුව පෞද්ගලීකරණය කිරීමට තීරණය කර තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධ පුද්ගලික සමාගමක් ඉදිකොට පිරිපහදුව එම සමාගමට පැවරීමටත් විදෙස් සමාගමක් සමඟ ඒකාබද්ධව පිරිපහදු කටයුතු සිදුකිරීමටත් ආණ්ඩුව සැලසුම් සකස්කොට තිබෙනවා. අපේ රටේ තෙල් පිරිපහදුවේ නවීකරණයක් අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. පහුගිය ආණ්ඩුව වසර 9ක් පුරා තෙල් පිරිපහදුව නවීකරණය කළේ නැහැ. තෙල් සංස්ථාවේ වියදමින් වෙන වෙන ව්‍යාපෘති කළා. ආර්ථිකයට සැබෑ වැදගත්කමක් ඇති මර්මස්ථාන නවීකරණය කරන්න කටයුතු කළේ නැහැ. නවීකරණය සඳහා තැබූ මුල්ගල දැන් වසර 9ක් පැරණියි. වත්මන් ආණ්ඩුව එය පෞද්ගලීකරණය කරන්න උත්සාහ කරනවා. එය රටට ඉතාම අහිතකර තීරණයක්. 1969 ස්ථාපිත කළ තෙල් පිරිපහදුව 1975 වනවිට තෙල් පිරිපහදු කොට විදෙස් රටවලට අපනයන කරලා අපේ රටට තෙල් ආනයනය සඳහා ගතවන මුදලින් 45%ක ආදායමක් ලබාගත්තා. එසේ තිබියදී අවශ්‍ය ධාරිතාවට අනුව තෙල් පිරිපහදුව දියුණු කළේ නැහැ.

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 100ක් අප සතුව තිබෙනවා. එම තෙල් ටැංකිවල මෙ.ටොන්. දශ ලක්‍ෂයක් තෙල් ගබඩා කිරීමේ හැකියාව තිබෙනවා. දෙවන ලෝක යුද්ධය සමයේ බි‍්‍රතාන්‍යයන් විසින් ඔවුන්ගේ තෙල් අවශ්‍යතාවයන් සඳහා මෙම ටැංකි ඉදිකළා. අප දැනට භාවිතා කරන මුතුරාජවෙල සහ කොළොන්නාව තෙල් ටැංකිවල තෙල් ගබඩා කළ හැක්කේ අපේ රටේ මසකට අවශ්‍ය තෙල් ප‍්‍රමාණයක් පමණයි. නමුත් ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ අපේ රටට මාස 4කට අවශ්‍ය තෙල් ගබඩා කළ හැකියි. ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවන විට මාස 4ක් සඳහා තෙල් අපිට ගබඩා කරගත හැකියි. ඉතාම වටිනා තෙල් ටැංකි සංකීර්ණයක්. මීට පෙර ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට එහි අයිතිය ඉන්දියානු සමාගමකට පවරා තිබුණා. දැන් එම ගිවිසුම අහෝසි වෙලා තිබෙනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය දැන් රජය සතුව තිබෙනවා.

එම ගිවිසුම අහෝසි වීමත් සමඟ අයි. ඕ.සී. සමාගම මසකට ඩොලර් ලක්‍ෂ 10 බැගින් ආණ්ඩුවට ගෙවිය යුතුව තිබෙනවා. එය අයකර ගැනීමට කටයුතු කරනවා වෙනුවට රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව එම තෙල් ටැංකි ටික අයි. ඕ.සී. සමාගමට දෙන්න යනවා. මෙම තෙල් ටැංකි සංකීර්ණය උපයෝගී කරගෙන තෙල් නැව් ති‍්‍රකුණාමලය වරායට ගේන්න පුළුවන්. මොකද, මේ වනවිට කොළොන්නාව තෙල් ටැංකි සංකීර්ණයේ නළ අලූත්වැඩියා කළ නොහැකි තත්වයක් මතුවෙලා තිබෙනවා. තෙල් ගබඩා කිරීම වඩාත් යෝග්‍ය ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේයි. චන්දිම වීරක්කොඩි ඇමතිවරයා විසින් තෙල්ටැංකි 17ක් භාවිතා කිරීම වෙනුවෙන් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කොට අනුමැතිය ලැබී තිබියදී රනිල් වික‍්‍රමසිංහ එම තෙල් ටැංකි ටික අයි. ඕ.සී. සමාගමට දෙන්න යනවා. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ගබඩාවක් බව පත්කොට තෙල් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කළ හැකියි. පසුව දුම්රිය මාර්ග ඔස්සේ රට පුරා බෙදාහැරීමේ හැකියාව තිබෙනවා. එවැනි සම්පතක් තමයි විකුණන්න හදන්නේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මුලින්ම යෝජනා කළේ සේවා වරායක් බවට පත්කරනවාය කියා. හම්බන්තොට වරාය පිහිටා තිබෙන්නේ පැරණි මුහුදු මාර්ගයක් අසළයි. එම මුහුදු මාර්ය ඔස්සේ දිනකට නැව් 500ක් පමණ ගමන් කරනවා. හම්බන්තොට වරාය මගින් නැව්වලට තෙල් සැපයීමයි පළමු යෝජනාව. ඒ සඳහා තෙල් ටැංකි 11ක් සහ අප් ලෝඩින් ආම් සඳහා ටැංකි 16ක් සවිකොට තිබෙනවා. එම ටැංකි සඳහා නැවකින් එක් දිනක් තුළදී තෙල් ගබඩා කළ හැකියි. මුතුරජවෙල සහ කොළොන්නාව ටැංකිවලට නැවකින් තෙල් බෑම සඳහා දින 7ක් ගතවෙනවා. එම නිසා හම්බන්තොට වරාය භාවිතය තෙල් බෑම හත් ගුණයකින් වේගවත් වෙනවා. ඒ හරහා විශාල ලාභයක් ලබාගන්න පුළුවන්. හම්බන්තොට නැව් තෙල් සේවාව ආණ්ඩුවෙන් තෙල් සංස්ථාවට ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ටෙන්ඩරයක් කැඳෙව්වා. එම ටෙන්ඩරය සඳහා අයි. ඕ.සී. සමාගම චීන සමාගමක් සහ තෙල් සංස්ථාව ටෙන්ඩර් ලබාදුන්නා. තෙල් සංස්ථාව තරඟයක් ලබාදී එම ටෙන්ඩරය ලබාගත්තා. එය සතුටට කාරණයක්. එසේ තිබියදී ආණ්ඩුව එම ටෙන්ඩරය තෙල් සංස්ථාවට ලබා නොදී චීන සමාගමකට දෙන්න යනවා. එනිසා මේ හවුල් ආණ්ඩුව ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිණීමට, බිලිදීමට කරපු උත්සාහයම හම්බන්තොටටත් කරන්න යනවා.

මෛතී‍්‍ර රනිල් ආණ්ඩුව හරියට ප‍්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෝ වගේ. මේක ආණ්ඩුවක් නෙවෙයි. ජනතාව විසින් ආණ්ඩුවක් පත්කර ගන්නේ රටේ සම්පත් භාවිත කරලා නිසි කළමනාකාරිත්වයක් සහිතව මෙම සම්පත් රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් උපයෝගී කර ගන්නයි. නමුත් මේ ආණ්ඩුව රටේ වැදගත්ම සම්පත් විකුණමින් බිලිදෙමින් තිබෙනවා. පක්‍ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙසත් ආණ්ඩුවේ විකිණීමට බිලිදීමට එරෙහිව පාරේ සටනක් ආරම්භ කරනවා. තෙල් සංස්ථාව, හම්බන්තොට තෙල් ටැංකි, ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, තෙල් පිරිපහදුව, කොළඹ වරාය, විකිණීමට එරෙහිව පුළුල්තම සටන් බලවේගයක් ගොඩනගා දැවැන්ත සටනක් දියත් කරනවා. හම්බන්තොට නැව් තෙල් සේවාව පෞද්ගලීකරණය කළොත් ආණ්ඩුව ලැබෙන ප‍්‍රතිලාභ අහිමි වෙනවා. එය අපිට නැවත ලබාගැනීමට පුළුවන්කමක් නැහැ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වසර 35ක් සඳහා පෞද්ගලික සමාගමකට ලබා දෙනවා. එම වසර 35 තුළම රජයට ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. තෙල් සංස්ථාව සතුව තිබෙන පිරිපහදුව පෞද්ගලීකරණය කළොත් එයින් රටට ලාභයක් අත්කරගන්න බැරිවෙනවා. එම ස්ථාන රටේ ආර්ථිකයේ වැදගත්ම ස්ථානයි. ඒවා අපේ රටේ ආර්ථිකයේ මව් ස්ථානයි. එම නිසා මේ රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව රටට කරන විනාශය නතර කළ යුතුයි. වෘත්තීය සමිති සහ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව මේ රටේ සියලූ ජනතාවගෙන්, මාධ්‍යවේදීන්ගෙන් අපේ රටේ ආර්ථික මර්මස්ථාන බිලිදීම වළක්වා ගැනීමට ප‍්‍රබල හඬක් අවදි කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

 

Related posts

“ලක්ෂ 1500ක් ලැබුණු, අත්හිටවූ බැංකු ගිණුම” වැඩේ ගොඩින් විසඳගෙන. මොකුත් වෙලා නෑ ආණ්ඩුවෙන් ප්‍රකාශයක්?

colombotoday

ඇප මත සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

ප්‍රතිසංවිධානය බොරුවක්.. රනිල් මීළග ජනාධිපතිවරණයට තරග කළොත් මාත් වෙනම තරග කරනවා – සුජීව

colombotoday

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

colombotoday

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday