Colombo Today Local News

බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා විසින් ලංකා සතොස සභාපති රොෂාන්ත අතුකෝරළ මහතා එම තනතුරින් ඉවත් කර තිබේ.

ඇමැතිවරයා විසින් සභාපතිවරයා ඉවත්කර ඇත්තේ ‘දිවයින’ පුවත්පතේ පළ වූ ලිපියකට අදාළ තොරතුරු මාධ්‍යයට පත්වූයේ කෙසේ දැයි චෝදනා කරමින් බව වාර්තාවේ. ලංකා සතොස ආයතනයේ දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ මහා පරිමාණ දෙමළ ජාතික ව්‍යාපාරිකයකු ද සභාපතිවරයා ඉවත් කිරීම පිටුපස සිටින බව වාර්තාවේ.

පසුගිය කාලය මුළුල්ලේම ලංකා සතොස ආයතනයේ හිටපු සභාපතිවරයා දූෂණ ක්‍රියාවලට එරෙහිව කටයුතු කළ අතර මේ නිසා දූෂණ ක්‍රියාවලට සම්බන්ධ නිලධාරීන් සමඟ ඔහු සෘජුවම ගැටුම් ඇති කරගෙන තිබිණි.

දිවයින පුවත්පතේ පලවූ ලිපිය පහතින්

සතොසට දුක දී රිසිසේ සතොසින් දන කෙළිති මෙසේ

රටේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල තීරකයා ලෙස විරුදාවලිය ලත් ලංකා සතොස ආයතනය දේශපාලන හස්‌තයක්‌ විසින් දිනෙන් දින වළපල්ලට ගෙනයන ආකාරය දකින සතොසට කවදත් ආදරය කරන ජනතාවටත් එහි සේවක සේවිකාවන්ටත් ඇතිවන්නේ මහත් ශෝකයකි. මේ දේශපාලන හස්‌තය මේ දිනවල එහි කොටසින් කොටස පුද්ගලික අංශය වෙත පවරමින් වෙනත් පුද්ගලික ආයතන වෙත එහි ලාභය ලබා දෙමින් කටයුතු කරන බවට එහි සේවක සේවිකාවෝ සඳහන් කරති.

මේ වන විට ලංකා සතොස බෙදාහැරීම් ජාලය පුද්ගලික සමාගමකට පවරා ඇත. වෙනදා ලංකා සතොස සේවකයන් පැය කීපයක්‌ තුළ සිදු කළ බෙදාහැරීම් නව ආයතනය මගින් බෙදාහරින්නේ දින කීපයක්‌ ගතවූ පසුවය. එසේම එම බෙදාහැරීමේ ක්‍රමවේදය සඳහා අධික මුදලක්‌ වැය කරන්නට ලංකා සතොස ආයතනයට සිදුවී තිබේ. ලංකා සතොස ගබඩා ආසන්නයේ ඇති ශාඛා සඳහා බෙදාහැරීම් සිදු කළ ද අවම වශයෙන් කිලෝමීටර් සියයක දුරක්‌ සඳහා අදාළ පුද්ගලික ආයතනයට ගෙවීම් කරන්නට ලංකා සතොස ආයතනයට සිදුවී තිබේ.

රජයෙන් පසුගිය අයවැය හරහා ලංකා සතොසට මුදල් ලබාදුන්නේ සතොස අත්‍යවශ්‍ය භාණ්‌ඩ වලින් පුරවා රටේ ජනතාවට සහන මිලට භාණ්‌ඩ ලබාදෙන්නටය. එහෙත් දැන් එම මුදලින් ලංකා සතොස ආයතනය පාරිභෝගික කාර්යක්‌ෂමතාවය උදෙසා තම වෙළෙඳ ආයතන ජාල ගතකිරීමට සූදානම්වන්නේ ආයතන සේවක සේවිකාවන්ද පුදුමයට පත් කරමිනි. ලංකා සතොස ආයතනය දැනට 100 කට අධික පරිගණක ගත කළ වෙළෙඳ ආයතන හා තොග ගබඩා ආයතන පවතින ලංකාවේ විශාලතම සුපිරි වෙළෙඳ සල් ජාලය වේ. එසේ තිබියදී තවත් වෙළෙඳසල් 233 ක්‌ සඳහා අතිවිශාල මුදලක්‌ වැය කරමින් හදිසියේ ජාලගත කරන්නට යන්නේ ඒ හරහා යම් යම් පාර්ශව අතිවිශාල කොමිස්‌ මුදලක්‌ ලබා ගැනීමට යයි ලංකා සතොස සේවක වෘත්තීය සමිති චෝදනා කරති.

මීට පෙර සිටි ලංකා සතොස ප්‍රධානියකු විසින් 2015.06.30 දින පුවත් පතෙහි පළකර ඇති පරිදි පරිගණකගත කිරීම පිළිබඳ අභිලාශගත කිරීමේ දැන්වීම ප්‍රකාශ කරනු ලබන්නේ ලියාපදිංචි තැපෑලෙන් 2015.07.06 දිනට පෙර එය ආයතනයට ලැබීමට සලස්‌වන ලෙසට දැනුම් දෙමිනි. නමුත් 2015.06.30 දින සිට 2015.07.06 දක්‌වා ඇති කාල පරාසය තුළ රජයේ නිවාඩු දින 3 ඇති අතර අවසන් දිනයේ මෙම අභිලාශ සටහන් ලියාපදිංචි නොකර බාරදෙනු ලබන මිල ගණන් සටහන් ද අනුමත කර බාරගන්නා ලදී.

කිසිදු තාක්‌ෂණික කමිටු ඇගයීමකින් තොරව 2015.07.28 දින විවෘත වුණු කිලිනොච්චි ශාඛාවට මෙම මෘදුකාංගය ඇතුළත් කළ ද ඉතා සුළු කාලයකදී අදාළ මෘදුකාංගය අක්‍රීය වන්නේ එය ආයතනික ක්‍රියාවලියට කිසිදු අයුරකින් අනුගත නොවන නිසාය.

එසේ තිබියදීත් ඉන් පසු විවෘත කළ හාලිඇල හා වැලිසර සුපිරි ශාඛා නැවත වතාවක්‌ පෙර පරිගණක ගත කළ ආයතනයට ලබා දෙනු ලබන්නේ සියලු සේවක සේවිකාවන් මවිතයට පත් කරමිනි. මෙම කාලය තුළ ආයතන ප්‍රධානීන් වෙනස්‌ වුවද පරිගණක ගත කිරීමේ ක්‍රියාවලිය දිගින් දිගටම ක්‍රියාත්මක වනුයේ ඒ සඳහා තවත් ඉහළ බලධාරීන්ගේද නොමද සහයක්‌ ඇති බව පෙන්වමිනි.

ඒ අනුව 2016.11.18 දින ලෙස සැකසූ ලංකා සතොස හා තම පරිගණක ගත කිරීමට නියමිත ආයතනය සමඟ ගිවිසුම් ගතවන්නේ රු. 198, 175, 784.44 අතිවිශාල මුදලක්‌ මගින් අදාළ ආයතනයට මෘදුකාංග මිලදී ගැනීමට යෑයි සඳහන් කරමිනි.

ලංකා සතොස ආයතනයේ මුල්‍ය අංශ ප්‍රබලයකු මෙම ගිවිසුමට අත්සන් තබන අතර එහි විශ්මය දනවන කාරණය වනුයේ ගිවිසුම් දිනය වන 2016.11.18 දින වන විට මුල්‍ය අංශ ප්‍රබලයා ආයතනය තුළ ආයතන සේවකයකු ලෙස සේවය නොකිරීමයි. ඔහු තම ලංකා සතොස සේවය ආරම්භ කරනු ලබන්නේ 2017 ජනවාරි මස සිටය. ඒ තරමට මේ ගනුදෙනු සිදුවන ආකාරය ගැටලු සහගතය.

මීට අමතරව එම මෘදුකාංග ස්‌ථාපනය කිරීමට අවශ්‍ය දෘඪාංග සපයා ගැනීමට රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් කටයුතු කරන්නේ තාක්‌ෂණ ඇගයීම් කමිටු නිලධාරියෙක්‌. රජයේ කිසිදු ප්‍රසම්පාදන කමිටු ක්‍රියාවලියක තාක්‌ෂණික කමිටු නිලධාරියා සඳහා මිල ගණන් ලබාගැනීමට කිසිදු නෛතික බලයක්‌ නොමැති අතර, ඒ සියලු නීතිරීති මගහරිමින් අත්තනෝමතික ක්‍රියාවලිය මගින් පෙර සඳහන් කළ මෘදුකාංග සපයන ආයතනය වෙතටම මෙම ඇණවුම ලබාදෙනු ලබන්නේ වෙනත් කිසිදු මිළගණන් ඉදිරිපත් කළ ආයතන සඳහා දැනුම් දීමකින් තොරවය.

මෙම සියලු ක්‍රියාවලීන් පිටුපස සිටිනුයේ ලංකා සතොස ආයතනයට මහා පරිමාණ හාල් සැපයුම්කරුවෙක්‌ වන අතර ඔහු ඇතැම් විට ලංකා සතොස ඉහළ නිලධාරීන්ට පවා විධාන දෙමින් තර්ජනාත්මකව හැසිරෙන බව සඳහන්ය. ඔහුට එලෙස ක්‍රියා කරන්නට හැකිවී ඇත්තේ දේශපාලන හස්‌තයේ පූර්ණ ආරක්‌ෂාව ඔහු සතුව පවතින නිසාය.

මේ අතර ලංකා සතොස ආයතනය සඳහා කළමනාකාර උපදේශකයකු ලෙස මාසිකව රුපියල් ලක්‌ෂ 14 ක වැටුපකට එක්‌තරා පුද්ගලයකු බඳවා ගෙන තිබේ. ඔහුට ඇතැම් මාසවල රුපියල් ලක්‌ෂ 18 බැගින්ද තවත් මාසවල රුපියල් ලක්‌ෂ 25 බැගින්ද වැටුප් ගෙවා තිබේ. තවත් උපදේශකවරුන් ගණනාවක්‌ ඉහළ වැටුප් වලට බඳවා ගෙන ඇත්තේ එවැනි උපදේශකයන්ගේ එතරම් අවශ්‍යතාවක්‌ නොපවතින විට බව සඳහන්ය.

මේ අතර ලංකා සතොස ආයතනය සඳහා අතිවිශාල සේවකයන් ප්‍රමාණයක්‌ වත්මන් පාලනය මගින් බඳවා ගෙන ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ එයින් සියයට අනූවක්‌ පමණම එක්‌තරා ජන කොට්‌ඨාසයකට අයත් බව සඳහන්ය.

Related posts

සීමා නීර්ණය ගැසට් කිරීම විතරක් මදි.. පුංචි ඡන්දයට තවත් පොල්ලක් !!

colombotoday

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin