Colombo Today Local News

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

පසුගිය ජූනි 19 දින මාධ්‍ය හමුවක් පැවැත්වූ ගරු පා ච රණවක ඇමතිතුමා තමන් බොදු බල සේනා සංවිධානය සමග කිසිම සම්බන්ධයක් නැතැයි පැවසීමට ගොස් පච වැලක් ප්‍රකාශ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ තැන් දෙකක තමාගේ නමත් සඳහන් වන නිසා එතුමාගේ පච වැල පෙන්වා දීම තමාගේ යුතුකමක් බැව් මන්ත්‍රීවරයා කියා සිටියේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

මම එතුමාට කලින්ම අනතුරු ඇඟෙව්වා බොදු බල සේනා සමග ගැටුමක් ඇති බව පෙන්වන්න මාව ගාවා ගත්තොත් මට තිත්ත ඇත්ත හෙළි කරන්න වෙනවා කියා.  දැන් ඉතින් මට එතුමාව නිරුවත් කරන්න සිදු වෙනවා.  නමුත් දේශපාලන සදාචාරය රැකිය යුතු බැවින් ජාතික හෙළ උරුමයේ අභ්‍යන්තර කරුණු කිසිවක් මම හෙළිකරන්නේ නෑ.  තෙවන පාර්ශවත් දන්නා කරුණු පමණයි මම හෙළිකරන්නේ.

මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා ඥාණසාර හිමියන්ගේ ද නීතිඥයා බව එතුමා පවසනවා.  නමුත් එතුමාට අමතක වුණු කාරණය තමයි ඒ නීතිඥයා ඥාණසාර හිමියන්ගේ නීතිඥයා පමණක් නොවේ පා ච රණවක ඇමතිතුමන්ගේත් නීතිඥයා.  අයිටීඑන් නාලිකාවේ විකාශනය වුණු අඳුරෙන් එළියට නම් වැඩසටහන හදිසියේ නැවැත්වීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණු බවට රණවක ඇමතිතුමා ගොනු කළ නඩුවේ දී එතුමා වෙනුවෙන් නොමිලේම පෙනී සිටියේ මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා තමයි.  ඒ තමයි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මැතිතුමා. ඒ විතරක් නොවේ ජනාධිපතිවරණය 2005 දී පැවැත්විය යුතු බවටත් සුනාමි සහන මණ්ඩලයට එරෙහිවත් ජාතික හෙළ උරුමය ගොනු කළ නඩු වල දීත් නොමිලේම පෙනී සිටියේ ඔය කියන මගේ ජ්‍යෙෂ්ඨ නීතිඳයා තමයි.  එහෙව් නීතිඥයාට මාධ්‍ය ඉදිරියේ පහර දීලා රණවක ඇමතිතුමා තමන්ගේ කළ ගුණ සැලකීම මනාවට සිදු කළා.

ඒ වගේම එතුමාගේ තර්කය වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් ඥාණසාර හිමියන්ගේත් නීතිඥයා එකම පුද්ගලයා නිසා දෙන්නාම ඉන්නේ එකට.  ඒ තර්කය දිගේ ඉදිරියට ගියොත් ගෝඨාභය මහතාගේත් මගේත් නඩු වලට පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා තමයි ශිරාණි බණ්ඩාරනායක මැතිනියටත් පෙනී සිටියේ.  ඒ තර්කය අනුව ගියොත් ගෝඨාභය මහතායි ශිරාණි මැතිණියයි මමයි ඉන්නෙත් එකට. තවත්දුරට ඉස්සරහට ගිහාම රණවක ඇමතිතුමාටයි ඥානසාර හිමියන්ටයි දෙදෙනාටම පෙනී සිටින්නේත් එකම නීතිඥයා නිසා රණවක ඇමතිතුමන්ගේම තර්කයට අනුව ඥානසාර හිමියන් සහ රණවක ඇමතිතුමායි ඉන්නේත් එකටමයි. එතුමාගේ තර්කය දැන් එතුමන්ටම භූමරංගයක් වෙලා තියෙන්නේ.

දැන් අපි බලමු එතුමාගේ පච වැලේ තිබෙන පච එකින් එක ගෙන.

පච අංක 1 – මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඇප ලබා ගන්න පෙනී සිටියාලු.  පට්ටපල් බොරුවක්.  මනෝහර ද සිල්වා මහතා සිවිල් නීතිඥයෙක් මිස  ඇප නඩු වලට පෙනී සිටින නීතිඥයෙකු නොවේ.  ඒ වගේම මා සහ ගෝඨාභය මැතිතුමා වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ කණ්ඩායම් දෙකක්.

පච අංක 2 – මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටියාලු.  එතුමා කිසිම දිනක මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටියේ නෑ.

පච අංක 3 – මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා වියත් මගේ ප්‍රධාන කථිකයෙක්ලු.  එතුමා වියත් මගේ නෑ.  එකම එක් වරක් ආරාධිත දේශකයෙකු ලෙස වියත් මගේ සංවත්සරයට සහභාගි වුණා.

පච අංක 4 – තිස්ස විතාරණ සමසමාජ පක්ෂ නායකතුමන් සහ ඥාණසාර හාමුදුරුවන් පසුගිය ජනාධිපතිවරණයේ දී එකම වේදිකාවේ සිටියාලු.  බොරු.  කිසිම දවසක දෙදෙනා එකම වේදිකාවේ සිටියේ නෑ.

පච අංක 5 – ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2020 දී ජනාධිපති කරන්න සිහින මවන අය රණවක ඇමතිතුමාට බයෙන් වේවලනවා ලු.  මුලින්ම කියන්න ඕනෑ ජනපතිවරණය පැවැත්වෙන්නේ 2019 මිස 2020 නොවේ.  ඒකට ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරන්න අපි සිහින මවනවා කියමුකො.  නමුත් අපි මොකට ද රණවක ඇමතිතුමාට බය වෙන්නේ?  එතුමාගේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපයේ 26 වෙනියා.  ලංකාවෙන්ම 47 වෙනියා.  ඉතින් අපි ඇයි ඒ වගේ පරාජිතයෙකුට බය වෙන්නේ?  ඔන්න අකිල විරාජ් ඇමතිතුමාට බය වුණා නම් සාධාරණයි.  එජාපයේ දෙවැනියා.  ලංකාවේ පස්වෙනියා.

පච අංක 6 – මේක තමයි ලොකුම පචය හෙවත් චොම් පචය. 2004න් පසු ජාතික හෙළ උරුමය සහ ඥාණසාර හිමියන් අතර කිසිම සම්බන්ධයක් නෑලු. අතේ පත්තු වන බොරුවක්.

I.            2013 ජූලි 2 දින ජාතික හෙළ උරුමයත් බොදු බල සේනාත් ඒකාබද්ධව මහරගම නගරයේ පලාත් සභා අහෝසි කරනු කියා ජන රැළියක් පැවැත්වූවා.  එහි ප්‍රධාන කථිකයින් වුණේ පා ච රණවක ඇමතිතුමා සහ ඥාණසාර හාමුදුරුවෝ.  බොදු බල සේනා ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වූ එකම දේශපාලන පක්ෂය ජාතික හෙළ උරුමයයි.

II.            2014 සැප්තැම්බර් 28 දින කොළඹ පැවැති දැවැන්ත සංඝ සමුළුවට පා ච රණවක ඇමතිතුමා සහභාගි වෙන්න සිටියත් එතුමා අවසන් මොහොතේ සහභාගි වුණේ නෑ.  නමුත් පසුව ඥාණසාර හිමියන් සමග ගොස් බුරුමයෙන් පැමිණි අශින් විරතු හිමියන් හමු වුණා.

III.            2014 ඔක්තෝම්බර් 19 දින සිය නිල නිවසට බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන රැසකට ආරාධනා කරලා රණවක ඇමතිතුමා ජනපතිවරණයට බෞද්ධ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සාකච්ඡා කළා.  ඊට ඥාණසාර හිමියන් ද සහභාගි වුණා.

IV.            රණවක ඇමතිතුමන් ආණ්ඩුවෙන් ඉවත්වෙන්නේ 2014 නොවැම්බර් 18 වෙනිද. 2014 නොවැම්බර් 20 දින රණවක ඇමතිතුමා බොදු බල සේනා කාර්යාලයට ගොස් ජනාධිපතිවරණයේ දී පොදු ස්ථාවරයක් ගැනීම පිලිබඳ සාකච්ඡා කළා.

V.            බොදු බල සේනා බිහි වීමෙන් පසු හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවන් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී බොදු බල සේනාවේ පූර්ණකාලිනව කටයුතු කරන්න යනවා.  ඉන් පසු උන් වහන්සේ නැවත පක්ෂයට එකතු වෙන්නේ පක්ෂයේ සම සභාපති විධියටයි.  ඥාණසාර හිමියන් බොදු සමුළු මෙන්ම මාධ්‍ය හමු අමතන විට උන් වහන්සේ පැවසිය යුතු දේ කනට කෙඳිරීම භාරව සිටියේ විමලසාර හාමුදුරුවන්. උන් වහන්සේගේ කනට කෙඳිරීම භාරව සිටියේ පා ච රණවක ඇමතිතුමන්. මේ ඡායාරූපය පෙන්වන්නේ දෙදෙනා සමීපව වාඩි වී මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවක්.    ඒ වගේම අළුත්ගම බොදු සමුළුව සංවිධානය කලෙත් ඥාණසාර හිමියන්ට ආරාධනය කලේත් විමලසාර හිමියන්.

මේ මම පැවසුවේ රහස් සාගරයෙන් දිය දෝතක් පමණයි.

Related posts

ජනපති නවත්වන්න අපට බලයක් නෑ. අපි නැවැත්තුවේ නෑ. – ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

colombotoday

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

දුම්රිය වර්ජනය ගැන ඇමති බන්දුලගෙන් පොලිස්පතිට සහ CIDයට පැමිණිලි

Admin

ජපානයේ භූකම්පනයක් – පසුකම්පනය ගැන ජනතාවට අනතුරු අඟවයි

Admin

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

colombotoday