Colombo Today Local News

දූෂණ මර්ධනය වෙනුවට දූෂණ වර්ධනය ! දූෂණ මර්ධන කාර්යාලය වසා දැමූ හේතුව මෙන්න..

දූෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දමන්නේ ආණ්‌ඩුවේ ඇමැතිවරුන් දස දෙනකුට අධික පිරිසකගේ රුපියල් කෝටි දහසක්‌ පමණ වටිනා වංචා හා දූෂණ පිළිබඳ විමර්ශනය කරමින් සිටින මොහොතකදී බව ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රකාශ කර සිටී.

මෝදර ධීවර වරාය මාසික තක්‌සේරු මුදල රුපියල් ලක්‌ෂ දාහතක්‌ව තිබියදී රුපියල් එක්‌ලක්‌ෂ විසිපන්දහසක මාසික කුලියට බ්‍රිතාන්‍ය සමාගමකට අවුරුදු විසිපහක කාලයකට පවරා දීමෙන් රුපියල් කෝටි හතළිස්‌ හතක්‌ රජයට පාඩු කිරීමේ පැමිණිල්ල දූෂණ මර්දන ලේකම් කාර්යාලය හමුවේ පවතින බව කී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, ගිං ගඟ, නිල්වලා යෝජනා ක්‍රමය සඳහා රුපියල් කෝටි 297 ක්‌ වැය කළද මෙතෙක්‌ එහි එක්‌ පස්‌ පිඩැල්ලක්‌ හෝ නොකැපීම සම්බන්ධව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහි පැමිණිල්ලක්‌ද විමර්ශනය කෙරෙමින් තිබෙන බව කීවේය.

වී අලෙවි මණ්‌ඩලයට රුපියල් කෝටි 400 ක්‌ පමණ පාඩු කරමින් වී තොග අලෙවි කිරීම සම්බන්ධව වර්තමාන විෂය භාර ඇමැතිවරයාට එරෙහි පැමිණිල්ලක්‌ද සුඛෝපභෝගි වාහන 211 ක්‌ අඩුවෙන් තක්‌සේරු කරමින් මුදා හැරීම පිළිබඳ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි පැමිණිල්ලක්‌ද, දූෂණ මර්දන ලේකම් කාර්යාලය විසින් විමර්ශනය කරමින් සිටින බව විජිත හේරත් මහතා කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක්‌ සඳහා පරිත්‍යාග කළ නිවසක පෞරාණික ගෘහ භාණ්‌ඩ අතුරුදන්වීම පිළිබඳ හිටපු උසස්‌ අධ්‍යාපන ඇමැති, එස්‌. බී. දිසානායක මහතාට එරෙහිවද, පාසල්වලට කම්කරු පත්වීම් ලබාදීම පිළිබඳ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට එරෙහිවද, තෙල් සංස්‌ථාවේ මුදල් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධව අනුර ප්‍රියදර්ශන යාපා මහතාට එරෙහිවද දූෂණ මර්දන ලේකම් කාර්යාලය විසින් මූලික විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බව කී විජිත හේරත් මහතා නැගෙනහිර ආණ්‌ඩුකාරවරයා ලෙස මෑතකදී පත්කළ රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව දූෂණ පිළිබඳ චෝදනාද, ලංකා ට්‍රාන්ස්‌ෆෝමස්‌ සමාගමේ රුපියල් කෝටි තුනක්‌ දේශපාලන වැඩකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ පැමිණිල්ලක්‌ද විමර්ශනය කරමින් සිටින බව කීවේය.

කෙසේවුවද, ඊයේ (12 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුයේ, මහා පරිමාණ දූෂණ වංචා සොයා බැලීමට පිහිටුවූ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් අපේක්‍ෂිත අරමුණු ඉටු නොවුණු නිසා ඒ සඳහා තවදුරටත් මුදල් වැය කිරීමෙන් පලක්‌ නොවන බවයි. මේ අනුව මෙම කාර්යාලයේ කාල සීමාව තවදුරටත් දීර්ඝ නොවන බවද ඇමැතිවරයා කියා සිටියේය.

Related posts

“ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගැසීමෙන් වලකිනු !” රුසියානු මිතුරා නැවතත් ලංකාව වෙනුවෙන්

colombotoday

අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකිණු ලිදුල නගරාධිපති අත්අඩංගුවට

colombotoday

සරසවි වරම් ලැබූ දරුවන්ට දැනුම්දීමක්

Admin

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

පූජ්‍ය කලවැල්ගල පඤ්ඤාකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙති

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday