Colombo Today Local News

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

26562ආණ්ඩුව විසින් ඉදිරරිපත් කිරීමට සූදානම් වන නව ව්‍යවස්ථාව අනුව ශ‍්‍රී ලංකාව රටවල් නවයකට කැඞී යාමේ අවදානමක් ඇති බව පිවිතුරු හෙල උරැමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ පැවති ඒකාබද්ද මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව නියා සිටියේය.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කියා සිටියේය.

ජයම්පති වික්‍රමරත්න දෙමළ ජාතික සංධානයේ කාමරයට වී හැදු බියකරු ලියවිල්ල.

2016 මාර්තු 9 දින පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 ම සිටින නියෝජිත ආයතනයක් ඇති කළා.  ඒ මණ්ඩලය ඒ ඒ විෂය සම්බන්ධයෙන් අළුත් ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු කරුණු අධ්‍යනය කර වාර්තා කරන්න අනු කමිටු 11ක් පත් කළා.  ඒ අනු කමිටු වාර්තා පිලිබඳ ඉතාම වැදගත් දෙයක් යෝජනාවේ 11 වගන්තියේ අඩංගු වෙනවා.  ඒ තමයි මේ අනු කමිටු වාර්තා සකස් වුණු වහාම ප්‍රසිද්ධ කළ යුතුයි.  එයින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වෙන්නේ නෑ කියලා ඉතාම පැහැදිලිව කියා තිබෙනවා.  මම ඒ වගන්තිය කියවන්නම්.

11 වන වගන්තියේ කියවෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු මහජනතාවට විවෘත විය යුතුය. අණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සහ අනුකමිටු වල කටයුතු ලේඛන ගත කොට වහා ප්‍රකාශයට පත් කල යුතුය. සුදුසු අවස්ථාවන් හී අණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා එහි අනුකමිටු වල කටයුතු විකාශනය කිරීමට සහතික කිරීමට අණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අවශ්‍ය පියවර ගනු ලැබිය යුතුය. සැක  ඇතිවීම වළක්වනු පිණිස පෙර කී කරණු ප්‍රකාශනය සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනතේ දහත්වන වගන්ති ප්‍රකාර පාර්ලිමේන්තු විශේෂ අවසරය නිශ්චිතව ලබා දෙනු ලබන බවට මෙහිලා නිශ්චිත වශයෙන්ම යෝජනා කරේ.

අනුකමිටු 6ක් අගෝස්තු මාසය අවසන් වන විට සිය වාර්තා මෙහෙයුම් කමිටුවට භාර දී තිබුණා.  ඒවා වහාම ප්‍රසිද්ධ කරන්න නීතියෙන් බැඳී සිටියත් ඒක කලේ නෑ.  මේ වාර්තා අතරින් භයානකම එක තමයි පරිධිය සහ මධ්‍ය (පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව) අතර සබඳතාවය පිලිබඳ අනු කමිටු වාර්තාව.  එතැන තමයි ෆෙඩරල් කුමන්ත්‍රණය තිබෙන්නේ.  ඒ නිසා තමයි ප්‍රමුඛතා පදනමින් අපි මේක ප්‍රසිද්ධ කරන්න හිතුවේ.  අනෙකුත් වාර්තාත් ඉදිරියේ දී අපේ මන්ත්‍රිවරුන් ප්‍රසිද්ධ කරාවි.

ආණ්ඩුවේ නායකයින් හැමදාමත් ජනතාවට කිව්වේ අපි ඒකීය භාවයට අත තියන්නේ නෑ කියලා.  නමුත් විශේෂඥ කමිටුවේ ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින කිසිම ව්‍යවස්ථා විශේෂඥයෙකු නෑ.   ඩී එස් විජේසිංහ, ගෝමින් දයාසිරි, මනෝහර ද සිල්වා, ආතර් සමරසේකර වැනි ජනාධිපති නීතිඥයෙකු සිටිය යුතුව තිබුණා.  නැති නම් අචාර්ය දයාන් ජයතිලක වගේ දේශපාලන විද්‍යාඥයෙකු ඉන්න තිබුණා.  එකම එක් කෙනෙක් නෑ.  නමුත් ෆෙඩරල්කාරයෝ මේකෙ වැහිවැහැලා. ඒකෙන් පේන්නේ ජනාධිපති සහ අගමැති කතාවට කියන ඒකීය රාජ්‍ය ක්‍රියාවේ නෑ කියන එකයි.ෆෙඩරල් විශේෂඥයින්ගෙන් උපදෙස් අර ගෙන නව ව්‍යවස්ථාව හදනවා කියන්නේ අපේ ඒකීය රාජ්‍යය අනතුරේ කියන එකයි.

මෙහි තිබෙන භයානක ප්‍රතිපාදන සාරාංශ ගත කළොත්

ජාතිවාදි පදනමින් ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවා ශ්‍රේෂ්ඨාධිකරණය සතු ව්‍යවස්ථා අර්ථ නිරූපණ බලය කියන පරම බලය ඒකට දෙන්න යෝජනා කරලා.  බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමය හඳුන්වා දුන්නු ඉංග්‍රීසින්වත් අධිකරණයට ජාතිවාදය ගෙන ගියේ නෑ.  නිදහසින් පසු අවස්ථා ගණනක දී දෙමළ ජාතිකයින් අගවිනිසුරුධූරය හොබවලා තිබෙනවා.  අදටත් ඉන්නේ දෙමළ ජාතික අගවිනිසුරුවරයෙක්.  ඒක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ.  නමුත් ජාතිවාදි පදනමෙන් විනිසුරුවරු පත් කලොත් ව්‍යවස්ථා අර්ථ නිරූපණය හරහා සමස්ත නීති පද්ධතියම ජාතිවාදි පසුබිමකින් සැකසෙනවා. ජාතිය පදනම් කරගත් අධිකරණයකින් නම් රටේ උත්තරිතර නීතිය අර්ථ නිරූපනය කරන්නේ මේ සමස්ථ රටම ජාතිවාදයෙන් වෙළාගැනීම වළක්වන්න කාටවත්ම බෑ.

ඒ වගේම උතුරේ ජාතිවාදි මහ ඇමතිවරයාගේ පීඩනයෙන් මිදෙන්න සිංහල සහ මුස්ලිම් ජනතාවට තිබෙන එකම අස්වැසිල්ල  සමගාමි ලැයිස්තුව.  සිංහල ප්‍රදේශයක පාසලකට රෝහලකට පලාත් සභාව ප්‍රතිපාදන දෙන්නේ නැති නම් පාරක් හදන්නේ නැති නම් මධ්‍යම ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන්.  ඒ පලාත් සභාවට වගේම මධ්‍යම ආණ්ඩුවටත් බලය තිබෙන සමගාමි ලැයිස්තුව තිබෙන නිසා.  ඒ සමගාමි ලැයිස්තුව ඉවත් කරන්න යෝජනා කරලා.  ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව වගේ ෆෙඩරල් රාජ්‍යයන්ගේත් මේ ලැයිස්තුව තිබෙනවා.  ඒත් අපේ ඉවත් කරන්න යනවා.

බෙදුම්වාදි බලවේගයක් තිබෙන තැනක පොලිස් බලතල අනිවාර්යෙන් තිබෙන්න ඕනෑ මධ්‍යම ආණ්ඩුවටයි.  නමුත් පොලිස් බලතල පලාත් සභාවට දෙන්න යෝජනා කරලා.  පොලිස් බලතල වලට මුවා වෙලා තමයි 1989 දී උතුරු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් දෙමළ විමුක්ති හමුදාව කියලා සන්නද්ධ බලකායක් හැදුවේ.  ඒ අය වාසනාවට වර්ධරාජා එක්කම ඉන්දියාවට පැනලා ගියා.  අනාගත බෙදුම්වාදි යුද්ධයක් ඇති වුණොත් දෙපාර්ශවය වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදින් නොවේ. ශ්‍රි ලංකා හමුදාවයි උතුරේ පොලීසියයි.  එතකොට ත්‍රස්තවාදින්ට හොර රහසේ ආයුධ සහ පුහුණුවීම් ලබා දුන්නු ඉන්දියාවට ප්‍රසිද්ධියේම උදව් කරන්න පුළුවන්.  ඇයි?  නීත්‍යානුකූල පොලිස් හමුදාවට සහය දක්වන්නේ. බෙදුම්වාදී ප්‍රවනතාවයක් තියෙන උතුරට පොලිස් බලතල දෙනවට අපි විරුද්ධයි.

පූර්ණ ඉඩම් බලතල දෙන්නත් මේ අනුකමිටුව යෝජනා කරලා. මේ බලතල දෙන්නේ කාටද? උතුරෙන් සිංහලයින් එලවන විග්නේශ්වරන් මහ ඇමතිතුමාට.  බොහොම නීත්‍යානුකූලවම දෙමළ පමණක් සිටින පලාතක් බවට උතුර පත් කරාවි. 1990 වෙල්ලුපිල්ලේ ප්‍රභාකරන් දැක්ක සිහිනය සැබෑ කරාවී. ලංකාවේ අනෙකුත් පලාත් ජනාකීර්ණ වෙලා වගා බිම් වෙලා කර්මාන්ත ශාලා වෙලා අද ඉඩම් තිබෙන්නේ උතුරු පලාතේ.  සිංහල රාජ්‍ය නිරිතදිගට සංක්‍රමණය වීම ආරම්භ වුණු 12 වන සියවසේ සිටම උතුරේ තමයි ජන ශූන්‍ය ඉඩම් තිබුණේ.  ඒක සමස්ත ජාතියටම අයිතියි.  ඒ වගේම වෙනම රාජ්‍යයක් කියන්නේ භූමිය පිලිබඳ ප්‍රශ්නයක්.  වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින විග්නේශ්වරන් ඇතුළු දෙමළ සංධානයට ඉඩම් බලතල දෙන්නේ කොහොමද?

බලතල රහිත මහ ඇමතිගේ අල්ලේ නැටවෙන රූකඩ ආණ්ඩුකාරවරයෙකු බිහි කරන්නත් යෝජනා කරලා තිබෙනවා. විමල් මන්ත්‍රිතුමා මේක එන්නත් කලින් දූරදර්ශිව කිව්වා ව්‍යවස්ථා මර උගුලක් කියලා.  මොකද කෝකියන් කවුද කියලා දැන ගත්තාම හොද්දේ ගුණ කියන්න පුළුවන් නිසා.  ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබෙන කාමරයට වෙලා මාස ගණනක් හදපු හොද්ද තමයි මේ එලියට ඇවිත් තිබෙන්නේ.  මෙහි අඩංගු භයානක යෝජනා පිලිබඳ ජනතාව දැනුම්වත් කරන්න ඉදිරියේ දී සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා.  අනිවාර්යෙන් ලංකාව දෙපළු තිපළු වෙලා ජනවර්ග එකිනෙකා සමග ඇණ කොටා ගන්නා ලේ විලක් වීම වැලැක්වීමට නම් නව ව්‍යවස්ථාව ජනමත විචාරණයේ දී පරාජය කිරීම පක්ෂ භේදයෙන් තොරව මව්බිමට ආදරය කරන හැමෝගේම යුතුකමක්. තමන්ගේ හෘද සාක්ෂිය අවදි කරලා, පක්ෂ භේද පැත්තක තියලා, මේ යෝජනාව පරාජය කරන්න පෙරට එන්න කියලා එජාපය සහ ආණ්ඩුව ඇතුලේ ඉන්න තවමත් රටට ආදරය කරන දේශ ප්‍රේමි පිරිස් වලින් අපි ඉල්ලා සිටිනවා. මේ අනුකමිටු වාර්තාව භයානක යෝජනා අඩංගු විෂ ගුලියක්.

1987 දී ලංකා මාතාවගේ උතුරු පලාත සරුංගලයක් කරලා අහසට යැව්වා.  හැබැයි නූල තිබුණේ ලංකා මාතාව අතේ.  ඒ නිසා සරුංගලේ පාලනය තිබුණේ ලංකා මාතාව අතේ. මේ යෝජනා වලියෙන් උත්සාහ කරන්නේ ඒ සරුංගලේ නූල කපලා නිදහසේ පා වී ගිහින් දෙමළ ඊළම බවට පත්වීමට අවශ්‍ය පසුබිම හදන්නයි.

පලාත් සභා සවිමත් කරනවා කියන්නේ විග්නේශ්වරන් මහ ඇමතිතුමා සවිමත් කරනවා කියන එකයි.  මෙසේ ව්‍යවස්ථා යෝජනාව ක්‍රියාත්මක කලොත් උතුරේ බිහි වෙන බියකරු චිත්‍රය තේරුම් ගන්න නම් පුංචි බලයක් ලැබුණු විග්නේශ්වරන්ගේ ක්‍රියා කලාපය දෙස බලන්න. ලැබුණු පුංචි බලයෙන් හමුදාව උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන, සිංහලයින් පදිංචි කිරීමට විරෝධය පල කරන, බුදු පිලිම උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන විග්නේශ්වරන්ට තවත් බලතල දුන්නොත් කොහොම ද?  ඒක හරියට මතට ඇබ්බැහිවුණුකෙනාව පුනරුත්ථාපනය කරන්න කියලා වැඩි වැඩියෙන් හෙරොයින් දෙනවා වගේ වැඩක්. ඒක නිසා මේ යෝජනාව පරාජය කරන්න කල හැකි කල යුතු හැමදේම කරන්න අපේ දේශපාලන බලවේගයන් සියල්ලම පක්ෂ භේදයකින් තොරව සටන් කරනවා කියන ප්‍රතිඥාව අපි ජාතියට ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

බිරියන් 4යි… ළමයි 28යි… රුපියලක ආදායමක් නෑ, නඩත්තුව පල්ලියෙන් – උස් තාප්පයකින් වටවූ මීගමුවේ ගෙදරක වෙච්ච දෙයක් !

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට උපදේශක සභාවේ අනුමැතිය

colombotoday