Colombo Today Local NewsNew Constitution

දෙමළ බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලූ සියළු ඉල්ලීම් අලුත් ව්‍යවස්ථාවෙන් දෙන්න සියල්ල සූදානම් !

wimal522මුළුමහත් ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ සියලු ඉල්ලීම් නව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ආණ්ඩුව හොර රහසේ කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථාවක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කර ඇති අනු කමිටුවක රහසිගත වාර්තාවක් රට හමුවේ තබමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.

“මධ්‍ය-පරිධිය සබඳතා පිළිබඳ අනු කමිටුව(Sub-Committee on Centre – Periphery Relations) විසින් මේ වන විට වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කළ අනු කමිටු අතුරින් එකක් තමයි මෙය. එමගින් තමයි මෙම වාර්තාව සකස්කර ඇත්තේ. මෙම වාර්තාව ඉදිරිපත්කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙහෙයුම් කමිටුව නම් වූ ව්‍යුහයටයි. එම මෙහෙයුම් කමිටුව විසින් මෙම වාර්තාවෙහි අඩංගු කරුණු සාකච්ඡාකර ඔවුන් නිර්මාණය කරමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීමට නියමිතයි.

මෙම වාර්තාව අධ්‍යයනය කරලා බැලුවාම ඉතාමත් පැහැදිලිව පෙනෙනවා, ‘නව ව්‍යවස්ථාවක් හදන්නේ කවර උවමනාවකටද?’ කියලා. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සියදහස් ගුණයකින් තහවුරු කිරීම’ වැනි ලස්සන වචන මාලාවක් ඉස්සරහට දමාගෙන ඇත්තටම මෙම ‘ව්‍යවස්ථා ව්‍යාපෘතියෙන්’ සිදු කරන්න යන්නේ කුමක්ද? කියා මෙම අනු කමිටු වාර්තාවෙන් පෙනෙනවා. ආබාධිත රණවිරුවන්ට ගහපු ගැහිල්ලෙන් වගේම මෙම වාර්තාවෙහි අඩංගුව ඇති කරුණුවලිනුත් පෙනෙනවා, ‘ආණ්ඩුව වරදාන දෙන්නේ කාටද?’ කියලා.

සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම

සමගාමී බලතල ලයිස්තුව ඉවත් කිරීමට සහ මධ්‍යම රජය සතු ජාතික ප්‍රතිපත්ති සකස් කිරිමේ බලය ඉවත් කිරීමට මෙම වාර්තාවෙන් නිර්දේශ කොට තිබෙනවා. එවිට සිදු වන්නේ කුමක්ද? සමගාමී ලැයිස්තුව තිබීමෙන් තමයි පළාත් සභාවල බෙදීම් රේඛාව අපැහැදිලි වෙලා තිබෙන්නේ. පළාත් සභා පළාත් ආණ්ඩුවක් බවට පරිවර්තනයකර ගැනීමට නොහැකි වී ඇති ප්‍රබල හේතුවක් තමයි ‘සමගාමී ලැයිස්තුවක්’ පැවතීම. මේ නිර්දේශ දෙක ක්‍රියාත්මක වුවහොත්, පළාත් සභාවලට මධ්‍යම රජයට අත තබන්න බැරි පූර්ණව වෙන් වූ විෂයන් සහ මධ්‍යම රජයට දුර්වල කරනු ලැබූ විෂයන් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ අනුව පළාත් සභාවලට දේශපාලන ස්වාධීනත්වය ලැබෙනවා. අවසානයේදී පළාත් සභාව පළාත් ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙනවා. ඔබ දන්නවා, ජනතාව සතු පරමාධිපත්‍ය බලය නිරූපණය වන්නේ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනාගෙන් බව. ඒ වගේම පරමාධිපත්‍ය බලයේ විධායක කොටස ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයාට ලැබෙනවා. දැනට මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය නියෝජනය වන්නේ ඒ ආකාරයටයි. මේ වාර්තාවෙන් නිර්දේශ කරනවා ‘පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට පමණයි නොවෙයි, පළාත් සභා හෝ පළාත් ආණ්ඩුවලටත් හිමි විය යුතුයි’ කියා.

‘පරමාධිපත්‍ය බලය බෙදීයාම’

‘පරමාධිපත්‍ය බලය බෙදීයාම’ යන සංකල්පය ඉතා වැදගත් වන්නේ කුමකටද? නිල වශයෙන් වෙනම රාජ්‍යයක් සෑදීම සඳහායි. නැඟෙනහිර ටිමෝරය බෙදීයාම පිළිගැනීමට අදාළව පෘතුගාලය විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩුවක් පවරනු ලැබුවා. එම නඩුවේදී නැගෙනහිර ටිමෝරය වෙනම රටක් ලෙස පිළිගනු ලැබීමට ජාත්‍යන්තර අධිකරණයට ප්‍රධානතම හේතුවක් වූයේ පරමාධිපත්‍ය බලයේ බෙදීයාම. ඒ වන විට නැඟෙනහිර ටිමෝරය පරමාධිපත්‍ය බලයේ බෙදී ගිය කොටසක් භූක්ති විඳිමින් සිටියා. ඒ අනුව ඉතා පැහැදිලියි ඉහත වාර්තාවෙන් එවැනි නිර්දේශයක් ඉදිරිපත් කරන්නේ කුමකටද, කියා. කවදා හෝ ජාත්‍යන්තර අධිකරණය හමුවට ගොස් ඉහත කී ආකාරයේ තින්දුවක් ගැනීමටයි, මෙවැනි ප්‍රතිපාදන නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න හදන්නේ. මේ නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් බලන්නේ ‘ඒකීයභාවය’ වැනි වගන්ති ඉවත් කිරීමට නොවෙයි, ‘ඇතුළාන්තයෙන් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත්කර ගන්නේ කොහොමද?’කියලයි. ඒක තමයි මෙහි රහසිගත උවමනාව.

‘දිසා ලේකම්ලාට සහ ප්‍රාදේශීය ලේකම්ලාට අත්වන ඉරණම’

මේ වාර්තාවෙහි ඇති තවත් නිර්දේශයක් තමයි, මේ වන විට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට ගැනීම. දැන් ප්‍රධාන වශයෙන් බලවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව. පළාත් සභාවකට හෝ පළාත් ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලබන ව්‍යුහයකට ඒ පළාතේ සියලුම රාජ්‍ය සේවකයන් පාලනය කිරීමට ලැබෙන බව නොවේද?, මෙමගින් කියැවෙන්නේ. මෙම පළාත් ව්‍යුහයට පොලිස් බලතල හා ඉඩම් බලතල ද සහිතව රාජ්‍ය සේවකයන් පාලනය කිරිමේ බලතල ද ලැබෙනවා, කියන්නේ එතැන ස්වායක්ත වෙනම පාලනයක් ගොඩනැඟෙන බව නොවේද?

පළාත් ඉඩම් පරිහරණ සැලැස්මක් හැදීමේ බලය

ඉඩම් බලතල සමඟ පළාත් ඉඩම් පරිහරණ සැලැස්මක් සැකසීමේ බලයත් පළාත් සභාවට දෙන්න කියා මෙම වාර්තාවෙන් නිර්දේශ කරනවා. ඒ වගේම ‘පළාත් ආණ්ඩුකාරවරයා පත් කිරිමේදී මහ ඇමතිවරයා කැමති තැනැත්තකු පමණක් ඒ සඳහා පත් කළ යුතුයි’ කියා මෙම අනු කමිටු වාර්තාවෙහි දක්වා තිබෙනවා. තවද එම වාර්තාවෙහි සඳහන් වෙනවා ‘ජනාධිපතිවරයා විසින් යම් පළාත් සභාවක් විසුරුවා හරිනු ලැබුවහොත් එහිදී ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් තිබෙන, එන්.ජී.ඕ. නඩුකාරයෝ ටිකක් වාඩිවෙන ව්‍යවස්ථා අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා ජනාධිපතිවරයාට එරෙහිව නඩු කියන්න පළාත් ආණ්ඩුවකට හැකි වෙනවා. යම් මොහොතක ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ලෙස කටයුතු කරන පළාත් ආණ්ඩුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබුණු බලය මෙමගින් අඩපණ කොට තිබෙනවා. දැනට පළාත් සභාව තුළ ජනාධිපතිවරයාගේ විධායක බලය නියෝජනය කරන්නේ ආණ්ඩුකාරවරයා. මෙම වාර්තාව එම තත්වය නැති කිරීමට නිර්දේශ කරනවා. ඒ අනුව විධායක බලය පූර්ණ වශයෙන් මහ ඇමතිවරයා යටතට යනවා.

ඒ නිසා ඉතා පැහැදිලියි, ‘මධ්‍ය හා පරිධිය සබඳතා වර්ධනය කිරීම’ වැනි බරසාර වාක්‍යයක් අස්සේ රිංගුවාට මේ වාර්තාවෙන් නිර්දේශ කරන්නේ ‘මුළු ඉතිහාසය පුරා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් ඉල්ලූ සියලු ඉල්ලීම් ටික දෙන්න’ කියලයි. ඉදිරියේදී එට්කා ගිවිසුම ගහලා මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත් කිරීමට නියමිතයි. අනෙක් පැත්තෙන් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමේ වැඩ කටයුතු කෙරෙනවා. ආසියාවේ ලොකුම හොරකම කරපු කම්බ හොරු ටික අඩු ගණනේ කට උත්තරයක්වත් නොදී නිරුපද්‍රිතව සිටිනවා. ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවලා පහර දෙනවා. මේ සියලු තීරණාත්මක මාතෘකා යට ගහලා වෙනත් අතුරු මාතෘකා ගෙන එන්න ඇතැම් අය කටයුතු කරනවා.

නව ව්‍යවස්ථාවක් මගින් මේ බෙදුම්වාදී බලතල ලබා දෙන්න ඉඩ දීලා අපි බලා හිටියොත් අපේ අනාගත පරපුරට මේ රට ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතා ඕනෑකමින් මේ රටේ මහා සංඝරත්නය, සෙසු ආගමික නායකයන් හා සමාජ බලවේග වෙතින් ඉල්ලනවා ‘මේ ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුව, දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ උවමනාව ඉටු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදී නිහඬව ඉන්න එපා!’ කියලා. ව්‍යවස්ථාවට අදාළ අවසන් කෙටුම්පත එළියට එනතෙක් නොසිට මෙවැනි අතුරු වාර්තා මගින් කියන දේ වටහාගෙන ඊට එරෙහිව ජනතාව පාරට බැස්සවීමට අපි කටයුතු කළ යුතුයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

 

Related posts

පන්නිපිටිය උණුසුම්… බෝධිය කපා ඉවත් කිරීමට එරෙහිව විරෝධතා.. පොලීසිය සීරුවෙන් !!

colombotoday

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday

පොලීසිය මගහරිමින් සිටි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට

colombotoday