Colombo Today Local News

සිංහලේ කොඩියේ ඇත්ත කතාව !

sinh-gamn2015 අප්‍රේල් 23 දින අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණයක් අපි සංවිධානය කළෙමු. අප පෙලපාලියෙන් යන අතරේ තරුණයෙකු අප අතරේ කුඩා ජාතික කොඩිය බැගින් බෙදන ලදී. එය සැබැවින්ම ජාතික කොඩිය නොව ජාතික කොඩියේ විකෘතියකි. එබැවින් එවැනි කොඩියක් අත දරා සිටීම පිළිබඳ මම කණගාටුව ප්‍රකාශ කලෙමි. එවිට එම කොඩි බෙදා හැරීම සංවිධානය කළ සංවිධානයේ ප්‍රකාශකයෙකු එය සිංහලේ කොඩිය බවත් එය මා වැනි ජාතිකවාදි නායකයෙකු නොදැන සිටීම පිලිබඳ ජාතියෙන් සමාව ගත යුතු බවත් ප්‍රකාශ කර තිබිණි. ඊට පිලිතුරු දෙමින් එදා අපේ අතට දී තිබුණේ වත්මන් කොඩියේත් සිංහලේ කොඩියේත් විකෘතියක් මිස සැබෑ සිංහලේ ඓතිහාසික කොඩිය නොවන බව මම පැහැදිලි කලෙමි. නමුත් මෑතක පැවැති සිංහල සංවිධාන එකමුතුවේ රැස්වීමේ දී ද මා සිංහලේ කොඩිය විවේචනය කළ බවට එකී ප්‍රකාශකයා පවසා තිබිණි.

යමෙකු සිංහලේ වෙනුවෙන් පෙනී සිටිත් නම් පළමුව ඒ පිලිබඳ අධ්‍යනය කර අවබෝධයක් තිබිය යුතුය. අවාසනාවට සිංහලේ කොඩිය වෙනුවෙන් පෙනී සිටින සමහරෙක් සිංහලේ කොඩිය කුමක්දැයි නොදනිති. අනවබෝධයෙන් කතා කරන නායකයින්ගේ ප්‍රකාශ හරහා රටේ ඉතිහාසයට සිදු වන්නේ දැවැන්ත හානියකි. එමෙන්ම ලාල් විජේනායක කමිටුවේ සාමාජිකයින් හත්දෙනෙකු සිංහයා ජාතික කොඩියෙන් ඉවත් කිරීමට යෝජනා කළ බැවින් සිංහ කොඩියේ ඉතිහාසය වත්මන් සමාජය දැන ගත යුතුමය.

ක්‍රිිස්ති පූර්ව හය වන සියවසේ විජය කුමාරයා ලංකාවට පැමිණි විට සිංහ කොඩියක් ද රැගෙන පැමිණි බව මහවංශය කියයි. ආර්රයන් සිය රාජකීය සංකේතයක් ලෙස සිංහයා භාවිතා කළ බව ඉන්දියාව, ඉරානය, බ්‍රිතාන්‍ය සහ ජර්මනිය වැනි රටවල ඓතිහාසික මූලාශ්‍ර පිරික්සිමේ දී පෙනේ. දුටුගැමුණු රජු විසින් ආක්‍රමණික එලාරට එරෙහිව කළ යුද්ධයේ දී රාජකීය කොඩිය ලෙස භාවිතා කර ඇත්තේ සිංහ කොඩියයි. කඩුවක් අතින් ගත් සිංහයෙකු ද ඉර සහ සඳ ද එකී කොඩියේ සංකේත ලෙස තිබී ඇත. ඉතිහාසඥයින් එය විග්‍රහ කරන්නේ සිංහල ජාතිය ඉර සඳ පවතින තුරු ස්වාධීනව පවතින බව සංකේතවත් කිරීමක් ලෙසයි. ඒ අනුව වසර 2,600ක් පුරා සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස භාවිතා කර ඇත. විදේශීය රජවරුන් ලංකාවේ සිහසුන දරණ විට ද රාජකීය සංකේතය වූයේ සිංහ කොඩියයි.

ඉංග්‍රීසි යටත් විජිත සමයේ ජාතික කොඩිය වූයේ නිල් පසුබිමක වම් කෙලවරේ ඉංග්‍රිසි කොඩිය ද ඊට මදක් පහතින් කවයක් තුල දැක්වෙන දාගැබක් සහ අලියා ද දැක්වෙන කොඩියයි. ශ්‍රී ලංකාවට නිදහස පතා ජාතික ව්‍යාපාරය ඇරඹීමත් සමග ජාතික කොඩිය වුණු සිංහ කොඩිය පිලිබඳ ද සමාජ අවධානය යොමු විය. සිංහලේ කොඩියේ මුළු හතරේ තිබුණේ බෝ පත් ද ආරුක්කු ද යනුවෙන් විවාදයක් පැන නැගිණි. අවසානයේ දී එය විසඳීමට සමත් වූයේ ඊ ඩබ්ලිව් පෙරේරා මහතාය. ඔහු ඩී ආර් විජේවර්ධන මහතාගේ ද සහයෙන් ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ කොඩිය සොයා ගැනීමට සමත් විය. එය තිබුණේ එංගලන්තයේ චෙල්සිහි රාජකීය රෝහලේය. එම කොඩිය ඡායාරූප ගත කර 1915 මාර්තු 02 වන දින එනම් ඉංග්‍රිසින්ට යටත් වී සිය වසරක් ගෙවුණු දින එය දිනමිණ පුවත්පතේ පල කරන ලදී. එයින් සැබෑ ජාතික කොඩිය පිලිබඳ විවාදය අවසන් විය.

1948 නිදහස ලබන විට ජාතික කොඩිය පිලිබඳ සම්මුතියක් ආණ්ඩුව තුල නොතිබිණි. එබැවින් සිංහලේ කොඩිය ජාතික කොඩිය ලෙස තාවකාලිකව භාවිතා කිරීමටත් නව ජාතික කොඩියක් පිලිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමටත් අගමැති ඩී එස් සේනානායක තීරණය කලේය. 1948 මාර්තු 6 දින පත් කළ ජාතික කොඩි කමිටුවේ සභාපති ධූරයට එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක පත් වුණු අතර සෙසු සාමාජිකයින් වූයේ ජෝන් කොතලාවල, ජේ ආර් ජයවර්ධන, ටී බී ජයා, ලලිත රාජපක්ෂ, ජී ජී පොන්නම්බලම් සහ එස් නඩේසන් යන මහත්වරුන්ය. කමිටු ලේකම් ලෙස කටයුතු කලේ පුරා විද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතාය.

නව කොඩියක් සඳහා මහජන අදහස් විමසීමේ දී අපූරු යෝජනා ලැබී තිබිණි. සිංහලයින් සාතිශය බහුතරයකගේ තේරීම සිංහ කොඩිය වන විට සුළු ජාතිකයින්ගේ තේරීම වී තිබුණේ ශ්‍රී පාද කඳු මුදුනින් හිරු පෑයීමයි. ශ්‍රී පාද කන්ද ආගම් ගණනාවක පිදීමට පාත්‍ර වීම එය තෝරා ගැනීමේ පදනම වී තිබිණි. අලියා, දාගැබ, වැව, ස්වස්තිකය සහ සරස්වති වැනි විවිධ සංකේත ජාතික කොඩියට යොදා ගැනීමට යෝජනා කර තිබිණි. සමහරෙක් ඉංග්‍රිසි යටත් විජිත සම්බන්ධය නිරූපණය කිරීමට ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය මෙන් ඉංග්‍රිසි කොඩිය ද ජාතික කොඩියට ඇතුළු කිරීමට යෝජනා කර තිබිණි.

සියළු අදහස් සලකා කමිටුව තීරණය කලේ කොඩියෙන් 7/5ක් රතු පසුබිමේ කඩුව අතින් ගත් සිංහයාට වෙන් කිරීමටත් 7/1 බැගින් වූ තැඹිලි සහ කොල පාට තීරු පිලිවෙලින් දෙමළ සහ මුස්ලිම් ජනතාවට වෙන් කිරීමටත්ය. එකී තීරු තුනම කහ පාට කුඩා තීරුවකින් එකතු කෙරිණි. එමෙන්ම සිංහලේ කොඩියේ මුළු හතරේ ඇත්තේ ආරුක්කු නොව ඊතල බවට නිගමනය කර මුළු හතරට ඊතල යෙදීමට තීරණය විය. යෝජිත ජාතික කොඩියට එස් නඩේසන් හැර අනෙකුත් කමිටු සාමාජිකයෝ එකඟ වූහ. නඩේසන් මහතාගේ මුල් යෝජනාව සිංහයා කොඩියෙන් අඩකට සීමා කර ඉතිරි අඩ තුල සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන සමාන පටි තුනක් යෙදීමයි. යෝජිත කොඩියේ සුළු ජාතින්ගේ තීරු දෙක කහ තීරුවකින් සිංහයාගෙන් වෙන් කිරීමෙන් ජාතික සමගිය වෙනුවට ජාතික අසමගිය නිරූපණය වන බව පවසමින් ඔහු සිය විරෝධය පල කලේය.

රටේ සිටින සුළු ජනවර්ග සඳහා ජාතික කොඩියේ ඉඩක් වෙන් කළ ලොව එකම ජාතිය අපි බව මෙහි සඳහන් කළ යුතුමය. එක්සත් රාජධානි කොඩියේ නිරූපණය කරන්නේ එංගලන්තය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන බ්‍රිිතාන්‍ය සැකසීමට එක් වී ඇති ඓතිහාසික රාජ්‍යයන් මිස ජනවර්ග නොවේ. මැලේසියාවේ කොඩියෙන් නිරූපණය කරන්නේ ද මැලේසියා ෆෙඩරල් රාජ්‍යයන් ගොඩ නැගීමට එක් වුණු ප්‍රාන්ත 13යි. එසේම ඇමෙරිකා එක්සත් ජනපද ගොඩ නැගීමට එක් වුණු ප්‍රාන්ත 50 එම ජාතික කොඩියෙන් නිරූපණය කර ඇත.

1951 පෙබරවාරි 27 දින ජාතික කොඩි කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් පසු එහි නිර්දේශය ජාතික කොඩිය බවට පත් විය. 1972 නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ දී නිශ්ශංක විජේරත්නගේ නායකත්වයෙන් තිබුණු කොඩි කමිටුව විසින් මුළු වල ඇති ඊතල හතර වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ සංකේතවත් කරන බෝ කොල හතරක් යොදා ගැනීම නිර්දේශ කෙරිණි. 1978 දී හයවන වගන්තියෙන් සහ දෙවන උපලේඛණයෙන් එකී ජාතික කොඩිය ව්‍යවස්ථාවට එක් කර එය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකගේ කැමැත්තට අමතරව ජනමත විමසුමක දී ජනතාවගේ ද කැමැත්ත ලබා ගත යුතු බවට තීරණය කලේය.

දැන් අපි නැවත කොඩි විකෘති කිරීමට යමු. උද්ඝෝෂණය අතරේ අපට බෙදා දී තිබුණේ සුළු ජනවර්ග නියෝජනය කරන තීරු දෙක නොමැති මුළු හතරේ බෝ කොල ඇති කොඩියකි. එය ඔවුන් සිංහලේ කොඩිය ලෙස හැඳින්වුවත් සිංහලේ කොඩියේ තිබුණේ බෝ කොල හතරක් නොව ඊතල හතරකි. ඒ අනුව එකී කොඩියෙන් වත්මන් ජාතික කොඩිය පමණක් නොව ඓතිහාසික ජාතික කොඩිය ද විකෘති කර තිබිණි.

උදය ප්‍රභාත් ගම්මන්පිල

sinhale-flag
සිංහලේ කොඩිය

“සිංහලේ කොඩිය“ දැක්වෙන 1815 ගිවිසුම් පත්‍රයේ සිංහල පිටපත වශයෙන් හඳුන්වන රටවැසියාට ප්‍රදර්ශණය කල දැන්වීම් පත්‍රය

Related posts

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

colombotoday

අපොස සාමාන්‍ය පෙළ ගැන ගත් තීරණය මෙන්න

colombotoday

හෙට දිවයිනටම ඇඳිරි නීතිය

colombotoday

“තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතුයි” – මහින්ද

colombotoday

හිටපු ජනපතිගෙන් නික්මයාමට පෙර උතුම් ශාසනික මෙහෙවරක්

colombotoday

රවී සැගවුණු තැන ගැන මහින්දගෙන් ඔත්තුවක් !

colombotoday