Colombo Today Local News

(Video) ඉතිහාසයේ ලොකුම හොරකම ඉදිරියේ හීන් කෙදිරියක් පමණක් නගා නිහඩව සිටය හැකිද?

23232jjමහ බැංකු බැඳුම්කර මගඩිය දෙස ජනතාව උපේක්‍ෂාසහගතව නිහඬව බලා සිටීම, මීටත් වඩා විශාල සොරකම් සඳහා මේ ආණ්ඩුවට බලපත්‍රයක් ලබා දීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

‘බැඳුම්කර මගඩියේ අගමැති භූමිකාව’ යන මැයෙන් ඊයේ(21) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණයේදී විශේෂ දෙසුමක් පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අද අපි මේ කතා කරන්නේ ‘බැඳුම්කර ජාතකය’ ගැන. ජාතක කතා සංග්‍රහයේ නම් බොහෝ කතා පටන් ගන්නේ ‘එකල්හි අහවල් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් වැඩ වාසය කළේය’ කියලයි. ඒ අනුව මේ ‘බැඳුම්කර ජාතකය’ පටන් ගන්න වෙන්නේ ‘එකල්හි කොලොම්පුර සිරිසේන සහ වික්‍රමසිංහ නම් නායකයෝ දෙදෙනෙක් වැඩ වාසය කළහ.’ කියලයි.

‘ආපු ගමන් පෙන්වපු අපූරු ජවනිකා’

ඔබ මදක් ඇස් දෙක පියාගෙන කල්පනාකර බලන්න, 2015 ජනවාරි 08 වැනිදායින් පසුව ගෙවී ගිය සතියක පමණ කාලය තුළ රූපවාහිනී නාලිකාවලින් ඔබ දුටුව අපූරු ජවනිකා පිළිබඳව. එක්තරා දේහධාරී රංගන ශිල්පී මන්ත්‍රීවරයකු භාවනා අසපුවකට බලහත්කාරයෙන් කඩා වැදී වැසිකිලි පෝච්චි ඇතුළට අත දමා රත්තරන් සොයන දර්ශන අපි ඒ දින කිහිපයේ දුටුවා. ඒ වගේම කඩුවක් හෝ වෙනත් වටිනා භාණ්ඩයක් පෙන්වමින්, ‘හිටපු ජනාධිපතිතුමන් ඇතුළු පවුලේ සාමාජිකයන් අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කළා’ යන්න ජන මනසට දාන්න හදපු ජවනිකා, ලැම්බෝගිනි සොයමින් අයාලේ යන පොලීසියේ මහත්වරුන්ගේ නිර්මාණාත්මක ප්‍රවෘත්ති ජවනිකා අපි දුටුවා. ඒ විතරක් නොවෙයි අලුත් අගමැතිතුමා අරලියගහ මන්දිරයට පැමිණි පසු එහි තාප්පයේ තිබූ මල් පෝච්චි ඉවත් කරමින් ඒවාට වැය වන ‘අධික ජල වියදම’ අඩු කරන බවට මැවූ ජවනිකා ද අපිට දක්නට ලැබුණා. දැන් නගර අලංකරණය සඳහා තැබූ මල්පෝච්චි සඳහාවත් ජලය නොදාන අපූරු යුගයක් නිර්මාණය වී තිබෙනවා.

‘බල පෙරළියට දායකවූවන්ට ඩොලර් මිලියන 300ක්’

අපට මතකයි ඒ දිනවල ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසනවා ‘ශ්‍රී ලංකාවේ, නයිජීරියාවේ හා මියන්මාරයේ සිදු වූ ප්‍රජාතන්ත්‍රවාදී බල පෙරළි සඳහා 2015 වසරේ ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 585ක් වය කළා’ කියලා. මියන්මාරයට සහ නයිජීරියාවට ලබාදුන් ප්‍රමාණය අඩු කළත් ඒ වකවානුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200-300ක්වත් මේ රටට එනවා. මේවා ලැබුණේ ඒ ‘ප්‍රජාතන්ත්‍රවාදී බල පෙරළියේ’ බහුවිධ පාර්ශ්වකරුවන්ටයි. මේ පිරිස තමයි ‘රාජපක්‍ෂ පාලනයේ හොරකම් සිදු වෙනවා’ කියන මතයක් හදලා මේ කම්බ හොරු රැලට බලයට එන්න ඉඩකඩ නිර්මාණය කරනු ලැබුවේ. දැන් අපට පෙනෙනවා ‘මේ කම්බ හොරු රැල ඉතා කෙටි කලක් තුළ මොන තරම් හොරකම් සිදු කළාද?’ කියලා.

‘ආවා ගියා කල්ලිය’

රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාසයක් නැහැ ‘මට බලයට ඇවිත් කොපමණ කාලයක් ඉන්න ලැබේවිද?’ කියලා. මීට කලින් 2002 බලයට ඇවිත් 2004 දී යන්න වුණා. හරියට ‘ආවා – ගියා කල්ලිය’ වගේ. බොරුවට අවුරුදු 4-5 ඉන්නවා කියලා උදම් ඇනුවට අපි විශ්වාස කරනවා මේ සැරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන්න ඇති ‘මේ සැරේ බලයට ආවොත් ආයේ වනවනා ඉන්නේ නැහැ. දින 100යෙන් ගේම ඉවර කරනවා’ කියලා. දින 100 ආණ්ඩුවේ ඇත්ත කතාව ඒක තමයි. මේ බැඳුම්කර මගඩියට බලයට ඇවිත් දින 100ක් ගත වුණේ නැහැ, දින 20-30කින් පමණ ඒක අවසන් කළා.

‘මේක නම් තිරිසන් හොරෙකමක්’

‘මේ බැඳුම්කර මගඩියේ මහ මොලකරු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලා අස් නොවීමටත් වඩා ප්‍රශ්නයක් මට අද තිබෙනවා. ‘මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට පරමාදර්ශී වාක්‍ය ඛණ්ඩ තොරොම්බල් කරපු අයියලා ටික දැන් කොහේද ඉන්නේ?’ කියන එකයි ඒ ප්‍රශ්නය. මම ඉහතදී කියපු ඇමෙරිකානු ඩොලර් මිලියන 200-300යෙන් යැපෙන, මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට මතය හදපු මේ හිවල් සමාජ බත්බැලයන් ටික අද බැඳුම්කර මගඬිය පිළිබඳව හීන් කෙඳිරියක් නඟා නිහඬව සිටිනවා. මේ හොරකම සහගහන හොරකමක් ගෙදරක හොරකමක් සිද වුණාම ඒ හොරා රත්තරන් බඩු ටික පමණක් අරගෙන ගිහිල්ලා අනෙක් බඩුවලට අතවත් තියලා නැතිනම් ‘අනේ ඒ හොරා යහපත් හොරෙක්’ කියලා කියන වෙලාවල් තිබෙනවානේ. නමුත් මුළු ගෙදරම සුද්ධ කරලා ‘දංකුඩෙත්’ කාලා, පහරලා යන හොරු ඉන්නවා. එහෙම හොරුන්ට මිනිස්සු කියනවා ‘මේකා නම් තිරිසන් හොරෙක්’ කියලා. ඒ අනුව බලපුවාම බැඳුම්කර හොරකම. කියන්නේ මේ රටේ සදු වූ සහගහන තිරිසන්ම හොරකමයි. මේ හොරකම ඇස් පිටුපස හඹාගෙන එනවා. රටක බැංකු පොලී අනුපාතය කෘත්‍රිමව ඉහළ දැම්මාම කෘතිමව පහළ දමන්න බැහැ. ඒ අනුව මූල්‍ය වෙළෙඳපොළේ සිදු කෙරෙන සියලු ගනුදෙනු සඳහා පොලී අනුපාතික ඉහළ යනවා. ඒ අලුත් පොලී අනුපාතික දරා ගන්න බැරිව රටේ ව්‍යාපාර කඩා වැටෙනවා. මේකේ බලපෑම අසීමාන්තිකයි. හරියට භූමිකම්පාවක්, සුනාමියක් වගේ රටට හානි ගෙන දෙනවා. රටට මේ හොරකමේ බලපෑමෙන් අවුරුදු 30ක් යනතෙක් මිදෙන්නට බැහැ. මේ හොරකමෙන් පසුව සිදු වූ සෑම බැඳුම්කර ගනුදෙනුවකම පොලී අනුපාතික හොරකමට අදාළ පෙලී අනුපාතිකයට ඉහළින් ගියේ මේ අයුක්ති සහගත, අසාධාරණ පොලී අනුපාතික ඉහළ දැමීම සිදු වුණේ මහ බැංකු අධිපතිගේ බෑණාට හොරකම් කරන්න ඉඩ හදලා දෙන්නයි. මේ හොරකමේ මහ මොලකරු අගමැතිතුමායි. ජනාධිපතිතුමාටත් අර ‘හීන් බබා සීයා’ වගේ ඉඳලා හරි යන්නේ නැහැ. එතුමාත් ‘අපේ අප්පුච්චාගේ කාලේ…’ කියලා ඉදහිට පරණ කතාවක් මතක් කරලා නිහඬව ඉන්නවා. ජනාධිපතිවරයා තමයි මහ බැංකු අධිපති පත්කිරිමේ බලධාරියා. හේ මහ බැංකු අධිපතිවරයා අගමැතිතුමාගේ ගජ මිතුරා තමයි. නමුත් තමන් පත් කළ අයකු මේ විදියේ හොරකමක් කළාම නිහඬව සිටීමට ජනාධිපතිවරයාට බැහැ. තමන් මේ මහා මංකොල්ලයට සම්බන්ධ නැත්තම් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉල්ලා අස්කරවිය යුතුයි. ඒ වගේම මේ හොරකම පිළිබඳව නිසි පරිදි නීතිය ක්‍රියාවට නැඟිය යුතුයි. එහෙම වෙයිද? සමහර විට අනාගතයේ දිනයක ජනාධිපතිතුමා කියාවි. ‘මම මේ හොරකම පිළිබඳව දැනන් හිටියේ නැහැ. ඒක සිදු වෙලා තිබුණේ මම කොළඹ හිටපු නැති දවසක’ කියලා.

‘ජනතාව උපේක්‍ෂාවෙන් බලා සිටිය යුතුද?’

මේ සම්බන්ධයෙන් තිබෙන ඊළඟ ප්‍රශ්නය තමයි, ‘මේ ජන සමාජය මේ සිදුවීම උපේක්‍ෂාවෙන් බලා සිටින සිදුවීමක් බවට පත්කර ගෙන ඇත්තේ ඇයි?’ කියන එක. මේක කොටි ත්‍රස්තවාදීන් මහ බැංකුවට ගහලා සිදු කළ අලාභයට වඩා සියගුණයක අලාභයක්. මහ බැංකුව චිරාත් කාලයක් ආරක්‍ෂාකරගත් කීර්තිනාමය මේ හොරකම නිසා විනාශ වුණා. මේක ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සහමුලින්ම උඩු යටිකුරු කිරීමක්. ඒ වගේම පොලී අනුපාතික කෘත්‍රිමව ඉහළ දැමීම නිසා තිබෙන ආර්ථික කුණාටුවට අමතරව අතිරේක ආර්ථික කුණාටුවකට මුහුණ දීමට ජනතාවට සිදු වුණා. ඊට අමතරව මෙමගින් මාස කිහිපයක් ඇතුළත බිලයන 10කට අධික ලාභ කුට්ටියක් ගජමිතුරාට ලබා දුන්නා.

‘ජාතියට හෘදසාක්ෂියක් නැද්ද?’

මේ ගනුදෙනුව තමයි මේ රටේ සිදු වූ දුෂිතම මූල්‍ය ගනුදෙනුව. සමහරු හෙජින් ගනුදෙනුව මීට සමාන කරන්න හදනවා. එතැන තිබෙන්නේ වැරදි ප්‍රතිපත්තිමය තීරණයක් නිසා සිදු වූ අලාභයක්. බැඳුම්කර මගඩිය එහෙම එකක් නොවෙයි. එය සැලසුම්සහගත හොරකමක්. එපමණක් නොවෙයි එය අවමන්සහගත ලෙස සිදු කළ මහා මංකොල්ලයක්. එම මහා මංකොල්ලය පිළිබඳව සියල්ල අනාවර්ණය වී තිබියදී අපේ ජන සමාජය ඒ දෙස උපේක්‍ෂාසහගතව බලා සිටීම. බරපතළම ප්‍රශ්නයක්. ජාතියට හෘදසාක්ෂියක් නැද්ද?

‘රතු කමීසධාරීන් ඇද වැටී ඇති තැන’

ප්‍රජාතන්ත්‍රවාදී සටන්පාඨ තොරොම්බල් කරලා 2015 ජනවාරි බල පෙරළියට පාර කපපු අය අතර එදා රතු අලිපැටවනුත් හිටියනේ. ඒ අය එදා කිව්වා, මහින්ද රාජපක්‍ෂ කඬේ බඩු කල් ඉකුත්වෙලා සිරිසෙනගේ කඬේ බඩු ෂුවර් නැහැ’ කියලා. ඒ අය ‘කඩයක්’ ඇරියෙත් නැහැ. මීට පෙර මැතිවරණවලදී ජවිපෙ කීවේ, ‘මේ කඬේ බඩු හරි නැහැ. අර කඬේ බඩුත් හරි නැහැ. අපේ කඬේ තමයි ගුණාත්මක බවින් පිරිපුන් බඩු තිබෙන්නේ’ කියලයි. නමුත් 2015 ජනවාරියේ ‘සිරිසේනගේ කඬේ බඩු ෂුවර් නැහැ’ කියලා නොකියා කීවේ කුමක්ද? ‘බඩු හොඳ වෙන්නත් පුළුවන්. ඒ හින්දා සිරිසේනට කතිරය ගහන්න’ කියලයි. ඒ නිසා මේ බලපෙරළියට එදා ඒ විදිහට හවුල් වුණු රතු කමීසධාරීන්ටත් බැහැ ‘මේ හොරකමේ මහ මොලකරු රනිල් වික්‍රමසිංහ’ කියලා කෙලින් කියන්න. බැඳුම්කර වංචාව පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් කතා කරනකොට ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරුන් දිගටම බාධා කළා. කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් අනුබද්ධ විපක්‍ෂයේ අනුර දිසානායක මහත්තයා බැඳුම්කර වංචාව ගැන, ‘අගමැතිගේ සම්බන්ධය ගැන’ නොකියා කතා කරන කොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු හරියට පිරිත් අහනවා වගේ නිහඬව සිටිනවා. කිසිම බාධාවක් නැහැ.

‘මීටත් වඩා ලොකු හොරකම් කිරීමට බලපත්‍රයක් දෙනවාද?’

අපි ගැඹුරින් කල්පනාකර බැලිය යුතුයි. මේක ජාතියේ හෘදසාක්ෂිය මැන බලන වේලාවක්. මෙවැනි හොරකමක් හමුවේ මේ රට උපේක්‍ෂාවෙන් බලා සිටිනවා නම් ඉන් හැඟී යන්නේ කුමක්ද? ‘උඹලා මීට වඩා ලොකු හොරකමක් කළත් අපි නිහඬව බලා ඉන්නවා. එළඹෙන මැතිවරණයකදී අපි සාමකාමීව’ විනීතව අපේ ඡන්ද බලය පාවිච්චි කරනවා විනා ඉන් එහා ක්‍රීයාමාර්ගවලට යාමට සූදානම් නැහැ’ කියන එක නොවෙයිද, මෙතැන තිබෙන්නේ. ‘මේ හොරකම සිදු කළ පිරිස් අල්ලා ගැනීම ’ කියන ප්‍රශ්නය විතරක් නොවෙයි. ‘නිහඬව සිටීමෙන් මේ තක්කඩියන්ට මීටත් වඩා හොරකම් සිදු කිරීමට අනුමැතිය ලබා දෙනවාද?’ කියන ප්‍රශ්නයත් තිබෙනවා. මේ ජන සමාජය නිහඬව සිටීමෙන් ඒ බලපත්‍රය මේ තක්කඩින්ට ලබා දෙනවා නම් ඉන් එහාට අපට කතා කිරීමට කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ.

‘මාධ්‍ය මර්දනය’

අද මේ ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට තර්ජනය කරනවා. මේ අය උත්සාහ කරන්නේ තමන්ට අවනත රූපවාහිනී නාලිකා සහ වෙනත් මාධ්‍ය ආයතන තිබෙන රටක් හදාගන්න. බැඳුම්කර හොර නඬේ එක් රූපවාහිනී නාලිකාවක් මිලට ගන්න හදනවා. පත්තරයක් ගහන්න හදනවා. මම යෝජනා කළා ‘ඒකට බැඳුම්කරේ කියන නම දාන්න’ කියලා. නීති විරෝධිව උපයපු සල්ලිවලින් මේ හොර නඬය ‘ජනමනස හැසිරවීමේ බලය’ තමන්ගේ අතට ගන්න හදනවා. සමාජයක්, රටක්, ජාතියක් ලෙස මේ දෙස ශිවන්‍යා ටෙලි නාට්‍යය’ වැනි ටෙලි නාට්‍යයක් දෙස බලන විදියට බලන්න එපා‘මේ කතාවත් අහලා, රෑට නිදාගෙන, උදේට නැගිටලා තමන්ගේ දෙයක් කරගෙන ඉන්නවා’ කියලා හිතනවා නම් අපට කියන්න තිබෙන්නේ මේ සමාජය අද ‘මළ සමාජයක්’ බවට පත් වෙලා කියලයි. මේ කම්බ හොරුන් විසින් හොරකම් කළේ මේ රටේ අනාගතය ගොඩනැගීමට තිබුණු ධනය.

‘දූෂණ විරෝධී නාඩගම් ඇතුළේ සිදුවන හොරකම්’

මේ හොරකමේ තිබෙන අපූර්වත්වය තමයි මේ පිළිබඳව සිවිල් සමාජයේ විජේසූරිය මහාචාර්යතුමා හෝ නිර්මාල් රංජිත් දේවසිරි ආචාර්යතුමා ආදීන් කිසිවකු කටක් අරින්නේ නැති වීම. පසුගිය දවසක ‘දූෂණ විරෝධී’ එන්.ජී.ඕ නාඩගමක් තිබුණා. ‘අපි දූෂණයට එරෙහිව සටන් වදිනවා’ කියලා මේ ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක් එතැනදී අත ඔසවනවා මම දැක්කා. එක්කෙනෙක් සරත් ෆොන්සේකා. මට ඒක දැකලා ‘අයියෝ හයිකෝප්’ කියලා හිතුනා. අනෙක් කෙනා පා.ච රණවක. මට අයියෝ ගල් අඟුරු’ කියලා හිතෙන්න පටන් ගත්තා. තව එතැන හිටියා අර්ජුන රණතුංග. එයාගේ වැඩ වරායේ සේවකයන්ගෙන් අහලා දැන ගන්න ඕනෙ. රාජිත සේනාරත්න දත් දොස්තර මහත්තයාත් එතැන හිටියා. ‘දත් කෙළ කෝටියක් ගලවා හම්බකර ගත් මුදලින් නැව් මිලදී ගත් ලෝකයේ එකම දත් දොස්තර ලෙස තමයි එයා ඉතිහාසයට එක්වෙන්නේ. මේ අයියලා අද අත උස්සලා ‘දූෂිතයන් අල්ලනවා. දුෂණ විරෝධිව කටයුතු කරනවා’ කියලා. සපථ කරනවා. මේවා තමයි අද මේ ආණ්ඩුවට ඡන්දය දීපු අලුත් ඡන්දදායකයන්ට දකින්න ලැබෙන ජවනිකා. මේවා දැකලා ඔවුන්ට වමනය එනවා ඇති. අපේ වර්තමාන පරපුරේ ඇස් ඉදිරිපිටයි මේ මහා සොරකම සිදු වුණේ. රට අනාරක්‍ෂිත තත්වයට ඇද දමලා, බෙදුම්වාදී කල්ලිවලට ඕනෙ විදියට රට බෙදන්න සැලසුම් හදලා එට්කා ගිවිසුම ගහලා මේ රට ඉන්දියානු කොලනියක් කරලා, රටේ ධනය මංකොල්ල කාලා ආර්ථිකය කාබාසිනියා කරන තෙක් නිහඬව බලා සිටියොත් අපට අනාගත පරපුර අහන ප්‍රශ්නවලට උත්තර නැති වේවි.

ඒ නිසා ප්‍රශ්නය තිබෙන්නේ ආණ්ඩුව මේ හොරකම සම්බන්ධයෙන් පියවර නොගැනීම විතරක් නොවෙයි, මේ හොරකමට එරෙහිව පියවර නොගන්නා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විරෝධයකට මේ රටේ ජනතාව නොඒම. ‘ඒ නිසා ඒ ප්‍රශ්නයට පිළිතුරුදීමට අපි සියලු දෙනා සූදානම් වෙමු. ඇප කැප වෙමු’ කියන ආරාධනාව කරනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday

ඉන්දියාව ශිවාජිලිංගම්ට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

දිමුත්ට ‌ඩොලර් 7500ක දඬයක්

colombotoday

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday