Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

wml12542017 මුල් මාස කිහිපය තුළ ජනතා අවධානය වෙනතකට හරවා සම්මතකර ගැනීමට සැරසෙන ‘රනිල් – සම්බන්ධන් පැකේජයේ’ ඒකීයභාවය පමණක් නොව ඒකීය රාජ්‍යය දෙපලු කිරීමට අවශ්‍ය සියලු අංග ලක්‍ෂණ ඇතුළත්ව ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පාර්ලිමේන්තුවට, එහෙම නැත්තම් ආණ්ඩුව කියන විදියට ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට’ එය විසින් පත්කරනු ලැබුවායැයි කියන අනු කමිටු මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ වන මූලික කෙටුම්පත් ඉදිරිපත්කර තිබෙනවා. අප මේ අනු කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පිවිතුරු හෙළ උරුමය සමඟ එක්ව ඒ පිළිබඳ අපේ අදහස් රට හමුවේ තැබුවා.

දැන් මේ අනු කමිටු වාර්තා ඔවුන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ ලෙස හඳුන්වන අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2017 ජනවාරි මාසයේ දින තුනක පමණ කාලයකදී විවාදයට ගැනීමට සූදානම් වෙනවා. ඒ විවාදයෙන් අනතුරුව අවසන් වශයෙන් සකස් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරි දිනයකදි පාර්ලිමේන්තුවේදී සම්මතකර ගැනීමටත් නියමිතව තිබෙනවා.

මෙහිදී අප අවධාරණය කිරීමට කැමතියි, මෙසේ සකස් කෙරෙන්නේ රටේ මූලික නීතිය බව. රටක මූලික නීතිය ඒ රටේ ජනතාවගේ ජීවිතවලට ඉතාමත් තදින් බලපානවා. ඒ නිසා නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ අවධානයට යොමු විය යුතුව ඇත්තේ පූර්ව වශයෙන් නොව එය අවසානාත්මක ලෙස සකස් වීමෙන් අනතුරුවයි. රටේ ජනතාව දැනගත යුතුයි, තමන්ට ඉදිරියේදී ජීවත්වීමට සිදු වන්නේ කවර නීතියක් යටතේද, කියන එක. මේ ආණ්ඩුව ‘ලාල් විජේනායක කමිටුව’ කියලා එකක් පිහිටුවලා ‘මහජන අදහස් ලබා ගන්නවා.’ කියලා එන්.ජී.ඕ.කාරයන්ගේ අදහස් අරගෙන වාර්තාවක් නිකුත් කළා. ඒකෙන් පෙන්නුවා ‘අපි මේ අලුත් ව්‍යවස්ථාව හදන්න මහජන අදහස් ලබා ගත්තා’ කියලා දෙවනුව, පාර්ලිමේන්තුවට ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ කියලා බෝඞ් එකක් ගහලා ඒකේ අනු කමිටු ටික පත් කළා. පසුව ඒ අනුකමිටුවලට තමන්ගේ හෙන්චයියෝ ටික රිංගෙව්වා.

‘ජයම්පති වික්‍රමරත්නගේ භූමිකාව’

උදාහරණයක් විදියට මේ ‘මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවේ’ වාර්තාවට ප්‍රධානියා ලෙස අත්සන් තබා ඇත්තේ ඩී.සිද්ධාර්ථන් මන්ත්‍රීතුමා (වාර්තාව මාධ්‍ය වෙත දක්වමින්) එහෙම වුණාට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරලා මේ වාර්තාව සකස් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහත්තයා. ජයම්පති වික්‍රමරත්න කියන්නේ චන්ද්‍රිකාගේ පැකේජය හදන්න මහඟු කාර්යභාරයක් ඉටු කළ කෙනෙක්. මොහුව එක්සත් ජාතික පක්‍ෂය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඔහු ලවා මේ අපරාධය සිදු කරවා ගන්නයි. මේ අනුකාරක සභාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් දෙදෙනෙකු හිටියා. ඔවුන් මේ වාර්තාවට එකඟතාව පළකර නැහැ. මේ වාර්තාව සම්පූර්ණයෙන්ම සකස් වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ උවමනාව මතයි.

මේ වාර්තාව සකස් කිරිමෙන් අනතුරුව එය ප්‍රබල සංවාදයකට භාජනය කළ යුතුව තිබුණා. නමුත් මේ ආණ්ඩුව කරන්න යන්නේ ‘අපි මහජන සංවාදය කලින් ඇති කළා’ කියන පිළිතුරු ඉදිරිපත් කරලා අවසන් වශයෙන් සකස් කරන ව්‍යවස්ථා කොටුම්පත’ මහජන සංවාදයකින් තොරව, වරදාන, වරප්‍රසාද දීලා හදා ගත්තු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මතකර ගන්න. සියලු මන්ත්‍රී වරප්‍රසාදවලට අමතරව වැට් බද්ද සමඟ මාසිකව ලක්‍ෂ 07ක කුලියකට වාහනයක් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ මේ අපරාධය සඳහා අත ඔසවන්නයි.

මුදුන දුර්වලයි- පරිධිය බලවත්’

මේ මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාවෙන් ඉතා පැහැදිලිව කියන්නේ කුමක්ද? ‘මුදුනේ බලතල දුර්වල කරන්න. පරිධියේ බලතල බලවත් කරන්න්’ කියලයි. පළාත් පොලීසිය හදන්න, ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවට දෙන්න, පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලතල පළාත් සභාවටත් ලබා දෙන්න, සමගාමී ලැයිස්තුව ඉවත් කරන්න කියලා මේ වාර්තාවෙන් නිර්දේශ කරලා තිබෙනවා.

ඒ වගේම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරන තැනැත්තා මහ ඇමතිවරයා කැමති කෙනෙතු විය යුතුයි, කියාත් මෙහි සඳහන්. පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තිබෙනවා, ‘පළාත් සභාවක් තම බලය ඉක්මවා කටයුතු කළොත් ජනාධිපතිවරයාට එම පළාත් සභාව විසුරුවා හැරිය හැකියි ’කියා. ඒ බලය අභියෝගයට ලක් කරන්න මේ වාර්තාවෙන් නිර්දේශ කරනවා, ‘ව්‍යවස්ථා අධිකරණයක්. මේ ව්‍යවස්ථා අධිකරණයට විනිසුරන් පත් කරනු ලබන්නේ ජාතිකත්ව පදනමින්. මේ අපූරු අධිකරණයේ මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම එන්ජීඕ කාරයෝ කිහිප දෙනෙකු වාඩි කරවාවි. ජනාධිපතිවරයා යම් පළාත් සභාවක් සම්බන්ධයෙන් ගනු ලබන තීරණයකට එරෙහිව ඔවුන්ට මේ ව්‍යස්ථා අධිකරණය ඉදිරියට යන්න පුළුවන්. එහිදී පළාත් සභාවට වාසිදායක තීන්දු ලැබීමේ ඉඩකඩ නිර්මාණය වී තිබෙනවා.

‘පරමාධිපත්‍ය බලය බෙදීම’

ඒ වගේම මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පරමාධිපත්‍ය බලය බෙදා දීමටත් මේ වාර්තාව නිර්දේශ කරනවා. අපි මීට කලින් පෙන්වා දුන්නා නැගෙනහිර ටිමෝරයට ඉන්දුනිසියාවෙන් බෙදී වෙන් වී යාමට හේතු වූ කාරණය. ඉන්දුනිසියාව පිළිගෙන තිබුණා නැගෙනහිර ටිමෝරයට පරමාධිපත්‍ය බලයක් තිබෙන බව. ඒ සංකල්පය තමයි පසුව ඕස්fටි්‍රලියාවට උදව් වුණේ නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් කඩලා වෙනම රටක් බවට පත් කරලා ඒ රටේ තෙල් සම්පත, සාගර සම්පත කෙල්ල කන්න.

‘සුරූපී නංගිලා පෙන්වලා කැත අක්කා දීග දීම’

දැන් ශ්‍රී ලංකාව තුළ සිදු කරන්න හදන්නේ ඒක. පොලිස් බලතල ඉඩම් බලතල, සම්පූර්ණයෙන් තිබෙනවා නම්, මුදල් බලය තිබෙනවා නම්, පරමාධිපත්‍ය බලය තිබෙනවා නම් වෙනම පාලනයක් සඳහා වෙන මොනවාද උවමනා වෙන්නේ? 2015 ජනවාරි 08 වැනිදා බල පෙරළියට උදව් කළ දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලි පිනවන්න ගෙන එනු ලබන යෝජනාවල කැත වහගන්න තමයි, රනිල් – සම්බන්ධන්, හවුල ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ විසින් පත් කරනු ලැබූ අනුකාරක සභාවල වාර්තාවන් විසින් ඉදිරිපත් කළ යෝජනා’ කියන ලේබලය අලවන්නේ. කලින් ආවේ ‘චන්ද්‍රිකාගේ පැකේජය’ දැන් මේ එන්නේ ‘රනිල් – සම්බන්ධන් ජෝඩුවේ පැකේජය’ මේ ‘රනිල් – සම්බන්ධන් පැකේජයට’ අත ඔසවන්න අද රතු අලි පැටව් ටිකත් සූදානමින් ඉන්නවා. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ මූලික අයිතිවාසිකම් පුළුල් කිරීම නැමැති සුරූපී නංගිලා පෙන්වලා, මේ බෙදුම්වාදී කැත අක්කාව දීග දීමට, මේ ව්‍යවස්ථා ක්‍රියාදාමයෙන් සූදානම් වෙනවා.

මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් මේ රටේ තරුණයන් දිවි පිදුවේ, අතපය අහිමිකර ගත්තේ, ‘රනිල් – සම්බන්ධන් හවුලට’ පැකේජයක් ගෙනල්ලා මේ රට බෙදා වෙන් කරන්න නොවෙයි. 2017 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යාමට පෙර නව ව්‍යවස්ථාව සම්මතකර ගත යුතුයි. එවිට මංගල සමරවීරට තම එකඟතාවයන්හි ප්‍රගති වාර්තාව පෙන්වන්න පුළුවන්. ‘අපි එකඟතාවන් වේගයෙන් ඉටු කරමින් යනවා. නව ව්‍යවස්ථාවකුත් සම්මතකර ගත්තා’ කියලා කියන්නයි මේ ආණ්ඩුවට උවමනා.

‘මේ රටේ මහානායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකතුමන්ලා මේ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතුයි, කියලා. අපි විශ්වාස කරනවා. අපට අහිමි වෙන්නේ ඒකීය භාවය පමණක් නොවෙයි, ඒකීය රාජ්‍යය දෙපලු කරලා වෙනම රටක් නිර්මාණය කිරිමේ පියවරත් මෙමගින් හැදෙනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් මුළුමනින්ම ක්‍රියාත්මක වුණේ නැහැ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ රජීව් ගාන්ධි අගමැතිවරයාගේ බලපෑමට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත ගෙන ආවාට පොලිස් බලතල සහ ඉඩම් බලතල පළාත් සභාවලට සම්පූර්ණයෙන් දුන්නේ නැහැ. එසේ නොදුනේනේ ඇයි? ඉන් සිදු වන හානිය බලවත් නිසයි. එසේ සම්පූර්ණයෙන්ම නොදුන්නු බලතල පමණක් නොවෙයි පරමාධිපත්‍ය බලයත් බෙදලා දුන්නාම රණවිරුවන් දිවි පුදලා රැකලා දුන්නු මේ රටේ ඉරණම කුමක්ද?

‘සහජීවනයට එකම මාවත’

බෙදුම්වාදීන්ට වෙනම ස්වෛරී රාජ්‍යයක් බිහිකර ගැනීමට අවශ්‍ය සම්පූර්ණ අංග ලක්‍ෂණ ටික මේ නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ අන්තර්ගත කරලා තිබෙනවා. මේ අපරාධය සිදු වීමට ඉඩහැර මේ රටේ ජනතාව නිහඬව ඉන්නවා නම් ඔවුන් තමන්ගේ මෑත ඉතිහාසයට පිටු පෑ ජාතියක් ලෙස ඉතිහාසයට එකතු වන එක වළක්වන්න බැහැ. අපි දන්නවා, ඇමෙරිකා ඒක්සත් ජනපදය 2015 ජනවාරි 08 බල පෙරළියට අවශ්‍ය ජනමතය හැදීමට මේ රටේ ‘හිවල් සංවිධානවල’ ප්‍රධානීන්ට ඩොලර් මිලියන ගණන් ලබා දුන්නා. සරත් විජේසූරියලා එදා ඒ සල්ලි අරන් වෙනසකට අවශ්‍ය ජනමතය හැදුවා. අද යළිත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, බටහිර තානාපති කාර්යාල මේ අයට සල්ලි පොම්ප කරමින් සිටිනවා. ‘නව ව්‍යවස්ථාව තමයි සහජීවනයට එකම මාවත’ කියන මතය හදන්නයි දැන් මේ විදියට සල්ලි පොම්ප කරන්නේ.

ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා ‘මේ ව්‍යවස්ථාව සම්මත වීමට ඉඩ දී නිහඬව සිටින්න එපාෟ! ඔබගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන්ට අල්ලසට යට වී මේ ව්‍යවස්ථාවට පක්‍ෂව ඡන්ද දීමට ඉඩදී නිහඬව සිටින්න එපා!’ කියලා.

අපි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස මේ කිසිදු අනුකාරක සභාවක සාමාජිකත්වය දැරුවේ නැහැ. ඒ වගේම අපි ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් යෝජනා කළා ‘අපි මේ අනුකාරක සභාවල හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හෝ සාමාජිකයන් නොවිය යුතුයි’ කියලා. සිංහල -මුස්ලිම් ගැටුම් හදලා ඒවාට සමාජයේ අවධානය යොමු කරලා මේ රටට හානිකර ව්‍යවස්ථා ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමටයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. ඒ නිසා එදා චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කළා වගේ මේ ‘රනිල් – සම්බන්ධන් පැකේජය’ උපන්ගෙයිම වල දැමීමට පෙරට එන්න කියා අපි මේ රටේ සුජාත දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් සහ කුරුණැගල දිස්ත්‍රික් සංවිධායක කැලුම් ජයසුමන යන මහත්වරුද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

ඒකාබද්ධය ඇතුළු පාර්ලිමේන්තුවම මර නින්දට යවා රණවිරුවන් කොටු කරන මර උගුල ඇටවෙයි !

colombotoday

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

ස්විස් තානාපති නිලධාරිණිය පැහැර ගැනීම අතේ රෝලක් ! CCTV දර්ශන නෑ… කිසිම පොලිසියක පැමිණිල්ලකුත් නැ…

colombotoday

ඇවන්ගාඞ් සභාපති ඇතුළු 13 කට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු පවරයි. ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ගොනු කළ නඩුව

colombotoday