ArticlesColombo Today Local News

“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකර

Anagarika dharmasekara

හෙළ සිරිත් කුළුගැන්වෙන සිංහල අලුත් අවුරුදු සමයේ උදාවන බක් ‍පෝ දිනය ජාතියේ උදාර ඉතිහාස අත්දැකීම් තුළින් බිහිවූ මහා සංස්කෘතික උරුමය නව පණ ගන්වන අවස්ථාවක් බවට පත් කරගත යුතුය. බක් ‍පෝ දිනයේ පළමුවෙන්ම මතකයට නගාගත යුත්තේ හෙළ වංශ කථාව අර්ථවත් හරවත් ධර්මානුකූල මගකට හැරවූ අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ සමග බුද්ධිමය සංවාදයක යෙදී අවබෝධයෙන් යුතුව ශ්‍රද්ධා සිතින් බුදු සමය පිළිගත් දේවානම්පියතිස්ස රජතුමාගේ නායකත්වයෙන් සිදු වූ සමාජ පරිවර්තනයේ ආගමික සංස්කෘතික ස්වරූපයයි. දඩයම විනෝද ක්‍රීඩාවක් කරගත් නායකත්වයක් සහිත අනුරාධපුර රාජධානියේ ජනතාව ප්‍රාණඝාතය පිළිකුල් කරන සමාජයක් බවට වෙනස් වන්නට ගතවූයේ දෙ‍පෝයකටත් අඩු කාලයකි. සැප සම්පත් එක්රැස් කර ගැනීමේ ආශාවෙන් තණ්හා ඕඝයේ ඇදී ගිය ජනතාවක් අන් සතු දේ අයුතු ලෙස අත්පත් කර ගැනීම බරපතළ වරදක් ලෙස සලකන සමාජයක් බවට පත්වීම නැවත නැවතත් මෙනෙහි කළයුතු මහා පින්කමකි. කාමභෝගී රජුන්ගේ නායකත්වයෙන් පැවැති සමාජයක් කාම මිත්‍යාචාරය පිළිකුල් කරන තත්ත්වයට පත්වීම සිංහ‍ලේ සමාජ සුරක්ෂිතතාවට ශක්තිමත් පදනමක් විය. බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැති බැවින් ජනතාව මුළාකරන බොරුව මහා පාපයක් සේ සලකා මුසාවාදයෙන් වැළකීම සියලු පාපයන්ට වැට බැඳීමක් හා සමාන වේ. මදයට පමාවට හේතුවන සියලු පාපයන්ට අනුබලයක් වන සිහිනුවණ දුර්වල කරන සුරාවෙන් වැළකීම සඳහා රජුගේම නායකත්වය ලැබිම මහා භාග්‍යයක් විය. ලක්වැසි ජනතාව පන්සිල් රකින ‍පෝදා අටසිල් සමාදන් වන සමාජයක් බවට පත්වීම සිංහ‍ලේ මහා සංස්කෘතික පරිවර්තනය වූ බව නිසැකය.

ඉර හඳ, තාරකා, ගස් ගල්, පර්වත දේවත්වයෙන් සලකන සමාජයක් විශ්වාන්තරවාදී විජයග්‍රහණයක් වූ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමේ දී සිදුහත් මහ බෝධිසත්වයාණන් වහන්සේට සෙවණ දුන් සුවිශේෂ වෘක්ෂය වූ ඇසතු බෝධිය පුදන ජනකායක් බවට පත්වීම ගස්වැල්, පැළෑටි ඇතුළු සොබා පරිසරය සංරක්ෂණයට ලැබුණු ශක්තියක් වූ බවට සැකයක් නැත. ගෞතම බුදුන් වහන්සේ පිටදුන් බුද්ධගයා ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩමවා අනුරාධපුර මහමෙව්නා උයනේ උත්සවාකාරයෙන් පිහිටුවා රාජ්‍යයෙන් පුදනු ලැබූ තැන් පටන් ජාතියේ සජීවී ඓතිහාසික සංකේතය බවට පත්වූයේ ජය ශ්‍රී මහා බෝධියයි. ජය ශ්‍රී මහා බෝධිය රැකගන්නට වසර දෙදහස් තුන්සිය ගණනක් තිස්සේ කළ කැපකිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් ලොව පැරණිම පූජනීය වෘක්ෂය සුරක්ෂිත කළ ජනකාය බවට සිංහල බෞද්ධයන් පත්වීම භාග්‍යයකි. දේවානම්පියතිස්ස රජතුමා උතුරේ දඹකොළ පටුනේ ජය ශ්‍රී මහා බෝධිය වඩා හිඳුවන ලද ස්ථානයේ ජම්බුකෝල විහාරයත් යාපනේ තිස්ස විහාරයත් යාපන අර්ධද්වීපයේම පාචීන විහාරයත් කරවීම රටේ ඒකීය භාවය සඳහාම වසර දෙදහස් තුන්සිය ගණනක් පැරණි ඓතිහාසික සාක්ෂි බවට පත්වී තිබෙන හෙයින් හෙළ සිරිත් නව පණගන්වන සිංහල අලුත් අවුරුද්දක් සමග උදාවන බක් ‍පෝ දිනයේ ඒ උතුම් උරුමය සිහි කිරීම ජාතික යුතුකමකි.

විශ්වයටම සෙතක් ශාන්තියක් වූ බුදු මෙහෙවර දරා සිටි සම්බුදු සිරුරේ නොදිරන කොටස් සර්වඥ ධාතු ලෙස සලකා ගෞරව භක්තියෙන් වන්දනා කරන, සර්වඥ ධාතු නිදන් කර තැනූ ෙචෙත්‍යයන් ජාතියේ මහා ආධ්‍යත්මික සංස්කෘතික සංකේතයන්සේ සලකා ගරු සම්මාන පෙරදැරිව සුරක්ෂිත කරන සමාජයක් පුංචි ශ්‍රී ලංකාවෙන් බිහිවීම ජාතික ආරක්ෂාවට හේතුවන මහා භාග්‍යයක් වී තිබේ. රුහුණේ ඓතිහාසික මහා දාගැබවූ තිස්සමහාරාම ෙචෙත්‍යය, සිංහ‍ලේ මහා ආධ්‍යාත්මික සංස්කෘතික නිර්මාණය වූ රුවන්වැලි මහ සෑය, ලොව ලොකුම දාගැබ වූ අභයගිරිය ස්තූපය, ලොව උසම ෙචෙත්‍යයවූ ජේතවන ස්ථූපය, ඉපැරණි නාගදීප විහාරය, රටමැද මහියංගණ මහ සෑය, රටේ බස්නාහිර කැලණි ෙචෙත්‍යය, නැගෙනහිර සුන්දර පරිසරයක පිහිටි සේරුවිල මංගල මහා ෙචෙත්‍යය, සෝමාවතී හා දීඝවාපිය ආදී ඓතිහාසික ජාතික සංස්කෘතික සංකේතත් සිංහල බෞද්ධ රාජ්‍ය උරුමයේ පූජනීය සංකේතයවූ දළදා වහන්සේත් රැකගන්නට ඕනෑම සතුරු බලවේගයකට එරෙහිව ආත්ම පූජාවෙන් කැපවන්නට හා දිවි පරදුවට තබා සටන් කරන්නට ලක්වැසි බහුතර ජනතාව අධිෂ්ඨාන සහගත වීර්යයෙන් යුතු වීම ලොවටම ආදර්ශයකි. එය ලොවටම ආදර්ශයන් වන්නේ විදේශාක්‍රමණ දාසයකට මුහුණ දී තම ආධ්‍යාත්මික සංස්කෘතික උරුමය රැකගන්නට සමත් වූ වෙනත් ජනතාවක් ලොව කිසිම කලාපයක හෝ කිසිම මහාද්වීපයක නොවූ හෙයිනි. සුවිශාල අප්‍රිකාවේ ද රුවන්වැලි මහසෑය වැනි මහා ජාතික සංස්කෘතික නිර්මාණයක් තිබුණා නම් අප්‍රිකාව අඳුරු මහද්වීපය ලෙස හඳුන්වමින් කෝටි ගණන් නීගේ‍රා් ජාතිකයන් වහලුන් ලෙස යදම්වලින් බැඳ ඇමෙරිකාවට ගෙනයන්නට හැකිවන්නේ නැත. විශ්වාන්තරවාදී බෞද්ධ දර්ශනය මත පදනම්වූ හෙළ ජාතික චින්තනය වැනි ප්‍රබල චින්තනයක් තිබුණා නම් ලතින් ඇමෙරිකානු ජනතාවන් යුරෝපයේ ආධ්‍යාත්මක සංස්කෘතික වහලුන් වන්නේ නැත.

අනුරපුර ජය ශ්‍රී මහා බෝධියෙන් බිහිවූ අෂ්ටපලරුහ බෝධීන් හා දෙතිස් පලරුහ බෝධීන් උතුරේ දඹකොළ පටුනේ පටන් කතරගම දක්වා රට පුරා සෑම ප්‍රදේශයකම රෝපණය කරවා යුද කලකෝලාහලවලින් තොරව ආගම දහම මගින් සොබා පරිසරවාදී ලෙස ජාතික සමගිය ගොඩනැගුම ලොවටම ආදර්ශයක් වී තිබෙන බවද සිංහල අවුරුදු සමයේ උදාවන බක් ‍පෝ දිනයේ සත්‍ය ගරු කරන ලෝක ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළ යුතුව තිබේ. දේවානම්පියතිස්ස රජුගේ ඇරයුමෙන් අනුබුදු මිහිඳු හිමියන් අනුරාධපුර නගරයට පිවිසුණු තැන පඨමක ෙචෙත්‍යයත් රාත්‍රිය නැවතුණු තැන නිවත්තක ච්ෙතියත් රජමැදුරට නොදුරින් මහ මෙව්නා උයනේ මහා විහාරයත්, ථූපාරාමයත්, මිහින්ත‍ලේ මිස්සක පව්වේ මිහින්තලා මහ සෑයත් ඉසුරුමුණියත් වෙස්සගිරියත් ගොඩනැගෙන්නට වසර දෙසිය ගණනකට පෙර බුදු හිමියන් ජීවමානව වැඩ සිටියදීම නාගදීප, මහියංගණ, කැලණි ෙචෙත්‍යය ගොඩනැගූ බවත් මේ බක් ‍පෝදා සිහිකළ යුත්තේ ඒ නිර්මාණයන් ඉන්දියාවට පවා ආදර්ශයක් වූ හෙයිනි. නාගදීප, මහියංගණ, කැලණි විහාර ඉන්දියාව පුරා විහාර දාගැබ් කරවූ අශෝක අධිරාජයාට පවා ආදර්ශයක් වූ බව නිසැකය. ධර්මශෝක අධිරාජ යුගයේ පටන් කල්ජි භක්තියාර් ප්‍රමුඛ ඉස්ලාම් ආක්‍රමණය දක්වා බැබළුණු දඹදිව බෞද්ධ උරුමය මෝගල් අධිරාජ්‍යයට යටවී වැනසී ගියද ඒ උරුමයට පණ දෙන්නට ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක බෞද්ධ වීරයා වූ ධර්මපාලතුමාට හැකිවූ බව වෙසක් උදාවට කලින් එළැඹෙන බක් ‍පෝදිනයේ සාදර ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුය.

යුද්ධ මාර්ගය අතහැර ධර්ම විජය මගට එළැඹුණු ලොව ශ්‍රේෂ්ඨතම රාජකීය නායකයාවූ අශෝක අධිරාජ්‍යයාගේ අභාවයෙන් සහශ්‍ර වර්ෂයක් ගතවී වැඩිකල් යන්නට පෙර ඉන්දියානු අර්ධ මහද්වීපය මුස්ලිම් ආක්‍රමණයට ගොදුරු වී මෝගල් අධිරාජ්‍යය බවට පත්වෙද්දී ඉන්දියන් සාගර කලාපයේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන්නාවූ මධ්‍යස්ථානයක පිහිටි පුංචි සුන්දර ශ්‍රී ලංකාව සුරක්ෂිත වූයේ දසමහා යෝධයන් ප්‍රමුඛ විධිමත් සේනාවක් ගොඩනගා ජාතික ආරක්ෂාවේ පදනම තැනූ ජාතියේ පියාවන් කාවන්තිස්ස රජතුමා ජාතියේ මාතාව වූ විහාර මහා දේවිය, ජාතියේ අසහාය වීරයා වූ ගැමුණු, වළගම්බා, ගජබා, ධාතුසේන, විජයබා, පැරකුම්බා වැනි වීරයන්ගේ නායකත්වයෙන් ගොඩනැගුණු මහා දේශප්‍රේමී ජාතික, ආධ්‍යත්මික සංස්කෘතික බලවේගය නිසා බව රටපුරා විහාරස්ථානවල එක්රැස්වී සිහිනුවණින් යුතුව මෙනෙහි කිරීම ජාතික අවශ්‍යතාවක් වී තිබේ. සිංහ‍ලේ ආධ්‍යාත්මික ශක්ති උල්පත විශ්වාන්තරවාදී බුදු දහම පදනම් කරගත් ජාතික චින්තනයේ ශක්තියෙන් ගොඩනැගුණු මහා සංස්කෘතික උරුමයයි. ඒ මහා සංස්කෘතික උරුමයට අවශ්‍ය ආර්ථික ශක්තිය ලැබුණේ ජනතා ශ්‍රම ශක්තියෙන් තැනූ යෝධ වැව, මධ්‍යම වැව් (ගබඩාවැව්) ගම්මට්ටමේ කුඩා වැව්, යෝධ ඇළවල්, මධ්‍යම ඇලවල් හා හීන් ඇළවල් ඇතුළු දස දහස් සංඛ්‍යාත වැව් ඇළවේලි පදනම් කරගත් කුඹුරු යායවල් මගිනි. සිංහල අවුරුද්දත් සමග උදාවන බක්‍පෝදා අප රට පුරා විහාර භූමිවල එක්වී ඒ උරුමය සිහිකල යුත්තේ ලොවටම ආශිර්වාදයක් වූ ධර්මද්වීප දායාදයට තර්ජනයක් එල්ල වන තත්ත්වයක් දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන සියලුම ක්ෂේත්‍ර තුළින් මතුවී ඇති හෙයිනි. ධර්මද්වීප උරුමය ජාත්‍යන්තර ප්‍රජාව හමුවට ගෙන යාම කාලීන ලෝක අවශ්‍යතාවක් වී ඇත්තේ ඉස්ලාම් අන්තවාදයටත් වඩා බිහිසුණු තර්ජනයක් ලෙස ලෝකාධිපතිවාදී ඇමෙරිකානු උත්තර බලවතා දකුණු චීන මුහුදේ මහා යුද අභ්‍යාස පවත්වන්නට තරම් දුර්දාන්ත වී ඇති හෙයිනි.

හැටේ දශකයේදී සමාජවාදී කියුබාවේ ආරක්ෂාව සඳහා කැරිබියන් මුහුදට සෝවියට් යුද නැව් ගෙනයාමට එරෙහිව රුසියාවට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීමට තරම් මුග්ධ හා කෲරතරවූ තමන්ගේම මෑත අතීතය අමතක කරමින් ඇමෙරිකාව දකුණු චීන මුහුදේ යුද අභ්‍යාස කිරීම ලෝදනන් සිත් සසල කරවන්නකි. ලෝක ජනතාවගේ ආරක්ෂාවට හේතුවන මේ සත්‍යයන් විශ්වයටම සෙතක්, ශාන්තියක් වූ සම්බුදුවරයකු බිහිවූ වෙසක් ‍පෝයට කලින් උදාවන බක් ‍පෝ දිනයේ ලක්වැසි බෞද්ධ අප ලෝක ප්‍රජාව හමුවේ ප්‍රකාශ කළ යුතුව තිබේ.

හෙළ අවුරුදු සිරිත් සිහිකරන සිංහල අලුත් අවුරුදු සමයේ උදාවන බක් ‍පෝ දිනයේ ගෙනහැර දක්වන මේ විශ්වාන්තරවාදී සත්‍යය ධන තණ්හාවෙන් හා බලකාමයෙන් නෙත් සිත් අඳුරුවූ අපේ රටේ දේශපාලන බලවතුන් ඇතුළු අඳුරේ අතපතගාන්නාවුන්ගේ ඇස් අරවන ආධ්‍යාත්මික සංස්කෘතික බලවේගයක් වේවා මේ සත්‍ය අපට බුදු සසුන ලබා දෙන්නට තම දූ පුතුන් පවා කැපකළ අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම විජය ක්‍රියා මාර්ගයට උරුමකම් කියන්නට තරම් කූටෝපායශීලීවූ බටහිර ගැති ධනේෂ්වර ඉන්දියානු නායකත්වයේ ඇස් අරවන්නට හේතු වේවා ශ්‍රී ලංකාවට, සොබා දහමින් ලැබුණු මහා රැකවරණය වූ පණ ඇති මහා සමුදුර පවුර ලෙසින් කොළඹ යුගයේ කවියන් පද්‍යයට නැගූ සොබාවික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමින් ලංකාවත් ඉන්දියාවත් ඈඳන පාලමක් තැනීමේ ඉන්දීය අධිපතිවාදී මානසිකත්වය වෙනුවට ජීවයට පණදෙන පානීය ජලය මගින් දෙරටේ සමගියට මගපාදන්නට ඉන්දියානු නායකත්වයට සිහිනුවණ ලැබේවා ඇමෙරිකා එක්සත් ජනපදයට කිලෝ මීටර් එකසිය පනහක් තරම් දුරින් පිහිටි කියුබාවේ ආරක්ෂාව සඳහා සෝවියට් යුද නැව් ගෙන ඒමට විරුද්ධව න්‍යෂ්ටික ලෝක යුද්ධ තර්ජනයක් මතු කරන්නට තරම් දුර්දාන්ත වූ අදුරදර්ශී නායක පරපුරකින් පැවතෙන වත්මන් ඇමෙරිකානු නායකත්වයට ජනතා සිත් යුද බියෙන් සසල කරන අයුරින් සොබා පරිසර විරෝධී ලෙස ඛනිජ තෙල් ගැලුම් කෝටි ගණන් දවමින් දකුණු චීන මුහුදේ යුද අභ්‍යාස කිරීමට තරම් සාහසික වීමේ මානව විරෝධී ජීව විරෝධී සාපරාධී වරද අවබෝධ වේවා ශ්‍රී ලංකාව දෙකඩ කර දකුණු ආසියාවේ ඇමෙරිකානු රූකඩ දෙමළ ඊළම් රාජ්‍යයක් ගොඩනැගීමේ බිහිසුණු සිහිනයෙන් මිදෙන්නට ඇමෙරිකානු නායකත්වයට සිහි නුවණ ලැබේවා යන්න මේ බක් ‍පෝදිනයේ අපේ පැතුමයි. සකල ලෝක වාසී සියලු සත්ත්වයෝ සුවපත් වේවා
අනගාරික ධර්මසේකර තුමා

Related posts

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

මුස්ලිම් නායකයන් රටට විහිළු සපයලා ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්න එපා – මොහොමඩ් මුසම්මිල් ඉල්ලයි

colombotoday

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ඉල්ලා අස්වෙයි

colombotoday

උතුරු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොකේන් චෝදානා

colombotoday

ලංකාවේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි

colombotoday

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

colombotoday