Colombo Today Local NewsHot News

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියාටත් මාංචු.. ත්‍රස්‌තවාදයට සැප දී රණවිරුවන් දඩයම දිගටම !

එදා සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැද අපට රට දිනා දුන් ජාතික විරුවන් අසූදෙදෙනකු සුද්දන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබියදී ඒ වරද නිවැරදි කරමින් නැවතත් එකී විරුවන් සියලු දෙනා දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් පළමු වැනිදා පියවර ගත්තේය.

එහෙත් ජනාධිපතිවරයා එසේ ඉතිහාසය නිවැරදි කරද්දී යහපාලනය තුළ තවත් පැත්තකින් අද දෙස්‌ විදෙස්‌ද්‍රෝහී කුමන්ත්‍රණකරුවන්ගේ වුවමණාවන් ඉටු කිරීම සඳහා අතීතයේ වූ වැරදි යළි යළිත් සිදුවෙමින් නොතිබේද? විරුවන් ද්‍රෝහීන් වී යළි විරුවන් වී ඉතිහාසය මෙසේ නිවැරදි වෙද්දී මේ මොහොතේත් ක්‍රියාත්මක තුට්‌ටු දෙකේ විමර්ශන හමුවේ අපේ කාලයේ විරුවන් මරුවන් කර දඟගෙට දැමීම තුළින් සිදු කෙරෙමින් තිබෙන්නේ එකී ද්‍රෝහී වුවමණාවන් ඉටුකිරීම හැර වෙනත් යමක්‌ද?

යහපාලනය මතුවූ දා සිට එය සිදු නොකරන්නැයි අපි පුන පුනා ආණ්‌ඩුවට කීවෙමු. එහෙත් කොතෙක්‌ එය පෙන්වා දුන්නද දිගින් දිගටම සිදු වෙමින් තිබෙන්නේ 2002 වසරේදී සිදුවූ “මිලේනියම් සිටි” පාවා දීම ආකාරයේම වූ පාවා දීම්ය. ජීවිත පරදුවට තබා සතුරා වෙත ගොස්‌ සතුරා සමඟ ගැවසී සතුරා නසා ජාතියට රට දිනා දුන් බුද්ධි අංශ රණවිරුවෝ මිනී මරුවන් කර සිරගත කිරීම වන්නාහ.

සිදු වන විමර්ශන හමුවේ දංගෙඩියට යන්නේ රටට සාමය ගෙනා රණවිරුවන්ය. මෙසේ සිදුවන පොලිස්‌ විමර්ශන මාලාවේ අලුත්ම කතාව බවට මේ මොහොතේ පත්ව තිබෙන්නේ ඉකුත් 2008 වසරේ වැල්ලවත්ත ප්‍රදේශයේදී දෙමළ තරුණයන් පස්‌දෙනකු පැහැරගෙන ගොස්‌ කප්පම් ඉල්ලා මරා දැමීමේ සිද්ධියට අවසන් යුද සමයේ නැගෙහිර නාවික හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු තිදෙනකු ඉකුත් බ්‍රහස්‌පතින්දා අත්අඩංගුව ගැනීමය. මේ දෙමළ තරුණයන් පස්‌ දෙනා කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස්‌ මරා දැමීම පැහැදිලිවම අහස පොලොව නුහුලන මහා අපරාධයකි. එහෙයින් එය සිදු කළවුන්ට දඬුවම් කිරීම අනිවාර්යයෙන් සිදු විය යුත්තකි. එහි කතා දෙකක්‌ නැත.

එහෙත් මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මෙකී තරුණයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ සීඅයිඩීයේම විශේෂ ඒකකයේ ප්‍රධානියා ලෙස එකල කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා එම ඝාතන සිද්ධියට නාවික හමුදාවේ සේවය කළ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හෙවත් නේවි සම්පත් ඇතුළු ඔහුගේ කණ්‌ඩායම සම්බන්ධ යෑයි 2011 මාර්තු 31 වැනිදා කොටුව මහේස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබියදී 2017 වසරේ ඒ පිළිබඳ විමර්ශන කරන සීඅයිඩීයේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා මෙසේ නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ රණසිංහ අල්ලන්නේ ඇයිදැයි යන්නය.

නේවි සම්පත් යනු එකල හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ ආරක්‍ෂක නිලධාරියෙකි. එහෙයින් ඔහුට විශේෂ බලයක්‌ද තිබුණු අතර සම්පත් විසින් නාවික හමුදා බුද්ධි අංශ කණ්‌ඩායමක්‌ මෙහෙයවමින් කොළඹට එන එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් ඇල්ලීම සඳහා එවකට කටයුතු කර තිබිණි.

එහෙත් සම්පත් එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් අල්ලන මුවාවෙන් වෙනත් අපරාධ සිදු කරමින් සිටින බව පසුව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දැන ගන්නේය. ඒ එවකට ඇමැතිවරයකු වූ µSලික්‌ස්‌ පෙරේරා මහතා නාවික හමුදාපතිව සිටි කරන්නාගොඩ මහතාට කරන දැනුම් දීමකට අනුවය. මේ අනුව සම්පත් පිළිබඳ විමර්ශනයක්‌ ආරම්භ කිරීමට කරන්නාගොඩ මහතා සූදානම් වෙද්දී සම්පත් නාවික හමුදාවෙන් පැන යන්නේය.

පසුව වසන්ත කරන්නාගොඩ මහතාගේ නියෝගයකට අනුව නේවි සම්පත්ගේ නිල නවාතැන වූ කොළඹ චෛත්‍යය පාර නාවික හමුදා මූලස්‌ථානයේ වූ කාමරය පරීක්‍ෂා කිරීමේදී පැහැරගත් දෙමළ තරුණයන්ගේ හැඳුනුම්පත් ඇතුළු උපකරණ රැසක්‌ සොයා ගැනෙන අතර ඒ සමඟ සිද්ධිය සීඅයිඩීයට දැනුම් දී විමර්ශනයක්‌ අරඹන ලෙස වසන්ත කරන්නාගොඩ මහතා දැනුම් දෙන්නේය.

එකල රහස්‌ පොලිසියේ විශේෂ ඒකකයේ ප්‍රධානියා වූ පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා විසින් නේවි සම්පත් ඇතුළු ඔහුගේ කණ්‌ඩායම තරුණයන් පැහැරගෙන ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කරන්නේ වසන්ත කරන්නාගොඩ මහතාගේ පැමිණිල්ල මත සිදු කළ විමර්ශනයට අනුවය.

එසේ නම් 2001 වසරේදී එම සිද්ධියට සම්බන්ධ වූයේ නේවි සම්පත් ඇතුළු කණ්‌ඩායමක්‌ බවට හඳුනාගෙන තිබියදී 2017 දී ඒ සඳහා රණසිංහලා සම්බන්ධ කිරීමට උත්සාහ දරණුයේ කුමක්‌ නිසාද? එයට හේතු වී ඇත්තේ කමාන්ඩර් රණසිංහ යනු එල්ටීටීඊය වැනසූ සටනේදී කොටින්ට එරෙහිව සාර්ථක බුද්ධි මෙහෙයුම් රැසක්‌ සිදු කළ ප්‍රධානියකු වීම හමුවේ කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව සතුටු කිරීම වැඩපිළිවෙළක්‌ අද සිදු වෙමින් තිබීමද?

එදා නැගෙනහිර නාවික හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි මේ කියන කමාන්ඩර් රණසිංහ යනු කවරෙක්‌ද? මෙහිදී කාගේත් වැටහීම සඳහා කිවයුතු එක්‌ වැදගත් දෙයක්‌ ඇත. ඒ කමාන්ඩර් රණසිංහ යනු උපන් බිමේ විමුක්‌තිය උදෙසා සතුරා සමඟ සටන් වැදී මේ වන විට ආබාධිතයකු බවට ද පත්ව සිටින්නකුය යන්නය.

ඉකුත් 2001 වසරේ මැයි මස 23 වැනිදා කන්තලේ තඹලගමුව 85 හන්දිය ප්‍රදේශයේදී එල්ටීටීඊයේ ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුව තමා සමඟ එකට සිටි නාවික හමුදා සෙබළුන් දාහත්දෙනකු ජීවිතයෙන් සමු ගනිද්දී එකම මස්‌ ගොඩක්‌ බවට පත්ව සිටියද පණ තිබෙන බව ගුවන් හමුදා සෙබළකුගේ ඇස ගැටීම හේතුවෙන් එදා රණසිංහට ජීවත් වීමේ වාසනාව උදා විය. එහෙත් ඔහු ආබාධිත වන්නේ එම කොටි බෝම්බ ප්‍රහාරය නිසාය.

එම ප්‍රහාරයෙන් පසුව ප්‍රතිකාර ලබා යළි ක්‍රියාන්විතයට එක්‌වන රණසිංහ නැගෙනහිර බුද්ධි ප්‍රධානියාව සිටියදී කළ සේවයද සුවිශේෂීය.

අවසන් සටන ක්‍රියාත්මක වෙමින් තිබූ ඉකුත් 2007 වසරේ ත්‍රිකුණාමලය මාලු මාර්කට්‌ එක දක්‌වා රැගෙනවිත් මාලු ලොරියක්‌ ලෙස කොළඹට එවීම සඳහා එල්ටීටීය සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 1100 බෝම්බ ලොරිය සොයා ගත්තේද නැගෙනහිර නාවික හමුදා බුද්ධි ප්‍රධානියා වූ අද සීඅයිඩීය අත්අඩංගුවට ගෙන සිටින කමාන්ඩර් රණසිංහය.

එහිදී කිසිවකුටත් නොදැනෙන ලෙස ත්‍රිකුණාමලය නගරයේ සිට ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ආරක්‍ෂිත ස්‌ථානයක්‌ දක්‌වා දිවි පරදුවට තබා එකී බෝම්බ ලොරිය පදවාගෙන ආවේද කමාන්ඩර් රණසිංහය.

සිදුවන විමර්ශන හමුවේ රණසිංහලා වැනි මේ බිමේ පිනට උපන් සිංහයන් දඩයම් කෙරෙද්දී මෙවන් කතා අප රටට කියන්නේ රටේ මිනිස්‌සු ඇත්ත දැනගෙන සිටිය යුතු නිසාමය. 2009 මැයි 19 වැනිදා එල්ටීටීඊය විනාශ වීමෙන් පසු ඉන්දියාවට පැන ගොස්‌ සිටි කොටි ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ යළි ත්‍රිකුණාමලයට පැමිණ හමුදා ඔත්තුකරුවන් ඝාතනය කරමින් නැවත හිස එසවීමට ගත් පළමු අත්සාහයේදී උන් සොයා පහර දී ඒ උත්සාහය ව්‍යර්ථ කෙරුවේද රණසිංහලාය.

රණසිංහ පමණක්‌ නොව, ඉකුත් යුද සමයේ කොළඹ ආරක්‍ෂාව වෙනුවෙන් විශාල මෙහෙවරක්‌ කළ නාවික හමුදා කොළඹ බුද්ධි ඒකකයේ ප්‍රධානියා වූ පසුගිය කාලයේ රවිරාඡ් ඝාතනයට අත්අඩංගුවට ගෙන මහාධිකරණය මගින් නිදොස්‌ කොට නිදහස්‌ කළ කමාන්ඩර් හෙට්‌ටිආරච්චිටද මෙකී තරුණයන් පැහැගෙන ගොස්‌ මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පැමිණෙන ලෙස දැනටමත් රහස්‌ පොලිසිය දැනුම් දී ඇත.

ඔහු තවම එහි නොගියේය. ගිය විට රණසිංහලා මෙන්ම ඔහුවද යළි අත්අඩංගුවට ගනු ඇත. එසේ ගැනීමෙන් පසු ත්‍රස්‌තවාදය නසන්නට ගෙනා ත්‍රස්‌තවාදී පනතින්ම මේ රණවිරුවන් සියලු දෙනා අධිකරණය වෙත ගෙන යන්නටද සීඅයීඩීය කටයුතු කරනු ඇත. එය නතර වන පාටක්‌ නම් පෙනෙන්නට නැත.

මහත්වරුනි, මේ රණවිරු දඩයම දැන්වත් නතර කළ යුතුය. එහෙත් ජාත්‍යන්තරය, ජාත්‍යන්තරය කියමින් මතුරන අතරේ ජාත්‍යන්තරය සමඟ යහන්ගත වී ප්‍රෙෘඪ වූ ලාංකීය අපේකම වෙන්දේසියේ දමා ආරාජික රාජ්‍යයක්‌ ගොඩනගන්නට වෙහෙසෙමින් යහපාලනය සමඟ වැජඹෙන ඇතැම් දේශපාලන ගෙවලයන් නම් කිසි දිනක එසේ නොකරනු ඇත.

තිරය වසා දමා අද සීඅයිඩීය රඟ දක්‌වන මේ රණවිරු දඩයම් නාටකය නතර කරන්නේ නම් එය කළ හැක්‌කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටය. එහෙයින් අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තවත් මොහොතක හෝ ප්‍රමාදයක්‌ නොතබා ඒ යුතුකම ඉටු කරන ලෙසය. මන්ද මෙකී බුද්ධි අංශ දඩයම් කිරීමේ නාඩගම් හමුවේ දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාව වන නිසාය.

එසේම මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කළ යුතු තවත් වැදගත් කරුණක්‌ද ඇත. ඒ පසුගිය කාලයේ සීඅයිඩීය මගින් අත්අඩංගුවට ගෙන මිනීමරුවන් සේ ලේබල් ගසා සිරගත කිරීමෙන් පසු මේ වන විට ඇප ලබා පැමිණ සිටින සියලුම බුද්ධි අංශ නිලධාරීන් අද බරපතළ ජීවිත අවදානමකට මහුණ දී සිටින්නේ යෑයි යන්නය.

මේ නිලධාරීහු එල්ටීටීඊය පරාජය කිරීමේදී රට වෙනුවෙන් කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව බොහෝ දේ කළෝ වෙති. එසේම එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුවත් ඔවුන් සිය මෙහෙයුම් නතර නොකළේය. සීඅයිඩීය ඔවුන්ට එරෙහිව විමර්ශන අරඹන තැන දක්‌වාම එකී බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක විය. එහෙයින් එම බුද්ධි නිලධාරීහු යනු එල්ටීටීඊයේ සේම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේද සදාකාලික සතුරෝ වන්නාහ. මෙකී නිලධාරීන් තමන්ගේ රාජකාරිය යුද්ධයෙන් පසුව එල්ටීටීඊ ත්‍රස්‌වාදයට පමණක්‌ සීමා නොකළේය.

ඔවුන් පසුගිය කාලයේ පාතාලයට එරෙහිවද ක්‍රියාත්මක විය. තත්ත්වය එසේ වෙද්දී මේ ගෙවෙමින් තිබෙන්නේ කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණ තුළින් එල්ටීටීඊයේ හොල්මන් යළි එහෙන් මෙහෙන් මතුවෙද්දී පාතාලයද දරුණු ලෙස හිස ඔසවා ඇති කාලයකි. අද ඒ බව තහවුරු කරමින් සිටින්නේ මෙකී විරුවන්ට එරෙහිව විමර්ශන කරමින් ඔවුන් මිනීමරුවන් යෑයි හංවඩු ගසා ඇතුළට දැමූ පොලිසියම ය. එසේ නම් මේ විරුවන් රැක ගැනීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක විය යුතුය. එහෙත් එවැන්නක්‌ මේ දක්‌වාම සිදු නොවන්නේය.

ඇප හිමිවීමෙන් පසු තමන් රාජකාරි කළ බුද්ධි ඒකකවලින්ද ඉවත් කර වෙනත් හමුදා ඒකකවලට අනුයුක්‌ත කර සිටින එම නිලධාරීහු අද සිටින්නේ ඉතාම අනාරක්‍ෂිතවය. අඩුම තරමේ එසේ බන්ධනාගාරගත කෙරුණු උසස්‌ හමුදා නිලධාරීන් සන්තකයේ තිබූ රාජකාරි ගිනි අවි පවා අද ඔවුන් සතුව නැත. ඒවාද ඉවත් කර ඇත.

පොලිස්‌ විමර්ශන මගින් සිදුවූ බරපතළම ෙ€දවාචකය වන්නේ ලොව කිසිදු රටක සිදු නොවන පරිදි මෙකී බුද්ධි නිලධාරීන්ගේ අනන්‍යතාව ලෝකයට හෙළි වීමය. එහෙයින් අද ඔවුන් සතුරාගේ ඉලක්‌ක වී නොමැතියෑයි අප කාටවත් වගකීමෙන් පැවසිය නොහැකිය.

ඉකුත් 2002 වසරේ සිදුවූ “මිලේනියම් සිටි” පාවා දීම හමුවේ යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සහ ඔත්තුකරුවන් රාශියකට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බව මුළු රටම දන්නා කාරණයකි. එහෙත් ඉතිහාසය විසින් එසේ පාඩම් කියා දී තිබියදී අද යළිත් මිලේනියම් සිටි ආකාරයෙන්ම සිදුවෙමින් තිබෙන පොලිස්‌ විමර්ශන හේතුවෙන් එක්‌ බුද්ධි අංශ නිලධාරියකු හෝ සතුරු ඉලක්‌කයක ගොදුරක්‌ වී ජීවිත හානියක්‌ සිදුවුවහොත් ආණ්‌ඩුවට ඒ වගකීමෙන් නිදහස්‌ වීමට කිසි දිනකත් නොහැකි වන්නේය.

එහෙයින් මේ බුද්ධි නිලධාරීන් රැක ගැනීමටද ආණ්‌ඩුව කටයුතු කළ යුතුය. මන්ද මේ නිලධාරීන් වැඩ කළේ ඉන්දියානු හෝ ඇමරිකානු හමුදාවට නොව ශ්‍රී ලංකා හමුදාවන්ටය. ඔවුන් දිවිහිමියෙන් කැප වූයේ උපන් බිම වෙනුවෙන්ය.

මිලේනියම් සිටි පාවා දීමේදී සිදුවූ ආකාරයේ ෙ€දවාචකයක්‌ යළිත් මේ බිම තුළ සිදු නොවිය යුතුය. මෙකී බුද්ධි නිලධාරීන් ආරක්‍ෂා වනු දැකීම ඉහත කී ජාත්‍යන්තරය සමඟ නිදිවදින ඇතැම් දේශපාලන ගෙවලයන්ගේ අරමුණ නොවන බව අපි දනිමු.

එය කළ හැක්‌කේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටම බවද අවසන් වශයෙන් සඳහන් කළ යුතුය.

සමන් ගමගේ

Related posts

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday

පක්ෂ නායකයින් ජනපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මංගල රැලිය මහින්දගේ ප්‍රධානත්වයෙන් අද

colombotoday

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

Admin

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

පුරවිද්‍යා නිලධාරීන්ට නොපෙනෙන වල්වැදී වැනසී යන පුරාවිද්‍යා උරුමය – සංකපාලයේ සෙන්පති ඵුස්සදේව සොහොන

colombotoday