Colombo Today Local News

රට බේරාගන්න නම් මෛත්‍රි – මහින්ද වහාම එක්විය යුතුමයි.. භික්ෂූන් වහන්සේලා ඒ සදහා මැදිහත් විය යුතුයි

alle gunawansa nahimi1

* දෙමළ අය ඉල්ලපු විසදුම දීලා ඉවරයි
* මෛත්‍රී ඉන්න ඕනෑ තමන්ට ගැලපෙන අය එක්‌ක
* දැන් ප්‍රශ්න ඇතිකරන්නේ බෞද්ධයන්ට

රට දියුණු කරන්නට නම් රටේ ජනතාව ආරක්‌ෂා කරන්නට නම් ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලින් මෙන්ම විවිධාකාරවූ ජාත්‍යන්තර බලපෑම්වලින් රට බේරා ගන්නට නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා වහාම එක්‌විය යුතු බවත් එම ඒකරාශී කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය මැදිහත් විය යුතු බවත් කොළඹ 07 , ධර්මායතනාධිපති අතිපුජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පවසති.

“අද මේ රටේ සිංහල ජනතාව අපේක්‌ෂා භංගත්වයට පත්වෙලා සුළු ජාතීන් නම් අපේක්‌ෂා සහිතව ඉන්නවා, මහා ජාතිය ලෙස සිංහලයා විශේෂයෙන්ම බෞද්ධයා සැකයකින් ඉන්නා බව මට පේනවා. ඔවුන් අපව හමුවෙලා දක්‌වන අදහස්‌ අනුව. රජය පත්වූවාට පසු ගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා මේ තත්ත්වය ඇතිවුණේ. එල්ටීටීඊ සංවිධානයේ ඉතාම දරුණු පිරිස්‌ නිදහස්‌ කරමින් හමුදා බුද්ධි අංශ වල පිරිස්‌ අත්අඩංගුවට ගැනීම, භික්‌ෂු ජාතිවාදය හා ආගම්වාදය ලෙස පනතක්‌ ගෙන ඒම, භික්‌ෂු කතිකාවතක්‌ ගෙන ඒම වගේ කාරණා වලින් විවිධ සැකයන් ඇතිවෙලා. මේ හින්දා භික්‌ෂුවත් සැකෙන් ඉන්නේ රට ජාතිය ආගම ගැන යම් තරමකින් වත් සිතන සිංහල බෞද්ධයන් යම් සැකයකින් ඉන්නේ. ඉට්‌කා ගිවිසුම හින්දත් රටේ ජනතාව සැකයෙන් ඉන්නේ. බලයේ ඉන්න දේශපාලනඥයෝ කියන දේවල් ජනතාව පිළිගන්නේ නැහැ. මොන රජයක්‌ තිබුණත් රජයක්‌ බලය රැක ගැනීම සඳහාත් ඔවුන් කරන ක්‍රියාදාමයන් සාධාරණීකරණය කර ගැනීම සඳහාත් පළාත් සභා ගෙන එන වෙලාවේ, ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඒ අවස්‌ථාවේ බලයේ සිටි දේශපාලනඥයන් කියපු දේවල් අපට මතකයි.

දේශපාලනඥයන් ගැන තියෙන විශ්වාසය බිඳ වැටිලා, ඒ බිඳ වැටීම නිසා සිවිල් සමාජයේ නැගිටීමක්‌ ඇතිවෙලා. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් පරිගණක හා තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ අය ගොවීන් තමන්ගේ අයිතීන් ගැන සංවිධානය වෙනවා මොවුන් සිවිල් සමාජයේ පිබිදීම හා සංවිධානය වීම පෙනෙන්න තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීම ගැන මිනිස්‌සු ඉන්නේ සැකයෙන්, රටේ ඒකීය භාවයට හානියක්‌ වෙයි කියලා ජනතාව ඉන්නේ සැකයෙන් . එදා එල්ටීටීඊය හා දෙමළ ඩයස්‌පෝරාවේ ඉල්ලීම් අද එකින් එක සිද්ධ වෙනවා . විවිධ රජය නායකයෝ වරින්වර එනවා, අද ඇමරිකාව ඇතුළු රටවල නියෝජිතයෝ, ලේකම්වරු නිරන්තරයෙන් එනවා. මේ ගොඩක්‌ අය කෙලින්ම යන්නේ යාපනයට , මේ ගැන සිංහල ජනතාවට සැක ඇතිවීම සාධාරණයි, මේ අය ඇවිත් මොනවද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ , ආණ්‌ඩුව ඒ ගැන මුකුත් කියන්නෙත් නැහැ . ජනතාවට පික්‌පොකට්‌ ගහන්න ලෑස්‌තිවෙන්න එපා කියලා මම රජයට කියනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පාර්ශව දෙකක්‌ තියෙනවා ඒ මෛත්‍රී හා මහින්ද පාර්ශ්ව, රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් මේ නායකයෝ දෙන්නා එක්‌විය යුතුයි. ඒ එක්‌ කිරීම සඳහා වගකිවයුතු භික්‌ෂුන් වහන්සේලා සම්බන්ධ විය යුතුයි. යම් යම් සැක සංකා විවිධ ප්‍රශ්න ඇති ඒ දෙදෙනා අතරේ භික්‌ෂුන් වහන්සේලා මැදිහත්වෙලා. ඒවා විසඳිය හැකියි.

මහනායක හිමිවරුන්ගේ යුතුකම හා වගකීම යන හැම කෙනාටම සෙත් පතන එක නෙවෙයි. යන කෙනා දෙයක්‌ කිව්වහම ඒක හොඳයි කියන එක නෙවෙයි. මේ දෙදෙනා එකතු කරලා රට ආරක්‌ෂා කිරීම උන් වහන්සේලා මැදිහත්වෙලා කළ යුතුයි. මහා මංගල සුත්‍රය වගේම අවශ්‍ය වෙලාවට වසල සූත්‍රය දේශනා කරන්නත් මහා සංඝරත්නයට හැකියාව තිබිය යුතුයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙහිදී පොඩි පරිත්‍යාගයක්‌ කරන්න වෙනවා මේ ඒකරාශී වීමට, ඔහුට සිදුවුණු අසාධාරණකම් මම පිළිගන්නවා. ඒත් නායකයෙක්‌ පාලකයෙක්‌ ප්‍රඥාවන්තයෙක්‌ වුණහම ඔහු තම ඇස්‌ දෙකින් මුළු මහත් රට දෙසම බැලිය යුතුයි. අපට වුණත් යම් යම් කලකිරීම් තියෙන පිරිස්‌ සමඟ පොදු සන්ධාන ගතවෙන්න සිදු වෙනවා. එම නිසා මේ ගැන සිතිය යුතුයි. ඔහු එහෙම කළොත් ඔහු ඉතිහාසගත වෙනවා, ඒ සඳහා අපි මැදිහත් වෙන්න කැමතියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිටිය යුත්තේ ඔහුට පෑහෙන පිරිස්‌ සමඟයි. හැන්දෙන් ගෑරුප්පුවෙන් කන මිනිස්‌සු අතරයි අතින් කන මිනිස්‌සු අතරෙයි කුරුම්බා ගෙඩියක්‌ කටේ තියලා බොන මිනිස්‌සු අතරෙයි ඒකට ස්‌ට්‍රොa එකක්‌ දාලා බොන මිනිහ අතරෙයි සිංහල හාලේ බත් කන අය අතරෙයි හොට්‌ඩෝග් කන මිනිහ අතරෙයි මැඩෝනගේ සින්දු අහන අය අතරෙයි පැල්කවියක්‌ රස විඳින අය අතරෙයි ලොකු වෙනසක්‌ තියෙනවා. මම හිතනවා මේවා තේරෙනවා කියලා මෛත්‍රිපාල සිරිසේන මහතාට. ඔහු නිවැරදි තීරණ ගත යුතුයි.

මොනවා වුණත් මෛත්‍රිපාල සිරිසේන මහතා පනස්‌ හයේ දරුවෙක්‌. ගමක ඉපදුනු දරුවෙක්‌. වෙලේ ඉපනැල්ලේ සුවඳ දැනුනු නායකයෙක්‌. ගල් විහාරේ නිතර එන යන කොට පෙනුණු මනුස්‌සයෙක්‌. එයාට මේ රටේ සිදුවෙන හැමදේටම වගකීමක්‌ තියෙනවා. ඔහු අනාරාධිතව පවා මෙහෙ ඇවිත් ගියා. දුරකථනයෙනුත් කතා කරනවා. ඔහු කවදාවත් රටට ජාතියට ආගමට විරුද්ධ වෙන්නේ නැහැයි කියලා මට විශ්වාසයි.

ඒත් අද සිදුවෙන දේවල් බැලුවහම ජනාධිපතිවරයටත් හොරෙන් යම් යම් දේ සිදුවෙන බව පේනවා . අද මේ රටේ බහුතරයක්‌ රජයේ වැඩපිළිවෙල විවේචනය කරනවා. මේ රජය බලයට පත් කරන්න මැදිහත්වුණු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පවා දැනටමත් රජය විවේචනය කරන්න පටන් අරගෙන.

රටේ බෞද්ධයන්ට යම් ප්‍රශ්න ඇතිවෙමින් තිබෙනවා. මුලින්ම දියවඩන නිලමේට විරුද්ධව නැගිට්‌ටා. එහෙත් ඔහු වරදක්‌ කර තිබේ නම් එය කළ යුත්තේ පුද්ගලිකව ඔහුට එරෙහිව මිස තනතුරට නෙවෙයි. ස්‌වාමින් වහන්සේලා වරදක්‌ කර තිබේ නම් වරදට එරෙහිව පියවර ගත්තට අප විරුද්ධ නැහැ. යම් යම් ආගම්වල පූජ්‍ය පක්‌ෂය වැරදි කළහම ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරපු පිළිවෙලක්‌ තිබුණා. ඒත් මේ දැන් භිකෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට කළේ නැහැනේ. භික්‌ෂුන් වහන්සේලා බෙඩ් ෂීට්‌ වලින් ඔතලා ගෙනියනවා. මේ ආකාරයට භික්‌ෂුව නින්දාවට අපහාසයට උපහාසයට පත් කිරීමක්‌ මම මීට පෙර දැකලා නැහැ. මෙතරම් භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ සිරගත කරපු මුල්ම අවස්‌ථාව මේක. ජාතියේ මුරදේවතා යන නාමයෙන් භික්‌ෂුන් වහන්සේලා හඳුන්වන එකම රට ශ්‍රී ලංකාව.
ගම්වල මිනිස්‌සුන් අප කියනදේ පිළිගන්නවා, අප කියන දේ අනුව තමයි ගමේ මනුස්‌සයා තීරණ ගන්නේ, භික්‌ෂුන් වහන්සේලා දේශපාලන පක්‌ෂවලට එක්‌ව වැඩ කිරීම මම අනුමත කරන්නේ නැහැ. මම කවදාවත් දේශපාලන වේදිකාවට යන්නේ නැහැ. ලුණු ඇති කරන්නෙත් වතුර. නැති කරන්නෙත් වතුර වගේ, ආණ්‌ඩුව හදන්නෙත් ජනතාව. නැති කරන්නෙත් ජනතාව. ඒකට නායකත්වය දෙන්නේ භික්‌ෂුන් වහන්සේලා, දේශපාලනඥයන්ට ඕන ඕන දේ කරන්න මේ රටේ ඉඩ දෙන්නේ නැත්තේ භික්‌ෂුන් වහන්සේලා.

මේ විදිහට දිගටම භික්‍ෂුන් වහන්සේලා මර්දනය කරනවා නම් දහස්‌ ගණන් භික්‌ෂුන් වහන්සේලා කැඳවලා අපි විරෝධය පළ කරනවා. එල්ටීටීඊය ඇතුළු දෙමළ අන්තවාදී ජාතිවාදී කොටස්‌ මුල ඉඳලා කිව්වේ කහ සිවුරු පොරව ගත්ත අය ඉන්නකම් අපේ ඉල්ලීම් ලැබෙන්නේ නැහැ කියලා. අපට අවශ්‍ය දේ ලබාගන්න බැහැ කියලා. සෝභිත හිමියන්ගේ අපවත්වීම සැකයි. විදේශ බලවේග ශක්‌තිමත් වුණු හැම මොහොතකම භික්‌ෂුන් වහන්සේලා අපවත් කළා., කොටගම වාචිස්‌සර හිමි අපවත් කළා. පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ අපවත් කළා. ගංගොඩවිල සෝම හිමි අපවත් කළා.

සෝභිත හිමියන්ගේ අවසන් දිනවල මම උන්වහන්සේ බලන්න රෝහලට ගියා. උන් වහන්සේ කිව්වා අපට වැරදුනා කියලා. මම කිව්වා මේ තත්ත්වයට ඔබ වහන්සේ වග කියන්න ඕන කියලා. බලමුකෝ, අපි එකතු වෙමු කියලා ඒ අවස්‌ථාවේ සෝභිත හිමියන් කිව්වා. ඒ අවස්‌ථාවේත් උන් වහන්සේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියා. හැබැයි අන්තිම දවස්‌ වල රටේ සිදුවුණු දේ ගැන උන් වහන්සේ මානසිකව වැටිලා හිටියේ. ඉස්‌සර මටත් වස දුන්නා. එල්ටීටීඊය මට වෙඩි තිබ්බා. මම බේරුණා. මම ඉස්‌පිරිතාලෙන් බෙහෙත් ගන්නේ නැහැ. එක දොස්‌තර කෙනෙක්‌ගෙන් විතරයි බෙහෙත් ගන්නේ. ඒ තරමට භික්‌ෂුන් වහන්සේලාගේ තත්ත්වය අනාරක්‌ෂිතයි. මේ රටේ ප්‍රශ්න හදන්නේ සුළු ජාතීන් විසින්මයි, අපි හැමදාම කිව්වේ අප රටේ සියලු ජාතීන් සියලු දෙනාම එකට ඉඳිමු කියලා. අදත් එකට ඉන්න බැහැ කියලා වෙනම අයිතීන් ඉල්ලන්නේ ඒ අයයි. එක්‌කෝ ස්‌වයං නිර්ණය අයිතිය එක්‌කෝ ෙµඩරල් ඉල්ලනවා.

එදා ඒ අය ඒ වෙනුවෙන් තුවක්‌කුව හා බෝම්බය අතට ගත්තා. අවුරුදු තිහක්‌ සටන් කළා. ඒ අයට අවශ්‍ය විසඳුම දුන්නා. නන්දිකඩාල් කලපුවේදී ඒ විසඳුම ලබා දුන්නා ආයේ ඒ ගැන කතාවක්‌ නැහැ. හදිස්‌සියෙන්වත් ඒ ගොල්ල ගහලා ලංකාව ඇල්ලුවා නම් ඇතිවන තත්ත්වය මොකක්‌ද ?

කවුරුවත් කියන්නේ නැහැනේ දෙමළ අයට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය මොකක්‌ද කියලා.
අදත් සමහර අය කතා කරන්නේ උතුරු නැගෙනහිර කියලා වෙන්කරලා. ඇයි එහෙම කරන්නේ මේක සංස්‌කෘතික ආක්‍රමණය ඊලාම් කියන එක සියයට හැත්තෑ ගණනක්‌ වුණු අප පවා ව්‍යවහාර කළා . අපේ හුනුගම චුන්නාකම් වුණා. වැලිගම වලිකාමම් වුණා. තඹලගමුව තඹලකාමම් වුණා. දැන් ව්‍යවහාර වෙන්නේ ඒවානේ.

ලෝකේ කිසිම රටක මෙවැනි දේ නැහැ. අපි ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව කියද්දී දෙමළ අය ඉලන්කෙයි කියනවා. අප මීගමුව කියද්දී මීර්කුලම් කියනවා ඉංග්‍රීසියෙන් නිගම්බු කියනවා. හලාවතට සීලවතුර කියනවා ඉංග්‍රීසියෙන් චිලව් කියනවා. මෙහෙම තත්ත්aවයක්‌ ලෝකයේ කොහෙවත් නැහැ. දෙමළ ජනතාව කියනවනේ ඒ අය සමහර ප්‍රදේශ පාලනය කළා කියලා. ඒවා ආක්‍රමණ මිසක්‌ වෙන කිසිවක්‌ නෙවෙයි. එහෙම නම් ලන්දේසීන්ගේ කාලේ මුහුදුබඩ පළාත් පාලනය කළේ ලන්දේසීන්. එහෙමනම් ලන්දේසි මිනිස්‌සුන්ට පුළුවන්නේ වෙනම කෑල්ලක්‌ ඉල්ලන්න. ඒවා ආක්‍රමණ මිසක්‌ වෙන දෙයක්‌ නෙවෙයි. විදේශ රටවලින් එන අය කවුරුවත් කතා කරන්නේ උතුරු නැගෙනහිර දෙමළ අය ගැන. මේ කවුරුවත් යාපනයෙන් එළවපු සිංහලයන් විසි එක්‌දහසක්‌ සිංහල ජනතාවට නැවත ආපසු ඔවුන්ගේ අයිතීන් ඉඩම් දෙන්න ඕන කියලා කතා කරන්නේ නැහැනේ. අපේ භික්‌ෂුන් වහන්සේලා ඝාතනය කළා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. පුරා වස්‌තු 276 ක්‌ උතුරේ තිබුණා. ඒවා ගොඩක්‌ විනාශ කරලා දෙමළ අය ඉල්ලපු විසඳුම දීලා ඉවරයි ආයෙත් ඒ ගැන කතාවක්‌ නැහැ. අද පාසල් පෙළ පොත් පවා වෙනස්‌ කරන්න උත්සහ කරනවා. සමහරුන්ට ඕන මේ රට හොඳ පෘට්‌ සැලඩ් එකක්‌ කරන්න , අපි ඒ ගැන හොඳ අවධියෙන් ඉන්නවා. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය අනුව අප නොබැඳි රටක්‌ ලෙස කටයුතු කළ යුතුයි. ඉන්දියාව සමග අපේ රටේ සම්බන්ධය ප්‍රවේශමෙන් කළ යුතුයි.

ඉන්දියාවේ බිහිවුණු නායකයන්ගේ ප්‍රතිපත්තිය අනුව තමයි ඒ රටේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වුණේ. ඉන්දියාව බෞද්ධත්වය පෙන්වා ගෙන වැරදි දේ කළ යුතු නැහැ. ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තිබිය යුතු වුවත් අනවශ්‍ය මැදිහත්වීම් හොඳ නැහැ, ඉක්‌ටා ගිවිසුම භයානක තත්ත්වයක්‌. ඉන්දියාව බිලියන හතක්‌ දීලා, ඒ දෙන ගමන් ඉක්‌ටා කොන්දේසි දැඩි කරනවා . අද ඉන්දියාවෙන් කොන්ඩේ රැවුල කපන්න පවා කට්‌ටිය ඇවිල්ලා. උතුරේ මැරුණු අය ලෙස වෙනත් පිරිස්‌ ලංකාවට ඇවිල්ලා පෙනී සිටිනවා. ඉන්දියාවෙන් එන මිනිස්‌සු යන්නේ නැතුව මෙහෙ ජීවත් වෙනවා. රටේ ජනතාව ගැනවත් හරියට තොරතුරු නැතුව කොහොමද ආණ්‌ඩුව මේවා අල්ලන්නෙ. අද පොලීසිය ආණ්‌ඩුව ආරක්‌ෂා කරනවා හැර ජනතාවවත් රටවත් ආරක්‌ෂා කරන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබුණු දේ නෙවෙයි මේ ආණ්‌ඩු අද කරන්නේ.

මට නම් අංක එක රට. රට නැතිවෙනවා නම් නිවන් දකින්න ඕනත් නැහැ මට. අපි අවුරුදු තිහක්‌ අවිනිශ්චිත ජීවිතයක්‌ ගෙව්වේ, නායකයෝ ඉතිහාසගත වෙන්නේ තමන් දෙස හෝ තමන්ගේ බලය සඳහා හෝ පරපුර ගැන හෝ බලලා ගන්න තීරණ මත නොව රට වෙනුවෙන් ගන්න තීරණ හින්දයි.

දේශපාලන මැච් එකේ ජනතාවයි රටයි පන්දුවක්‌ කරගන්න එපා , මගේ ශක්‌ති ප්‍රමාණයට වඩා මම රටට හමුදාවට බොහෝ දේ කරලා තිබෙනවා. හමුදාවට තරුණයෝ හොයලා දුන්නෙත් මම. ඒ නිසා රට තුළ සිදුවෙන හැමදේම මට දැනගන්න ලැබෙනවා. මේ රට යළිත් බෙදන්න දෙන්න බැහැ.

Related posts

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

2022 අයවැය යෝජනා

colombotoday

ලසන්ත ඝාතනය ගෝඨ පටලවන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්ධවම සාක්ෂි දී ගනී

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday