Gossip

මූදේ පාවෙන ‘වමනය‘ ගොඩකට කෝටි 32ක වටිනාකමක්.. පාවෙන රත්තරන් ලංකාවෙන් මතුවෙයි

ඔබ පාවෙන රත්තරන් (ප්ලොටින්ග් ගෝල්ඩ්) ගැන අසා තිබෙනවාද? රත්තරන් ගැන අසා ඇතත් රත්තරන් පාවීමක්‌ නම් අසා නැතුව ඇති.

පාවෙන රත්තරන් යනු පෙර පරිදිම සොබාදමේ අපූරු නිමැවුමකි. රත්තරන්වලටත් වඩා ඉහළ වටිනාකමකින් යුතු මේවා පාවෙන්නේ ලොව ඇති සාගරවලය. ඒත් සෑම සාගරයකම නොවේ, ඒවා හමුවීම ද දුර්ලභය.

ලොවේ වෙසෙන එක්‌තරා සත්වයකු විසින් වමාරා පිට කරන මහා දුර්ගන්ධයක්‌ ඇති ජරාජීර්ණ කළු පැහැ කුණු කන්දරාවක්‌ මෙම “පාවෙන රත්තරන්” යෑයි කීවොත් ඔබ මවිතයටද, පිළිකුල් සහගත තත්ත්වයට ද පත්වනු ඇත. මේ වගේ “ජරාවක්‌” මිනිසුන් කුමට ළංකර ගන්නේ දැයි ඔබ විමසනු ඇති. නමුදු සැබෑව නම් මිනිසා මේවා ළංකර ගැනීමට පමණක්‌ නොව ආහාරයට ගැනීමට පවා සූදානම් වී සිටීමයි. ඒ ඔබ අප වැනි සාමාන්‍ය මිනිසුන් නොවේය. ලොව ධන කුවේරයන්ය. රජුන්ය. රැජනන්ය. සුරූපිනියන්ය. තේජවන්තයන්ය.

මූලික අවස්‌ථාවේදී මහා අප්‍රසන්න, දුගඳින් යුතු පිළිකුල් සහගත ද්‍රව්‍යයක්‌ වූද, පසුව ලොවේ ඉහළම අගයක්‌ ගනු ලබන්නා වූද, පාවෙන රත්තරන් නිෂ්පාදනය කරනු ලබන්නේ ගැඹුරු සාගරයේ වෙසෙන යෝධ තල්මසා (SPERM WHALE) (ෆයිස්‌ටෘ මැක්‌රොසෙ පැලුස්‌) විසිනි. සැබැවින්ම එය ඉබේ නිෂ්පාදනය වන්නත්ය.

තල්මසා විසින් දිනපතා උගේ ආහාර සඳහා ගනු ලබන ටොන් ගණන් මසුන් අතරින් දැලිපොතු සහිත දැල්ලන් හා වෙනත් කවච සහිත සතුන්ගේ නොදිරන දැලි පොතු, කවච උගේ තල්ලේ කලක්‌ රැඳී ඒවා ඌට අපහසු මොහොතක දැවැන්ත ගුලි වශයෙන් ආපසු වමාරා දමයි. සෑම තල්මසකුටම නොව තල්මස්‌ ගහනයෙන් සියයට එකක (1%) පමණ තල්මසුනට මෙවන් බහිශ්‍රාවී (වමනය) තත්ත්වය ඇතිවන බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.

මෙම අප්‍රසන්න, දුගඳ, කළු, අලු පැහැ “වමනය කුට්‌ටිය” මුහුදට මුදාහැරි පසු මුහුදේ පාවෙමින් අපද්‍රව්‍යයක්‌ ලෙස ඔහේ වසර ගණන් ඇතැම් විට තිබෙයි. ඒවා “පාවෙන රත්තරන්” බවට පත්වන්නේ මිනිසාගේ නෙත ගැටුණු මොහොතේ සිටය. මිනිසා විසින් මිනිසාගේ ප්‍රයෝජනය වින්දනය සුඛ විහරණය උදෙසා මෙම ජරාජීර්ණ දුගඳ, කළු කුණු කන්දල පරිවර්තනය කරනු ලබන හෙයින් හා ඉන්පසු ලොවේ ඉහළම වටිනාකම් ඇති නිෂ්පාදනයන් බවට පත්වන හෙයින් මුහුදේ පාවෙන මෙම “තල්මස්‌ වමන ගුලියට” අපද්‍රව්‍යයට මිනිස්‌ දැසට, දැතට හසුවූ මොහොතේ සිට ඇත්තේ අපරිමිත වූ අසමාන වූ දැවැන්ත වටිනාකමකි. ඇතැම් විට එහි වටිනාකම ඩොලර් මිලියන හෝ බිලියන ගණනක්‌ වනු ඇත.

ඒ තරමටම මූල්‍ය වටිනාකමක්‌ මෙයට හිමිවී ඇත්තේ මෙම අපද්‍රව්‍යය යොදාගෙන එහි අඩංගු රසායනික සංයුතිය උපයෝගි කොටගෙන ලොව ඉහළම වටිනාකමක්‌ සහිත ඉහළම සුගන්ධයෙන් යුතු සුවඳ විලවුන් ද ඉහළම මිලැති වාජීකරණ ඔසුද තැනීමට භාවිත කරන හෙයිනි. ස්‌වාභාවිකව ඉතා දුලබව හමුවන හෙයින්ද, මුහුදේ දී දිගු කලක්‌ කැඩී බිඳී විනාශ වී, සුළු කොටස්‌ හමුවීම නිසාද එහි වටිනාකම තවත් ඉහළ යයි. ඇතැම් කොටස්‌ සුළු සුළු කොටස්‌වලට කැඩී බිඳී ගොස්‌ ලොව පුරා මුහුදු වෙරළවලට ගසාගෙන අවුත් තිබී ධීවරයනට හමුවෙයි.

මෙම අපද්‍රව්‍යයේ නාමය ලොව ප්‍රචලිත වී ඇත්තේ “ඇම්බර්ග්‍රීස්‌” (AMBER GRIS) “අළු ඇම්බර” (GREY) හෝ “අන්බර්” (ANBER) නැතිනම් “ඇම්බර්” (AMBER) “ඇම්බර” වශයෙනි. පාවෙන කුට්‌ටි වශයෙන් හෝ වෙරළේ ගසාගෙන ආ සුළු කොටස්‌ වශයෙන් හෝ මියගොස්‌ වෙරළට ගොඩ ගැසූ තල්මසුනගේ අතුණුබන් තුළ තිබී හෝ “ඇම්බර් ගී්‍රස්‌” ලොව කාට හෝ හමුවනු ඇත. ඇතැම්හු මේ පිළිබඳ නොදනිති. මැණික, කණාගේ පයෙහි හැපුණ ද නොදන්නා සේ බොහෝ දෙනකු නොදනිතත්, අත්දැකීම් සපිරි පැරැණි වැඩිහිටි ධීවරයෝ ද ජාවාරම්කරුවෝද මේවා දුටු පමණින්ම හඳුනා ගනිති.

දුරාතීතයේ ක්‌ලියෝපැට්‌රා වැනි සුරූපී රැජනන්, ඔගස්‌ටස්‌, ඩීසර් වැනි ප්‍රතාපවත් රජුන් භාවිත කළැයි ද තවත් බලවන්තයින්, සුරූපීන් භාවිත කළැයි ද පැවසෙන ඇම්බරවලින් නිපැයූ සුවඳ විලවුන් වාජීකරණ ඖෂධ අද දවසේ තවත් නිර්මාණය වෙමින් ඉහළම අගයන් හිමිකරගෙන සිටී.

අප අද දවසේ මෙපමණ වටිනාකමක්‌ ඇති “ඇම්බර්” පිළිබඳව ඔබ හමුවට දැනුම, අවබෝධය ගොනු කරන්නේ යම් සුවිශේෂීතාවක්‌ හේතුවෙන්ය. එනම් අප රටේද මේ මොහොතේදී රුපියල් කෝටි ගණනක්‌ වටිනා “ඇම්බර්” තොගයක්‌ හමුවී ඇති නිසාය. කිලෝවක්‌ රුපියල් කෝටියක්‌ පමණ මිල කළොත් ලැබී ඇති ඇම්බර කිලෝ තිස්‌ දෙකෙහි මිල පමණක්‌ කෝටි තිස්‌ දෙකක්‌ (32) වනු ඇත. “වැමෑරූ කුණු ගොඩකට එපමණ මුදලක්‌”….?

මෙම ඇම්බර් තොගය හමුවීම පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

පුත්තලම කල්පිටිය පෙදෙසේ ධීවර පිරිසක්‌ බෝට්‌ටුවක්‌ රැගෙන මුහුදු ගියේ වෙනදා පරිද්දෙන්ම සිය ජීවන වෘත්තිය වන මසුන් ඇල්ලීමටය. එදා දවස එතරම් සරු නොවූ නිසා ආපසු හැරී ගොඩබිමට ඒමට ඔවුහු සූදානම් වූහ. ආපසු එන අතරේ ධීවරයන්ගේ නෙත ගැටුනේ මුහුදේ පාවෙන කිසියම් දෙයක්‌ය. මුහුදේ පාවෙන කොතෙකුත් දැ ධීවරයන් දැක ඇතත් මේ පළපුරුදු ධීවරයන්ගේ නෙත්වලට මේ “පාවෙන දැ” යම් හඳුනා ගැනීමකට හසුකර ගැනීමට හැකි විය. ඔවුහු බෝට්‌ටුව ළං කර “පාවෙන ද්‍රව්‍යය” බෝට්‌ටුවට දමා ගත්හ. සැබැවින්ම ඒ ඔවුන් අනුමාන කළ ද්‍රව්‍යමය. දැඩි දුඟඳින් යුක්‌ත වුවත් ඒ තල්මසා විසින් පිට කළ “ඇම්බර” බව ඔවුහු හඳුනා ගත්හ.

ගොඩබිමට ගෙනා ඇම්බර තොගය ඔවුන් පිට කිරීමට සූදානම් වූවා පමණි. කල්පිටිය නාවික හමුදා පිරිස්‌ පැමිණ ඒවා අත්අඩංගුවට ගත්හ. පොලිසිය මාර්ගයෙන් ඇම්බර තොගය ද, ධීවර පිරිස්‌ද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

නාවික හමුදා පිරිසේ තර්කය වූයේ රජය සතු විය යුතු මෙම ද්‍රව්‍යය අන්සතුව පැවතීම නිසා තමන් ඒවාද, පිරිසද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එනිසා ඒවා රජය සතු කරන්නැයි ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති. එසේ වුවද ධීවර බෝට්‌ටු හිමියාද ඇම්බර සොයා ගත් ධීවර පිරිසද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පිරිසද පවසන්නේ මේවා තමන් සන්තක විය යුතු බවයි. මුහුදේ පාවෙන ද්‍රව්‍ය රජයට නොව හමුවන අය සතුවන නිසා ඒවා තමන් වෙත භාරදෙන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලති.

අධිකරණය කීප වතාවක්‌ මෙම නඩුව විභාග කොට අවසානයේදී තීන්දු ගැනීමට ප්‍රථම මෙකී ද්‍රව්‍ය සැබෑ ලෙසම හඳුනා ගැනීමට නාරා ආයතනය වෙත පර්යේෂණ පැවැත්වීමට භාරදීමට නියෝග කරන ලදී.

අප මේ සම්බන්ධව විද්වතුන්ගෙන් විමසා සිටි අවස්‌ථාවේදී පවසා සිටියේ මෙම මුහුදේ පාවෙන ද්‍රව්‍ය ඒවා හමුවන ධීවරයන් හෝ බෝට්‌ටු හිමියන් සතු වන බවයි. ඒවා මිල කිරීමට, විකිණීමට කිසිදු නෛතික බාධාවක්‌ නොමැති බවද ඔවුහු පවසා සිටියහ. එසේ වුවද අධිකරණය කිනම් වූ තීන්දුවක්‌ ලබා දේවිද යන්න තවමත් අපි නොදනිමු. උත්තරීතර අධිකරණයේ තීන්දුවට කවුරුත් එකඟ විය යුතුය. ගරු කළ යුතුය. කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාදාමයේ පවතින මෙම ඇම්බර තොගයට දැනටමත් දෙස්‌ විදෙස්‌ ගැනුම්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක ඉල්ලුම් ලැබෙමින් පවතින බැව්ද දැන ගැනීමට ලැබී තිබේ. අනේ තල්මසාගේ වමනයට ලැබුණු වටිනාකමක්‌…·

– දිවයින

Related posts

සුමධුර කවිබණ පදයෙන් සුවහස් හදවත් සනහාලූ බුද්ධ පුත්‍රයෙකුට ජීවිතය දෙමු (Video)

colombotoday

ආගමක් ගැන සිතූ ෆේස්බුක් නිර්මාතෘට බිරිදගේ ආගමට හිත යයි !

colombotoday

ජනපති ට්‍රම්ප්, කරන්න යන කතාව කාර් එකේදී පුහුණු වෙන්නේ මෙහෙමයි (Video)

colombotoday

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday

Facebook සටනක් ජයගනී.. Adm’s Peak ශ්‍රීපාදය වෙයි

colombotoday

ලොව හොඳම නිරූපිකා කිරුළ චුලක්ෂි රණතුංග දිනයි

colombotoday