Colombo Today Local NewsHot NewsNew Constitution

විදේශිකයන්ටත් මෙහෙ ඇවිත් ආගම, සංස්කෘතිය ප්‍රචාරයට අවසර.. නව ව්‍යවස්ථා නිර්දේශ මෙන්න

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා අගමැතිවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා පත් කළ අනුකාරක සභා හයේ වාර්තා මේවන විට එළි දක්වා ඇත.  වසර දහස් ගණනක් පුරාවට භූමිපුත්‍රයන් ලේ කදුළු හලා රැකගත් මාතෘ භූමියේ ඒකීය භාවයත්, වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් අප්‍රමාණ කැපකිරීම් මැද අඛණ්ඩව රැකගෙන ආ බුදු දහමත්, බුදු දහම පදනම් වූ සංස්කෘතිතියත්, සදාචාරයත් මේ භූමියෙන් අතුගා දැමීමට මෙරට මූලික නීතියෙන්ම හෙවත් ව්‍යවසථාවෙන්ම අවශ්‍ය පසුබිම සැකසෙන දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී යෝජනා ගොන්නක් මෙම අනුකාරක සභා වාර්තාවලින් නිර්දේශ කෙරී ඇත.

දශක ගණනාවක් පුරා දෙමළ බෙදුම්වාදීන් ඉල්ලූ සියළු ඉල්ලීම් ලබා දෙමින්, බලය බෙදන මුවාවෙන් රට කැබල කරන මෙහෙයුම එක පසෙකින් ක්‍රියාත්මක වෙත්දී,  ඉවැන්ජලික, ඉස්ලාම් මූලධර්මවාදී, එකි නොකී අන්‍යාගම්කරණ සැහැසි බලවේගවලට මේ රට ගිලගැනීමට මෙතෙක් කල් තිබූ බාධක සියල්ල ඉවත් කර  බුදු දහම, සිංහල බෞද්ධ සංස්කෘතිය මේ බිමෙන් තුරන් කරවීම සදහා අවශ්‍ය කෙරෙන ප්‍රතිපාදන නව ව්‍යවස්ථා නිර්දේශ තුලට සූක්ෂමව රිංගවා ගැනීමට ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ අරක්ගත්, මේ රටට, සංස්කෘතියට වෛරකරන  රාජ්‍ය නොවන සංවිධානවල, විදේශීය ඉවැන්ජලික බලවේගවල කොන්ත්‍රාක්කරුවන් සමත්ව ඇත.

අන්‍යාගම්කරණයට අවසරයි

“මූලික අයිතිවාසිකම් – Sub Committee on Fundamental Rights“ පිළිබද ව්‍යවස්ථා නිර්දේශ ඇතුළත් අනුකාරක සභා වාර්තාවේ, “ප්‍රසිද්ධියේ ආගම ඇදහීමේ නිදහස“ උප වගන්තියේ (1) යටතේ මෙසේ දක්වා ඇත.සෑම පුද්ගලයෙකුටම තනිව හෝ අන් අය සමග සාමුහිකව හෝ, පොදුවේ හෝ පෞද්ගලිකව හෝ එම පුද්ගලයාගේ ආගම හෝ විශ්වාසය වන්දනාමාන කිරීමේ, ඇදහීමේ, ව්‍යවහාරයේ, ප්‍රචාරණයේ සහ ඉගැන්වීමේ නිදහස සෑම පුද්ගලයෙකුටම/පුරවැසියෙකුටම හිමි වන්නේය

දැනට පවතින 78 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණේ පුරවැසියන් සදහා “ආගම ඇදහීමේ නිදහස“ පමණකි. ආගම ප්‍රචාරය හා ප්‍රවර්ධනයට එමගින් හිමිකම් ලබා දී නොතිබිණි. එබැවින් කවර හෝ ආගමක් එම ආගම නොඅදහන්නන් අතර ප්‍රචාරය, ප්‍රවර්ධනය නීති විරෝධි කටයුත්තක් වූ අතර එය සදාචාර විරෝධී ක්‍රියාවක් බවට සමාජ අර්ථකතනයක්ද විය.  කල්ලි කණ්ඩායම් ගැසී ගම් වැදුණු යොහෝවාගේ සාක්ෂිකරුවෝ ආදි මෙරට ආගමික සමගියට අකුල් හෙළන මූලධර්මවාදී කල්ලි පලවාහැරීමට, ඔවුන්ව වැළැක්වීමට (අන්‍යාගම්කරණයට එරෙහිව ප්‍රතිවිරෝධයක් එල්ල කිරීම) මහජනයාට හැකියාව ලැබී තිබෙන්නේ ව්‍යස්ථාවේ එම ප්‍රතිපාදන නිසාය. එම නීතිය ප්‍රකාරව, බෞද්ධ සංවිධාන මැදිහත්ව රාජ්‍ය නොවන (NGO) පුණ්‍යායතන මුවාවෙන් මෙරට ක්‍රියාත්මක වීමට උත්සහා කළ විදේශීය ඉවැන්ජලික කල්ලි කිහිපයක් නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කළ හා තහනම් කළ අවස්ථා කිහිපයක් ගැනද වාර්තා වෙයි.  (උදාහරණ –  “ක්‍රිස්තියානි සහනයේ දොරටවු යාච්ඤා මධ්‍යස්ථානය (2001). නිව් වයින් හාවස්ට් මිනිස්ට්‍රීස් (2003). ශාන්ත ප්‍රැන්සින් මෙන්සිජියන් සොයුරියන්ගේ ව්‍යාපාරය (2003) නමැති අන්‍යාගම්කරණ ව්‍යාපාර මෙරට ක්‍රියාත්මක වීම තහනම් කරමින් ලබා දුන් නඩු තීන්දු. : යොමුව)

ව්‍යවස්ථාවේ ඇති මෙම ප්‍රතිපාදන තවත් බළාත්මක කර “අන්‍යාගම්කරණය වැළැක්වීමේ පණත“ සම්මත කර බුදු දහමේ පැවැත්ම තහවුරු කරන්නැයි සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් පසුගිය සමයේ අරගල කළ ජාතික සංවිධානවල ප්‍රමුඛතම ඉල්ලීමක් විය.  එම ඉල්ලීම ප්‍රමුඛ කොට සලකමින් ජීවිත පරිත්‍යාගයක යෙදුණු බෝවත්තේ ඉන්දරතන හිමියන් අද බොහෝ දෙනෙකුට අමතකව ඇත.  ඒ සියලු පරිත්‍යාගයන් පාවා දෙමින් දැන් සිදුවන්නට යන්නේ බුද්ධාගමේ සුරක්ෂිතතාව වෙනුවෙන් පවතින ව්‍යස්ථාවේ සදහන් කර තිබූ වගන්ති පවා විකෘති කර අන්‍යාගම්කරණය සදහා මෙතෙක් තිබූ සියළු බාධක ඉවත් කිරීමයි.

පවතින ව්‍යවස්ථාවේ නව වැනි වගන්ති ප්‍රකාරව “බුද්ධශාසනය ප්‍රමුඛත්වයේ ලා සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේත් රාජ්‍ය නායකයාගේත් වගකීම“ යැයි වගන්තියක් වෙයි. එමෙන්ම ඓතිහාසිකව පිළිගත් සම්ප්‍රධායද එයම වෙයි.  බුද්ධාගමේ සුරක්ෂිතතාව වෙනුවෙන් එම වගන්තියෙන් සැළකිය යුතු කාර්යයක් නොවුවද ව්‍යවස්ථාවේ අඩංගුකර තිබූ ඉහත දැක්වූ ආකාරයේ (ආගම් ප්‍රචාරයට අවසර නොලැබෙන) වගන්ති බුද්ධාගමේ සහ බෞද්ධ ජනතාවගේ සුරක්ෂිතතාවයට බෙහෙවින් වැදගත් විය. එබැවින් මෙරට ක්‍රියාත්මක විදේශීය ආගම් කල්ලිවලට ක්‍රියාත්මක වීමට සිදුවූයේ යම් නීතිමය සීමාවන්ට යටත්වය.

බුද්ධාගමේ සහ මෙරට බෞද්ධ ජනතාවගේ මෙන්ම සෙසු සාම්ප්‍රධායික අන්‍ය ලබ්ධිකයන්ගේද ආරක්ෂාව පිණිස ව්‍යවස්ථාවෙන් යොදවා තිබූ එම ආරක්ෂක විදිවිධාන ඉවත් කිරීමට නිර්දේශ වී තිබෙන පසුබිමක “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා“ යන නාමික වගන්තිය පමණක්  ව්‍යවස්ථාවට ඇතුළත් වීමෙන් කිසිදු පලක් නොවනු ඇත.

එබැවින් නව ව්‍යවස්ථාවෙන් “බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය“ ඉවත් නොකරන්නේ යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් පුන පුනා කරන ප්‍රකාශය රටත්, මහා සංඝරත්නයක් නොමග යැවීම සදහා කරන ප්‍රකාශ යැයි සැලකීමට සිදුවේ.

ආගම/සංස්කෘතිය ප්‍රචාරයට විදේශිකයන්ටත් අවසරයි

නව ව්‍යවස්ථා නිර්දේශයෙන් සෑම පුද්ගලයෙකුටම/පුරවැසියෙකුටම තම සංස්කෘතිය භුක්තිවිදීමෙන් නොනැවතී මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමටද නිදහස ලබා දී ඇත. එමෙන්ම නිර්දේශයේ (35 පිටුවේ උපවගන්තිය (1) න් අදාල අයිතිවාසිකම් සදහා කිසිදු සීමාවක් පැනවිය නොහැකි බවටද සදහන් කර ඇත.

අනෙත් භයානකම කාරණය නම්, මෙම අයිතිවාසිකම මෙරට පුරවැසියන්ට පමණක් ලබාදීමෙන් නොනැවතී එම අයිතිවාසිකම් “පුරවැසියාට“ අමතරව “සෑම පුද්ගලයෙකුටම“ හිමි වන්නේ යැයි නිර්දේශ කර තිබීමයි. පුරවැසියාට අමතරව මේ කියන “පුද්ගලයා“ නම් පුරවැසියන් නොවන, විදේශිකයන්ය.

ඒ අනුව විදේශිකයන්ටත් මෙරටට පැමිණ ආගම්, සංස්කෘතිය (සමලිංගික, බහුලිංගික ඇතුළු සියළුම දහදුරා සංස්කෘතීන්) හිතූ හිතූ හැටියට ප්‍රචාරය කිරීමට, ඉගැන්වීම සිදුකිරීමට, ආගමික මධ්‍යස්ථාන ගොඩනැගීමට මෙරට ව්‍යවස්ථාවෙන් දොර විවර කර දීමට නීර්දේශ කර තිබේ.

මේ ආකාරයෙන් ව්‍යවස්ථා නිර්දේශයේ සෑම වගන්තියත් පාසාම ඇතුළත් කර ඇත්තේ මේ රට, සංස්කෘතිය, ආගම විනාශ කර මේ රට විජාතික කොළනියක් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන බලාත්මක කරන යෝජනාය.

මේවා කෙතරම් ද්‍රෝහී නිර්ලැජ්ජිත යෝජනාද.. තම රටේ මව් සංස්කෘතිය පිළිගන්නා, ආරක්ෂා කරන කිසිදු රටක්, ආගන්තුක සංස්කෘතීන් තම රටට බලහත්කාරයෙන් වද්දා නොගනී. මානව අයිතීන් හා ආගමික නිදහස ගැන අපට වැදිබණ දෙසන එංගලන්තයේ මෙන්ම ඇමරිකාවේද නායකයා විය හැක්කේ ක්‍රිස්තියානුවෙකුට පමණය.  ඇංග්ලිකන් ක්‍රිස්තියානිය, සහ සංස්කෘතිය ආරක්ෂා කිරීම බ්‍රිතාන්‍ය රජුගේ පරම වගකීමයි. ලූතරන් ක්‍රිස්තියානි නිකායේ නොවන්නෙකුට නෝර්වේ රටේ රජකම දැරීමට අවසර නැත. රජුගේ සනුහරයම ලූතරන් නිකායේ සාමාජිකයන් අනිවාර්ය වේ.  අනෙත් රටවලත් තත්ත්වය මෙයට වෙනස් නොවේ. සියළුම ක්‍රිස්තියානි රටවලත්, ඉස්ලාමීය රටවලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින්ම සිය පදනම් සංස්කෘතියේ, ආගමේ සුරක්ෂිතතාව වෙනුවෙන් දැඩි නීති කොන්දේසි පනවා තිබේ. එසේ තිබියදී උදේ සවස බටහිර ක්‍රිස්තියානි රටවල් වන්දනයේ යෙදෙන එම රටවලින්ම පූර්වාදර්ශ ගන්නා අක්මුල් සිදගත්තවුන් මෙරට ඓතිහාසික සංස්කෘතියත්, සංස්කෘතියේ පදනම් වූ ප්‍රධාන ආගමත් මෙරටින් අතුගා දමා විදේශීය සංස්කෘතීන්ට මෙරටට ප්‍රවිශ්ඨ වීමේ ඉඩකඩ විවර කරන අමන යෝජනා ව්‍යවස්ථවට නිර්දේශ කරන්නේ ලැජ්ජාවක් ඇතිවද.

මෙරට ක්‍රියාත්මක වන අන්‍යාගම්කරණ ක්‍රියාවලිය වඩාත් සංකිර්ණ වූවකි. දුප්පතුන් සදහා විවිධ වරදාන ලබා දීමේ සිට බලහත්කාරය යෙදවීම දක්වා විවිධ පරාසයක් ගන්නා මෙම විශම ක්‍රියාවලිය මේ වන විට සමාජ යහපැවැත්මට ප්‍රබල තර්ජණයක් වී අවසානය. මේ වනවිට (2017) ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් 400කට අධික ප්‍රමාණයක් රට පුරා විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මකව සිටිති. අතැම් බටහිර රටවල් තහනම් කර ඇති “සයන්ටොලොජ්“ වැනි සාපරාධී උන්මත්තක ආගමික කල්ලිද මෙරට තුළ හොර රහසේ ක්‍රියාත්මක වන බව හෙළිව ඇත. ඇමරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපය, දකුණු කොරියාව, ඇතුලු රටවල් කිහිපයක මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි බෞද්ධ මෙන්ම, හින්දු සහ සාම්ප්‍රධායික කිතුණු භක්තිකයන් බිලිබා ගැනීමට ක්‍රියාත්මක වෙද්දී, මැදපෙරදිග රටවල මූල්‍යාධාර සහිතව මෙරටට ගලා එන බිහිසුණු ඉස්ලාමීය මූලධර්මවාදී මතවාද මෙරට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය ගොදුරු කරගනිමින් ප්‍රචලිත කරමින් සිටින්නේ මුස්ලිම් නොවන සමාජයද පීඩනයට ලක් කරමිනි. ඒ වෙනුවෙන් සිය ගණනක් මූලධර්මවාදී සංවිධානද, සංචාරකයන් ලෙස මෙරටට පැමිණි අරාබි ඉස්ලාමීය පූජකයන්ද එළිපිට මෙන්ම හොර රහසේද ක්‍රියාත්මක වෙමින් සිටිති. පවතින ව්‍යස්ථාවෙන් ඉඩකඩ ලැබී ඇති පරිදි සීමාසහිත වූ පරාසයක් තුළත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මෙතරම් ප්‍රබලව සිදුවෙනවානම් යෝජිත නව ව්‍යවස්ථාවට නිර්දේශ කර ඇති පරිදි හිතූ හිතූ හැටියට විදේශික මූලධර්මවාදීන්ටත් මෙරටට පැමිණ නිදහසේ බඩ පිනුම් ගැසීමට මූලික නීතියෙන්ම අවසර ලබා දුන්නොත් කුමකින් කුමක් සිදුවෙයිද?

උපාය මාර්ගික වශයෙන් තීරණාත්මක තැනක පිහිට ශ්‍රී ලංකා රාජ්‍යය ව්‍යුහාත්මකව දුර්වල කර, රට දෙකඩ කර  ථෙරවාදී බුදු දහමත්, දහම මත පදනම් වූ අදීන සංස්කෘතියත් මේ භූමියෙන් අතුගා දමා මේ රට විජාතික කොළනියක් කිරීමට සියවස් ගණනාවක් තිස්සේ බටහිර අධිරාජ්‍යවාදීනුත්, අඩ සියවසක් තිස්සේ උන්ගේ අනුගාමික නිවට රැළත් දියත් කළ දීර්ගකාලීන මෙහෙයුම අවසාන අදියර පෙනෙන මානයට ලංවී අවසානය. සතුරා අවසාන ඉලක්කය ගනිමින් සිටී. අවදීවීමෙන් පමණක් නොනැවතී  නව ව්‍යවස්ථාව නමින් කෙටුම්පත් කෙරෙන ‘ජාතියේ මරණ වරෙන්තුව‘ උපන්ගෙයිම පරාජය කිරීමට එක්වන්නැයි අපි ඔබට ආයාචනය කර සිටිමු. එසේ නොවුනොත් හෙට අපේ රටත්,  ජාතියත්, ආගම දහමත්, සංස්කෘතියත්, අපේකමත් අපට අහිමිවනු ඇත.

– හර්ෂණ PT බණ්ඩාර

මූලික අයිතිවාසිකම් –  Fundamental Rights“ පිළිබද ව්‍යවස්ථා නිර්දේශ වාර්තාව මෙැතැනින්

නව ව්‍යවස්ථා නිර්දේශවලින් මේ රට විජාතික කොළනියක් වන හැටි – ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතාගේ දේශනය

Related posts

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday

ගසකට යටවී දරුවෙකු ජීවිතක්ශයට

Admin

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

colombotoday

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday