Colombo Today Local News

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

ජාතික මට්ටමින් හැකියාවක් නැතිනම් අන්තර්ජාතික මට්ටමින් හෝ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය ආපස්සට හැරවීමට ක්‍රියා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම්, වෛද්‍ය නවීන්ද ද සොයිසා මහතා කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගුණාත්මක බව රැකගැනීමට පෙරට එන සයිටම් විරෝධී සටනට මේ අයුරින් කඳුළු ගෑස් උණ්ඩ වලින් ප්‍රතිචාර දක්වන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි.

ඊයේ දිනයේ දී වෛද්‍යවරුන්ට, වෛද්‍ය සිසුන්ට එල්ල කරන ලද්දේ ඉතිහාසයේ ම්ලේච්ඡතම ප්‍රහාරය බවත්, එය දැඩිව හෙළාදකින බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

ඉකුත් රජය විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමේදී එහි ගුණාත්මකභාවය පිළිබඳ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කිසිවක් නොකී බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශය සිහිපත් කළ නවීන්ද ද සොයිසා මහතා කියා සිටියේ ඊට වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී තිබුණු බවයි.

තමන් විසින් දැඩිව පවසා සිටින්නේ සයිටම් සම්බන්ධයෙන් එකී වෛද්‍ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව යයිද, එකල තම සංගමය විසින් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට එරෙහි නොවූයේ එය වෛද්‍ය සභාව විසින් පිළිගත් බැවින් යයිද ඔහු සිහිපත් කළේය.

එම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය පිළිබඳ ගැටළු පවත්නේනම් දැන් එවක ආරක්ෂක ලේකම්වරයාද සේවයේ නොමැති බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බෙදා හළ මාධ්‍ය නිවේදනයක මෙසේද සඳහන්ය.

ඊයේ දිනයේදී රටේ අනාගතයට බලපාන, ප‍්‍රමිතියෙන්  යුතු වෛද්‍ය අධ්‍යාපනයක් හා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ආරක්ෂා කර ගැනීම  සඳහා වෛද්‍ය සිසුන් සාමකාමී උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදී.  මේ රටේ  ජනතාවට ලබා දෙන ගුණාත්මක සෞඛ්‍ය සේවය ලෝකයේ ඇගයීමට ලක් වූවකි. මෙරටින් බිහි වන වෛද්‍යවරුන්ට ලෝකයේ ඉහලම පිළිගැනීමක් ඇත. මේ කරුණු සඳහා බලපෑ ප‍්‍රධානතම සාධකය වනුයේ උසස් ප‍්‍රමිතියෙන් යුතු වෛද්‍ය අධ්‍යාපන ක‍්‍රමවේදයක් මේ රට තුළ ක‍්‍රියාත්මක වීමයි.

මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල සහ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය නියාමනය කරන ස්වාධීන උත්තරීතර ආයතනය වෛද්‍ය සභාවයි. වෛද්‍ය සභාවේ අනුමැතියෙන් තොරව වෛද්‍ය විද්‍යාලයක් පැවතිය නොහැකි මෙන්ම වෛද්‍යවරයෙකු ද බිහිවිය නොහැක. රටේ වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වෛද්‍ය විද්‍යාලයක් ලෝකයේ කොහෙවත් නැත. එවැනි ආයතනයක් කිසිදු රටක් පිළිගන්නේද නැත.

ප‍්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාල බිහිවූ රටවල් වලට අද ජාත්‍යන්තරයේ අත් වී ඇති තත්ත්වය ඉතාම කණගාටුදායකය. රටක් වශයෙන් ඉන්දියාවේ වෛද්‍යවරුන්ට හා වෛද්‍ය අධ්‍යාපනයේ  ප‍්‍රතිරූපයට අත්ව ඇති ඉරණම කනගාටුදායකය. මීට හොඳම උදාහරණය ඉන්දියාවයි. ඉන්දියාවේ සෞඛ්‍ය සේවය පිරිහී ඇති බව එරට සෞඛ්‍ය ලේකම්ම ප‍්‍රකාශ කිරීමට තරම් ඉන්දියාවේ සෞඛ්‍ය සේවය පහතට වැටී ඇත.  මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන්  මේ රටේ වෛද්‍ය  අධ්‍යාපනය ගැන  සහතික  දිය හැකි ඉහළම මණ්ඩල 03 ක්  දීර්ඝ  අධ්‍යයනයකින් පසු  ස්වාධීන පරික්ෂණ වාර්තා 03 ක් ඉදිරිපත් කර ඇත.  1. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කල ස්වාධීන පංච පුද්ගල විද්වත් කමිටුව  2. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පත්කල ස්වාධීන  විද්වත් මණ්ඩලය  3. ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල වල පීඨාධීපතිවරුන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයයි.

ඉහත විද්වත් මණ්ඩල 03 න්ම වාර්තා කර ඇත්තේ මාලඹේ  සයිටම් ආයතනයට වෛද්‍ය විදුහලක තිබිය යුතු  අවම ප‍්‍රමිතිය නොමැති බවත්, එම ආයතනයේ ප‍්‍රමිතියෙන් යුත් වෛද්‍යවරුන් බිහිවිය නොහැකි බවත්ය. මේ ප‍්‍රකාශ කරනුයේ වෛද්‍ය අධ්‍යාපනය ගැන වාර්තාවක් ලබා දිය හැකි මේ රටේ පවතින ඉහළම විද්වත් මණ්ඩල මගින් බව අමතක නොකළ යුතුය. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව මනාව අවබෝධ වේ. රෝගී ජීවිත අනතුරේ දැමීමට නොහැකි බව බලධාරින් තේරුම් ගත යුතුය.  වෛද්‍ය සිසුන් අද සාමකාමී උද්ඝෝෂණ, විරෝධතා දියත් කර ඇත්තේ රටේ ප‍්‍රමිතියෙන් යුතු ගුණාත්මක  වෛද්‍ය අධ්‍යාපනයත්,  සෞඛ්‍ය සේවයත් ආරක්ෂා කර ගැනිම සඳහා රජයට බල කිරීමටයි.

මේ මගින් මේ රටේ ජනතාවට ගුණාත්මකභාවයෙන් යුත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇත.  මේ සටනේ  අවසන් ප‍්‍රතිලාභය වනුයේ රෝගීන්ගේ ජීවත්වීමේ අයිතිවාසිකම සුරක්ෂිත වීමයි. වෛද්‍ය සිසුන්ගේ ඉල්ලිම වනුයේ ගුණාත්මකභාවයෙන් හා ප‍්‍රමිතියෙන් තොර මාලඹේ සයිටම් ආයතනය  කුමන්ත‍්‍රණකාරී ලෙස නීති ගත කිරීමේ උත්සාහය පරාජය කරන ලෙසයි. එය ඔවුන්ගේ සාමකාමී සාධාරණ ඉල්ලීමකි. මේ අනුව මේ රටේ ගුණාත්මක හා ප‍්‍රමිතියෙන් යුත් වෛද්‍ය අධ්‍යාපයනය රැක ගනිමින් රෝගි අයිතිවාසිකම් සුරැකීමට වෛද්‍ය සිසුන් කරන සාමකාමී උද්ඝෝෂණ වලට පොලීසිය අමානුෂික ලෙසට පහර දීමත් ඔවුන්ව  අත්අංඞගුවට ගැනීමත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි ලෙස  හෙලා දකින බව  අවධාරණය කරමු.

එසේම රෝගී අයිතිවාසිකම් සුරැකීමටත්, වෛද්‍ය අධ්‍යාපනයේ  ප‍්‍රමිතිය ආරක්ෂා කර ගැනීමටත්  ගත හැකි සෑම පියවරක්ම ගැනීමට  අපි කටයුතු කරමු.  අපි ඉටු කරනුයේ  මේ රටට අපෙන් ඉටුවිය යුතු යුතුකමයි. එය අපගේ වගකිමයි.  ස්තූතියි,

Related posts

ජනපති මෛත්‍රීට අවුරුදු හයම බලයේ සිටිය හැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි…

colombotoday

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday

තවදුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ – ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

පොලිස්පතිවරයාට විතරක් නෙවෙයි අල්ලා දෙවියන්ටත් පැමිණිල්ලේ කොපියක් යවන්න – ඥානසාර හිමි

colombotoday

SAITM තාවකාලිකව අත්හිටුවක්.. රජයේ තීරණය දැනුම් දෙයි !

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday