Colombo Today Local News

දේශපාලන අස්ථාවරය මැද ආර්ථික අපහසුකම් නිසා රට හැරදා යාමට තරුණ පිරිස් පෝලිමේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරට හැරදා විදේශීය රටවලට යාම සඳහා ගත වූ පසුගිය මාස 9 තුළදී පමණක් ශ්‍රී ලංකික පුරවැසියන් එක් ලක්ෂ හැටදහස් එකසිය පනස් අට (1,60,158) දෙනෙකු අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඔක්තෝබර් මස 5 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ දින 9ට පමණක් එක්දින සේවා මෙන්ම සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර 16,700ක් පමණ නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මෙහිදී එක්දින සේවාව යටතේ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් නිකුත්කර ඇත්තේ සංචරණ සිමා පනවා තිබු පසුගිය සැප්තැම්බර් මාසයේදී බව එම දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණයන්හි සඳහන් වෙයි.

එම සංඛ්‍යාව 16,145ක් ලෙස සටහන් වන අතර මෙයට පෙර එම සංඛ්‍යාවට ආසන්න ලෙස විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ පසුගිය 2020 වසරේ ජනවාරි මාසයේදීය.ඒ 15,419ක් ලෙසයි.

මෙලෙස අලුතින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා බොහෝ පිරිසක් විදේශ රැකියා,අධ්‍යාපන කටයුතු මෙන්ම ස්ථිර පදිංචිය සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින අයවලුන් බව අනාවරණය වී තිබේ.

ඇමරිකානු රජය මගින් ක්‍රියාත්මක වන ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමයට අයැදුම් කිරීමත්,මේ දිනවල රැකියා අවස්ථා ලබා දෙන රුමේනියාව,මැදපෙරදිග ඇතුළු රටවලට පිවිසීමේ අරමුණින් මෙලෙස වැඩි වශයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන බව අප කල සොයා බැලීමේදී හෙළිවිය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා ප්‍රකාශ කළේ මෙලෙස විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා බොහෝ පිරිසක් වයස අවුරුදු 20ත් 30ත් අතර පසු වෙන තරුණ පිරිස් බවයි.

මේ දිනවල විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පිරිසේ නොසිතු ලෙස වැඩි වීමක් දක්නට ඇති බැවින් එක්දින
සේවාවේ ඉල්ලුමේ තරමට ගමන් බලපත්‍ර ලබා දීමට අසීරු වී තිබේ.

එම නිසා මේ දිනවල පවතින අධික තද බදය අවම කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඔබට කැමති දිනයක් හා වෙලාවක් වෙන්කරගෙන විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

2020 වසර තුළදී විදේශ ගමන් බලපත්‍ර දෙලක්ෂ හත්දහස් හයසිය අනු හතක් (2,07697) නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

මෙහිදී අප කළ විමසුමකදී බොහෝ පිරිසක් ප්‍රකාශ කළේ රටේ පවතින දේශපාලන අස්ථාවර භාවය,ආර්ථිකඅපහසුතාවය, මෙරට රැකියා අවස්ථා නොමැතිවීම,කොවිඩ් වසංගත තත්වය නිසා රැකියා අහිමිවීම මෙන්ම අධික ලෙස ඉහළයන භාණ්ඩ මිළ නිසා ජීවත්වීමට නොහැකි වීම හේතුවෙන් විදේශගත වන බවයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කිරීම අගොස්තු 11… ගෝඨා ට වෙන දේ මෙන්න

colombotoday

විපක්ෂ නායකකම භාරගත් හේතුව මහින්ද කියයි…

colombotoday