Colombo Today Local News

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙලට රාජ්‍ය නායකයින් 17ක්

මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙහි සමාරම්භක උත්සවය මැයි මස 12 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර සමාප්ති උළෙල මැයි මස 14 වන දින මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වෙන බවද ඇමතිවරයා පැවසුවේ අද (19) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාය. එහි සමාප්ති උළෙල නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවී බණ්ඩාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද ඇමති විජේදාස රාජපක්ෂ මහතා කීය.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන බෞද්ධ සමළුවේ තේමාව ”සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගාන්වීම්” යන්නය.

බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන මෙන් එවකට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයාව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාව 1999දී එම සංවිධානය විසින් අනුමත කරනු ලැබීය. ඒ අනුව 2002 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ජාත්‍යන්තර නිවාඩු දිනය ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවක් තායිලන්තය කේන්ද්‍රකොට පිහිටුවනු ලැබීය. එතැන් පටන් ලෝකයේ විවිධ රටවල සහභාගීත්වයෙන් සෑම වසරකම එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය මේ වන විට 11 වතාවක් තායිලන්තයේ ද, දෙවතාවක් වියට්නාමයේද පවත්වා ඇත.

පසුගිය වසරේ තායිලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගී වූ අවස්ථාවේ, මීළඟ උළෙල ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස තමා ඉල්ලා සිටි අතර එයට අනුමැතිය ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදා වූ බවද ඇමති විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන බෞද්ධ සමළුවේදී මැයි 13 වනදා බෞද්ධ සන්නිවේදකයින්ගේ සම්මන්ත්‍රණයක් ද සංවිධානයකොට තිබේ. මෙයට අමතරව මේ නිමිත්තෙන් ගංඟාරාමය, බෞද්ධයා නාලිකාව සහ තවත් ආයතන ගණනාවක් මඟින් වෙසක් කළාප හා බෞද්ධ පෙරහැරවල් පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

මෙම මාධය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීතීඥ නිමල් බෝපගේ මහතා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල නිමිත්තෙන් සියළුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරක වැඩපිළිවෙලක් (19) මධ්‍යම රාත්‍රි‍යේ සිට දියත් කිරීමට කටයුතු යොදා ඇති බවත් එයට සියළුම මාධ්‍ය ආයතනවල දායකත්වය හා සහයෝගය ඉල්ලා සිටින බව කීය.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගණනාවක්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Related posts

විරෝධතාකරුවන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

දේශය නැවත ගොඩ නැගීම උදෙසා හෙළ සුර්ය වංශය ජාතික සංවිධානය පිහිටුවේ…

colombotoday

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

colombotoday

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 6000 ඉක්මවයි – අවසන් දින 9ට ආසාදිතයින් 1000ක්

colombotoday