Colombo Today Local News

‘මේ පාර හිරෙ යනවනම් යන්නෙ තනියම නෙවෙයි‘ – ඥාණසාර හිමි සමග රහසිගතව කළ සාකච්ඡාව

අපි එහි යනවිට උන්වහන්සේ ඇඳි පුටුවකට බරදී අප එන දෙස සිනාමුසු මුහුණෙන් යුක්‌තව බලාගෙන සිටියහ. වෙනදා මෙන්ම ගරු ගාම්භීරත්වයක්‌ උන්වහන්සේගෙන් දිස්‌ වුවත් ඒ තුළ යම් විඩාබර ගතියක්‌ දිස්‌ නොවුණා නොවේ. වෙනදා උන්වහන්සේ බැහැදකින අප යන කෝට්‌ටේ පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානය හෝ නාරාහේන්පිට බෝධි බෞද්ධ මන්දිරය නොවන ස්‌ථානයකදී සිදුවූ මෙම හමුවීම අපහට යම් වෙනසක්‌ එක්‌ කළේ අන්‍යයන්ගේ ඇස නොගැටෙන ලෙස ස්‌වාමීන්වහන්සේ නමක්‌ හමුවීමට ගිය පළමු අවස්‌ථාව එය වීම නිසාය. කාර්යාලයීය වාහනයක්‌ අනතුරුව කාර් රථයක්‌ සහ යතුරුපැදියක්‌ මගින් අපි එහි පැමිණියේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ බැහැදැක සම්මුඛ සාකච්ඡාවක්‌ අපේක්‌ෂාවෙනි. මතු දැක්‌වෙනුයේ උන්වහන්සේ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- අවසරයි අපේ හාමුදුරුවනේ· අසනීපයෙන් වගේ ඉන්නේ.

පිළිතුර:- පසුගිය දවස්‌වල සෑහෙන වැඩ තිබුණනේ. දවස්‌ දෙකක වගේ ඉඳලා උණ ගැනිලා තියෙන්නේ. ලෙඩ දුක්‌ ඉතින් අපි කාටත් පොදුයිනේ.

ප්‍රශ්නය:- ඒකනම් ඇත්ත තමයි හාමුදුරුවනේ. ලෙඩක්‌ දුකක්‌ හැදුන නම් මෙහෙ වැඩ ඉන්නෙ නැතිව රෝහලක්‌ වෙත යොමු වුණානම් හොඳ නැද්ද?

පිළිතුර:- බෙහෙත් අරගත්තා. තව දවස්‌ දෙක තුනක්‌ යනකොට අඩුවේවි.

ප්‍රශ්නය:- ඒ වුණාට මට නම් පේන්නේ අපේ හාමුදුරුවෝ හැංගිමුත්තං සෙල්ලමක්‌ කරනවා වගෙයි.

පිළිතුර:- මට හැංගෙන්නවත් හංගන්නවත් කිසිම කාරණයක්‌ නැහැ. මොකද මම මගේ ප්‍රකාශයන්, කටයුතු කරන්නේ එළිපිට නිසා. අපේ මහානායක හාමුදුරුවෝ ඉදිරිපිට හෝ වේවා, රටේ නායකයන් ළඟ හෝ වේවා මාධ්‍ය ඉස්‌සරහ හෝ වේවා මම කටයුතු කරන්නේ එළිපිට. මගේ හදවතේ ඇතිවෙන භාවයන් මම එළිදක්‌වන්නේ එළිපිටමයි. මට බයක්‌ නොදැනෙන්නේ මම ඇත්ත වෙනුවෙන් පෙනී සිටින නිසයි. සත්‍යවාදී මිනිස්‌සු හැංගෙන්නෙවත් බය වෙන්නෙවත් නැහැ.

ප්‍රශ්නය:- එහෙනම් අපේ හාමුදුරුවෝ අද මෙතැන වැඩ ඉන්නේ කුමන හේතුවක්‌ නිසාද?

පිළිතුර:- අපි අවනීතියට එරෙහිව සටන් කළ යුතුයි. ඒක මේ හිතුන හිතුන විදිහට කරන්න පුළුවන්කමක්‌ නැහැ. අපි උදාර අරමුණක්‌ වෙනුවෙන් පෙනී සිටිනවා නම් එය මුදුන් පමුණුවා ගන්න නිවැරදිව කටයුතු කළ යුතුයි. මේ එවැනි අවස්‌ථාවක්‌ කියල කිව්වොත් එය නිවැරදියි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ පසුගියදා පොලිසිය අත්අඩංගුවට ගන්න ප්‍රයත්න කළා. අත්අඩංගුවට පත්වීමෙන් වළකී ඉන්න ඔබවහන්සේ හැංගිලා ඉන්නවා කියල තමයි සඳහන් වෙන්නේ.

පිළිතුර:- අත්අඩංගුවට පත්වෙන්නවත්, හිරේ යන්නවත් එහෙම නැත්නම් අපවත් වෙන්නවත් බය හාමුදුරු කෙනෙක්‌ නොවෙයි මම. කොයි දේකත් ක්‍රමයක්‌ තියෙන්න ඕනෑ. අන්තවාදීන්ගේ සිත් සතන් සතුටු කරන්න නිකන් බල්ලෝ බළල්ලු වගේ අත්අඩංගුවට ගන්න දෙන්න බැහැ.

ප්‍රශ්නය:- මට නම් පේන්නේ ඔබ වහන්සේ හිරේ යන්න පොඩි බයක්‌ තියෙනවා වගේ.

පිළිතුර:- මම ඉස්‌සෙල්ලත් කිව්වනේ හිරේ යන්න මම භය නැහැ. මට හිරගෙදර අලුත් තැනක්‌ නෙමෙයි. ගිය පාර මම බන්ධනාගාරෙට වැඩම කරනකොට සිරකරුවන් සාදුකාර දුන්නා. හැබැයි පුතෝ මම දෙයක්‌ කියන්න ඕන. මේ පාර මම හිරේ යනවා නම් යන්නේ විග්නේෂ්වරන් හරි අසාද් සාලි හරි, මුජිබර් රහුමාන් හරි, රිෂාඩ් බදියුදීන් හරි, රවුෆ් හකීම් වැනි කෙනෙක්‌ එක්‌කගෙන තමයි.

ප්‍රශ්නය:- හොඳයි ඔබවහන්සේ නුවර සත්‍යග්‍රහයක්‌ පවත්වන්න කටයුතු කළා. ඊට හේතුවුණේ කුමක්‌ද?

පිළිතුර:- ලංකාවේ බුද්ධ භෝග තියෙන්නේ. අන්‍යාගමික අන්තවාදීන් මේ සියල්ල විනාශ කරනවා. පුරාවස්‌තු විනාශ කරනවා. නමුත් මේ ගැන වගේ වගක්‌ නැතිව අපේ මහානායක හිමිවරු උඩ බලන් ඉන්නවා. මේ ප්‍රශ්න විසඳන්න ලියුම් කඩදාසි ලියලා පාලකයන්ට යෑවීම පමණක්‌ ප්‍රමාණවත් නැහැ. අපේ මහානායක හිමිවරු මේ ගැන බලන්නෙත් නැහැ. පන්සල්වලින් එළියට බහින්නෙත් නැහැ. මේ ගැන අපි මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිට සැළකළා. උන්වහන්සේ එය පිළිගත්තා. වර්තමාන රජය යටතේ ඉස්‌ලාමීය වහාබ්වාදී බලවේග ඕනවටත් වඩා දඟලන්න පටන්ගෙන තියෙනවා පමණක්‌ නොවෙයි ඔවුන් ගේ ක්‍රියාකාරකම් දැඩි කර තිබෙනවා. ඔවුන් පුරාවස්‌තු සංහාරය, ඉඩම් බලෙන් අත්පත්කර ගැනීම් ඒ වගේම හොර ඔප්පු හැදීම, මුස්‌ලිම් කලාප ඇතිකිරීම. තුර්කිය, ඉරාකය, සවුදිය වැනි රටවලින් අසීමාන්තික මුදල් ගෙනවිත් රාජ්‍ය නිලධාරින්ට, දේශපාලනඥයන්ට අල්ලස්‌ දීලා. ඔවුන්ගේ හයිය පෙන්නල අපේ සියල්ල නසමින් ඉන්නවා. මේ අපරාධය අප විතරක්‌ කෑ ගහලා නතර කරන්න වුවමනාවක්‌ නැහැ. බුද්ධභෝග වළඳන මූලස්‌ථාන උදවියගේ ඇස්‌ කන් අරවන්න අදහසින් තමයි ඔය දේ කළේ.

ප්‍රශ්නය:- හාමුදුරුවෝ සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්‌ථාව වනවිට රටේ තැන් තැන්වල යම් යම් කලකෝලාහල සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

ප්‍රශ්නය:- අපි එහෙ සත්‍යග්‍රහය ආරම්භ කරනවිට තැන් තැන්වල ප්‍රශ්න ඇති වුණාලු. ඒ අපේ වුවමනාව මත සිදුවූ දේවල් නෙමෙයි. මෙතන ප්‍රශ්නය ඕක නෙමෙයි. එහෙම කුමන හෝ දෙයක්‌ සිදුවුණහම අපේ අගමැතිලගේ සමහර මැති ඇමැතින්ගේ පුටු රත්වීමයි. අපි අවුරුදු ගණනක සිට පෙන්වා දෙන නැගෙනහිර පුරාවස්‌තු සංහාරය ඇතුළු රට සිව්දෙස සිදුවන මුස්‌ලිම් අන්තවාදී කටයුතු පිළිබඳ මේ කාගෙවත් මේ වනතෙක්‌ ඒ පුටු රත්වුණේ නම් නැහැ. අඩුගානේ ඒ ගැන ප්‍රකාශයක්‌වත් නැහැ. මම තව දෙයක්‌ කියන්න ඕන. අපි කුමන හෝ කෝලාහලයක්‌ අනුමත කරන්නේ නැහැ. ඒවාට උල්පන්දම් දෙන්නෙත් නැහැ. අන්තවාදීන්ම ඒ දේවල් කරගෙන එය අපේ ගිණුමට බැර කරන්න කටයුතු කරනවා වෙන්න පුළුවන්.

ප්‍රශ්නය:- මහානායක හිමිවරු ඇතුළු වගකිවයුත්තන්ගේ ඇස්‌ අරවන්න සත්‍යග්‍රහයක්‌ ආරම්භ කළාට එය පැය කිහිපයකට පමණක්‌ සීමාවුණා. ඒ දේ එහෙම වුණේ ඔය කියන පිරිසගේ ඇස්‌ අරුණු නිසාද?

පිළිතුර:- නැහැ… නැහැ. නැහැ. අපිට එතනදි පොඩි වැරදීමක්‌ වුණා. මේ සති තුන තුළ මල්වතු අස්‌ගිරි මහ විහාර දෙකේම අවුරුද්දකට වතාවක්‌ පැවැත්වෙන උපසම්පදා මහෝත්සවය පැවැත්වෙනවා. අපි මෙතන ඉන්න එක ඒ කටයුතුවලට බාධාවක්‌ බව වැටහුණා. අනුනායක හිමි මේ තීරණය ගැන සලකා බලන්න කිව්වා. ඒ නිසා අපි අපේ තීරණය ඉවතට ගත්තා.

ප්‍රශ්නය:- ඒ කියන්නේ ඔබවහන්සේ ආපසු සත්‍යග්‍රහයට අවතීර්ණ වේවි කියලා නේද?

පිළිතුර:- ඒ දේ වෙන්න පුළුවන් අපි ඉදිරිය දෙස බලාගෙන ඉමු.

ප්‍රශ්නය:- ඔබ වහන්සේ අත්අඩංගුවට ගන්න යන බව පැවසෙනවා. අත්අඩංගුවට ගන්න හේතුව කුමක්‌ද?

පිළිතූර:- ඒක තමයි තියෙන ප්‍රශ්නය. හේතුව මම දන්නේ නැහැ. පොලිස්‌පතිතුමාට මාව මුණගැහෙන්න වුවමනාවෙන් ඉන්නවා කියලා පසුගිය 19 වැනිදා මට ආරක්‌ෂක අංශ විසින් දුරකථන ඇමතුමක්‌ දෙනවා. එදිනම ආරක්‌ෂක ලේකම්තුමාටත් මාව මුණගැහෙන්න ඕන කියලා ඇමැතුම් එනවා. පසුව සිවිල් ඇඳුමෙන් ආපසු පුද්ගලයෝ සිවු දෙනෙක්‌ අපේ පන්සලට ඇවිත් මාව මුණගැහෙන්න අවශ්‍ය බව කියනවා.

ප්‍රශ්නය:- ඒ කවුරුන්ද හමුදුරුවනේ? ආරක්‌ෂක අංශයේ අයද?

පිළිතුර:- මම හිතන්නේ අපරාධ කොට්‌ඨාස නිලධාරීන් වෙන්න ඕනෑ. මම සාකච්ඡාවක හිටි නිසා මුණගැහෙන්න බැරිවුණා. 19 වැනිදා රාත්‍රියේ පොලිස්‌ වාහන සහ නිලධාරීන් පන්සල වටේ නතර කරලා තිබුණා.

ප්‍රශ්නය:- ඔය කියන 19 වැනිදා සුළු ජාතික දේශපාලනඥයින් පිsරිසක්‌ ජනාධිපති, අගමැති සහ, පොලිස්‌පතිතුමන්ව මුණගැසී යම් ඉල්ලීමක්‌ කර තිබූ බව පැවැසෙනවා නේද?

පිළිතුර:- රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, මුජිබර් රහුමාන්, වගේ අය ගිහින් මාව වහාම අත්අඩංගුවට නොගත්තොත් ආණ්‌ඩුවෙන් යනවා කියලා පොලිස්‌පතිතුමාට කියලා තිබෙන බව අපටත් වාර්තා වුණා. ඉස්‌පසු ඔවුන් අගමැති, ජනාධිපති හමුවී තිබෙනවා. මාව වහාම අත්අඩංගුවට ගන්න කියලා ජනපති අගමැති නියෝග කළාලු. මේ සිද්ධි පෙළගැස්‌මත් සමඟ මොකක්‌ හෝ ෙ නාවිය යුත්තක්‌ සිදුවෙමින් තබෙනවා. කලුතර බන්ධනාගාර සිද්ධියේදීත් වෙඩි තියන්න ඇවිත් තිබුණේ පොලිස්‌ ඇඳුමෙන් සැරසී සිරි පිරිසක්‌. අපි කෝකටත් ටිකක්‌ පරිස්‌සම් වුණා.

ප්‍රශ්නය:- පසුගිය 20 වැනි සෙනසුරාදා කොස්‌කැලේදී කුමක්‌ද සිදුවුණේ.?

පිළිතුර:- එදා අපි මහනුවර උපසම්පදා උත්සවයට සහභාගි වෙලා ඉබ්බාගමුවේ බණකටත් වැඩම කර රාත්‍රියේ කොළඹ වඩින විට කුරුණෑගල කොස්‌කැලේ කොරයාය කියන රක්‌ෂිත ප්‍රදේශයේ මුස්‌ලිම් ගමක්‌ මැද ආරක්‌ෂක අංශ අපිව නතර කළා. අපිව නතර කළේ අපි හරියට මහා භයානක ත්‍රස්‌තවාදියකු, මහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු අල්ලන විදිහටයි. වැලි ලොරි, බස්‌ රථ හරස්‌ කර ලයි අපේ වාහන නතර කළේ. පොලිසියෙන් දෙතුන් සියයක්‌ එතන හිටියා. මෙම ඒ අයගෙන් විමසුවා මාව අත්අඩංගුවට ගන්න යන හේතුව .

ප්‍රශ්නය :- වරෙන්තුවක්‌ ඉදිරිපත් කළේ නැද්ද?

පිළිතුර :- ඒ මොකක්‌වත් නැහැ. ඒ අය කිව්වේ පොඩ්ඩක්‌ කතා කරන්න ඕන බව. මගෙත් සමඟ කතා කරන්න පොලිස්‌ නිලදාරීන් තුන් හාරසියක්‌ ඕන නැහැනේ. සිදු නොවිය යුත්තක්‌ වන බව අපට තේරුණා. අපි ඇත්ත කථා කරන නිසා සමහරුන්ට රිදෙන්න පුළුවන්. එහෙම වුණා කියලා මට විතරක්‌ නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. එහෙනම් රට වනසන අයට මට කලින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ.

ප්‍රශ්නය :- මේ මතුව ඇති අර්බුදය ගැන ජනාධිපතිවරයා දැනුවත් කරන්න කටයුතු කළේ නැද්ද?

පිළිතුර :- පසුගිය දවස්‌ කිහිපයේදී සිදුවීම් ගැන කතා කරන්න බැරි වුණා. නමුත් අපි ඊට කලින් එතුමව හමුවුණා. එතුමා පාර්ශ්ව ගණනාවක්‌ අපි හා සාකච්ඡාවට එක මේසයකට කැඳවූවා. විධිමත් වැඩපිළිවෙළක්‌ ඒ සඳහා හැදුවා. මේ දේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලේදීවත් සිදුවුණේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරීන්ට වගකීම් පැවරුවා.

ප්‍රශ්නය :- එහෙමනම් මේ වනවිට ප්‍රශ්න ගොඩක්‌ විසඳෙන්න ඕන නේද හාමුදුරුවනේ.

පිළිතුර :- නැහැ. ඒකට මොකද දන්නවද වුණේ. පසුව අගමැතිතුමා එම නිලධාරීන්ව කැඳවලා ඒ දේවල් කරන්න ඕන නැහැ කියල උපදෙස්‌ දීලා තිබුණා. අකිල විරාඡ් ඇමැතිවරයා කියන ලෙස වැඩ කරන්න කියල වගකීම් පවරා තිබුණා. මේ නිසා ජනාධිපතිතුමාගේ උත්සාහය ප්‍රතිඵල රහිත වුණා. ඇත්ත කතාව එයයි.

ප්‍රශ්නය :- ඔබ වහන්සේලා මහින්ද රාජපක්‍ෂ රජයට හිතවත් කටයුතු කළ සංවිධානයක්‌, ඒ රජය තුළින් මේ ප්‍රශ්න විස¹ ගන්න බැරි වුණේ ඇයි?

පිළිතුර :- සංස්‌කෘතික ඝාතන කල්ලි ගැන අපි දිගින් දිගටම හඬනගද්දී එදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත්තේ එම කල්ලිවල පැත්තයි. ඔහු කිව්වේ මහින්ද රාජපක්‍ෂ රජය සුළු ජාතීන්ට හිරිහැර කරන බවයි. අපි ජාතිවාදී ආගම්වාදී කිය කිය එදත් ඔහු අපට චෝදනා කළා. අද කරන්නෙත් ඒ දේම තමයි. අපිව අත්අඩංගුවට ගත් පසු මේ ප්‍රශ්නය විසඳෙනවා නම් අපි හිරබත් කන්නම්. නමුත් මෙය එහෙම විසඳන්න හැකි ප්‍රශ්නයක්‌ නෙමෙයිනේ.

ප්‍රශ්නය :- කිසිදු රජයක්‌ යටතේදීවත් ඔබ වහන්සේලාට මේ ගැටලුව විස¹ගන්න බැරිවෙලා නේද?

පිළිතුර :- මෙය රටේ කරුමය තමයි. අපි මේ සටන් කරන්නේ අපේ පෞද්ගලික දෙයක්‌ රැක ගන්නද නැහැනේ… අද රටේ බොහෝ ප්‍රදේශවල සිංහල මහ ජාතිය සුළුතර වෙලා.

පළමුව නැගෙනහිරට ආවේ මුස්‌ලිම් ජනතාව ද දීඝවාපිය ද අම්පාරට පළමු මානික්‌කමඩු ද මුස්‌ලිම් අයද, ඔවුන් අපේ පුරාවස්‌තු බිම් අත්පත් කර ගෙන ඉන්නවා. ඒවා අපි ඉල්ලගන්න ගිය පසු ඔවුන් කියන්නේ ඒවා ඔවුන්ගේ ප්‍රදේශ බවයි. බුදුන් වැඩම කළ ඓතිහාසික දීඝවාපියට අයත් වූ අක්‌කර දොළොස්‌දහස්‌ හත්සිය පනස්‌ දෙකක්‌ තිබුණා. අද තියෙන්නේ අක්‌කර පන්සිය පනහයි. එතකොට ඒ නැති වූ බිම් අල්ලගත්තේa කවුද? මේ වගේම මානික්‌කමඩු ද මුහුදු මහා විහාරය, කූරගල, දේවනගල, ඉඩම් මහ දවාලේ ඔවුන් මංකොල්ල කනවා. මෙහෙ නීතියක්‌වත් ඔවුන්ට ක්‍රියාත්මක නැහැ.

ප්‍රශ්නය :- ඔබ වහන්සේට මෙම රජය ප්‍රශ්න පිට ප්‍රශ්න දාන බව ඇතැමුන් කියනවා. මේ ප්‍රශ්නවලින් ඔබවහන්සේ පීඩාවට පත්වෙලාද ඉන්නෙ.?

පිළිතුර – මහන්සියි. හොඳටම මහන්සියි. ඒත් මට ඕන රටට ණයකාරයෙක්‌ නොවී මැරෙන්නයි. අපි දාන වළඳන්නේ අනුන්ගෙන්. අපට නින්දගම් නැහැ. බුදල් නැහැ. අපිට ඒවා ඕනෙත් නැහැ. ඒ ගැන තන්හාවකුත් නැහැ. නමුත් අපට ඉතිහාසය විසින් පවරපු වගකීමක්‌ තිබෙනවා. ඒ වගකීම හිසින් දරාගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. එහෙම නොකොළහොත් අනාගත ජනතාවට බණ අහන්න රටක්‌ ඉතුරු වෙන්නේ නැහැ. මොන අවලාද, අපහාස, චෝදනා, ගර්ජන ආවත් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් අපි කරනවාමයි. අපි දේශපාලනඥයන් ළඟ දණින් වැටෙන්නේ නැහැ. අපේ බහුතරයක්‌ හාමුදුරුවරු රටේ අවාසනාවන්ත තත්ත්වය දැක දැකත් මුනිවත රැකීම තමයි ප්‍රශ්නෙ.

මේ පිරිස බුදුහාමුදුරුවන්ගේ ද වෙන නිගන්ඨයන්ගේද කියන එකයි ප්‍රශ්නෙ. වගකිවයුතු අපේ හිමිවරු දැනගන්න ඕන උන්වහන්සේලා මේ වළඳන්නේ රටේ ජනතාව දෙන සිව්පසය බව. දේශපාලඥයෝ නායකයෝ කරගෙන වැඩ කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ.

ප්‍රශ්නය :- ඔබ වහන්සේ ජාතිවාදී කෝලාහලයන් සඳහා මුල පුරන බව චෝදනා නැඟෙනවා.

පිළිතුර :- කොහොමත්ම නැහැ. අපි අදත් මතු කරන්නේ පසුගිය රජය යටතේ මතු කළ ප්‍රශ්නම තමයි. ගිය ආණ්‌ඩුත් අපට ඔහොමම චෝදනා කළා. මේ ආණ්‌ඩුවත් එලෙසම කරනව. නමුත් ප්‍රශ්නය හැමදාම ඒ විදියටම තියෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ අයට මම කියන්නේ ඉස්‌ලාමිය වහාබ්වාදී අන්තවාදයන් ඔබ මතු කරන ප්‍රශ්නවල කොටසක්‌ කරගන්නා ලෙසයි. අපිත් ඔබලා මතුකරන අනෙක්‌ ප්‍රශ්න සමඟ එක්‌වන්නම්.

ප්‍රශ්නය :- ඔබ වහන්සේලාගේ සංවිධායට නැඟෙන තවත් චෝදනාවක්‌ වන්නේ ඒ පිටුපස විදේශීය රටවල් සහ නොයෙක්‌ ඔත්තුසේවා සිටින බවයි.

පිළිතුර :- අප පිටුපස ඔය කියන කිසිවකු නැහැ. මේ පිටුපස ඉන්නේ අපිමයි. මේ දේ අපි කරන්නේ අවංකවමයි. මේක තේරුම් නොගෙන බොරුවට චෝදනා කරන්න එපා. ඒකට අපේ හිත් සෑහෙන්න රිදෙනවා.

ප්‍රශ්නය :- හාමුදුරුවෝ මේ ප්‍රශ්නවලට කෑකෝ ගැහුවට අති බහුතරයක්‌ සිංහලයා ඒ ගැන සංවේදී නැහැ නේද?

පිළිතුර – සිංහලයාගේ කම්මැලිකම නිසාමයි. ඔවුන්ට මේ රට නැතිවෙන්නේ. සිංහලයෝ ජීවත් වන්නේ තමන්ගේ රටේ බෝඩින්කාරයෝ වගේ. කුලියට ආපු මිනිහත් සමඟ ප්‍රශ්න විසඳන්න යැම නිසයි මේ ප්‍රශ්නය මේ වනතෙක්‌ විසඳගන්න බැරිවෙලා තියෙන්නේ. අපේ මිනිස්‌සුන්ට බුදු හාමුදුරුවන්ටත් එහා ගිය මහා කරුණාව නිසා මේ රට නැතිවෙනවා.

ප්‍රශ්නය :- ගිය රජය පෙරළන්න ඔබ සංවිධානය කටයුතු කළ බව චෝදනා නැඟුණා. ඒ වගේම මේ රජයත් පෙරළන්නද මේ හදන්නේ.

පිළිතුර :- අපට එහෙම කිසි අදහසක්‌ නැහැ. එහෙම කවුරු හරි හිතනවා නම් එය ලොකු වැරැද්දක්‌. මේ අය දෙමළ, මුස්‌ලිම් ඡන්ද ටික රටටත් වඩා ලොකු කරගෙනයි මේ වැඩ කරන්නේ. සිංහල දේශපාලන නායකයන්ගේ තිබෙන කුලල් කා ගැනීම, බලලෝභීත්වය අදූරදර්ශී බව නිසා මේ රට සිංහලයාට කවදා හරි නැතිවේවි.

ප්‍රශ්නය :- ඔබ වහන්සේට මේ වනවිට කොපමණ නඩු සංඛ්‍යාවක්‌ තිබෙනවාද?

පිළිතර :- දැන් නඩු පහළොවක්‌ දාසයක්‌ විතර ඇති.

ප්‍රශ්නය :- මේ නඩු කටයුතුවලට කොපමණ වියදමක්‌ යනවද?

පිළිතුර :- විශාල වියදමක්‌ යනවා. මේ දේවල් අපට දරාගන්න බැහැ. අපගේ නඩුවලට මුදල් නොගෙන ඉදිරිපත් වන නීතිඥ මහත්වරු ඉන්නවා. ඒ අයගේ හයිය නැත්නම් අපිට එල්ලෙන්න වැලේ වැල් නැතුව යනවා.

ප්‍රශ්නය :- ඇයි නෝර්වේ වලින් ලැබුණු සල්ලිවලට මොකද වුණේ?

පිළිතුර :- ඔහොම තමයි අපිට චෝදනා කළේ. අපිට ඔය කියන කාගෙන්වත් මුදල් හම්බ වුණේ නැහැ. මට මගේ වාහනේ වාරික ගෙවා ගන්න බැරිව පැත්තකට කරලයි තියෙන්නේ. බණකින් ලැබෙන කීයකින් හරි ඉඳහිට දායකයෝ දෙන කීයකින් හරි තමයි මේ සේරම කරන්නේ. ණයවෙලා තමයි මේ වැඩ කරන්නේ. අපේ වැඩපිළිවෙළට ගහන්න බැරි වුණහම අපේ පුද්ගල චරිතවලට මඩ ගහනවා. නෝර්වේ, සී. අයි. ඒ., රෝ එකේ සල්ලි ලැබෙනවා කියනවා. මේවා දැක්‌කහම අපට උදව් කරන දායකයෝත් අපිට මුදල් ඇති කියලා. දෙන කීයවත් දෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත.

ප්‍රශ්නය :- සිංහලයා වෙනුවෙන් වැඩ කරලා ඔබ වහන්සේ දැන් කලකිරිලා වගෙයි ඉන්නේ.

පිළිතුර – සිංහලයා වෙනුවෙන් වැඩ කරලා කවදාවත් හොඳක්‌ අහලා මැරෙන්න වෙන්නේ නැහැ. ධර්මපාලතුමාටත් ඒක තමයි වුණේ. අපිව කොහේ හරි මරල දැම්මොත් කොඩියක්‌වත් දාන්නේ නැති වේවි. ඒක තමයි බහුතරයක්‌ සිංහලයන්ගේ හැටි. ඒක එහෙම වුණත් අපිට ආදරය කරන සුළු පිරිසක්‌ ඉන්නවා. ඒ සුළුතරය හරි එක අරමුණක පිහිටුවලා වැඩ කරන්න ඕනෑ. ඒ රටේ අනාගතය වෙනුවෙන්.

ප්‍රශ්නය :- ඔබ වහන්සේගේ සංවිධානයේ පිරිස ඔබට අවනතද?

පිළිතුර :- මට ඕන නම් මේ රට එක පැයෙන් කළඹන්න පුළුවන්. හොඳටම මතක තියා ගන්න ඒ මට ඕන නම් පමණයි. නමුත් මම විශ්වාස කරන්නේ ගැටුමෙන් කෝලාහල තුළින් ලේ ගැලීමෙන් මේකට උත්තර හොයන්න බැහැ. ගහගන්නකම් අපි හැමදාම පරාදයි. ගහගන්න ඕන මතවාදිවයි.

ප්‍රශ්නය :- ඉදිරි මාස කිහිපය තළ අප රට තුළ ජාතිවාදී කෝලාහලයක්‌ ඇතිවිය හැකි බවට විදෙස්‌ බුද්ධි අංශයක්‌ රජයට දැනුම්දී ඇති බව සඳහන් වෙනවා.

පිළිතුර :- එහෙම අනතුරු ඇඟවීමක්‌ තිබෙනවා නම් මාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද? රටේ නායකයන් ප්‍රශ්නයට මුල් වූ සැවොම එක මේසයකට ගෙනැවිත් සාකච්ඡා කරන්න ඕන නේද? සෝමාවතියේ චෛත්‍ය තිබුණ තැනක්‌ ඩෝසර් කර ගවමඩු ඉදිකරලා තිබෙනවා දැක්‌කාම සිංහලයෝ ලෙස ලේ කකියන්නේ නැත්නම්, එය රටට කියන්න බැරිනම් අපි මොක්‌කුද? ජාතිවාදී කෝලාහල ඇති කරන්න අපට ඕන නැහැ. වගකිවයුත්තන් නිහඬව සිටියදී මම විතරක්‌ අපේ සංවිධානය විතරක්‌ මේ ගැන කතා කරනකොට මහා සද්දයක්‌ වගේ එය පේනවා. ඒක තමයි ප්‍රශ්නෙ.

ප්‍රශ්නය :- මේ වගේ නින්දා අපහාස අවලාද විඳිනවාට වඩා හිරේ ගියා නම් හොඳ යෑයි හිතෙන්නේ නැද්ද?

පිළිතුර :- ඒ වගේ අපේ අතීත රණශූරයෝ හිතුවානම් මේ රට අපට ඉතුරු වේවිද?

වතුරට බහින්නේ නැතුව පීනන්න බැහැනේ. වගකිවයුත්තන් මේ ගැන කතා කරනවා නම් අපිට නියඬව ඉන්න තිබුණා. ඥනසාර හිමි මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා හිතන්න ඕනා. අපි කතා කරන්නේ වහාබ්වාදය ගැන මිසක්‌ මේ රටේ ඉන්න සමස්‌ත මුස්‌ලිම් ජනතාව ගැන නෙමෙයි. බෙල්ල ගියත් අපි සටන් කරනවා. එහෙම මැරෙන එක සැපයි.

සිරිසමන්ත රත්නසේකර

Related posts

හොර සහතික හැදීමේ චෝදනා යටතේ නාමල් කුමාරට නඩු…

colombotoday

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday

විපක්ෂ නායක ධුරය සජිත්ට !

colombotoday

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

Admin

මහින්ද පවුල ගොඩ ගන්න රටත් පාවා දෙනවා.. පොහොට්ටුව හැදුවේ නාමල් රජ කරවන්නයි

colombotoday