ArticlesColombo Today Local NewsHot News

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

ආචාර්ය පීටර් ලේටන් – වසර 35 කට අධික අත්දැකීම් ඇති ආරක්ෂක සමස්ත සැලසුම් පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. 2015 අප්‍රේල් මස ද ඩිප්ලොමැට් හි පළවූ ලිපියක පරිවර්තනයකි

නිබඳව විදෙස් සම්පත් වලින් පෝෂණය වන ත්‍රස්තවාදීන් සිටින විටෙක රටක අභ්‍යන්තර යුද්ධයක් ජයගන්නේ කෙසේද? මෙවන් යුධ ගැටුම් පවතින රටවල් බොහොමයක ආණ්ඩු පිළිතුරු සොයන්නේ එම ප්‍රශ්නයටයි. වසර 30 කට ආසන්න කාලයක් දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති අවි ගැටුම නිමා කරමින් විශිෂ්ඨ යුධ ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකාව සාර්ථකව ත්‍රස්තවාදීන් පරදවන ආකාරය සොයාගත් රටවල් අතර කැපී පෙනෙන්නේ අන් රටවල් ත්‍රස්තවාදයට සාර්ථක විසඳුම් සොයා ගත නොහැකිව සිටින නිසාවෙනි.

මුදලින් සහ තාක්ෂණයෙන් පිරිපුන් බලඇණි සහිත ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ට ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදීන් දශකයකට අධික කාලයක් තුල වුවද පරාජය කිරීමට නොහැකිව තිබෙන විටෙක, එවන් සම්පත් වලින් තොර ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මර්දනය කළ අයුරු කැපී පෙනන සුළුය. ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස හැඳින්වූ, මරාගෙන මැරෙන බෝම්බ මුල් වරට නිර්මාණය කළ ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට ශ්‍රී ලංකාව හැකිවූයේ කෙසේද?

1. උපායමාර්ගික අරමුණ

පළමුවෙන්ම සතුරාට ගැලපෙන පරිදි උපායමාර්ගික අරමුණු හඳුනාගත යුතුය. 1983 කොටි ත්‍රස්තයන් සමඟ ඇරඹුනු ගැටුමේ ආරම්භයේ සිට වසර 22 ක් පුරාවට වැදුණු රජයේ ආරක්ෂක අංශවල උපාය මාර්ගය වූයේ කොටි සංවිධානය සාම සාකච්ඡාව සඳහා ගෙන ඒමට හැකි වනතෙක් ඔවුන්ව දුර්වල කිරීමය. ඊනියා විදෙස් ආරක්ෂක උපදේශකයන් සහ විශේෂඥයන් හොඳම සහ එකම විසඳුම ලෙස යෝජනා කළේ කොටි සංවිධානය සාකච්ඡා මේසයට ගෙන ඒමට හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමයි. 2006 වසරේදී විශ්‍රාමික ඉන්දීය හමුදාවේ ජෙනරාල් සහ ඉන්දීය සාම සාධක හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ ඒ.එස්. කල්කට් ප්‍රකාශ කළේ “මේ ගැටළුවට යුධමය විසඳුමක් දෙන්න බෑ. ශ්‍රී ලංකා හමුදාවට කොටි සංවිධානයට එරෙහිව යුද්ධයක් ජයගන්න බෑ. කොටි සංවිධානයත් දන්නවා හමුදාවට එරෙහිව යුද්ධය දිනන්න බෑ කියල. ඒ නිසා (ඒ වනවිට නෝර්වේ රජයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පැවති ) සාම ක්‍රියාවලියට විකල්පයක් නෑ.” යනුවෙනි.

කොටි සංවිධානය ඒ වනවිට නෝර්වේ රජයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමඟ පස් වන වරටත් සාකච්ඡා පවත්වමින් තිබුණි. කෙසේ හෝ එම සාම සාකච්ඡා අතරමඟ බිඳ වැටුනේ 2003 වසරේ එජාප රජය යටතේ අත්සන් කළ සටන් විරාම ගිවිසුම අතරතුර තව දුරටත් මුදලින්, ආයුධ වලින්, සහ සටන්කරුවන්ගෙන් පෙරටත් වඩා කොටි සංවිධානය ශක්තිමත් වී තිබියදීය. මින් පෙර තුන් වතාවක් මෙන්ම, සාම සාකච්ඡා අතරතුර ශක්තිමත් වූ කොටි සංවිධානය සිව් වන ඊළාම් යුද්ධය ඇරඹුවේ මෙවර රජයේ හමුදා පැරදවිය හැකි බවට හොඳ විශ්වාසයකින් යුතුවය. රජයේ ආරක්ෂක අංශද සටනට පිවිසුනේ වෙනස් අරමුණකිනි. පෙර වතාවල සාම සාකච්ඡා මේසයට කොටින්ව ගෙන ඒමේ උපායමාර්ගික අරමුණ වෙනුවට, සතුරා විනාශකර දැමීමේ අරමුණ පෙරදැරි කොටගෙන ආරක්ෂක අංශ කොටි සංවිධානයට එරෙහිව සටනට එළඹුනහ.

ඒ සඳහා සතුරාගේ ස්වභාවය හඳුනාගැනීම වැදගත් විය. වසර 22 පුරා රජයේ ආරක්ෂක අංශ අනුගමනය කළ උපායමාර්ග ඊට උචිත නොවුනි. 2005 වසරේ තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව කොටි සංවිධානයේ දුර්වලතා මනාව හඳුනාගෙන ඊට ගැලපෙන ලෙස උපායමාර්ගික සැලසුම් සකස් කළේ කොටි ත්‍රස්තයන්ගේ ශක්තීන් මැඩලිය හැකි අයුරිනි.

කොටි සංවිධානයේ මූලිකම ගැටළුවක් වූයේ සීමිත මානව සම්පතයි. ලංකාවේ ජනගහනයෙන් උතුරු-නැගෙනහිර ජීවත් වන 12% පමණ වන දෙමළ ජනයාගෙන්, කොටි සංවිධානයට ක්‍රියාකාරීව සහයෝගය දැක්වූයේ 300,00 පමණ පිරිසකි. නමුත් කොටි සංවිධානයට දෙමළ ජනයා තුල තිබූ කැමැත්ත පිරිහෙමින් තිබුණි. දෙමළ ජනයාගේ විමුක්තිකාමී සංවිධානය ලෙස තමන්ව හඳුන්වාගෙන තිබූ කොටි සංවිධානයට මුල් අවදියේ ස්වකැමැත්තෙන්ම දෙමළ ජනයා සටන්කාමීන් ලෙස එක් වුවද, 2006 වකවානුව වෙද්දී එලෙස ස්වේච්ඡාවෙන් එකතු වන පිරිස අඩුවෙමින් පැවතුනි. ඒ නිසා තම සේනාව තර කරගැනීම වෙනුවෙන් එක පවුලකින් අඩුම වශයෙන් එක් අයෙක් කොටි සංවිධානයට බැඳීම අනිවාර්ය කර තිබුණි. ඇතැම් විට එලෙස බඳවාගත් සොල්දාදුවන් පිරිස අතර පාසල් වියේ පසුවූ ළමුන්ද විය. දැඩි නීති සහිත ව්‍යූහය, ගරිල්ලා වර්ගයේ ගොඩබිම් සටන් වලට පුහුණුව, විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවගේ සහ නීති විරෝධී ක්‍රම වලින් උපයාගත් මුදල් මත යැපීම වැනි දේ කොටි සංවිධානය මෙහෙයීමේ ශක්තීන් වුවද, ඒවා පසු කළෙක ඔවුන්ටම විරුද්ධව යොදා ගත හැකි දේවල් බවට හඳුනා ගැණින.

2. සමස්ත උපායමාර්ගය

සාර්ථකත්වය සඳහා සමස්ත උපායමාර්ගයක් අත්‍යාවශ්‍යය. එම සමස්ත උපායමාර්ගය හමුදාමය පියවර පමණක් නොවේ. ආර්ථිකය, හමුදාමය ක්‍රියාමාර්ග, බුද්ධි මෙහෙයුම්, තානාපති උපායඥානය, සහ රටක් ලෙසට සාර්ථක වීමට අවශ්‍ය සංවර්ධන ක්‍රියාමාර්ග එකමුතුව ගත් සමස්ත උපායමාර්ගයක් දීර්ඝකාලීන සාමයක් සහතික කරයි. මහින්ද රාජපක්ෂ රජය ඉන් පෙර පැවති රජයන් අනුගමනය කළ පටු දේශපාලන අරමුණු තකා කෙරුණු යුධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ අසාර්ථක අරමුණින් බැහැරව යුද්ධය නිමැවීමේ සහ මුළු රටම සංවර්ධනය කිරීමේ සමස්ත සැලසුමකට අනුව බිම් මට්ටමේ කටයුතු ඇරඹීය.

සමස්ත සැලසුමේ ආර්ථික සැලසුමට අනුව මහින්ද රාජපක්ෂ රජය පළමුවෙන් ආරක්ෂක වැය ශීර්ෂය වෙනුවෙන් දළ ජාතික නිශ්පාදිතයෙන් 4% කට ආසන්න ප්‍රමාණයක් වෙන් කළේය. එය පෙර වසරවල ආරක්ෂක අංශ වෙනුවෙන් වෙන් කළ මුදලට සාපේක්ෂව 40% ක පමණ වැඩි කිරීමකි. එය රටේ ආර්ථිකයට දැරිය නොහැකි වූ වියදමක් නිසාවෙන් රජයට විදෙස් ණය ලබා ගැනීමට සිදුවිය. ඩොලර් බිලියන 1 ක ණය මුදලක් චීනයෙන් ලබා ගැනීමට සහ ඛනිජ තෙල් සහ අවි ආයුධ පසුව ගෙවන පදනමක් යටතේ ලබා දීමට ඉරානය, ලිබියාව, රුසියාව සහ පාකිස්ථානය එකඟ කරගැනීමට රජය සමත් විය.

කොටි සංවිධානයේ ආදායමෙන් 60% ක පමණ විදේශ කොටි හිතවාදීන් හරහා ලැබුණි. එපමණක් නොව, අවි ආයුධ වලින් වැඩි ප්‍රමාණයක්ද විදේශයහි අවි ජාවාරම් කරුවන් හරහා ලැබෙමින් පැවතුණි. විදෙස් තානාපති අංශ හරහා ක්‍රියාත්මක කළ දැනුවත් කිරීම මඟින් කොටි සංවිධානය ජාත්‍යන්තරව හුදෙකලා කිරීමට රජය සමත් විය. රටවල් 32 ක් මඟින් තහනම් සංවිධානයක් ලෙස නම් කෙරුණි. මින් පෙර කොටි සංවිධානයේ උන්නතියට කටයුතු කළ, ලංකාවේ අභ්‍යන්තර සටනට සෘජුව බලපෑම් කළ, එමෙන්ම කොටි සංවිධානය පරාජය කිරීමේ වැඩපිළිවෙලට දැඩි බලපෑම් එල්ල කළ හැකි ප්‍රබලම රට වූ ඉන්දියාව සමඟ සාර්ථක තානාපති සබඳකමක් ඇති කරගැනීම මහින්ද රාජපක්ෂ රජයේ ජයග්‍රහණයක් විය.

එමෙන්ම, 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් බැට කෑ ඇමරිකාවේ දැඩි ත්‍රස්ත විරෝධී ප්‍රතිපත්තියද කොටින්ට විරුද්ධ තානාපති අංශ සටනට උදව්වක් විය. කොටි ත්‍රස්තයන් විසින් අවි ජාවාරම්කරුවන් හරහා මිසයිල ඇතුළු අවි මිලට ගැනීම අවහිර කිරීම, බුද්ධි අංශ තොරතුරු හුවමාරු කරගැනීම, වෙරළාරක්ෂක නෞකාවක් සැපයීම, සහ ජාතික නාවික අණදෙන සහ පරිපාලන පද්ධතියක් සැපයීම ආදී ක්‍රම වලින් ඇමරිකාවද කොටි ත්‍රස්තයන්ට එරෙහි රජයේ වැඩි පිළිවෙලට සහාය දුන්නේය.

කැනඩාව සහ යුරෝපීය සංගමයද යුද්ධයේ අවසන් භාගයේ වුවද කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කිරීම මඟින් කොටින්ගේ ජාත්‍යන්තර අරමුදල් ජාලය අඩපණ විය. 2006 වනවිට වසර 22 ක යුද්ධයෙන් බැට කා සිටි ශ්‍රී ලාංකිකයෝ මින් පෙර රජයන්ට නොහැකි වූ කොටි සංවිධානය පරාජය කිරීම මහින්ද රාජපක්ෂගේ රජයට කළ හැකිදැයි දෙගිඩියාවකින් පසු වූහ. ජාත්‍යන්තරව පමණක් නොව, කොටි සංවිධානය තුරන් කිරීමේ වැඩ පිළිවෙල සඳහා රට තුල මහජනයාගේ සහයෝගය දිනා ගැනීම සඳහා රජය ක්‍රියාත්මක කළේය. ඒ සඳහා යුද්ධය ක්‍රියාත්මක වෙන අතරතුර වුවද ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය නොනවත්වා කළයුතු බවට රජය තේරුම් ගෙන තිබිණි. උදාහරණයක් ලෙස පොහොර සහනාධාරය ලබාදීම වැනි වැඩපිලිවෙලක් නොකඩවා ක්‍රියාත්මක කෙරුණි. ආර්ථික සංග්‍රාමය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම හේතුවෙන් යුද්ධය වෙනුවෙන් මුදල් වෙන් කිරීම ඉතා අපහසු කරුණක් විය. තිරසාර සාමයක් සඳහා මහජනතාවට බලාපොරොත්තුවක් ඇතිකිරීමට නම් නොකඩවා ක්‍රියාත්මක වෙන ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙල අත්‍යාවශ්‍ය වීම හේතුවෙන් විදෙස් ණය ලබා ගැනීම අතිශය තීරණාත්මක විය. කෙසේ වෙතත්, ලබාගත් යුධමය ජයග්‍රහණ සහ ආර්ථික ජයග්‍රහණ නිසාවෙන් මහජනතාවට යුද්ධයේ නිමාව පිළිබඳ බලාපොරොත්තුවක් ජනිත විය. (ආරක්ෂක අංශවල සාමාජිකයන්ට ‘හමුදාකාරයා’ යහ සමාජ මතයෙන් මිදී ප්‍රෞඩත්වයක් ලබාදෙන ‘අපි වෙනුවෙන් අපි’ වැනි වැඩ ව්‍යාපෘතිවල ) ප්‍රතිඵලයක් ලෙසට, 2005 වසරට පෙර වසරකට සෙබළුන් 3000 ක් බඳවා ගැනීම අසීරු අඩියක පැවතියද, 2008 වසරේ අග භාගය වෙද්දී මසකට නවක සෙබළුන් 3000 ක් පමණ හමුදා සේවයට එක් වෙමින් පැවතුණි. ආරක්ෂක වැය වැඩිකිරීමේ සහ ජනතාවගේ උද්‍යෝගයේ ප්‍රතිඵලයක් ලෙස 2005 වසරේ 120,000 පමණ වූ සමස්ත සෙබළ ප්‍රමාණය, 2009 වසර වෙද්දී 200,000 දක්වා ඉහල ගියේය.

3. ශූර යුද්ධෝපක්‍රම

සමස්ත උපායමාර්ගික සැලසුම සාර්ථක වීමට නම් සතුරාගේ ශක්තීන් වලට මුහුණ දෙමින් දුර්වලතා වලට පහර දෙන බිම් මට්ටමේ යුද්ධ උපක්‍රම තිබිය යුතුය. කොටි සංවිධානයට සිටි 20,000-30,000 පමණ වූ සටන්කරුවන් පිරිස තීක්ෂණ යුද්ධෝපක්‍රම භාවිතයෙන් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමේ හැකියාව තිබුණි. 2006 වසරේ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භයට පෙරම එම ක්‍රියාව පහසු කරවන සිදුවීමක් සිදුව තිබුණි.

2004 වසරේ අවසානයේ, කොටි සංවිධානයේ ජ්‍යේෂ්ඨයෙක් සහ නැගෙනහිර ප්‍රදේශයේ අණ දෙන්නා වූ කර්නල් කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් වෙන් විය. කොටි සංවිධානයේ හොඳම සටන් කරුවන් යැයි විරුදාවලි ලද නැගෙනහිර ප්‍රදේශයේ සටන්කරුවන් 6,000 ක් පමණ කරුණා සමඟ කොටි සංවිධානයට එරෙහිව කැරැල්ලට එක් වූහ. එමඟින් කොටි සංවිධානයේ නැගෙනහිර පළාතේ බලය දැඩි ලෙස හානියට පත් විය. මෙම වෙන් වීම නිසා කොටි සංවිධානයේ අතිශය රහස්‍ය බුද්ධිමය අභ්‍යන්තර කරුණු රජයේ හමුදා බුද්ධි අංශ වලට ලබා ගැනීමට පොටක් පෑදුනේය. කොටි සංවිධානය මඟින් පාලනය වූ ප්‍රදේශ වලට ගොස් නිරීක්ෂණය කර ඔත්තු සැපයීමට කැමැත්ත පළ කළ දෙමළ ඔත්තුකරුවන් ලැබීම රජයේ බුද්ධි අංශ වලට තීරණාත්මක විය. මෙම සුවිසල් අභ්‍යන්තර කැරැල්ල දෙමළ ජනයා සහ එහි සටන්කරුවක් වෙත කොටි සංවිධානයේ තිබූ බලාධිකාරය හීන වෙමින් පවතින බවට පැහැදිලි සාක්ෂි සැපයීය.
සිව්වන ඊළාම් යුද්ධය ආරම්භයේදී කොටි සංවිධානයට ලංකාව පුරාම ක්‍රියාත්මක වීමට හැකියාවක් තිබුණි. රටේ ඕනෑම තැනක ඕනෑම මොහොතක බෝම්බයක් පිපිරිය හැකි අනාරක්ෂිත වාතාවරණයක් තිබුණි. සුවිශේෂී ප්‍රභූන් වෙත ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට ඉඩකඩක් තිබුණි. විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාකිස්ථාන මහකොමසාරිස්, හමුදාපති සරත් ෆොන්සේකා ආදී ප්‍රභූන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ ඉලක්ක විය.

කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ඇතුළු ඕනෑම ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව මර්දනයට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ප්‍රමාණාත්මකව වැඩි වෙමින් තිබූ හමුදා සහ පොලිස් සේවා අභ්‍යන්තර ආරක්ෂක සේවා සඳහා යොදාගැනීම සහ සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම ඉන් ප්‍රමුඛ විය. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක වූ කොටි සංවිධානයේ ත්‍රස්ත ඒකක සැලසුම් සහගතව සොයමින් විනාශ කිරීමට ආරක්ෂක අංශ ක්‍රියා කළේය. ආරක්ෂක අංශ වල මෙම ක්‍රියාමාර්ග ප්‍රභූ ඉලක්ක විනාශ කිරීමේ සහ මහජනයා ඉලක්ක කරමින් ආර්ථික මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට කොටි සංවිධානයේ හැකියාව අඩපණ කිරීමට සමත් විය.

දකුණේ ක්‍රියාත්මක වූ ආරක්ෂක වැඩපිලිවෙල නිසා උතුරේ සහ නැගෙනහිර කොටි සතුරන්ට එරෙහිව සැලසුම් සහගතව හමුදා උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට ඉඩකඩක් ලැබුණි. එහි මූලික අරමුණ වූයේ සාම්ප්‍රදායික බටහිර මතය වන ‘මහජනතාව ආරක්ෂා කිරිමේ මූලික අරමුණින් ක්‍රියාත්මක වන හමුදා ක්‍රියාමාර්ග’ වලින් බැහැරව කොටි ත්‍රස්තයන් වෙතට සටන ගෙනයාමයි. සමගාමීව ක්‍රියාත්මක වූ පෙරමුණු කීපයක් කොටි සංවිධානය යටතේ පාලනය වූ උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කෙරුණි. ත්‍රස්තයන් වික්ෂිප්ත බවට පත් කර, දරාගත නොහැකි මට්ටමේ ප්‍රහාරයන්ට ලක් කර, ඒ ඒ ප්‍රදේශ ආරක්ෂා කළ ත්‍රස්තයන් තුරන් කිරීමට ආරක්ෂක අංශ වලට හැකි විය. එය උපායමාර්ගිකව හමුදාවට නොකඩවා බඳවා ගැනීම් සිදු කරමින් ආරක්ෂක අංශ පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් විය.

මෙම මෙහෙයුම් වලදී මනාව පුහුණුව ලත්, ජංගම, කුඩා කණ්ඩායම් විශාල මෙහෙවරක් ඉටු කළේය. එම කණ්ඩායම් කොටි ත්‍රස්තයන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල පසුකර කොටි සංවිධානයේ අතිශය සංවේදී මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළ අතර, ත්‍රස්තයන්ගේ සැපයුම් මාර්ග සහ සන්නිවේදන බිඳ දමමින් සතුරන් පිළිබඳ යථාකාලීන දත්ත සපයමින් මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ත්‍රස්ත ඉලක්ක වෙතට රහසිගතව ලඟ වී එම ස්ථාන නිරීක්ෂණයෙන් අනතුරුව සූක්ෂම ගුවන්, කාලතුවක්කු, සහ මෝටාර් ප්‍රහාර ඉල්ලාසිටීමට සෙබළුන් සහ නිලධාරීන් 6-10 කින් සැදුම් ලත් මෙවන් කුඩා කණ්ඩායම් වලට අවසරය සහ පුහුණුව ලැබී තිබුණි. ඉදිරි ආරක්ෂක වළලු වෙත දිශා කීපයකින් එල්ල වන ප්‍රහාර වලට අමතරව පසුපස මර්මස්ථාන වෙත සමගාමීව ප්‍රහාර එල්ල කිරීමේ උපායමාර්ගය නිසා කොටි ත්‍රස්තයන්ට පසු බැසීමේ හැකියාව අහිමි වූ අතර ආරක්ෂක අංශ වලට කොටු වූ ත්‍රස්තයන් පරාජය කිරීමේ හැකියාව ලැබුණි.

කුඩා කණ්ඩායම් වර්ග දෙකක් මෙහෙයුම් වලට දායක විය. සතුරු ප්‍රදේශ වල මධ්‍යයටම ගමන් කරමින් දිගුදුර මෙහෙයුම් ඉටු කළ විශේෂ කාර්ය බලකා සාමාජිකයන් එක් පිරිසක් විය. සාමාජිකයන් 10,000 ක් පමණ වනතෙක් සැලකිය යුතු ලෙස පුළුල් වූ විශේෂ කාර්ය බලකායට කොටි සංවිධානයේ ඉහළ නායකත්වය විනාශ කිරීම, අත්දැකීම් බහුල අණදෙන කොටි නායකයන් අත්‍යාවශ්‍ය වූ අවස්ථා වලදී ඔවුන්ට බිම් මට්ටමේ සටන්කරුවන්ට ළඟාවීමට සහ උපදෙස් දිය නොහැකි පරිදි අවහිර කිරීම ආදී ක්‍රම මඟින් වරෙක කොටි සංවිධානයේ ශක්තියක් වූ කොටි සංවිධානයේ දැඩි නීති සහිත අනම්‍ය පරිපාලන සහ අණදෙන ව්‍යූහය බිඳ දැමීමට හැකිවිය.
දෙවැනි කුඩා කණ්ඩායම් වර්ගය සුවිශේෂී ශ්‍රී ලාංකික නව අදහසක් විය: ඒ විශේෂ පාබල හමුදා මෙහෙයුම් කණ්ඩායම්ය. විශේෂ පාබල හමුදා මෙහෙයුම් කණ්ඩායම් හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සංකල්පයක් විය. “අපි හතර දෙනෙක්ගේ කණ්ඩායම් මඟින් ක්‍රියාත්මක වුනා. ඔවුන්ට සතුරු ප්‍රදේශ වල කැළේ ඇතුලෙ ඉඳන් ක්‍රියාත්මක වෙන්න පුහුණුව දුන්නා. ඔවුන්ට තනිව ක්‍රියාකාරී වෙන්න සහ ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දුන්නා. එක් පාබල සේනාංකයක යටතේ හතර දෙනෙක්ගේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වුනා. ඒ නිසා අපිට විශාල ප්‍රදේශයක් තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ ලැබුනා” යැයි ඔහු සඳහන් කළේය. සිව්වන ඊළාම් යුද්ධය ආරම්භයේ 1500 ක් පමණ වූ විශේෂ පාබල මෙහෙයුම් කණ්ඩායම් සාමාජිකයන් ගණන 2008 වනවිට 30,000 ක් පමණ වනතෙක් වර්ධනය විය. විශේෂ කාර්ය බලකා සාමාජිකයෝ සතුරු ප්‍රදේශ මධ්‍යයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දී විශේෂ පාබල මෙහෙයුම් කණ්ඩායම් සාමාජිකයෝ ඉදිරි ආරක්ෂක වළලු වලට සමීපව මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

ඉගෙනුම ලබන හමුදාවක්

සංකීර්ණ වන සටන් මෙහෙයුම් පිළිබඳ උසස් පුහුණු තුලින් දැනුවත් වූ ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයෝ හැකියාවෙන් වැඩිදියුණු වූ, වඩාත් වෘත්තීය, වැඩි විශ්වාසයක් සහිත සෙබළු බවට පත් වූහ. එවන් සෙබළුන්ගෙන් පිරිපුන් හමුදාවට, ත්‍රස්තයන්ට එරෙහි දැඩි අසීරු මෙහෙයුම් වුවද දිවා රෑ භේදයකින් තොරව වැඩි වේගයකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණි. උපායමාර්ගික මූලික සැලසුම් සහ නව අදහස් සාර්ථක වෙද්දී, ඒ ජයග්‍රහණ යොදාගනිමින් නව උපායමාර්ග සැලසුම් කරන “ඉගෙනුම ලබන හමුදාවක්” බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව පත් විය.

ලොව ක්‍රියාත්මක වූ විවිධ වර්ගයේ ත්‍රස්ත සංවිධාන අතර කොටි සංවිධානය සුවිශේෂී එකක් විය. ඒ ඔවුන්ට නාවික බලයක් හිමිව තිබුන නිසාවෙනි. මුහුදු කොටි අංශය රජයේ ආරක්ෂක අංශ වලට එරෙහි දෙයාකාරයක මෙහෙයුම් ක්‍රියාත්මක කළහ. ඒ රජයේ ආරක්ෂක අංශ වල වෙරළාසන්න සැපයුම් මාර්ග අවහිර කිරීම සහ කොටි සංවිධානයට නාවික සැපයුම් ලබාදීමයි.

රජයේ ආරක්ෂක අංශ වල වෙරළාසන්න සැපයුම් මාර්ග අවහිර කිරීම සඳහා කොටි ත්‍රස්තයන් කුඩා සහ වේගවත් බෝට්ටු වර්ග දෙකක් නිපදවූහ. ෆයිබර්ග්ලාස් බඳකින් නිමවූ ස්වයංක්‍රීය තුවක්කු සහ ග්‍රෙනේඩ් විදිනයන්ගෙන් සන්නද්ධ කළ වේගවත් පහරදෙන යාත්‍රා එක් වර්ගයකි. උසින් අඩු, ශක්තිමත් බඳකින් යුත්, ගැටීමකදී පුපුරා යන බෝම්බ පිරවූ මරාගෙන මැරෙන යාත්‍රා අනිත් වර්ගයයි.
සිව්වන ඊළාම් යුද්ධය අතරතුර මුහුදු කොටි අංශය රජයේ නාවික යාත්‍රා වෙත ප්‍රහාර එල්ල කළේ ඉහත දෙවර්ගයේම යාත්‍රා පොකුරු ලෙස පැමිණෙමිනි. ප්‍රහාරක යාත්‍රා 30 ක් පමණ සහ මරාගෙන මැරෙන සන්නද්ධ යාත්‍රා 8-10 අතර ප්‍රමාණයක් පොකුරක් ලෙසට පැමිණ ප්‍රහාර එල්ල කළහ. නාවික හමුදාවට ප්‍රතිපහාර එල්ල කිරීම අසීරු වූයේ මුහුදු කොටි පැමිණියේ ධීවර ට්‍රෝලර් යාත්‍රා පිරිවරාගෙන බැවිනි.
මුහුදු කොටි ප්‍රහාර මැඩලීමට නාවික හමුදාව සමත් වූයේ, ක්ෂණික විහිදුම් බලගණය ක්‍රියාත්මක වූ කුඩා අධිවේගී ප්‍රහාරක යාත්‍රා 60 -70 අතර පමාණයක් පොකුරක් ලෙසට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙනි. මුහුදු කොටි ඉලක්ක හඳුනාගැනීමට වෙරළේ ස්ථාපිත රේඩාර් 20 ක් පමණ සහ ඇමරිකානු රජයෙන් ලබා දුන් රේඩාර් පාලන පද්ධතිය බෙහෙවින් උපකාරී විය.

කොටි සංවිධානය නාවික සැපයුම් සඳහා විශාල නාවික ප්‍රවාහන නෞකා 11 ක් පාවිච්චි කළේය. ලොව පුරා සිටින අවි ජාවාරම් කරුවන්ගෙන් මිලට ගත් අවි ආයුධ මෙම නැව් 11 හි ගබඩා කර තිබූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට ළඟාවිය නොහැකි කිලෝමීටර් 2,000 ක් පමණ දුරකින් මෙම නෞකා නවතා තිබුණි. විටින් විට ශ්‍රී ලංකා වෙරළට සමීප වන මෙම නෞකා වලින් අවි ආයුධ ගොඩබිමට ගෙනාවේ ඒවා එනතෙක් රඳවා තිබූ ට්‍රෝලර් යාත්‍රා මඟිනි. ආයුධ බෑමෙන් පසු නැවතත් දියඹට ගමන් කළ මෙම ප්‍රවාහන නෞකා කොටි ත්‍රස්තයන්ගේ අවි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී විය.

කොටි සංවිධානයේ මෙම සැපයුම් මාර්ගය අඩාල කිරීමට නම් එම ප්‍රවාහන නෞකා විනාශ කළ යුතු විය. නාවික හමුදාව සිව්වන ඊළාම් යුද්ධය ඇරඹීමෙන් අනතුරුව ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවෙන්, ඇමරිකානු වෙරළාරක්ෂක බලකායෙන් ආදී ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු ගැඹුරු මුහුදේ මුර සංචාරක නෞකා තුනක් ඒ සඳහා උපකාරී විය. ඉන්දීය සහ ඇමරිකානු බුද්ධි අංශ වල සහායෙන් ලබාගත් දත්ත මත පදනම්ව නවමු ප්‍රහාරක උපායමාර්ග භාවිතයෙන්, නාවික හමුදාව සතු ගැඹුරු මුහුදේ මුර සංචාරක නෞකා කොටි ත්‍රස්තයන් සතුවූ ප්‍රවාහන නෞකා වලට සාර්ථකව ප්‍රහාර එල්ල කළේය. අවසන් කොටි ප්‍රවාහන නෞකාවද 2007 වසරේදී ශ්‍රී ලංකා වෙරළින් කිලෝමීටර් 3,000 කට එපිටින් පිහිටි ඕස්ට්‍රේලියාවට අයත් කොකොස් දූපත ආසන්නයේදී ගිල්වා දැමීමට නාවික හමුදාව සමත් විය.

සතුරා පරදවන මඟ

සතුරාට ගැලපෙන පරිදි උපායමාර්ගික අරමුණු හඳුනාගැනීම, යුද්ධය මත පමණක් සීමා නොවී මුළු රටම සංවර්ධනය අරමුණු කරගත් සමස්ත උපායමාර්ගයක් අනුගමනය, සහ ශූර බිම් මට්ටමේ යුද්ධෝපක්‍රම යොදාගැනීම යන කරුණු තුනේ සංකලනය කොටි ත්‍රස්තවාදය සහමුලින්ම විනාශ කිරීමට හේතුපාදක විය. කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත් විය. කොටි සංවිධානය ඉන් පෙර ඔවුනට ජයග්‍රහණ අත්කර දෙමින් ශක්තිමත් වීමට ඉඩ සැලසූ උපක්‍රම සිව්වන ඊළාම් යුද්ධයේදීත් වෙනසකින් තොරව අනුගමනය කර පරාජය උරුම කරගත්තේය. නමුත් ශ්‍රී ලංකා රජය ඉන් පෙර ඔවුනට අවාසි සහගත වූ, පරාජයන්ට හේතු වූ උපක්‍රම අත් හැර, උපායමාර්ග නිසි ලෙස වෙනස් කිරීමට දැවූ සමත්කම හේතුවෙන් අවසානයේ කෲර ත්‍රස්තවාදය විනාශ කිරීමට හැකියාව ලැබුනි.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ලොව දරුණුම සහ නිර්මාණාත්මකම ත්‍රස්තවාදී සංවිධානය මුලිනුපුටා දමමින් ලබාගත් මේ ජයග්‍රහණය හෑල්ලුවට ලක් කිරීමට ඇතැමුන් ක්‍රියා කරති. ඔවුන් චෝදනා කරන්නේ රජයේ ආරක්ෂක අංශ ජය ලැබුවේ නිරායුධ ජනතාවට වන හානි පිළිබඳව නොසැලකිල්ලෙන් යුද්ධය කළ නිසා බවයි. රජයේ හමුදා පාලනයකින් තොරව බර අවි භාවිතය නිසා දහස් ගණන් නිරායුධ දෙමළ ජනයා මියගිය බවට ඔවුහු චෝදනා කරති.

මෙම මතය යුද්ධයේ ඇති අමිහිරි බව මොනවට පසක් කරන බව සහ යුද්ධයකට අවතීර්ණ වීම හෝ පවත්වාගෙන යාම වරක් දෙවරක් නොව දහස් වරක් සිතා එළඹිය යුතු තීරණයක් බවට අවධාරණය කරයි. නමුත්, රජයේ හමුදාවන්ට එරෙහිව නඟන එම චෝදනා බොහෝ සැලකිය යුතු දත්ත සහ සාක්ෂි නොසලකන අතර විස්තර කළ හැකි දත්ත වලින් තොරය. මෙම ලිපියේ විස්තර කර ඇති පරිදි, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වල ජයග්‍රහණයට හේතු වූයේ බර අවි අසීමාන්විතව පාවිච්චිය නොව, කුඩා ප්‍රහාරක කණ්ඩායම් නිසි ලෙස ක්‍රියාන්විත වල යෙදවීම වැනි උපායමාර්ගික කරුණු නිසාය. නිවැරදි උපායමාර්ග සොයාගැනීමට වසර 22 ක කාලයක් ගත වුවද, වඩාත් හොඳ උපායමාර්ග තිබූ පිල වූ රජයේ ආරක්ෂක අංශ අවසානයේ ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ නිරායුධ ජනයාගේ ආරක්ෂාව නොසලකා යුද්ධය ක්‍රියාත්මක කළ බවට ඇති චෝදනාව සලකා බලනු පිණිස බටහිර රටවල් මූලිකත්වයෙන් ත්‍රස්තවාදීන් සමඟ මෑතකදී සිදු කළ යුධ මෙහෙයුම් දෙකක් සමඟ සසඳමු.

ක්‍රියාන්විතය අතරතුර මියගිය පිරිස
මියගිය පිරිස – වර්ගීකරණය ශ්‍රී ලංකා යුද්ධය  (1983-2009) ඉරාක යුද්ධය
(2004-09)
ඇෆ්ගනිස්ථාන යුද්ධය (2001-14)
මිතුරු පාර්ශවය 29% 17% 29%
සතුරු පාර්ශවය 37% 22% 46%
නිරායුධ වැසියන් 34% 61% 25%

මෙම යුද්ධ තුනම එක රටක් තුල ත්‍රස්ත සංවිධාන වලට එරෙහිව ක්‍රියාත්මක වූ ක්‍රියාන්විත විය. එක් එක් යුද්ධයේදී අනුගමනය කළ ත්‍රස්ත්‍ර විරෝධී උපායමාර්ග කාලයත් සමඟ පරිණාමය වූයේය. යුද්ධ තුනේදීම නිරායුධ වැසියන් මියයාම නොවැලැක්වියහැකි සිදුවීමක් විය. නමුත් වසර 5 ක් වැනි කෙටි කාලයක් තුල පැවති ඉරාක යුද්ධයෙන් 61% වැනි අති විශාල නිරායුධ වැසියන් ගණයක් මියගිය අතර, ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් 25% ක් පමණ නිරායුධ වැසියන් මිය ගියේය. ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවති අභ්‍යන්තර යුද්ධයෙන් මියගිය බවට ඇස්තමේන්තු කර ඇති නිරායුධ වැසියන් ප්‍රමාණය වන 34% ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් මියගිය ප්‍රතිශතයට ආසන්න වුවද, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර යුද්ධය ඇෆ්ගනිස්ථාන යුද්ධයට වඩා බෙහෙවින් වෙනස් ප්‍රතිඵලයක් අත්කරදෙමින් නිමා වීම විශේෂිත වේ. ඉරාක සහ ඇෆ්ගනිස්ථාන යුද්ධ නිමා වූයේ කිසිම පාර්ශවයකට ජයග්‍රහණයක් ලබා දෙමින් නොවූවද, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය යුධමය වශයෙන් මුලිනුපුටා දමමින් දිගු කාලීන සාමයකට මංපෙත් විවර කරමින් නිමා විය. ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ අදද සාමයක් පෙනෙනතෙක් මානයක නොමැති අතර, නිරායුධ වැසියන් තවමත් හමුදා සහ ත්‍රස්ත ප්‍රහාර වලින් මියයති.

2009 වසරේ ශ්‍රී ලංකාවේ යුද්ධය නිමාවෙන් අනතුරුව, 2014 වසරේ මහින්ද රාජපක්ෂ රජය අවසාන වනතෙක් 7% පමණ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් පැවතුනි. ඊට අමතරව විරැකියාව සැලකිය යුතු ලෙස පහක ගිය අතර, ඒකපුද්ගල ආදායමද වර්ධනය විය. ආර්ථිකව ශක්තිමත් නැති වුවද, ආරක්ෂාව වෙනුවෙන් සීමිත මුදලක් වැය කළ හැකි වුවද, රටකට අභ්‍යන්තර අරගලයක් නිමා කරමින් සාමය උදා කරදිය හැකි බවට ශ්‍රී ලංකාව ලොවට පසක් කර පෙන්වීය. ඊට මූලික වූයේ නිසි උපායමාර්ග හඳුනාගැනීම සහ අනුගමනය කිරීමයි.

පරිවර්තක සටහන: මෙහි සඳහන් යුද්ධයේදී මියගිය නිරායුධ පුද්ගලයන් පිලිබඳ සංඛ්‍යාලේඛන ඇස්තමේන්තු වේ.

ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu – FB

Related posts

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

colombotoday

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday

අලි සබ්‍රි හොද නීතිඥයකු වුවත් ඔහු දන්නා වෙදකමක් නැත. | තම ප‍්‍රජාව චූන් කිරීමට ශීතාගාර ගෙනවිත් ලැබුණු ජනවරමට නිගා දියයුතු නැත.

colombotoday

කොතරම් මිලේච්ඡ ප්‍රහාරයක් කළත් සාමකාමී වන්න.. ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වේවි.

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරන්න.” ආබාදිත රණවිරුවෝත් ඉල්ලති

colombotoday