Colombo Today Local NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට වන යෝජනාව ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට අස්ගිරි මහා විහාරයට රැස් වූ තෛනිකායික මහා සංඝරත්නය පෙරේදා තීරණය කළහ. මේ ඒ පිළිබඳ ආචාර්ය නලින් ද සිල්වා මහතා සමග රිවිර පුවත්පත කළ සාකච්ඡාවකි.

ප‍්‍ර – මේ අවස්ථාවේ රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප‍්‍රකාශයක් නිකුත් කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පි – මේ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා කළ මැදිහත් වීම පිළිබඳ මා තුළ භක්තියක් සහ ප‍්‍රසාදයක් තිබෙනවා. 1978 ව්‍යවස්ථාවත් සිංහල බෞද්ධයාට මේ රටේ හිමි විය යුතු තැන ලබා දුන් එකක් නෙමේ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ විශාල වුවමනාවක් තියෙනවා.

බටහිරයෝ මේ ආණ්ඩුව බලයට පත් කරන්නේ 78 ව්‍යවස්ථාවටත් වඩා සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණින් කියලා මේ ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කරන විට මම පැහැදිලිව ම කීවා. මේ රටේ මිනිස්සු ඒක තේරුම් ගත්තේ නෑ. මිනිස්සු රැුවටුණා. දැන් මේ ව්‍යවස්ථාවක් ගේන්න යන්නේ බටහිර සහ ඉන්දියානු වුවමනාව අනුව මේ රටේ සිංහල බෞද්ධ විශේෂත්වය සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඒ නිසා මේ වෙලාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මම විරුද්ධයි.

2015 මේ රටේ මිනිස්සු මෛත‍්‍රීපාලට හෝ මහින්දට අලූත් ව්‍යවස්ථාවක් ගේන්න ඡුන්දය දුන්නේ නෑ. මහින්ද අලූත් ව්‍යවස්ථා ගැන කිසිවක් කීවේ නෑ. මෛත‍්‍රීපාල කීවෙත් ජනමත විචාරණවලට යා යුතු ව්‍යවස්ථා සංශෝධනවලට නොයන බවයි. ඒ අනුව 2015 මේ රටේ කිසිවකු අලූත් ව්‍යවස්ථාවකට ඡුන්දය දීලා නෑ. ඒ නිසා අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්පූර්ණයෙන් ම මේ රටේ ජනමතය කොල්ලකෑමක්.

අපි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් ලබා දෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා තව කල් තියෙනවා.  ඉංගිරිසිකාරයන්ට ලිඛිත ව්‍යවස්ථාවක් නැතත් ඔවුන්ගේ සම්ප‍්‍රදාය අනුව එංගලන්ත රජු හෝ රැුජින තමයි ක‍්‍රිස්තියානි ඇන්ග්ලිකන් පල්ලියේ නායකයා. ඔවුන්ට එම සම්ප‍්‍රදාය පවත්වා ගෙන යාම හොඳ නම් ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ඇති අපට ඇයි එය හොඳ නැත්තේ? අවුරුදු 2400ක විතර මේ රටේ පවතින ඉතිහාසයට ගරු කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට ප‍්‍රමුඛතාව හිමි වන ව්‍යවස්ථාවක් තනා ගත යුතුයි. එහෙත් 78 ව්‍යවස්ථාව හොඳයි කියලා එයින් කියවෙන්නේ නෑ. එය වෙනස් කළ යුතුයි. විශේෂයෙන් 78 ව්‍යවස්ථාවට ඉන්දියාව බලහත්කාරයෙන් එකතු කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉවත් කළ යුතුයි.

ප‍්‍ර – 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුත්තේ ඇයි?

පි – එය සම්පූර්ණයෙන් ඉන්දියානු වුවමනාව මත ගෙන ආ සංශෝධනයක්. මේ රටේ දෙමළ ජනවර්ගයට අසාධාරණයක් වන බව කියමින් ඒ සංශෝධනය ගෙනාවේ. මේ දෙමළ ප‍්‍රශ්නය පටන් ගත්තේ 1956 හෝ 1983 නෙමෙයි, 1831 ව්‍යවස්ථාදායක සභාවක් හදලා සිංහල, දෙමළ කතා කරන සහ බර්ගර් ජනතාව වෙනුවෙන් එක නියෝජිතයා බැගින් පත් කිරීම නිසායි. ගැටුමේ මුල එතන. 75%කට වැඩි සිංහලයා වෙනුවෙන් එක නියෝජිතයයි. එකල 10%ක්වත්  නොසිටි දෙමළ මිනිස්සු වෙනුවෙන් එක නියෝජිතයයි. ඒ බලය දිගටම පවත්වා ගෙන යාමට දෙමළ නායකයෝ උත්සාහ කළා. එය පොන්නම්බලම් සහෝදරයෝ අතේ වර්ධනය වෙලා චෙල්වනායගම් වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට ආවා. ඒ වෙනම රාජ්‍යය වෙනුවෙන් තමයි ප‍්‍රභාකරන් ආයුධ අතට ගත්තේ.

ඒ දෙමළ ජාතිවාදී දේශපාලනය වගේ ම ඊට ඊනියා විසඳුම් ලෙස ඉදිරිපත් කළ 13 වැනි සංශෝධනයත් අපි 2009 නන්දිකඩාල් කලපුවේ දී පරාජය කළා. එලෙස පරාජය වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දේශපාලනික පැවැත්මක් නෑ. ඊට හිමි නෛතික පැවැත්මත් අහෝසි කළ යුතුයි. එය බලාත්මක කිරීමට ජනමත විචාරණයක් නොපැවැත් වූ නිසා එය අහෝසි කිරීමටත් ජනමත විචාරණයක් අවශ්‍ය නෑ.

ප‍්‍ර – විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යැයි සමහරු ප‍්‍රකාශ කරනවා?

පි – විධායක ජනාධිපති ක‍්‍රමයට ප‍්‍රතිපත්තියක් හැටියට මමත් කැමැති නැහැ. එහෙත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින තුරු විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි.

ප‍්‍ර – 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක පසුබිමක විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත්?

පි – 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් මෙතෙක් ආණ්ඩුකාරවරයා ඔස්සේ ජනාධිපතිට හිමි බලතලත් මහ ඇමැතිගේ අතට පත් වෙනවා. එය භයානක තත්ත්වයක්

ප‍්‍ර – දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් පවසනවා ජාතික ගැටලූවට විසඳුම් ලබාදීමට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයයි කියලා?

පි – මම දැන් අවුරුදු තිස් ගාණක් තිස්සේ මේ අයගෙන් අහනවා දෙමළ ජනතාවට දෙමළ ජනතාව වීම නිසා ම මේ රටේ තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියලා. ඒකට තවම කවුරුවත් උත්තර දීලා නෑ. සුමන්දිරන්ලා මුණගැහෙන්න යන මාධ්‍යකාරයෝ ඒක ඔහුගෙන් අහන්නෙත් නෑ. සුමන්දිරන් කියන්නේ දෙමළ මෙතෝදිස්ත සභාවේ පුද්ගලයෙක්. මෙතෝදිස්ත පල්ලිය ඇන්ග්ලිකන් ක‍්‍රිස්තියානි පල්ලිය සමග බොහොම සමීපයෙන් වැඩ කරනවා. ඔහු හින්¥න් වෙනුවෙන් නෙමේ ක‍්‍රිස්තියානි පල්ලිය සහ බටහිර අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නෙක්.

මේ දෙමළ නායකයන්ට වගේම බොහෝ සිංහල නායකයන්ට තියෙන්නේ ක‍්‍රිස්තියානි සම්භවයක්. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අල්ල ගන්න ගියේ බණ්ඩාරනායකයි තම්බි මුදියන්සෙයි දෙන්නා. මේ මිනිස්සුන්ගෙන් පැවතෙන අය තමයි රටේ ආණ්ඩු කරන්නේ. සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු ජනතාව අතර සමගියක් ගොඩනගාගත නොහැකි වීම අප ලද ඓතිහාසික පරාජයක්. සිංහල බෞද්ධයෝ හින්දු ජනතාව සමග එකතු වෙලා සුමන්දිරන්ලාට විරුද්ධව වැඩ කරන්න  ඕන.

අද යාපනේ හින්දු ක‍්‍රිස්තියානි ගැටුම ඉස්මතු වෙලා. එය විග්නේශ්වරන් සුමන්දිරන් ගැටුමක් විදිහට තමයි උඩට එන්නේ. විග්නේශ්වරන් ඉවත් කළ ඇමැතිවරු දෙදෙනෙක් ක‍්‍රිස්තියානිකාරයෝ. පල්ලියේ පූජකයෙක් ඉදිරිපත් වෙලා තමයි ඒ ගැටුම සමථයකට පත් කළේත්. මේ රටේ පවතින ක‍්‍රිස්තියානි ආධිපත්‍ය තමයි සියලූ ගැටලූවලට මුල.  ඒ සඳහා විසඳුම තමයි සාමාන්‍ය හින්දු ජනතාව සමග සිංහල බෞද්ධ ජනතාව එකතු වී උතුර දකුණ වෙළාගෙන පවතින ක‍්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිව කටයුතු කිරීම.

ප‍්‍ර – සුමන්දිරන් කියනවා යෝජිත ව්‍යවස්ථාවේ ෆෙඩරල් කියන වචනය නැති වුණාට එහි ෆෙඩරල් ලක්ෂණ තියෙනවා කියලා?

පි – සුමන්දිරන් කියන්නේ ඇත්ත. ”බුදු සසුන බැබළේවා!”” කියලා ලොරිය ඉස්සරහ බෝඞ් ලෑල්ලේ ගහලා හොර හරක් පටවනවා නේ. ඒක ව්‍යවස්ථාවෙත් කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ ඒකීය ලේබලය ගහන්න පුළුවන්. බුදු දහමට ප‍්‍රමුඛතාව දෙනවා කියලත් ලියන්න පුළුවන්. හැබැයි ප‍්‍රායෝගිකව ඒ කිසිවක් නොවන තැනට වෙනත් වගන්ති ඇතුළු කරන්න පුළුවන්. සුමන්දිරන් දන්නවා මේ වැඬේ කරන විදිහ.

ප‍්‍ර – ඇතැම් අවස්ථාවල මේ රටේ රාජ්‍ය කිහිපයක් තිබුණා. ඉතින් ඇයි අපි ෆෙඩරල්වලට විරුද්ධ වෙන්නේ?

පි – මේ රටේ එදා මෙදා තුර පවතින්නේ එක්සේසත් රාජ්‍යයක්. යම් යම් සතුරු ආක‍්‍රමණ සහ කැරලි නිසා ඒ එක්සේසත් රාජ්‍යය බිඳ වැටෙන්න පුළුවන්. ආක‍්‍රමණිකයෙක් ඇවිල්ලා රටින් කොටසක් අල්ල ගන්නවා. ඒත් ඊට පසු රජ කෙනෙක් රට නැවත එක්සේසත් කරනවා. ඉතිහාසයේ වලංගුභාවය තිබෙන්නේ එලෙස වසර දහස් ගණනක් මේ රටේ පැවති එක්සේසත් රාජ්‍යයට මිසක් ඉඳ හිට ඇති වූ අතුරුඵලවලට නෙමෙයි. මේ අතුරුඵල කවදාවත් මේ රටේ ස්වාධීන රාජ්‍යය විදිහට තිබුණේ නෑ. යාපනේ රාජ්‍යය පවා කවදාවත් ස්වාධීන රාජ්‍යයක් වුණේ නෑ. යාපනේ කවදාවත් දෙමළ රාජ්‍යයක් තිබුණෙත් නෑ.

ආර්ය චක‍්‍රවර්ති කියන්නේ දෙමළ නෙමෙයි පාණ්ඩ්‍ය පුද්ගලයෙක්. එළාරවත් සොළියෙක් නෙමෙයි. සොළීන් බිහි වුණේ ක‍්‍රි.ව. 5 වෙනි සියවසේ. ගැමුණු රජු හිටියේ ක‍්‍රි.පු. 1 වන සියවසේ. 5 වෙනි සියවසේ ඇති වුණු සොළීන් කොහොමද ක‍්‍රි.පූ. 1 වන සියවසේ ලංකාවට එන්නේ? 5 වෙනි සියවසේ අපට සොළීන්ගෙන් කරදර තිබුණු නිසා මහා වංසය රචනා කළ හාමුදුරුවෝ එළාර ආක‍්‍රමණයත් සොළීන්ට පටවනවා.

ප‍්‍ර – ඇතැම් අය භික්ෂූන් වහන්සේලා කළ මැදිහත් වීම රාජ්‍ය පාලනයට ආගමික සංස්ථාව කළ අනවශ්‍ය අතපෙවීමක් ලෙස හුවා දක්වන්න උත්සාහ කරනවා?

පි  – යමෙක් එහෙම කියනවා නම් ඔහු මේ රටේ ඉතිහාසය දන්නේ නෑ. මේ රටේ රාජ්‍ය පාලනය තුළ භික්ෂූන් වහන්සේ සහ රජතුමා එක සමාන මට්ටමක හිටියේ. රජුට අනුශාසනා කළේ බමුණු පුරෝහිතයෝ නෙමෙයි භික්ෂූන් වහන්සේ. භික්ෂූන් වහන්සේ හෝ රජු දුර්වල වුණු අවස්ථාවල රාජ්‍යය කඩා වැටෙනවා. භික්ෂු සමාජයේ එක්තරා කඩා වැටීමක් අද පවතින බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.

උන්වහන්සේලා නැවත නැගී සිටියොත් එය රටේ වාසනාව. භික්ෂූන් වහන්සේලා පාලකයාට අවවාද අනුශාසන කළ යුතුයි. අවශ්‍ය අවස්ථාවේ විරුද්ධව නැගී සිටිය යුතුයි. කෙසේ වුවත් ගිහි අපට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙන්න බෑ. ඒ සඳහා කිසිම ගිහියකුට අයිතියක් නෑ. මම කරන්නේ මගේ අදහස් පැවසීම මිස උන් වහන්සේලාට උපදෙස් දීමක් නෙමයි. එදා රජවරු දේශපාලනය කළේ සිංහල බෞද්ධ රාජ්‍යය රැුකීම සඳහා. අද පවතින පක්ෂ දේශපාලනය තුළ රාජ්‍ය රැුක ගැනීම පැත්තකට විසි වෙලා පක්ෂය සහ තම තනතුර රැුක ගැනීම පාලකයාගේ දේශපාලනය වෙලා. එහෙත් හාමුදුරුවරු එදත් අදත් කටයුතු කරන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය රැුක ගැනීම සඳහා.

හාමුදුරුවන්ගේ මේ මැදිහත් වීම ගිහියෝ ගසා කන එකක් නෑ කියලා මම බලාපොරොත්තු වෙනවා. හෙට අනිද්දා වෙද්දී දේශපාලකයෝ අස්ගිරියට දුවන්න ඉඩ තියෙනවා. ජනාධිපති, අගමැති හෝ හිටපු ජනාධිපති ආවත් භාර ගන්න නරකයි. පාලකයෝ කළ යුත්තේ මහා සංඝ රත්නයේ අවවාද අනුව කටයුතු කිරීමයි. එහෙම නොකරන පාලකයන්ගේ කිසිම උත්සවයකට උන්වහන්සේලා නොවැඩිය යුතුයි. වර්ජනය කළ යුතුයි. කාදිනල්වරයා එහෙම කළා. මේ රටේ කාදිනල්ට ඇති බලය මහා නායක හාමුදුරුවන්ට නෑ. කාදිනල්ගේ වචනයට ආණ්ඩුව සැලෙනවා. ඒ සැලෙන තත්ත්වය මහා නායක හාමුදුරුවෝ ගොඩනඟාගත යුතුයි.

ප‍්‍ර – මේ නව දේශපාලන තත්ත්වය සමග රටේ අනාගත දේශපාලනය කුමන හැඩයක් ගත හැකි ද?

පි –  මේක තමයි මේ රටේ ඓතිහාසික දේශපාලන ප‍්‍රවණතාව. එය දේශපාලකයන්ට කුරුවල් කිරීමට ඉඩ නොතබා නිවැරදිව ඉදිරියට ගියොත් නැවත වරක් මේ පොළොවේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනගා නැගේවි.

සාකච්ඡා කළේ : නාමල් උඩලමත්ත

Related posts

ඇමති මග නැගුමට ගිහින්, පොලීසිය අපට කුඩු වෙන්න ගැහුවා, අත්අඩංගුවට ගත් අය ආගිය අතක් නෑ – අන්තරේ

colombotoday

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

මලික්ටත් ගුටි…

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

පාර්ලිමේන්තු නව සැසියට එක් වූ 4ක් කොරෝනා ආසාදිතයින්

colombotoday

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday