Colombo Today Local News

රනිල්, මලික්, කබීර් බේරා සියළු කුණු රවීට පටවයි.. බැදුම්කර මගඩිය යට ගහන්න හදන හැටි මෙන්න

බැදුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන් හදුණාගැනීමට පත් කළ ‘බැදුම්කර කොමිසම‘ රාජ්‍ය බැංකු බාර කබීර් හෂීම් අමාත්‍යවරයාත්, එදා කිසිම රාජ්‍ය තනතුරක් නොතිබුණු මලික් සමරවික්‍ර‍මත් අතහැර ‘අක්‍ර‍මිකතා පිළිබද වගකිව යුතු තැනැත්තා හෝ තැනැත්තන් හදුණාගන්නට උත්සහ දැරීම ‘ඇරලා බලන්න ලයිෂන් තිබිය දී ඔබලා බලන කොමිෂන් වැඩක්‘ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් තෙන්නකෝන් මහතා ප්‍ර‍කාශ කළේ ගැසට් නිවේදනයට අනුව ‘ රාජ්‍ය බැංකු විෂය භාර අමාත්‍යවරයා කබීර් හෂීම් මහතා යි. මහ බැංකුව තියෙන්නේ අග්‍රාමත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා යටතේ යි. එසේ තිබිය දී, නමට පමණක් මුදල් ඇමති රවී කරුණානායක මහතා පිටින් සියළු කුණු යවා ‘බැදුම්කර මහ මගඩිය‘ යට ගැසීමට උත්සහ දරනවා. අප කථා කරන්නේ රුපියල් බිලියන 12 කට වැඩි වංචාවක් පැය 72 ක දී සිදු වූ විෂයක් ගැනයි. සේවක අර්ථසාධක අරමුදල ඇතුලු ලංකාවේ වැඩ කරන පන්තියේ ජනතාවට සිදු වූ පාඩුව ගැන තවම අදහසක් හෝ නෑ. කොමිසම පත් කළේ මේ ‘අක්‍ර‍මිකතාවන්ට සම්බන්ධ වී ඇති තැනැත්තන් හදුණාගැනීමටයි‘. එහෙම නැතිව ඇලෝසියස් ගේ මුදලින් නිවාස මිලදී ගත්, ව්‍යාපාර සිදුකරන පුද්ගලයින් හදුණාගැනීමට නොවෙයි. රවී ගේ ශරීර කුඩුවට මුවා වී මහ මගඩිය පිටුපස සිටි පුද්ගලයින් සැගවීමට ඉඩ නොදිය යුතුයි. කබීර් හෝ මලික් බැදුම්කර වංචාවට අදාළ මුල් රැස්වීමට සම්බන්ධ වූයේ කෙසේද? ඒ සදහා ඔවුන් පෙළඹවූයේ කවුරුන්ද? යන්න හෙළදරව් කර ගැනීම වැදගත්. ඔවුන් දෙදෙනා ද මෙම අක්‍ර‍මිකතාවට සම්බන්ධ නොවන්නටත් හැකියි. නමුත්, ඔවුන් ඉහළම වැදගත්කම ඇති සාක්ෂිකරුවන් බව නම් පැහැදිලියි.

බැදුම්කර මගඩිය පටන්ගන්නේ කබීර් හෂීම් හා මලික් සමරවික්‍ර‍ම දෙදෙනා සිටින රැස්වීමකින් බව කෝප් කමිටුවෙත්, විගණන වාර්තා හා බැදුම්කර කොමිසමේ අනාවරණය වී තිබෙනවා. ඒ බව රටම දන්නවා. හැබැයි තවමත් කබීර් හෂිම් හෝ මලික් සමරවික්‍ර‍ම කොමිසම හමුවට ගෙන්වා නෑ. ඔවුන්ට තමන් දන්නා කරුණු හෙළි කිරීමට අවස්ථාවක් ලබාදීමට කොමිසම කටයුතු කළ යුතුයි. අනෙක් අතට, මෙය ඔවුන් දෙදෙනා පටවලා වෙනත් අයෙකුට ගැලවීයාමට ලබාදුන් අවස්ථාවක් නම් එය ද හෙළිදරව් කර ගැනීම කොමිසන් සභාවේ රාජකාරියක්. මහ බැංකුවේ මධ්‍ය මට්ටමේ නිලධාරීන්ට ලැබෙන ප්‍ර‍මුඛත්වය හෝ ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ට ලැබී නැ.

රවී කරුණානායක මහතා පෙන්වා මේ වංචාවේ මහ මොළකරුවන් ගැලවී යාමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ වන විට මහ බැංකු වංචාව පිළිබද චෝදනා එල්ල වී ඇති මහ බැංකු නිලධාරියෙකුට රජයේ උපදේශක පත්වීමක් ලබා දෙන්නට සුදානම් වෙනවා. බැදුම්කර කොමිසම තවත් සති 2 කින් සිය කටයුතු අවසන් කළ යුතුයි. කොමිසම හෙමින් හෙමින් ඉනිමග නැගලා, අන්තිම පඩි දෙක තුනට ඉස්සර ඉණිමග පෙරළිය යුතු නෑ. රටම බලාගෙන ඉන්නවා. ලෝකයම බලාගෙන ඉන්නවා. යහපාලන රජයේ දුෂණ විරෝධය ඇත්තක් ද? බොරුවක් ද? කියලා. ඇස්බැන්දුමක් ද? කියලා.

පරිගණක දත්ත විනාශ කිරීම, දුරකථන දත්ත විකෘති කිරීම ගැන රහස් පොලිස් පරීක්ෂණ සිදුවීම හොදයි. නමුත්, සැබෑ ලෙසම අපරාධ පරීක්ෂණයක් ඇරඹිය යුත්තේ බැදුම්කර කොමිසම විසින් අනාවරණය කර ගන්නා තැනැත්තන් පිළිබදවයි. ‘සූපිං කෑලි‘ පිළිබද කථා ඇස්බැන්දුමක් නොවිය යුතු යැයි ද, තෙන්නකෝන් මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය
කැෆේ සංවිධානය

Related posts

රොහින්ග්‍යා ගැටළුව ගැන රවුෆ් හකීම් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි..

colombotoday

විපක්‍ෂ සටනින් සියල්ල පරදා කිරිඇල්ල දිනයි.. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඔහුටයි

colombotoday

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday

කොළඹ කුණු කොන්ත්‍රාත් වලින් කෝටි 32ක පාඩුවක්

colombotoday

බැදුම්කර මගඩියෙන් රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් එකසියය ඉක්මයි !

colombotoday

දේශපාලන පන්දමට ප්‍රධාන පොලිස් පරික්ෂක උසස්වීම් දීලා

colombotoday