Colombo Today Local News

බුදුන් වහන්සේගේ පින්තූරය දාන්නත් අගමැති රනිල්ගෙන් අවසර ගන්න වෙයි !

නීතියෙන් රට බෙදීමට ආණ්ඩුව උත්සාහ ගන්නා මේ මොහොතේ හිටපු ජනාධිපතිතුමන් ද පාර්ලිමේන්තුව තුළ සිටින බැවින් යුද්ධ කර රට බෙදීම වැළැක්වූ සටනට නායකත්වය දුන් එතුමාටම නිතියෙන් රට බෙදීම වැළැක්වීමේ සටනේත් නායකත්වය ගැනීමට සිදුව ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘යදමින් බැඳි අක්‍ෂර’ කෘතිය ජනගත මංගල්‍යයේ දී කතුවර දේශනය සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.


“මම අත්අඩංගුවට ගෙන සිරගත කළ දිනය මගෙන් කෙනෙක් ඇහුවොත් අද ඒ දිනය හරියට කියන්න මට මතක නැහැ. නමුත් ආයෙත් බොරු චෝදනා එල්ල කරලා අප සිරගත කළොත් ඒක සතුටින් භාරගත හැකි මනසකුත් දැන් අපි හදාගෙන තියෙනවා. මම දැනුයි දන්නේ ‘මාස 03ක් හිරේ හිටියාම පොත් දෙකකුත් ලියලා ගීතයකුත් කර ගන්න පුළුවන් නේ’ කියලා. අනිවාර්යෙන්ම ඔය මාස තුන මම රිමාන්ඞ් බන්ධනාගාරයේ නොහිටියා නම් මේ පොත් දෙක ලියවෙන්නේ නැහැ. මේ ගීතය ලියවෙන්නෙත් නැහැ. ඒ නිසා රිමාන්ඞ් බන්ධනාගාරයේ මාස තුනක කාලය අවුරුදු තුනක ප්‍රයෝජන ගන්න පුළුවන් කාලයක්. එතැන ඉන්න කොට වයිබර්, වට්ස්ඇප්, එස්.එම්.එස්. පණිවිඩ එන්නේ නැහැ. ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය පරිහරණය නොකර ඉන්න පුළුවන්. දේශපාලන කටයුතු සහ සමාජ කටයුතු සඳහා ඇරයුම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාලය එක අරමුණකට යොදවන්න පුළුවන්. වාසුදේව නානායක්කාර මැතිතුමා 1971 අප්‍රේල් අරගල සමයෙන් පසුව අවුරුදු 02ක් පමණ සිරගතව සිටියා. එතුමා මෙතැනට පැමිණි පසු මගෙන් ඇහුවා ‘මොකක්ද සිරකරු අංකය?’ කියලා. මම කිව්වා ‘205’ කියලා. ඒ වෙලාවේ වාසුදේව සහෝදරයාත් ඔහුගේ අංකය කීවා ‘40’ කියලා.

‘රට වෙනුවෙන් ඉටු කළ යුතු භූමිකාව’

කවර චෝදනා දමලා සිරගත කළත් රට වෙනුවෙන් ඉටු කරන්න තිබෙන භූමිකාව, ඒ කවර තත්වයක් යටතේ වුවත් අපට ඉටු කරන්න පුළුවන්. සිරගත තත්වයක් තුළ ඉටු කළ හැකි භූමිකාවයි මේ ඉටු කළේ. රට යහපත් අතට හරවා ගන්න ‘රටට උවමනා වම’ කෘතිය මෙන්ම, සිරගත දිවියේ අත්දැකීම් සහ ඒ කාලයේ සිත තුළ පැන නැඟුණු සිතිවිලි ඇතුළත් මේ කෘතිය දායක වේ නම් අපට සතුටු විය හැකියි ‘ඒ භූමිකාව අපි නිවැරදි ලෙස ඉටු කළා’ කියලා. රාජ් සෝමදේව මහාචාර්යතුමන් මීට ඉහතදී පැවසුවා වගේ රටේ ඓතිහාසික සභ්‍යත්වය නිවැරදිව තේරුම් ගැනීමත් ඒ සභ්‍යත්වයේ මුදුන් මුල් ආරක්‍ෂා කර ගැනීමත් ඒ ඓතිහාසික සභ්‍යත්වය මත පදනම්ව ජාතිය ඉදිරි අනාගත ගමන කරා රැගෙන යාමත් නූතන දේශපාලනඥයන් හැටියට අපට පැවරී ඇති අනිවාර්ය වගකීමක්.

‘මල්වතු – අස්ගිරි කාරක සංඝ සභා සහ අගමැතිවරයා’

‘මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදාමය මේ මව් පොළොවට මොන තරම් අනතුරුදායක ද? යන්න ගැඹුරින් වටහා ගෙන මල්වතු – අස්ගිරි උභය විහාරයීය කාරක සංඝ සභා එම අනතුරුදායක ක්‍රියාදාමය නතර කරනා ලෙස අාණ්ඩුවෙන් ඉල්ලා සිටියා. ඊට අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාරය දැක් වූ ආකාරය මුළු රටම දැක්කා. මේ පොළොවේ සභ්‍යත්වය පිළිබඳ අවම විඥානයක් තිබුණා නම් අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වන්නේ ඔය ආකාරයට නොවෙයි. මල්වතු මහනාහිමි රටේ නැති වෙලාවක, අස්ගිරි මහනාහිමි එම කාරක සභා රැස්වීමට වැඩම කර නැති වෙලාවක, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඡායාරූප සහිතව ‘නව ව්‍යවස්ථාවක් එපා! මල්වතු – අස්ගිරි කාරක සංඝ සභා ඒකමතිකව තීන්දු කරති’ යන ශීර්ෂ පාඨය සහිත ප්‍රවෘත්තියක් පළ වන්නේ කෙසේද? කියන එකයි අගමැතිවරයාට තිබෙන ප්‍රශ්නය. දැන් බුදුරජාණන්වහන්සේගේ පින්තූරයක් දමන්නත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් අවසරය ගැනීමට සිදු වේවි. මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඡායාරූප දමන්නේ එමගින් මල්වතු – අස්ගිරි කාරක සංඝ සභා දෙකම නියෝජනය කිරීමටයි. උන්වහන්සේලා එම කාරක සංඝ සභාවන්හි සභාපතීත්වය දරන නිසා එසේ ඡායාරූප භාවිතා කර තිබුණා. නමුත් අගමැතිවරයාගේ තර්ජනයෙන් පසුව, ඊට මදක් බිය වූ ඇතැම් මාධ්‍ය පසුදින ‘මල්වතු – අස්ගිරි මහනාහිමිවරු නව ව්‍යවස්ථාවක් එපා, කියා පවසා නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ දෙසා වදාළහ’ යනුවෙන් ප්‍රවෘත්තියක් ද පළ කොට තිබුණා. අගමැති එසේ පවසන්නේ කොහොමද? ඔහු මල්වතු පාර්ශ්වයේද? කවර නිකායේද?

‘ජාතියේ මුල් උදුරා දමන ඉවැන්ජලික වික්‍රමරත්න’

චන්ද්‍රිකාගේ ව්‍යවස්ථා පැකේජය හදන විටත් කර ගහපු, රනිල්ගේ ව්‍යවස්ථා පැකේජය හදන්නත් මුල් වී කටයුතු කරන ජයම්පති වික්‍රමරත්න කියන්නේ තමන්ට ඓතිහාසිකව ලැබුණු ආගම මාරු කළ තැනැත්තෙක්. ඔහු මාරු වී ඇත්තේ නිකම් ආගමකට නොවෙයි, ඇමෙරිකානු ආධාර මත රටවල් වෙත පටවන ආගමකට. ඔහු ඇමෙරිකානු ඉවැන්ජලික ආගම වැලඳගත් අයෙක්. එහෙම අයකුට ජාතියක මුල් උදුරා දැමීම පහසු දෙයක්. අගමැතිවරයා දෙස බැලුවාමත් පෙනෙන්නේ එයමයි. ඒ නිසා අප ඉදිරියේ තිබෙන්නේ රටේ ඒකීයභාවය, රාජ්‍යය රැක ගැනීම පිළිබඳ අභියෝගයක් පමණක් නොවෙයි, ‘මේ රාජ්‍යය ඓතිහාසිකව රැක බලාගත් සභ්‍යත්වය, ඒ ශිෂ්ටාචාරගත මනස රැක ගන්නේ කොහොමද? කියන අභියෝගයත් අප ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝගය ජය ගැනීමට දේශපාලනයේ සිටින අප පමණක් නොවෙයි, මේ සමාජයේ සිටින විද්වත්. බුද්ධිමත් සියලු කොටස් විශාල කතිකාවකට එළඹිය යුතුයි. ඒ කතිකාව ඇති කිරීමට මේ කෘතියෙන් යම් හෝ දායක වීමක් ලබා දී තිබෙනවා නම් මා සිතනවා, ‘සිරගත මාස තුනක කාලය අර්ථවත් ලෙස ගෙවුණා’ කියා.

‘හැරවුම් ලක්‍ෂ්‍යයක්’

රාජ් සෝමදේවයන් පැවසූ අන්දමින් අපි අද සිටින්නේ හැරවුම් ලක්‍ෂ්‍යයක. යම්කිසි ලෙසකින් මේ ගෙනවිත් තිබෙන බෙදුම්වාදී ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේදී 2/3ක ඡන්දයෙන් සම්මත වුවහොත් මේ රාජ්‍යයේ අවගමනය ඉතාමත් වේගයෙන් එතැන සිට පටන් ගන්නවා. බෙදුනු අධ්‍යාපනයක්, බෙදුනු සෞඛ්‍ය සේවාවක්, එක් එක් පළාතට එක් එක් නීති, මෙම ක්‍රියාදාමයෙන් පසු අපට උරුම වේවි. මෙතැන සිටින හිටපු උතුරු හා නැඟෙනහිර ආණ්ඩුකාරතුමන්ලාට මතක ඇති එම පළාත් සභාවලින් සම්මත කර ගැනීමට උත්සාහ කළ හානිකර ප්‍රඥප්ති, ආණ්ඩුකාර බලය යොදා ඒවාට අත්සන් නොකර ඒවා නීති බවට පත් වීමට ඉඩ නොදුන් හැටි. ආණ්ඩුකාරවරයාගේ ඒ බලය මේ නව ව්‍යවස්ථාවෙන් උදුරා ගත්තාම ඉතාම හානිකර නීති එක් එක් පළාත තුළ සම්මත වීමට පුළුවන්. උතුරු – නැඟෙනහිර පළාත් අාණ්ඩුවෙන් සහජීවනයට ඉතාමත් හානිකර නීති ගෙන ඒමට පුළුවන්. මධ්‍යම පළාත් සභාවෙන් වතුකරයේ ජීවත් වන ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාවට හානිකර නීති ගෙන එන්න පුළුවන්. උතුරු – නැඟෙනහිර පළාත් තුළ පොලිස් බලය එම පළාත් තුළ සිටින සිංහල සුළුතරයට එරෙහිව පාවිච්චි වෙන්න පුළුවන්. ඒ ඉරණම මධ්‍යම පළාත තුළ සිටින ඉහත කී වතුකරයේ දෙමළ ජනතාවට අත්වෙන්න පුළුවන්. ‘සංහිඳියා බණ’ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවත් මරා දමන ව්‍යවස්ථාවක් තමයි අද අප ඉදිරිපිට නිර්මාණය වෙමින් තිබෙන්නේ.

‘මහින්ද ජනපතිතුමනි, නායකත්වය ගන්න…’

ඒ නිසා එවැනි ව්‍යවස්ථා කෙටුම්පතකට 2/3ක ඡන්දයක් ලැබෙනවා නම් එවැනි පාර්ලිමේන්තුවකින් මේ මව් පොළොවට වැඩක් නැහැ. ඒ වගේ භයානක අපරාධයක් මේ මව් පොළොවට එරෙහිව සිදු කරන විට ඊට අත ඔසවන්නේ නැතිව ඉන්න මන්ත්‍රීවරු 76 දෙනෙකු නැති පාර්ලිමේන්තුවක් කොස් කොටන්න ද? එහෙම වුණොත් වෙන්නේ රාජ් සෝමදේවයන් ඉහත දී පැවසූ අන්දමට ‘මහරගම හන්දියේ කුණු දැමීම නතර කළ ආකාරයට‘ හෝ ඒ 76 දෙනා හදා ගැනීම. පොල් ගහනවාට මේ අය බයයි. බන්දුල ගුණවර්ධන මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය පොල් ගැසීමේ ව්‍යාපාරයක් ගෙන යන විට එජාප මන්ත්‍රීවරු ඒක යාළුකමට කතා කරලා නතර කර ගන්න හදපු හැටි අපට මතකයි. දැන් පොල් ගිනි ගණන්. ඒ නිසා ‘එලොව පොල්’ හරි ගහලා, අඹරන දෙයක් අඹරලා කොහොම හරි මේ අපරාධයට අත ඔසවන්නේ නැති 76ක් පාර්ලිමේන්තුව තුළ හදාගත යුතුයි. එහෙම බැරි වුණොත් ඒ පාර්ලිමේන්තුවට ඊළඟ දවසේ උඩින් ගිහින් බෝම්බයක් ගහලා ඉවර කරලා දාන්න ඕනෙ. අද ඒක තමයි ඇතැම් මාධ්‍ය හෙඞ්ලයින් එකට ගන්නේ (සභාවේ සිනා). ජනතා විමුක්ති පෙරමුණ නම් දැන් එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ අය දැන් හොඳටම හීලෑ වෙලා ඉන්නේ.

අද මෙතැන ඉන්නවා මේ රට බේරගත්තු නායකයා සහ ඒ සඳහා ත්‍රිවිධ හමුදාව කළමනාකරණය කළ යුද නායකයා. අපි අපේ ඇස් දෙකෙන් දුටුවා ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොවෙයි දිවි පුදා මේ රට බේරා ගත්තු ජවනිකා. කෙසේ හෝ අපට පාර්ලිමේන්තු තුළ මේ අපරාධයට අත නොඔසවන 76ක් හදාගන්න බැරි වුණොත්, මේ ව්‍යවස්ථා කෙටුම්පත නීතියක් බවට පත් වුණොත් එතැන් සිට අපේ ඇස් දෙකෙන් රට බේරා ගන්න ජවනිකා දැක්කා වගේම රට වැනසෙන ජවනිකාත් දක්නට ලැබෙනවා. අපි උපරිම බර යෙදිය යුතුයි, මේ ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකින් පැරදවීමට නොවෙයි, පාර්ලිමේන්තුව තුළ 2/3 අහිමි කිරීමෙන් පැරදවීමට.

අතිගරු පස්වැනි විධායක ජනාධිපතිතුමනි, ඔබතුමා නායකත්වය දීලා බේරාගත්තු රට නීතියෙන් බෙදන්න හදන කොට ඔබතුමා ඉන්නවා පාර්ලිමේන්තුවේ. ඒ නිසා වළක්වන්න බැහැ, නීතියෙන් මේ රට බෙදන එක වළක්වන සටනෙත් නායකත්වය ගන්න වෙන්නේ යුද්ධ කරලා රට බේරාගත් නායකයාටම තමයි. ඒ නිසා අපි ඒ යුතුකම හා වගකීම දෙවුරට අරගෙන ඉහත කී අභියෝගය ජය ගනිමු.

‘සහෝදර සිරකරුවන්ට ස්තූතියි’

මේ කෘතිය සම්පාදනයේදී මට බෙහෙවින් උපකාරී වූ මා සමඟ සිරගතව සිටි සහෝදර සිරකරුවන්ට මේ මොහොතේ මගේ කෘතවේදීත්වය පළ කරනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්, ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ඇතුළු ඒ සිරගත දිවියෙන් අප ගලවා ගැනීමට වෙහෙසුණු සැමට ස්තූතියි. මා සිරගත කිරීමෙන් අනතුරුව බොහෝ දුක් පීඩා අනුභව කළ මගේ බිරිඳ, පුතා හා දියණියටත් මගේ ස්තූතිය පුද කළ යුතුයි. එසේම අපේ පක්‍ෂයේ සියලු පිරිස් වෙත ද මේ අවස්ථාවේ කෘතවේදීත්වය පළ කළ යුතුව තිබෙනවා.

‘විමල් කිසිදා ‘කට්’ නොකළ පංතිය’

මම කළුතර තිස්ස විද්‍යලයේ සිසුවකු ලෙස කලා අංශයෙන් උසස් පෙළ හදාරන විට තර්ක ශාස්ත්‍රය විෂයත් හැදැරූවා. ඒ සඳහා උපකාරක පංතියකට යන්න මට උවමනා වුණා. සවසට හෝලික්‍රොස් එකේ උගන්වන හොඳ ගුරුවරයකු ගැන මට ආරංචි වුණා. ඒ ගුරුවරයාගේ නංගිලා, මල්ලිලා හිටියේ මගේ ඉස්කෝලේ. ඔහුගේ නැඟණිය ඉගෙනුම ලැබුවෙත් මගේ පංතියේ. මම ඒ ගුරුවරයාගෙන් ඉගෙනුම ලැබුවේ මාස තුනක් පමණ කාලයක්. ඉන් අනතුරුව මම ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයකු ලෙස බවුතීස්ම වුණු නිසයි ඒ කාලය මාස තුනකට සීමා වුණේ. එතුමාගෙන් ‘ලොජික්’ ඉගෙන ගනිද්දී ඔළුවට ආපු අදහසුත් ඒ තරම් තදියමින් පූර්ණකාලීනව දේශපාලනයට එන්න යම් තරමකට බලපෑම් කළා. ඒ අනුව එතුමා නොදන්නවා වුණාට එසේ වීමට එතුමාත් වගඋත්තරකරුවෙක් (සභාවේ සිනා). එතුමා මාක්ස්වාදය පමණක් නොවෙයි, බොහෝ දර්ශනවාදයන් ගැන තමන්ගේ පංතියේදී කියා දුන්නා. ඒ පංතිය කවදාවත් ‘කට්’ නොකර යන්න ඕන වුණු පංතියක් වුණේ ඒකයි. එකෙන් අදහස් වෙන්නේ නැහැ අනෙක් පංති කට් කළා කියලා. අන්න ඒ ලොජික් ගුරුතුමා තමයි අද කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය දරමින් සිටින්නේ. එතුමන් තමයි අද මේ ‘යදමින් බැඳි අක්‍ෂර’ ජනගත කරන වෙලාවේ ප්‍රධාන දේශනය සිදු කරන රාජ් සෝමදේව මැතිතුමා. ඔබටත් බෙහෙවින් ස්තූතියි අපගේ ආරාධනාව පිළිගෙන මෙතැනට පැමිණ අනගි දේශනයක් පැවැත්වීම පිළිබඳව.

මේ කෘතිය පිළිබඳව කතිකාව ඉදිරියට ගෙන යාමට මෙතැනට පැමිණි ඔබ සියලු දෙනාට බෙහෙවින්ම ස්තූතියි”

මෙම අවස්ථාවට හිටපු ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, සාලින්ද දිසානායක, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික දීපාල් ගුණසේකර, නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ලලන්ත ගුණසේකර, රොජර් සෙනවිරත්න යන පළාත් සභා මන්ත්‍රීවරු ද හිටපු නැගෙනහිර පළාත් අාණ්ඩුකාර මොහාන් විජයවික්‍රම, හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර සී.ඒ. චන්ද්‍රසිරි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සිසිර සිරිබද්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තීරාණගම, ප්‍රවිණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායක, ශෂි වීරවංශ මහත්මිය සහ දියණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.

රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීම පූජ්‍ය කිරම විමලජෝති නාහිමි සිදු කළ අතර ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදු කරන ලදී.

පිළිගැනීමේ කතාව නීතිඥ කපිල ගමගේ මහතා සිදු කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ජනපති නෑ කීවාට විල්පත්තුවේ මහා විනාශයක්.. වන සංහාරය දෑසින් දුටු ඔටාරා කියන කතාව

colombotoday

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin

ඊබ්‍රහිම්ගේ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ බිලියන ගණනක් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට දීලා

colombotoday

වසර තුනහමාරටකට පසුව වැඩිම සංචාරකයන්ගේ පැමිණීම නොවැම්බරයේ

Admin

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ – ජනපති කියයි

Admin

දකුණු කොරියානු යුද නැවක් වසර 6කට පසු කොළඹ වරායට සේන්දු වෙයි

Admin