Colombo Today Local News

යාපනේ හින්දු කෝවිල්වල බිලිපූජා තහනම් කරමින් විනිසුරු ඉලංචේලියන් තීන්දුවක් දෙයි !

හින්දු දේවස්තානවල සිදුකෙරෙන බිලි පූජා තහනම් කරමින් යාපනය මහාධිකරණය අද (24) නියෝගයක් ලබා දී ඇත.

කවුනාවත්තේ නරසිම්මර් කෝවිලෙහි වාර්ෂිකව පැවැත්වෙන බිලි පූජා කර්මයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයක තීන්දුව ලබා දෙමින් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

නඩුවේ තීන්නදුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මිනිසුන් දසදහසක් පහලොස් දහසක් වැනි පිරිසක් රැස්වන කෝවිලක් වැනි පොදු ස්ථානයක කුකුළන් හෝ එළුවන් තුන් සීයයක් හෝ පන්සියයක් ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

බිලි පූජාවට පක්ෂව කරුණු දැක් වූ පාර්ශ්වය සඳහාන් කළේ අවුරුදු 300ක් පමණ පැරණි චාරිත්‍රයක් වූ මෙම කටයුත්ත තහනම් කිරීම යුක්ති සහගත නොවන බවයි.

නමුත් ඊට එරෙහිව කරුණු දැක් වූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ මෙතෙක් කලක් මෙම චාරිත්‍රය කරගෙන යාමට භාවිත කර ඇත්තේ මස් කඩ නීතිය බවයි.

මෙහිදී වරින් වර රාජකාරී කළ ප්‍රාදේශීය ලේකම්වරුන් අත්තනේමතික ලෙස මෙලෙස සතුන් මැරීමට බලපත්‍ර ලබා දී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

2014දී මෙම  බිලි පූජා කටයුතුවලට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අනුමැතිය ලබා දී තිබුණද එවැනි අනුමැතියක් ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලය නොමැති බව පැවැසූ මහාධිකරණ විනිසුරු වරයා මෙවැනි  අනුමැතියක් ලබා දීමට බලය ඇත්තේ මහාධිකරණයකට, අභියාචනාධිකරණයකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයකට පමණක් බව ප්‍රකාශ කළේය.

පොදු ස්ථානවල මස්කඩ නීතියට අනුව බිලි පූජා පැවැත්වීමට නොහැකි බවට වැඩි දුරටත් කරුණු දැක් වූ  විනිසුරුවරයා  පොදු බස් නැවතුමක, පසල් භූමියක, දළඳා මාළිගාවේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියේ හෝ යපනය නල්ලූර් කෝවිල වැනි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැවසෙන ස්ථානවල ප්‍රසිද්ධියේ සතුන් මැරීමට පළාත් පාලන ආයතන අනුමැතිය ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කළේය.

මේ සියලු කරුණු සලකා බලමින් යාපනය මහාධිකරණ විනිසුරුවරයා යාපනය අධිකරණ බල සීමාව තුළ මින් අනතුරුව බිලි පූජා පිණිස සතුන් මැරීම තහනම් කරන ලදී.

කිසියම් පුද්ගලයකු හෝ පුද්ගලයන් පිරිසක් මින් ඉදිරියට මෙම නියෝගය කඩ කරමින් කටයුතු කළහොත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් මහතා මෙහිදී නියෝග කළේය.

අද දෙරණ

 

Related posts

අනුරාධපුර රෙදි කඩයක ගින්නක් – දැඩි පෑවිල්ලට ගින්න වේගයෙන් පැතිරෙයි

Admin

“ෆොන්සේකාට ඇමැතිකමක් දීමේ අර්බුදය අගමැති මැදිහත් වී විසඳනවා”

colombotoday

රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් ලැබී නැහැ – චීන තානාපති කාර්යාලයෙන් පිණිවුඩයක්

Admin

තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11ක් වසා දැමේ

colombotoday

අණ නොතකා ගිය කැබ් රියකට වෙඩි

colombotoday

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

Admin