Colombo Today Local NewsNew Constitution

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

මහානායක ස්‌වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ දැන උගත් පුද්ගලයන්ගේ හඬට කන් නොදී ඊට එරෙහිව කෑමොර දෙන රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලින් යෑපෙන හිවල් සංවිධානවල වෘෂභ පෝතකයන්, රටේ මිනිසුන් නීතිය අතට ගැනීමට කලින් වහාම ගාල්කර තබන ලෙසට තමන් වහන්සේ ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

අනුරාධපුර නගරයේ ක්‍රෙස්‌ටන් පාර්ක්‌ හෝටලයේදී ඊයේ (24 දා) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේද කීහ.

මේ මොහොත වන විට රට ජාතිය ගැන අදහසක්‌ ඇති සෑම කෙනකුගේම සිත්වල බරපතළ විදිහේ සැකයක්‌ සහ විචිකිච්ජාවක්‌ ගොඩනැඟී තිබෙනවා. රජය විසින් සිදු කිරීමට යන ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව. රටේ බොහෝ තැන්වල විද්වතුන් නීති විශාරදයන් දේශපාලනඥයන් වගේම මේ සියලු දෙනාටම වඩා ඉහළින් සිටින මහානායක ස්‌වාමීන් වහන්සේලා, කාරක සංඝ සභා සහ හැමදාම ජාතික අර්බුදයක දී අදහස්‌ දක්‌වමින් රටේ ජනයා පෙළගැස්‌වූවා.

නමුත් අපි දුටුව පසුගිය දින ගණනාව මුළුල්ලෙහි අග්‍රාමාත්‍යවරයා, ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්, දේශප්‍රේමී බලවේගවල මතයට තමන්ගේ ප්‍රතිචාර දක්‌වන්නෙ මොන පදනමක ඉඳලද කියල. පැහැදිලි ලෙසම අපි පටළැවිල්ලක සිටින වෙලාවක්‌. හැමදාමත් රටට, සිංහලත්වයට සහ බෞද්ධයන්ට එරෙහිව තමන්ගේ පෑන හසුරවපු, තමන්ගේ මතවාද ගොඩනඟපු රාජ්‍ය නොවන සංවිධානවලින් යෑපෙන පුරවැසි බලය නමින් පෙනී සිටින ඇතැම් හිවල් සංවිධාන සහ ඊට අදාළ පුද්ගලයෝ අද මහානායක ස්‌වාමීන් වහන්සේලාටත් වඩා උඩින් ඉඳගෙන රටේ මිනිසුන්ට මොකක්‌දෝ කියමින් ඉන්නවා. මේ මිනිස්‌සු කවුද? මේ ගොල්ලන්ගේ අග මුල මොකක්‌ද කියලවත් අපි දන්නේ නෑ. මුලින්ම අපි ආණ්‌ඩුවට කියන්න කැමතියි කරුණාකර තමුන්නාන්සේලා දිනාගත් මොකක්‌ හෝ කීර්තියක්‌ ගෞරවයක්‌ තිබේ නම් එය කුඩුපට්‌ටම් කර ගන්නේ නැතිව මේ හිවල් සංවිධානවල කෑ මොර දෙන වෘෂභ පෝතකයන් මිනිස්‌සු නීතිය අතට ගැනීමට කලින් වහාම ගාල් කර තබන්න කියන පණිවිඩය ආණ්‌ඩුවට මතක්‌ කිරීමට අවශ්‍යයි.

අපි කිසිදාක ගාමිණී වියන්ගොඩල, සමන් රත්නප්‍රියල, ඒ වගේම අපේ මහාචාර්ය උන්නැහේල අඩුම තරමින් පන්සලක දන් හැන්දක්‌ බෙදනව දැකල නෑ. අඩුම තරමින් අපි දැකල නෑ දෑත් එකතු කර පන්සිල් ගන්නව. ඒ වගේම දේවාලෙක විහාරස්‌ථානයක දී ඔවුන් අපි දැකල නෑ. ඉතින් මේ අය කවුද? මේ අයද රටේ අනාගතය සම්බන්ධයෙන් තීරණාත්මක වෙලාවක මත සපයන්නෙ. ඒ නිසා වහාම මේ වෘෂභ පෝතකයන් බැඳ තබන්න කියල අපි ආණ්‌ඩුවට කියනව.

රටේ මිනිස්‌සු නොඉල්ලන, අපට උවමනා නැති ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගැනයි මේ ආණ්‌ඩුව අද ප්‍රමුඛතාවය දී තිබෙන්නෙ. අගමැතිවරයා කියනව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හදල නෑ කියල. නමුත් විදේශයන්හි ආධාර ලබන කණ්‌ඩායමක්‌ ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ යෝජනා මේ මොහොත වෙද්දීත් කෙටුම්පත් කර අවසන්. එම යෝජනා තමයි අවසානෙදි මොන ආකාරයටද කියල ඉදිරියට එන්නෙ. ඒ නිසා ව්‍යවස්‌ථා සංශෝධනය සාකච්ඡාවටවත් ගන්න එපා කියල බෙල්ලන්විල නායක හාමුදුරුවෝ ඇතුළු කෝට්‌ටේ පාර්ශ්වයේ සංඝ සභාව, මල්වතු අස්‌ගිරි කාරක සංඝ සභාව, රටේ සියලු පාර්ශ්ව වලින් ප්‍රකාශ නිකුත් කරද්දී රට බෙදුම්වාදයකට තල්ලු කිරීම වෙනුවෙන් අදාළ මතවාදයන් නිර්මාණය කරන කල්ලිවලින් පෝෂණය වන සහ අරමුදල් ලබන පුරවැසි බලය ඇතුළු කණ්‌ඩායම් ඇවිත් මහානායක ස්‌වාමින් වහන්සේලාගේ මතයට පවා අභියෝග කරමින් මේ කෙනහිලුන් අපට මොකක්‌දෝ නරිවාදමක්‌ දොඩමින් ඉන්නව.

ඒ නිසා අපි ආගමික නායකයන්ට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, අමාත්‍ය මණ්‌ඩලයට, විපක්‌ෂ නායකවරයාට, මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මැති ඇමතිවරුන්, දේශපාලන පක්‌ෂවලට, ව්‍යවස්‌ථා සම්පාදක කමිටුවට සහ රටේ සමස්‌ත ජනතාවට අපි ඉදිරිපත් කළ යුතු ප්‍රශ්නාවලියක්‌ තිබෙනව.

මේ ව්‍යවස්‌ථා සංශෝධනයත් සමඟ අපිට බලපාන ගැටලුවලට විසඳුමක්‌ ඇති වෙනවද කියන එක පිළිබඳව අපි රට තුළ සාකච්ජා කළ යුතුයි. ඒ නිසා මේ සියලු පාර්ශ්ව වලින් අපි විමසන්නෙ නිදහසින් පසු මොනවාද අපට ඇති වී තිබෙන අර්බුද, අනෙක්‌ පැත්තෙන් රටේ තිබෙන ප්‍රධාන අර්බුදය ව්‍යවස්‌ථාවද? මේකද අපට තිබෙන ප්‍රශ්නය. ඒ වගේම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විසඳීමට බලාපොරොත්තු වන අර්බුද මොනවද, මේ අර්බුද ව්‍යවස්‌ථාවක්‌ මගින් විසඳන්නේ කොහොමද? ඒ වගේම රටේ බහුතර ජනතාවට මේ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබඳව කිසිදු අදහසක්‌ නෑ. තිරසර සංවර්ධනයේ ඉලක්‌ක මේ ව්‍යවස්‌ථා සංශෝධනයෙන් සම්පූර්ණ කර ගැනීමට පුළුවන්ද? අනෙක්‌ පැත්තෙන් 1971 සහ 1989 පැවති අරගලවලින් තරුණයන් ඉල්ලා සිටි අපේක්‍ෂාවන් නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විසඳෙනවද? අනෙක්‌ පැත්තෙන් උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අරගලවලින් අපේක්‍ෂා කළ වෙනම ඊලාම් රාජ්‍යයක්‌ ඉල්ලා සිටි අර්බුදය මේ නව ව්‍යවස්‌ථාවෙන් විසඳෙනවද කියල විමසන්න අවශ්‍යයි.

ඒ වගේම මේ නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ වෙනුවෙන් උනන්දු වන සහ ඒ සඳහා පරිසරය සකස්‌ කළ හිටපු ජනාධිපතිනියගෙන් සහ වත්මන් අගමැතිවරයාගෙන් අපි අහන්න උවමනයි ඔවුන් දෙදෙනාම එකට ආණ්‌ඩු කළ කාලෙ ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවේ බෞද්ධයන්ට සිදු වූ අසාධාරණකම් විසඳීමට මේ නව ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉඩක්‌ ලැබෙනවද? ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ජීවත් වන මිනිසුන් අතර ඇතිවී තිබෙන ජනවාර්ගික සහ ආගමික ගැටලු විසඳා ගැනීම සඳහා අර්ථවත් පදනමක්‌ මේ ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් ලැබෙනවද කියල අපි අහන්න අවශ්‍යයි. මේ ආදී වශයෙන් ගත් විට මේ රටේ පොදු මහා ජනතාවට දැනෙන ගැටලුවලට කිසිදු විසඳුමක්‌ මේ ව්‍යවස්‌ථා සංශෝධනය මගින් නොලැබෙන බව ඉතා පැහැදිලියි. අපි ඉතාමත් වගකීමෙන් අහන්න ඕන රට පාලනය කරන උදවියගෙන් ජනතාවට, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නොයෙක්‌ පොරොන්දු දී අවුරුදු පහෙන් පහට බලයට ඇවිත් විධායක ජනාධිපති ධුරය අහෝසි කළාද? විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදු කිරීම තුළින් මේ රටේ පොදු මහජනතාවගේ දැවෙන ප්‍රශ්න යටපත් වෙනවද? ආර්ථිකය සරු වෙනවද? විල්පත්තුවේ ගස්‌ වැවෙනවද? මිනිස්‌සුන්ට අවශ්‍යතාවක්‌ වී තිබෙන්නේ අලුත් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එන එක නොවෙයි. මිනිස්‌සුන්ට තිබෙන්නේ බඩ පිළිබඳ ප්‍රශ්නයක්‌. සාක්‌කුව පිළිබඳ ප්‍රශ්නයක්‌. ඉතාම සරලව කිව්වොත් ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක්‌. මේ දේශපාලන නායකයෝ ප්‍රශ්න විසඳීම වෙනුවට ප්‍රශ්න නිර්මාණය කිරීමයි කරන්නෙ.

මෙම මාධ්‍ය හමුවට සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරවෙල චන්දරතන හිමියෝද එක්‌වූහ.

Related posts

මොනරාගල සෙලවෙයි

Admin

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday

රවි කරුණානායක බිල්ලට දී නිදහස් වෙන මහ මොළකරු අගමැති රනිල්, සැලසුම්කරුවන් වන මලික් හා කබීර් හෂීම්

colombotoday

පාස්කු ප්‍රහාරය : රාජකාරිය පැහැරහැරී කටාන පොලිස් බුද්ධි අංශ සැරයන් ගෙදර යවයි

Admin

බදියුදීන් බේරාගැනීමේ ඊබ්‍රහිම් මෙහෙයුම ක්‍රියාත්මකයි… ජවිපෙ තුට්ටු දෙකේ වැඩක !

colombotoday

පුද්ගලයෙකු හප්පා පැන යද්දී ඇමති රංගේ බංඩාරගේ පුතා අත්අඩංගුවට

colombotoday