Colombo Today Local NewsNew Constitution

ලක්ෂ 62 ජනවරම මත ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ මන්ද මානසිකයන් විතරයි !

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෝටි දෙකක්‌ වන රටේ සමස්‌ත පුරවැසියාටම අදාළ නීතිය බැවින් ලක්‍ෂ හැටදෙකකගෙන් ලද ජනවරමක්‌ මත අලුත් ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළ යුතු බව පවසන්නේ මන්ද මානසිකයන් පමණක්‌ යෑයි හිටපු අධිකරණ ඇමැති, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා කථානායකවරයාට ඊයේ (13 දා) ලිතව දැනුම් දී ඇත.

එබැවින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයක්‌ පිහිටුවීම සඳහා සම්මත කරගත් යෝජනාව වැරදි තීන්දුවක්‌ සේ සලකා වහා අවලංගු කරන ලෙස ද හෙතෙම කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අලුතින් සකස්‌ කිරීම සඳහා පත්කර ඇති ව්‍යවස්‌ථා මණ්‌ඩලය නීතියෙන් බලශූන්‍ය ඊනියා ආයතනයක්‌ බව පවසන විජයදාස රාජපක්‍ෂ මහතා එය බරපතළ ව්‍යවස්‌ථා අර්බුදයක්‌ නිර්මාණය කරන අනුවන ක්‍රියාවක්‌ බව ද සඳහන් කර සිටී.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කර සම්මත කරගැනීම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පැහැදිලි ප්‍රතිපාදන තිබියදී හිතාමතා එය උල්ලංඝනය කිරීම රටේ ජනතාවගේ පරමාධිපත්‍යය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්‌ වන බව ද එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්‌ම හිර කරවා රට තුළ අරාජික තත්ත්වයක්‌ නිර්මාණය කරන බව ද විජයදාස රාජපක්‍ෂ මහතා කථානායකවරයාට දැනුම් දී සිටී.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් රට බෙදා වෙන් කිරීමට මුල පුරන ප්‍රතිපාදන යෝජනා කර ඇතැයි ද එය ද පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සෘජුව මෙන්ම වක්‍රව උල්ලංඝනය කිරීමක්‌ බව ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන්ද ඇතුළත්ව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් එක්‌ව කටයුතු කරන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය පිහිටුවීම සඳහා සම්මත කරගත් යෝජනාව සද්භාවයෙන් ගත් වැරදි තීන්දුවක්‌ සේ සලකා වහා අවලංගු කරන ලෙසට ද විජයදාස රාජපක්‍ෂ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය ව්‍යවස්‌ථා විරෝධී වන නිසා මෙහෙයුම් කමිටුව හා එහි අතුරු වාර්තාව ද නීති විරෝධී බලශූන්‍ය එකක්‌ බවට ප්‍රකාශ කර ඒවායේ ක්‍රියාකාරිත්වය අවසන් කරන ලෙස ද හෙතෙම කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කිරීමට සුදුසු පාර්ලිමේන්තුවක්‌ හෝ සමාජ වාතාවරණයක්‌ මේ වන විට රට තුළ නැතැයි ද නීතිපතිවරයා සහ පළාත් පාලන, පළාත් සභා ඇමැතිවරයා ද වැරදි උපදෙස්‌ දෙමින් කථානායකවරයා නොමඟ යෑවීමට ක්‍රියා කර ඇතැයි ද පවසන විජයදාස රාජපක්‍ෂ මහතා ඔවුන් දෙදෙනා කෙරෙහි ජනතාව තුළ දැඩි අප්‍රසාදයක්‌ පවතින බව ද එහි වගකීම ආණ්‌ඩුව භාරගත යුතු බව ද සඳහන් කර සිටී.

පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්‌ථා විරෝධී කටයුත්තක්‌ සිදුකරන නිසා එය නිවැරදි කිරීම කථානායකවරයාගේ වගකීම බව ද එසේ නොවුණොත් රට තුළ නිර්මාණය වෙමින් පවතින නොසන්සුන් තත්ත්වය තුළ ඇතිවිය හැකි ව්‍යසනයට කථානායකවරයා ද වගකිවයුතු බව දන්වා ඇත.

-දිවයින

Related posts

අසාද් සාලි චෝදනාවලින් නිදොස් කොට නිදහස්

colombotoday

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

”පැරණි පාර්ලිමේන්තුව කැඳවන්නේම නෑ” – ජනපති. “කැඳවන්නත් එපා” – නාහිමිවරුන්ට

colombotoday

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වෙයි

colombotoday

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

Admin