Colombo Today Local News

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ අලි පැටවුන් අල්ලා ඔවුන් මැද පෙරදිග වැනි රටවල ධනවතුන්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රබල සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එමෙන්ම පසුගිය සති කිහිපය තුළ දළ ඇතුන් ගණනාවක් මරා දමනු ලැබුවේ නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන් දැයි සැකයක් මතු වී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියි.

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඒ බව සඳහන් කළේ ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතුළු ඇතුන් සිව් දෙනෙකු පසුගිය සති කිහිපය තුළ කුරුණෑගල අවට දී ඝාතනයට ලක්වීම ඇතුළු කරුණු පිළිබඳව බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමිනි.

“කවදාවත් මෙහෙම වෙලා නෑ මේ රටේ, මේ කුරුණෑගල අවට. මේක සූක්ෂම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ද කියල දැන් රහස් පොලිසිය පරීක්ෂණ කරනවා,” අමාත්‍යවරයා කියා සිටියේය.

දළ පූට්ටුවා ඇතුළු ඇතුන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා තිබූ අතර, තවත් ඇතෙකුට වස දී මරා දමා තිබුණි.

“මේ එක පිට එකක් කළේ -මම මේක කැබිනට් මණ්ඩලේත් ප්‍රකාශ කළා – නඩු තිබෙන අය ඉන්නවා නීතිවිරෝධී අලි තබාගැනීම ගැන. ඒ අතර මතයක් ඇතිකරන්න උත්සාහ කරනවා, කැලේ ඉන්න සත්තු මේ වගේ මැරෙනවා, ඒ නිසා මේ විදියට තියාගත්තම සත්තු ආරක්ෂා වෙනවා කියල.”

තලතා වගකීම බාරගත්තා :

එවැනි “කුමන්ත්‍රණයක්” තිබුණ ද නීති විරෝධී අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ඉතා මන්දගාමී බවට එල්ලවන පිළිබඳව විමසු අවස්ථාවේ වනජීවී අමාත්‍යවරයා කියා සිටියේ එම පරීක්ෂණ සහ නඩු විභාග කඩිනම් කිරීමට කටයුතු කිරීමට අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල භාරගත් බවය.

අධිකරණ ක්‍රියාදාමය අවසාන වන තුරු එසේ අත්අඩංගුවට ගෙන තිබෙන අලි 42 දෙදෙනෙකු රැක බලාගැනීම සිය අමාත්‍යංශයට “ලොකු බරක්” වී තිබෙන බවත් ඔහු පැවසීය.

“අලි 42 දෙදෙනෙක්ට අපි වගකියන්න ඕන. ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා මම කිව්වා මේකේ තීන්දුවක් ඉක්මනින් ඕන කියල. අධිකරණ ඇමතිතුමිය ඒක භාරගත්ත.”

ඉන්ටර්පෝල් පොලිසිය:

එපමණක් නොව, නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා බෝට්ටුවලින් මැද පෙරදිග වැනි රටවලට පැටවීමේ උත්සාහයක් පිළිබඳව බරපතළ සැකයක් මතු වී තිබෙන බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සඳහන් කළේය.

ගතව ගිය මාස කිහිපය තුළ උඩවලවේ වන රක්ෂිතයේ, හම්බන්තොට ගෝනගල්ආර ප්‍රදේශයේදී, අඹේගමුව ප්‍රදේශයේදී සහ කතරගමදී එසේ නීති විරෝධී ලෙසින් අල්ලාගත් අලි පැටවුන් හමු වූ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, එම පැටවුන් විදේශවලට විකිණීමේ ජාවාරාමක් පිළිබඳව පවතින සැකය ද විස්තර කළේය.

“අපට ආරංචියක් තියෙනව පසුගිය රජය වෙලාවෙත් මේ වගේ බෝට්ටුවලින් හම්බන්තොට දිහාවෙන් අලි පැටවු දෙන්නෙක් වගේ ගෙනියල තියෙනව කියල කතාවක්. ඒකට මට සාක්කි නෑ. එතකොට බේරුවලින් ගෙනිහින් තියෙනවා. මේ පැටවෙක් ඩොලර් ලක්ෂ පහකට වගේ මුදලකට දෙන්න පුළුවන්.”

නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක ද තමන් එල්ල කරන චෝදනාව සනාථ කළ බව පවසන වනජීවී කටයුතු භාර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මූලික පොලිස් විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳව ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියට දැනුම්දීමට බලාපොරොත්තු වන බවය.

දේශපාලකයෝ කියල බලන්නේ නෑ:

දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන පරීක්ෂණයක් පවත්වමින් සිටින බව පවසන අමාත්‍යවරයා, එහිදී තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීමට නියමිත බව ද සඳහන් කළේය.

“තරාතිරම් බලන්නේ නෑ, දේශපාලකයෝ කියල බලන්නේ නෑ, පූජ්‍ය පක්ෂය කියල බලන්නේ නෑ ආයෙත් නොකරන්න නීතිය ක්‍රියාත්මක කරාවි.”

පරීක්ෂණ සඳහා අවශ්‍යව සිටින ප්‍රදේශයේ බෞද්ධ හිමි නමක් අතුරුදහන්ව සිටින බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසු අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව මේ මොහොතේ කිසිවක් පැවසිය නොහැකි බවය.

(උපුටා ගැනීම – බීබීසී සිංහල සේවය)

Related posts

සේනා දළඹු ආක්‍රමණයෙන් වැඩිම ප්‍රතිලාභ බඩඉරිඟු ආනයනය කරන සමාගම්වලට

colombotoday

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin

74වන ජාතික නිදහස් දින සමරු උළෙල ඇරඹෙයි

colombotoday

යාපනේ සුනඛ අවතාරයක්?

colombotoday

පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

colombotoday

බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විශේෂ සාකච්ඡාවක්

colombotoday