Colombo Today Local News

විල්පත්තු මහා සංහාරයට එරෙහිව කොළඹදී විරෝධය !

අමාත්‍ය රිෂාද් බදුර්දීන්ගේ මෙහෙයවීමෙන් විල්පත්තු ජාතික උද්‍යානයේ වනාන්තර පද්ධතිය විනාශ කරමින් සිදුකරන මහා පරිසර විනාශයට එරෙහිව පරිසර සංවිධාන, රැසක සහභාගීත්වයෙන් ඊයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

කොළඹ නගර ශාලාව ඉදිරිපිට විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ විරෝධතා පා ගමන සන්දේශයක් භාර දෙමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ මූලස්ථාන කාර්යාලයට පැමිණි අතර පා ගමන සඳහා පරිසරවේදීන්, වෘත්තිකයන්, කලාකරුවන් ඇතුළු එක් දහස් පන්සීයකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

එහිදී පැවති ජනහමුව අමතමින්, සුවිශේෂී විල්ලු පද්ධතියකින් සමන්විත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ මතු ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ඇති පරිවාර වනාන්තර පද්ධතිය ද ජාතික වනෝද්‍යානයටම එක්කර ගැසට් කරන ලෙස ජාතික පරිසර සංවිධාන එකමුතුවේ කැදවුම්කරු පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීය. විල්පත්තුව කියන්නේ ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ වටිනාකමක් ඇති වනෝද්‍යානයක්. මේ වනවිට එම වනෝද්‍යානය අවට ඇති පරිවාර වනාන්තරවලින් අක්කර තුන්දහසකටත් වඩා විශාල ප්‍රදේශයක් නව ජනපද පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ මඟ පෙන්වීම යටතේ කපා එළිකර දමලා. මේක දැවැන්ත පරිසර විනාශයක් සහගහන අපරාධයක්.

අපි මේ පරිසර විනාශය ගැන කතා කරනකොට ජාතිවාදී ලේබලය ගහලා අපට පහර දෙනවා. ගහකොළ සතා සිවුපාවුන්ට, අපි මේ ජීවත් වෙන පරිසරයට ජාතියක් තිබෙනවද? අපේ අනාගතය සුරක්ෂිත වන්නේ සොබාදහම ආරක්ෂා කර ගත්තොත් පමණයි. සොබාදහම ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ජාති භේදය වැපිරීමක් වන්නේ කොහාමද? බදියුදීන් ඇමැතිවරයා තමයි ජාතිවාදී පදනමෙන් නව ජනපද පිහිටුවීම සඳහා අක්කර දහස් ගණනින් කැලෑව කපන්නේ. අපි නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ සිදුකරන ලද මහා පරිසර විනාශයට අතදුන් බදියුදීන් ඇමැතිවරයාව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ නඩු පවරන ලෙස.

විල්පත්තුව වන විනාශයේදී අද පරිසරය රැකීමට තිබෙන ආයතන නිහඬයි. ආණ්ඩුව නිහඬයි. පරිසරය රකින බවට පෙරොන්දු දෙමින් බලය ලබාගත් පරිසර ඇමැති ජනාධිපතිවරයාත් නිහඬයි. අපි මේ විනාශය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක් භාර දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා විල්පත්තුව වන විනාශය නවත්වන්න කියලා ආණ්ඩුවට බල කිරීමටයි අපේ බලාපොරොත්තුව.

Related posts

“ආණ්ඩුව අමාරුවේ වැටුණේ මේ මිනිහා නිසයි” – රාජිත අගමැති ඉදිරියේ අධිකරණ ඇමතිට බැණවදී

colombotoday

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

තෑගි දෙනවා කියා සමාජ මාධ්‍යයෙන් මුදල් ගැරූ තරුණයෙක් මාට්ටු

colombotoday

කබ්රාල්ට විදෙස් ගමන් තහනම්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

Admin