ArticlesColombo Today Local News

නොපිපි නොළුමේ උස් පියුම් මත සිට !!

ඒ සා උසක සිට බිම බැලීමේ ආනන්දය ඊළඟට වින්දනය කළ යුතුය. නොපිපි නෙළුම පහළ සිට නැ‍රැඹීමේ ප්‍රහර්ෂයම නෙළුමේ පෙති මත සිට නගරය නැ‍රැඹීමෙන්ද අත්පත් කරගත හැකි බව මම පසක් කර ගතිමි. ම’ සිතට නැඟුණු පළමු සිතුවිල්ල ඩ්‍රෝනයකින් සේයාරූ ගන්නා විට ඩ්‍රෝන ඇස දකිනු ඇත්තේ මේ ආකාරයෙන් විය යුතු යැයි කියාය. මේ දකින්නේ පහළ සිට දැකි නුවර නම් නොවේ. මේ වෙනත් නුවරකි. මේ වෙනත් අලංකාරයකි. කුඩා බෝට්ටුවක් සැර දමමින් බේරේ වැවේ එක් කොටසකින් ඇදී එනු පෙනෙයි. ඒ අපිරිසිදු කොළ පැහැය පහළ සිට බලන විට කොපමණ පිළිකුල් සහගත වුවත් ඉහළ සිට බලන විට දක්නට හැකි අලංකාරය විස්වාසයට ගත නොහෙණ තරම්ය.

කොළඹ නගරය මැද නෙළුමක් පිපී තිබේ. ඈතින් ද, මෑතින් ද අලංකාරයම ප්‍රකට කරවන නෙළුමේ රාත්‍රී සොබාව වෙනස්වන සුළු ය. විටෙක රත්තාලෝකයෙන් බැබලීම ද, තවත් විටෙක නීල පැහැයෙන් ද, හරිත පැහැයෙන්ද බැබලෙන හෙයින් නෙළුමේ රාත්‍රී හැසිරීම මන බදනා සුළුය. පිටත සිට බලන විට පෙනෙන දසුනෙන් සෑහීමකට පත් විය නුහුණු නිසා ඒ සිලින්ඩරාකාර බද ඇතුළතින් බඩවතට නැඟ, එමතින් නෙළුමේ පොහොට්‍ටුවට පිවිසීමට අපි සිතීමු.

ගමන පහසු නැත. හාත්පස අධික සුළං ය. ආරක්ෂාව පිණිස ලාගත් හිස් ආවරණ පවා සුළඟ හා ඔට්‍ටු වෙයි. සර සරය නොනවතියි. සුළඟ විත් ඔසවන්නට තැත් කරන්නේ ඒ සා විසාල සිමෙන්ති නිමැවුමක් බව නොදන්නා සැටියකි.

නෙළුම් පොහොට්‍ටුවක හැඩය දරා ඇති හෙයින් ‘නෙළුම් කුලුන’ ලෙස මෙය හැඳින්වේ. එමෙන්ම බහු කාර්යය විදුලි සන්නිවේදන කුලුන සහ විනෝදාත්මක මධ්‍යස්ථානය ලෙස ද හැඳින්වේ. මීටර 350 ක උසින් යුක්ත අතර සාදා නිම කළ පසුව දකුණු ආසියාවේ උසම ඉදි කිරීම ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. බේරේ වැවට ආසන්නව ඉදි කෙරුණු නෙළුම් කුලුනේ ඇස්තමේන්තුගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3ක් පමණ වේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර වන මිත්‍රත්වය ප්‍රකට කරනු වස් මෙය ඉදිකර ඇත. මහජන චීන ජනරජයේ එක්සිම් බැංකුව මඟින් එකී පිරිවැය දරා ඇත. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් මෙම කුලුන නිර්මාණට කිරීම සිදු කරයි. මූලික සාකච්ඡා අතරදී මේ නෙළුම පිපෙන්නට නියමිතව තිබූයේ පෑලියගොඩ නගර මධ්‍යයේය. එහෙත් වැඩි ආකාර්ශනය සහ තවත් බොහෝ කාරණා හේතුවෙන් බේරේ වැව ආසන්නයට එය ගෙන ඒමට තීරණය කෙරුණි. නගර අලංකරණය වෙනුවෙන් වෙහෙසෙන වත්මනට කොළඹ නගරයේ හදවත ආසන්නයේ නෙළුම් පොහොට්‍ටුවක් පිපී තිබෙනු දැකීම ප්‍රහර්ෂයක් වනු ඇත.

උක්ත නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු ඇ‍රැඹුණේ 2012 ජනවාරි 03 වැනිදා ය. ඒ සඳහා මුල්ගල තබන ලද්දේ 2012 ජනවාරි මස 20 වැනිදා ය. අලංකාරය හැරුණු විට නෙළුමෙන් විශාල ආදායමක් උපයා ගැනීමට ද රජය බලාපොරොත්තු වේ. මූලිකවම සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන මෙය ඉදි කෙරෙන අතර ඊට සමගාමීව ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ද ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රූපවාහිනී සේවා 50 ට සහ ටෙලි සන්නිවේදන සේවා ආයතන 20 ට සේවා පහසුකම් ලබා දීමට සැලසුම් කරගෙන තිබේ. ඒ සුබාරංචිය සමඟ පැමිණෙන අනෙක වන්නේ මෙහි ඉදි කෙරෙන කැරකෙන අවන්හල් හතරය.

එසේම මහල් තුනකින් සමන්විත එහි පහළ කොටසෙහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර සහ කෞතුකාගයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. එපමණක් නොව නෙළුමෙහි ඉහළ ස්ථරයෙහි උත්සව ශාලා සහ නැ‍රැඹුම් මැදිරියක් නිමවනු ඇත. වරකට 450 දෙනෙකු ‍රැදවිය හැකි මේ උත්සව ශාලා නෙළුමට වෙනම ම අලංකාරයක් එකතු කරනු ඇත. එසේම හත්වන මහලේ රාජ්‍ය ආරාධිතයන් සඳහා වෙන් වූ සුඛෝපභෝගී කාමර කිහිපයක් ද ඉදි කෙරෙනු ඇත. වානේ පෙති රාමු සහ වීදුරුවලින් තැනූ පෙති දැල්වූ පසු අලංකාරය කොතරම් ද යන බව පසුගියදා බොහෝ දෙනෙකුට දැකගත හැකි විය.

දැන් අපි සෝපානය අසලය. ඒ වන විට ඉහළ-පහළ යමින් තිබුණේ සෝපාන දෙකකි. එකක් සම්පූර්ණයෙන්ම නිමවා අවසන් කර තිබුණි. අනෙක ඇට සැකිල්ලක් බදුය. ඇතුළත ක්‍රියාකාරී මට්ටමේ තිබෙන මුත් වටපිටාවේ සැකිල්ල ආවරණය කර නොමැත. අධි වේගයෙන් ඉහළට ඇදෙන සෝපානය පසු කර යන මහල් පෙනෙන්නේ අපහැදිලි දිය සායම් චිත්‍රයක් මෙනි. කන් බිහිරි කරවන අමිහිරි ශබ්දයක් නඟමින් අපව ඉහළට ගෙන ගිය සෝපානය හදිසියේ නතර විය. දැන් අප සිටින්නේ මීටර් දෙසිය හතළිස් පහක උසකය.

ඒ සා උසක සිට බිම බැලීමේ ආනන්දය ඊළඟට වින්දනය කළ යුතුය. නොපිපි නෙළුම පහළ සිට නැ‍රැඹීමේ ප්‍රහර්ෂය මෙන්ම නෙළුමේ පෙති මත සිට නගරය නැ‍රැඹීමෙන්ද අත්පත් කරගත හැකි බව මම පසක් කර ගතිමි.

තවමත් ඉදිවෙමින් පවතින නැ‍රැඹුම් මැදිරියේ පොළොව මත ලෑලි කැබලි සහ විවිධාකාර තහඩු කැබලි ය. යකඩ බට ය. කිසිවකු ඈතින් සිට පහළ නගරය බැලීමට සූදානම් නැත. සුළඟ ගෙන යන්නට තැත් කරන හෙල්මටය ද, සටහන් පොත් ද සමඟ කොන්ක්‍රීට් බැම්මකට නැඟී බිම බැලීමි.

මසිතට නැඟුණු පළමු සිතුවිල්ල ඩ්‍රෝනයකින් සේයාරූ ගන්නා විට ඩ්‍රෝන ඇස දකිනු ඇත්තේ මේ ආකාරයෙන් විය යුතු යැයි කියාය. මේ දකින්නේ පහළ සිට දැකි නුවර නම් නොවේ. මේ වෙනත් නුවරකි. මේ වෙනත් අලංකාරයකි.

කුඩා බෝට්ටුවක් සැර දමමින් බේරේ වැවේ එක් කොටසකින් ඇදී එනු පෙනෙයි. ඒ අපිරිසිදු කොළ පැහැය පහළ සිට බලන විට කොපමණ පිළිකුල් සහගත වුවත් ඉහළ සිට බලන විට දක්නට හැකි අලංකාරය විස්වාසයට ගත නොහෙණ තරම්ය.

කොළ පැහැති නෙරුමක නොයෙක් ආකාරයේ උසින් යුක්ත බිලිඩින් සමූහය ‘අනේ අපිත් ඔහේ ඉන්නං’ කියමින් ඇලවී සිටින්නා මෙනි. පැතලියට පෙනෙන බිල්ඩින් කීකරු සුරතලුන් මෙන් හිස බිමට නමාගෙන දමනය වී සිටින පෙනුමකි. හිස ඔසවා අවට බලමින් සිටින බිල්ඩින් සියල්ල හිතුවක්කාර, දමනය කළ නුහුණ අය ය.

ඊට එපිටින් පෙනෙන මුහුදු තීරය අලංකාර ගවුමකට ඇල්ලූ නීල පැහැ රේන්දයකි. ඒ ද සුළඟේ සෙළවෙන්නකි. ගවුම ඇඳ සිටින්නී කලබලයෙන් හෙයිනි ඒ.

මරදාන සහ දුම්රථ නවතා තැබෙන අංගනයේ ගති සොබාව සියල්ලටම වඩා වෙනස් ය. සෙල්ලම් කෝච්චි පෙට්ටි රාශියක් එක ගොඩට නවතා තබා ඇත්තේ මේ දැන් සෙල්ලම් කරමින් සිට වෙනත් අන්තයකට දිව ගිය කුඩා ළමයකු විසින් යැයි මෙවේලේ මම විස්වාසයට ගතිමි.

ඒ සෙල්ලම් කරමින් හුන් ළමයා කොයි වෙලේ හෝ දිවිල්ලේම පැමිණ සෙල්ලම් කෝච්චි සියල්ල තමන්ගේ සෙල්ලම් බඩු පැසෙහි ලාගෙන යනු ඇතැයි ක්ෂණික බියකින් මම වෙව්ලා ගියෙමි. මම ඒ වෙව්ලා යාමෙන්ම නෙළුමෙන් බිමට බැසීමට තීරණය කළෙමි. යළිත් අමිහිරි ශබ්ද නංවමින්, දෙදරීමෙන් යුක්තව බිමට එන ගමනට එක් වීමි.

නෙළුම් කුලුන මුදුනට යන්නට සෝපාන අටක් තනා ඇත. එකී සෝපාන ගමන් කරන්නේ තප්පරයට මීටර් හතක් වේගයෙනි. තට්‍ටු 85-90 ක උසක් තරණය කිරීමට ගත වන්නේ තප්පර 45කි. චීනයේ මෙවන් අධිවේගී සෝපාන සහිත සන්නිවේදන කුලුනු කිහිපයක්ම ඇත. එහෙත් ඒවා මේ සා උසකින් සමන්විත නොවේ. ඒකීය සම්ප්‍රේශන මධ්‍යස්ථානයක් ලෙස නෙළුම් කුලුණ භාවිතයට ගැනීමේ අරමුණ සියලු සම්ප්‍රේශන එකම ගුණාත්මක තත්ත්වයක් යටතේ පාරිභෝගිකයන්ට ලබා දීමයි. එමෙන්ම දැනට ක්‍රියාත්මක සම්ප්‍රේශන මෙහෙයුම් ගාස්තු ආදියෙහි ද සැලකිය යුතු අඩු වීමක් අතුරු ප්‍රතිඵලයක් ලෙස ලැබෙනු ඇත.

මේ වසරේ මුල් කාර්තුවේ ඉදි කර අවසන් කිරීමට නියමිත කොළඹ නගරය නලවන අලංකාරය ‘නෙළුමක්’ බවත් ඒ නෙළුමේ පොහොට්‍ටුව ආලෝකයෙන් බැබලීමට නියමිත බවත් කියමි.

ඡායාරූප-සුසන්ත විජේගුණසේකර

Related posts

දුම්රිය වැඩ වර්ජනය නිසා සංචාරකයන් රස්තියාදුවෙයි

Admin

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

colombotoday

මහින්ද පිළ මාරාන්තික උපවාසයකට සැරසෙයි !

colombotoday

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday