ArticlesColombo Today Local News

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…

රටේ තත්වය එන්න එන්න ම නරක් වෙනවා. සුද්දන් සිංහල පිරිමින්ට මත්පැන් බීම පුරුදු කළා. අද මේ ආණ්ඩුව සිංහල ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කරනවා. බීර මිල අඩු කළේ මොන බොරු කතා කිව්වත් ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් බීම පුරුදූ කිරීමට. දැන් ගැහැණුන්ට මත්පැන් ලබා ගැනීමට සුරාසල් ඉඩ දීමට යනවා. ඒ සඳහා නීති සකස් කරනවා. අප කුඩා කළ තැබෑරුමක් තිබූ පාරකින්වත් යෑමට අපේ දෙමව්පියන් ඉඩ දුන්නේ නැහැ. සමහරවිට තැබෑරුම කියන වචනය වත්මන් පරම්පරාවට නුහුරු වන්න පුළුවන්. එය ටැවර්න් හෝ වෙනත් එවැනි වචනයකින් බිඳුණු එකක් වෙන්න ඕන. කොහොමත් ඒ සඳහා සිංහලෙන් වචනයක් තිබී නැහැ. සුරාසල් අවන්හල් ආදිය පසුව එකතු වූ වචන. අද තැබෑරුම් උදේ සිට රැ වන තුරු විවෘත ව තැබීමට නීති හදනවා.

දැන් කවුරු හරි පඬියකු සුරනිමල මත්පැන්  බිව්වෙ නැද්ද නාලාගිරි ඇතාට මත්පැන් දුන්නෙ නැද්ද ආදී ප්‍රශ්න අහන්න පුළුවන්. තනි තනි සිද්ධි සාධාරණීකරනයට ලක් කරන්න බැරි බව සාධාරණීකරනය ගැන මෙලෝ දෙයක් නොදන්න අයට කියලා වැඩක් නැහැ. සිංහලයන් පොදුවේ මත්පැන් බී බවට සාක්‍ෂි නැහැ. පඬියකු අහන්න පුළුවන් සාක්‍ෂි නැහැ කියන එකට මූලාශ්‍ර (සාක්‍ෂි) තියෙනවා ද කියලා. මෙරට පඬියන්ගේ තර්ක ඥානය එබඳුයි.

මේ ආණ්ඩුව සජාතීය ආණ්ඩුවක් නො වෙයි. මෛත්‍රිපාල හා රනිල් අතර විරසකයක් තියෙනවා. ඒ පිල් දෙක ආණ්ඩුවේ පළු දෙක ලෙස සලකන එක වැරදියි. මෛත්‍රිපාල මත්පැන් ප්‍රචලිත කිරීමට කටයුතු කරනවා කියා හිතන්න බැහැ. ඔහු සෝභිත හිමියන් ගැන කතා කරනවා. ඒ හාමුදුරුවන්ගෙ නමින් රාජගිරියේ පාලම නම් කිරීම නම් වැරදියි. සෝභිත හිමියන් කළ වැරදි අතර මේ ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කිරීමත් තියෙනවා. එසේ වුණත් උන්වහන්සේට අගෞරව කිරීම සුදුසු නැහැ.

සෝභිත හාමුදුරුවන්ගේ අමද්‍යප ව්‍යාපාරය තවමත් කුමන නමකින් නමුත් ක්‍රියාත්මක වන්නේ දැයි දන්නේ නැහැ. එහෙත් ගැහැණුන්ට හා ළමයින්ට මත්පැන් පුරුදු කිරීම ගැන අඩුම තරමෙන් ඒකාබද්ධ විපක්‍ෂයෙන්වත් විරුද්ධ ව හඬක් නැගෙන්නේ නැහැ. මතට තිත ඔවුන්ට අමතක වී දැන් තිතට මත ප්‍රතිපත්තියක ඔවුන් ඉන්නවා ද? මෛත්‍රිපාලත් මත්පැනට විරුද්ධ නමුත් ඔහුත් ආණ්ඩුවේ මත්පැන් ව්‍යාපෘතියට විරුද්ධ ව  කිසිවක් කරන්නේ නැහැ. ඔහුට වෙනත් දේ සඳහා මෙන් ම ඒ සඳහා ශක්තියක් නැද්ද? ඒ ශක්තිය ලබා දීමට ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් නොවන්නේ ද?

ආණ්ඩුවේ පළු දෙකේ කතාව වැරදියි. ඒ පළු දෙක එකිනෙකට පෑහෙන්නේ නැහැ.  රනිල් පෙනී සිටින්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ යුදෙව් ක්‍රිස්තයානි සංස්කෘතියේ ඇංග්ලිකන් ප්‍රභේදය වෙනුවෙන්. මෛත්‍රිපාල මොන වැරදි තිබුණත් සිංහල බෞද්ධ සංස්කෘතියෙ. අද ආණ්ඩුවේ කටයුතු කෙරෙන්නේ රනිල්ට අවශ්‍ය විධියට. අපට අවශ්‍ය එය වෙනස් කිරීමට. එය පළාත් පාලන මැතිවරණය සමග පටළවා ගන්න එපා. පළාත් පාලන මැතිවරණයේ දී තරග කරන්නේ කෙසේ ද යන්න අපට මේ අවස්ථාවේ දී වැදගත් නැහැ.

රනිල් මංගල වැන්නවුන් රට විජාතික බලවේගවලට යටකර සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට කටයුතු කරනවා. ඔවුන්ට සමලිංගික පනතත් අවශ්‍යයි. එය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුුළුවන්. 2020 වන විට රකින්න සංස්කෘතියක් රටක් නැති වෙන්නත් පුළුවන්. මට දේශපාලනය තේරෙන්නෙ නැත කියලා කියන්න පුළුවන්. එහෙත් අසු ගණන්වල සිට මා කී බොහෝ දේ ගැන නැවතත් සිතන්න පුළුවන්.

තමන් මුස්ලිම් ජනයා නියෝජනය කරන බව රාමනාදන් කිව්වේ දහනවවැනි සිය වසේ අගභාගයේ. ඒ සියල්ල ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතේ තියෙනවා. ඒ පොත නිකුත් වූයේ 1995 දී. ඒ වන විටත් ප්‍රභාකරන් හමුදා ක්‍රියා මාර්ගයකින් පැරදවිය හැකිය හා යුතුය යන මතයේ මා සිටියා. එකල චම්පක, විමල් අනුර ආදීන් පමණක් නොව මහින්ද ද හිටියේ විරුද්ධ මතයක. පොත් නොකියවන අය රාමනාදන් අබ්දුල් අසීස් ආදීන් ගැන අද කියවලා අපට කියනවා ඒ කිසිවක් තමන් කලින් නොදැන සිටි බව. පොත් නොකියවා ඒ ගැන දැනගන්නේ කෙසේ ද? මා දැන් පොත් ලියන්නේ නැහැ. මගේ පොත්වලට ඉල්ලුමක් නැහැ. පොත්වලට තබා මෙවැනි ලිපියකටවත් ඉල්ලුමක් නැහැ. පඬි පෝතකයන්ට හා පෝතිකාවන්ට  මෙන් ම ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ටත් අවශ්‍ය පේළි දෙක තුනේ හිට් කෑලි.

ඊයේ බස්නාහිර මහා ඇමති ඉසුරු දේවප්‍රිය භයානක කතාවක් කිව්වා. තමන් නැති අවස්ථාවක ගෝඨභය අත් අඩංගුවට ගැනීමට සූදානමක් තිබූ බවත් ඔහුට රටින් පිටවීමට තමන් කී බවත් මෛත්‍රිපාල කියා ඇති බව ඉසුරු කිව්වා. මෙය පහසුවෙන් අමතක කරන්න බැහැ. අද ගෝඨාභය කොයි මොහොතක හරි ලංකාවට ආවොත් අත් අඩංගුවට ගැනීමට ඉඩ තියෙනවා. සරත් ෆොන්සේකාට ජම්පරය ඇන්දුවා නම් ගෝඨාභයට ඇන්දුවා ම ඇති වරද කුමක් ද කියා අසන්නත් පිරිස් ඇති.

මේ සියල්ල සලකා බැලීමේ දී රනිල් ඉවත් කිරීමේ වැදගත් කම නැවත නැවතත් මතුවෙනවා. එසේ ඉවත් කිරීම සඳහා එක් රාජපක්‍ෂ කෙනකුවත් සොයා ගැනීමට බැරි ද? පරණ කෝන්තර පිරිමසා ගැනීමට රට අසිංහල අබෞද්ධ රටක් කරනවා ද? වඩා වැදගත් වන්නේ කෝන්තරය පිරිමසා ගැනීම ද රට විපතින් ගලවා ගැනීම ද? මා මේ ප්‍රශ්නය නගන්නේ පඬි පෝතකයන් කියන ආකාරයට මට දේශපාලනය නොතේරීම නිසා වෙන්න ඇති.

-මහාචාර්ය නලින්  ද සිල්වා-

Related posts

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

colombotoday

විශ්ව බුද්ධි යළි වැඩ අල්ලයි

Admin

ආරක්‍ෂක අංශ ළගත් නැති රිවෝල්වරයක් සමග හතරක් අත්අඩංගුවට

colombotoday

කොරෝනා වයිරසයේ ගෝලීය පැතිරීම වේගවත් වෙලා

colombotoday

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

colombotoday