Articles

කොච්චර එලෙව්වත් ලංකාවට එන කැසිනෝ පැකර්

රටේ පාලකයන්ටත්, ජනතාවටත් හිතන්නට ප්‍රශ්න රැසක්‌ තිබේ. පාලකයන් විසින් නිර්මාණය කරනු ලැබ ජනතාව වෙත පටවන ලද ප්‍රශ්න රැසකි. ඒ නිසාම රටේ ජනතාව තම තමන්ගේ ප්‍රශ්න අමතක කර පාලකයන් නිර්මාණය කළ ප්‍රශ්න සමඟ ජීවත්වීමට පුරුදුව සිටිති. පාලකයන් එකී මෙකී නොකී සියලු ප්‍රශ්න අමතක කර අදාළම නොවන ප්‍රශ්න වෙනුවෙන් සැලසුම් හදති, කා කොටා ගනිති. කොටින්ම කීවොත් මේවා පොළොවේත් නැති ප්‍රශ්නය. ඒ අතරවාරයේ ජනතාවට අමතකව තිබූ නූල් සූත්තර හිමි හිමීට කරළියට ගේන්නට ද සැලසුම් සකස්‌ කරති.

පසුගිය සතියේ වාර්තා වූ “ඡේම්ස්‌ පැකර්” නැවතත් ලංකාවට පැමිණෙනවායි යන ආරංචිය කාගේත් එතරම් අවධානයට යොමු නොවූයේ මේ අලකලංචිය හේතුවෙනි. එසේත් නැත්නම් “ඡේම්ස්‌ පැකර්” යනු කවරෙක්‌ද යන්න බොහෝ දෙනකුට අමතකව තිබෙනවා වන්නට පුළුවන. ඡේම්ස්‌ පැකර් කවරෙක්‌ද? ඔහු නැවත පැමිණීම රටට වැදගත් තොරතුරක්‌ වන්නේ ඇයි?
“ඡේම්ස්‌ පැකර්” යනු විදේශීය ක්‍රිකට්‌ ක්‍රීඩකයකු හෝ හොලිවුඩ් තරුවක්‌ නොවේ. එහෙත් ඒ තරමටම ජනප්‍රිය, අපේ භාෂාවෙන් කීවොත් “මාර පොරකි.” සමහර විට වෙනත් රටවල් ගණන් ගන්නේද නැති මට්‌ටමේ “පැකර්” වැනි පොරවල් මේ රටේදී “පොරවල්” වීම මේ රටේ දේශපාලනඥයන් අපට උරුම කරදී ඇති අපූරු සංස්‌කෘතික අංගවලින් එකකි. එහෙත් “පැකර්” ලංකාවට එන්නේ “කැසිනෝ” කරන්නටය. කැසිනෝ කරන්නට පැකර් ලංකාවට එනවිට මේ රටේ සුරා සූදුව තුරන්ව, “මතට තිත” තබා “මතින් තොර රටක්‌ බවට පත්ව තිබුණා යෑයි වරදවා වටහා ගත යුතු නැත. පැකර් පැමිණියේ කැසිනෝ තිබෙන රටක කැසිනෝ මාලිගාවක්‌, කැසිනෝ වීදියක්‌ ආරම්භ කරන්නටය. එය එසේ මෙසේ ව්‍යාපෘතියක්‌ නොව “මෙගා සයිස්‌” වැඩකි. 2013 වර්ෂයේ “ඡේම්ස්‌ පැකර්” මුල්වරට මේ රටට එන්නේ ඩොලර් මිලියන 650 ක්‌ මේ රටේ ආයෝජනය කරන්නට බලාගෙනය. සුද්දෙක්‌ එවැනි මෙගා වැඩකට අත ගහන විට බකංනිලාගෙන සිටීම රටේ තත්ත්වයට හොඳ නැති නිසා එවකට ආණ්‌ඩුවද “මෙගා බ්ලාස්‌ට්‌” පන්නයේ පනතක්‌ ගෙන ආවේ මේ ආයෝජනය සඳහා ඉඩකඩ හදා දෙන්නටය. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත නමින් එය හැඳින්විණි. මේ පනතේ හැටියට කැසිනෝ, සූදු යනුවෙන් ව්‍යාපාර නැත. ඒ සියලු දේ හෝටල් පනතේය. ඒ පනත අර්ථකථනය කර තිබූ ආකාරයට මෙරට හෝ පිටරට සිටින විදේශිකයකු හෝ මෙරට සූදු ව්‍යාපාරයක්‌ ආරම්භ කරන්නේ නම් ඊට සුදුසු ප්‍රදේශ නීතියෙන්ම වෙන්කර දීමේ හැකියාවක්‌ පනත මගින් ඉදිරිපත් කර ඇත. එහෙත් එකී නිශ්චිත ප්‍රදේශ කුමක්‌ද යන්න එහි අර්ථගැන්වී තිබුණේ නැත. පැකර්ට ඩී. ආර්. විඡේවර්ධන මාවතේ මතු නොව කොම්පඤ්ඤවීදියේද විශාල ඉඩකඩක්‌ “කැසිනෝ මාලිගයක්‌ වෙනුවෙන් (කැසිනෝ නගරයක්‌) ඉඩකඩ වෙන්වන්නේ එම පනතට පිංසිදුවන්නටය. ඡේම්ස්‌ පැකර්ගේ මෙරට “සහායට ඩැනී” ලෙස කටයුතු කළේ ප්‍රකට ව්‍යාපාරික රවී විඡේරත්නය.

කෙසේ හෝ මේ කැසිනෝකාරයන්ට එල්ලවූ විරෝධතාවත්, ඒ ගැන ආණ්‌ඩුවේම මතුව තිබූ අර්බුදකාරී තත්ත්වයත් නිසා 2014 අගභාගය වන විට පැකර් මේ රට අතැර ගියේය. ඔහු ගියේ යළිත් මේ රටට කිසිදු දිනෙක නොපැමිණෙන්නේ යෑයි කියමිනි. 2015 පෙබරවාරි මාසයේදී අගමැති රනිල් වික්‍රමසිංහ පැකර්ගේ පිටව යැම ගැන කීවේ මෙවැනි කතාවකි. (එය වාර්තා කර තිබුණේ AFP පුවත් සේවයයි.

“පැකර් කියනවා එයා ආපහු එන්නේ නෑ කියලා. කවුද එයාට එන්න කීවේ? කරුණාකරලා මේ ජීවිත කාලයේදී එයාට ලංකාවට එන්න එපා කියලා මම කියනවා. අපට ඕනෑ හොඳ යහපත් ආයෝජකයෙක්‌ අපට කැසිනෝ මත යෑපෙන ආර්ථිකයක්‌ අවශ්‍ය නෑ.”

අගමැති රනිල් වික්‍රමසිංහ එසේ කීවද “පැකර්” 2016 මැයි මාසයේ පළමු දින තුනෙන් එකක නැවත මෙරටට පැමිණ තිබිණි. එහෙත් ඒ ගමන ගැන ඉන් පසු කිසිවක්‌ම වාර්තා වූයේ නැත. පැකර් වැනි සුපිරි ව්‍යාපාරිකයකු කිසි විටෙකත් හිටිහැටියේ තමන් කරන්නට බලාපොරොත්තුව සිටින ආයෝජනයන් හකුලා ගන්නේ නැත.

පැකර් පිළිබඳව අලුත්ම කතාව පසුගිය සතිය වන විට නැවත වාර්තා වන්නේ ඔය අතරවාරයේය. ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයකු වන “ක්‍රවුන් කැසිනෝ” සමාගම් සමූහයේ ප්‍රධානියා වන්නේ “ෙ-ම්ස්‌ පැකර්” ය. පැකර් මෙරට ආයෝජනය කරන්නට සූදානම් වූ ව්‍යාපෘතිය කොට උඩ ගියද, පැකර් නැවතත් මෙරටට පැමිණීමට කැමැත්ත පළකර තිබෙන්නේ ආණ්‌ඩුවේ “හයිය” ඇති ප්‍රබලයන් කීපදෙනකු සමඟ කළ සාකච්ඡාවකින් පසු ඇතිවූ එකඟතාවක්‌ මත බව වාර්තා වේ. වාර්තා වන අන්දමට මුල් ව්‍යාපෘතිය නැවත අනුමත කර ගැනීමට අවශ්‍ය වන නෛතික ප්‍රතිපාදන සකස්‌ කෙරෙන තුරු දැනට පවතින දේශීය කැසිනෝ බලපත්‍ර භාවිත කරමින් ව්‍යාපෘතිය පටන් ගැනීමට නියමිතය. මීට පෙර එම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වී සිටි ව්‍යාපාරික රවි විඡේරත්න මේ වතාවේදී ද ඒ සමඟ එක්‌ වී සිටී. ඔහු සතුව දේශීය කැසිනෝ බලපත්‍රයක්‌ තිබේ.

පසුගිය දිනවල වෙබ් අඩවියක පළවී තිබුණේ ව්‍යාපාරික රවි විඡේරත්න මේ ප්‍රවෘත්තිය ප්‍රතික්‍ෂේප කරන බවකි. ඡේම්ස්‌ පැකර් නැවත මෙරටට නොපැමිණෙන්නේ යෑයි ඔහු සඳහන් කර තිබිණි.

මහින්දගේ ආණ්‌ඩුව කැසිනෝ පනත ගෙන එමින් පැකර් මෙරටට ගෙන්වන විට ඊට එරෙහිව වැඩි වශයෙන් කෑගැසුවේ වත්මන් ආණ්‌ඩුවේ සිටින එවකට විපක්‍ෂයේ සිටි උදවියමය. එවක ආණ්‌ඩුවේ බොහෝ ඇමැතිවරු වත්මන් ආණ්‌ඩුවේද ඇමැති පදවි දරති. කවුරුන් ප්‍රතික්‍ෂේප කළ ද මේ ආණ්‌ඩුව කියන්නේ ආයෝජකයන් ගැන තමන් සුබවාදීව බලන බවය. එසේ ප්‍රතිපත්තියක සිටිනා ආණ්‌ඩුවකට පැකර් ප්‍රතික්‍ෂේප කරන්නට තරම් හේතුවක්‌ අපි දකින්නේ නැත. ඩොලර් මිලියන 650 ක ආයෝජනයක්‌ යනු සුළුපටු දෙයක්‌ද?

චන්දිම බණ්‌ඩාර

Related posts

ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනය

colombotoday

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් වෙත දැයේ බුහුමන පිරිනමන “සසර දනව්ව” – 30 වනදා සවස 2.30ට

colombotoday

කාදිනල්තුමා – පැණිවරකා ගහට හෙණ වැදීම – 2019 ජයගත් භික්ෂූ භූමිකාව – බෞද්ධ ඔබ කියවිය යුතුම ලිපියක්

colombotoday

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

colombotoday